වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ආගමික සහජීවනය පතා නිර්මාණකරණයේ යෙදෙන අපේ කාලයේ පියතුමෙක්

ආගමික සහජීවනය පතා නිර්මාණකරණයේ යෙදෙන අපේ කාලයේ පියතුමෙක්

‘සරත් සමය’ අවුරුදු විසි හතක් පුරා මා කළ නිර්මාණ එකතුවක්

ආගමික සහජීවනය ඇතිකිරීම උදසා ඇප කැපව නිරතුරුවම කටයුතු කළ සරත් හෙට්ටිආරච්චි පියතුමාගේ 'සරත් සමය' ඩී. වී. ඩී තැටිය මෙම මස 24 වැනිදා ජනගතවීමට නියමිතය. එතුමාණන් වසර විසි පහකට අධික කාලයක් තිස්සේ සිදු කළ සමාජීය මෙහෙවරයන් සහ පියතුමාගේ කලා දිවිය පිළිබඳ මෙහි අන්තර්ගත වේ. සරත් පියතුමා සමඟ අප කළ මේ සාකච්ඡාව ඒ සරත් සමය වෙනුවෙනි.

සරත් සමය කාගේ සංකල්පයක්ද?

ජාතික සමගිය සඳහා වන අන්තර් ජාතික ආගමික සංධානයේ මම සම සභාපති. එහි සභාපති ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමිපාණන්. අප නිරන්තරයෙන් සමාජ මෙහෙවරයන් සිදු කරනවා. මට උන්වහන්සේ පවා වරෙක කියලා තියෙනවා මං කරපු සියලු වැඩ කටයුතු තැටිගත කරන්න කියලා. මගෙත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඒක කරන්න. අප කළ එවන් වූ කටයුතු රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයන් අතරතුර පෙන්වලා තියෙනවා. නමුත් එය මතකයක් පමණයිනේ. මේ තැටියට එම වීඩියෝ ක්ලිප් තමයි ඇතුළත් වන්නේ.

සරත් සමය එළිදැක්වීමේ අරමුණ මොකක්ද?

ඇත්තටම මේක කිව්වට කමක් නැහැ. බොහෝ දෙනෙකු දැන් ඒ වග දන්නවා. මං කලක් තිස්සේ පිළිකාමය තත්ත්වයක ඉන්නේ. ඇතැම් විට මා සුව නොවෙන්න පුළුවන්. කවුද දන්නේ හෙට අනිද්දා මට මේ ලෝකෙන් සමුගන්න වේවිද කියලා.

අපි නම් එහෙම කොයි වෙලාවකවත් පතන්නේ නැහැ එහෙම. අපි ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා.

බොහොම ස්තූතියි. නමුත් ජීවිතය තණ අග පිනිබිඳු වගේ කියලා කියනවනේ. ඉතින් මං විසින් කළ කීදෑ මොනවාද කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඉකුත් වසර විසිපහක කාලය ඇතුළතදී ආගමික සහජීවනය උදෙසා ක්‍රියාත්මක කළ මගේ නව සංකල්ප කිහිපයක්ම තියෙනවා. ඒවා සියල්ලම මෙම තැටියේ ඇතුළත්. කවදා හරි මම නැති කලෙක වුණත් සරත් ෆාදර් මෙච්චර දේවල් කරලා තියෙනවා නේද කියලා එමඟින් දැනගන්නට පුළුවන් වේවි. ඒ වගේම සරත් සමය නිකුත් කිරීමේ තවත් අරමුණකුත් තියෙනවා.

ඒ ගැනත් කියමු?

මට එක සැරයකට මගේ ට්‍රීට්මන්ට වෙනුවෙන් එක් ලක්ෂ පණස් දාහක් පමණ වැය වෙනවා. මේ තැටිය අලෙවි කරලා ලැබෙන සියලු මුදල් යොදවන්නේ මගේ බෙහෙත් හේත්වලට. ඒක තමයි මේ සංයුක්ත තැටිය නිකුත් කිරීමේ අනෙක් අරමුණ.

ඔබ කලාවට ලැදි පියනමක් කියන කතාව බොහොමත්ම ප්‍රසිද්ධයි. කොයි කලේ වගේද ඔබ කලාවට පෙම් බැන්දේ?

මගේ අප්පේ සෑහෙන කල්. මගේ වයස දැන් අවුරුදු පණස් හතරක්. මං මගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වූයේ අවුරුදු පහළොවේදී. එතකොට මං බදුල්ලේ ඌව මහ විදුහලේ ශිෂ්‍යයෙක්. පූජකවරයෙක් වුණයින් පසුව මං කලාව අත හැරියේ නැහැ. දිගින් දිගටම සංගීතමය කටයුතු කළා. මගේ සමාජීය මෙහෙවරයන්ට නිරන්තරයෙන් කලාකරුවන් ද සහභාගී වුණේ ඒ හිින්දා. පසුකාලීනව මං සරත් ගී වැස්ස ආදී ප්‍රසංග පැවැත්වූවා.

ඔබට මෙරට විශ්ව විද්‍යාල තුනකින් සහ ඉන්දියානු විශ්ව විද්‍යාලයකින් උපාධි හතරක් තියෙනවා?

ඔව්. ඒ ගැන වැඩි දෙනෙකු දන්නේ නැහැ. පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් සමාජීය විද්‍යාපති උපාධිය සහ දර්ශනපති උපාධියත්, ඉන්දියාවේ සෙරැම්පෝ විශ්ව විද්‍යාලයෙන් දේව ධර්මවේදී උපාධියත් මා ලබාගෙන තියෙනවා. ඒ වගේම පන්සිය පනස් ජාතක පොත ආශ්‍රිතව සමාජ විද්‍යාත්මක පර්යේෂණයන් කොට දර්ශනපති උපාධිය ලබාගත් එකම කිතුනු පූජකතුමා වන්නේත් මං.

ඔබ ආගමික සංහිඳියාව උදෙසා කලාව යොදා ගත්තා. කොහොමද ඒක කළේ?

අප රටෙහි මහා සංස්කෘතියක් තියෙනවා. එහෙම සංස්කෘතියක් තියෙනවා කියලා කිය කිය ඉන්නවා මිසක ඒ ගැන නිසි හැදෑරීමක් නැහැ. ඇත්තම කිව්වොත් අපේ සංස්කෘතිය ගැන හරියට දන්නවා නම් ඔය කවුරුවත් ඇන කොට ගන්නේ නැහැ. බොහෝ තැන්වලදී මා කළේ කලාව සංස්කෘතිය හරහා සහජීවනය විදහාලන වැඩසටහන් කිරීම. කලාව හරහා මා ජන සමාජයට කළ යුත්තේ කුමක් ද කියලා පැහැදිලි කර දුන්නා. ඒවාට මං නොයෙක් වැඩසටහන් පවා කළා.

ගමටම නත්තල් කියන්නේ එවන් වූ වැඩසටහනක්?

ඔව්. සාමාන්‍යයෙන් කිතුණුවෝ නත්තල් උත්සවයකට අහල පහළ ඉන්න බෞද්ධයකුට කෑම පිඟනක් යවනවා පමණයි. අතැම් අන්‍ය ආගමිකයෝ පවා දන්නේ නැහැ නත්තලක වටිනාකම. ඒ වගේම නත්තලහි තියෙනවා අපි නොදන්න සමාජීය කාරණා. මං ඒ සියල්ල එක්තැන් කරලා තමයි ගමටම නත්තල් වැඩසටහන පටන් ගත්තේ. එහිදී කතෝලික ආගමේ අය විතරක් නෙවෙයි මුළු ගමේ හැමෝම ආගම් බේදයකින් තොරව ඊට සහභාගී වුණා. රබන් ගැහැව්වා. සේසත් පෙරහැරවල් පැවැත්වූවා. නත්තලේ වටිනාකම ඔවුනොවුන් අතර බෙදා ගත්තා. හැමෝටම ඉතින් හරිම සතුටුයි. ඒ වගේම මං තවත් වැඩ සටහනක් කළා පන්සලයි පල්ලියයි සිංහල දෙමළ අලුත් අවුරුද්දයිි නමින්. සිංහල දෙමළ ජාතිකයින් අලුත් අවුරුද්ද සැමරුවත් සිංහල කතෝලිකයින් සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ. මා මෙහිදී කළේ සියලු ආගමිකයික් එකතු කොට සිංහල අවුරුද්ද සැමරීම.

කොහොමද එම වැඩසටහන් සඳහා ලැබුණු ප්‍රතිචාර?

ඉතාමත් ඉහළයි. එයට සහභාගි වූ අය හැමොම ඇහැව්වේ ඊළඟ අවුරුද්දෙත් මේ වැඩසටහන තියනවද කියලා. ඒතරම්ම ඔවුන්ගේ හිතට දැනුණා අප කරපු දේ.

ඔබ ආයේ එවන් වූ වැඩසටහන් සංවිධානය කරන්නේ නැතිද?

මගේ අසනීපය තමයි ඔය හැම දේකටම හරහට හිටියේ. නමුත් බලනවා ඉදිරියේදී යමක් කරන්න. අප රට තුළ ආගමික සහජිවනය ඇති වෙනවා නම් මට හොඳටම ප්‍රමාණවත්.

සරත් සමය එළිදක්වනදා මුලසුන හොබවන්නේ බෞද්ධ හිමි නමක්?

මං අනිත් අයට ආගමික සහජිවනය කියලා දීලා මං එය පිළිනොපදිනවා නම් එතන වැරැද්දක් තියෙනවා. ඉතින් මං හැමෝටම ආදර්ශයක් වෙන්න හිතුවා. ඒ හින්දා ජාතික සමගිය සඳහා වන අන්තර් ජාතික ආගමික සන්ධානයේ සභාපති සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන් තමයි සරත් සමය එළිදක්වනදා මුලසුන හොබවන්නේ.

කොහෙදිද සරත් සමය එළිදක්වන උත්සවය පැවැත් වෙන්නේ?

මොරටුව රාවතාවත්ත බැප්ටිස්ට දේවස්ථානයේ. මෙදින වජිර හිමියන් සමඟ ආචාර්ය එඩ්වින් ආරියදාසයන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් යන මහත්වරුන් දෙසුම් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සරත් සමය සංස්කරණය කළ නිලන්ත අල්විස් මහත්තයාව මේ මොහොතේ මතක් කරන්න ඕනෑ. ඔහු ප්‍රමුඛ කණ්ඩායමක් තමයි මෙය නිෂ්පාදනය කළේ. ඔවුනට මා ස්තුතිවන්ත වෙනවා.