වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ගෙදර කොයි වෙලේ බිමට පාත් වෙයිද දන්නේ නැහැ

මගේ ගෙදර කොයි වෙලේ බිමට පාත් වෙයිද දන්නේ නැහැ

සැනට් දික්කුඹුර හෙළිදරව් කරයි

මාලිනීට මම සොසේජස් ණයක් ගෙවන්න තියෙනවා

කලකට ඉහත තැනුණ පෙපර්මින්ට් දැන්වීමක් දැනුත් ෆේස්බුක් හරහා දැන් දැක ගත හැකිය. එහි කරනම් ගසන්නේ සැනට් දික්කුඹුරය. මාධ්‍ය සොයා ගොස් ප්‍රචාරය ලබා නොගන්නා ජාතියේ කෙනකු නොවූ සැනට් සරසවියට ගොඩවැදුණේ වෙන වැඩකටය. ඒ කටයුත්ත අතරතුර අපි ඔහු කතාබහට අල්ලා ගතිමු.

* කලා ක්ෂෙත්‍රයේ හිත මිතුරන් අතර ඔබ සැනා?

තාත්තා මම ඉපදුණාම නම දැම්මේ දික්කුඹුරගේ සැනට් කියලා. කලා ක්ෂේත්‍රය තුළ මම සැනට් දික්කුඹුරගේ. මගේ නමේ ගේ අකුර අහකට දාලා මාව හඳුන්වන්නේ සැනට් දික්කුඹුර කියලා. මට ආදරේට කියන්නේ සැනා කියලා.

* ඉතිං මේ දවස්වල සැනට්ගේ කලා කටයුතු එහෙම කොහොමද?

විශේෂයක් කියලා නෑ. මම රඟපෑ උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. අප්පට සිරි කියන චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. නාමෙල් වීරමුණිගේ නැට්ටුක්කාරී වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ රංගනයේ නියැලෙනවා.

* මේ වෙන කොට ඔබ බොහොම අපහසුතා මධ්‍යයේ ජීවිතය ගෙන යන පුද්ගලයෙක් බවට පත් වෙලා?

ඔව් මට රකින්න කියලා පවුලක් නැහැ. අද වෙන කොට මම පදිංචි දෙහිවල ගෙදරත් බොහොම අබලන් තත්ත්වයට පත් වෙලා කොයි වෙලාවේ බිමට කඩා වැටෙයිද කියන්න බෑ.

* එතකොට ඔබේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ?

අපේ පවුලේ මමත් එක්ක දරුවෝ හය දෙනයි. මම පවුලේ දෙවැනි දරුවා. මට වැඩිමල් අක්කා ඇය ඩී. කේ. දයාලතා. මම ජීවත්වෙන අබලන් ගෙදර පැත්තක ඇයත් තනිකඩ ජීවිතයක් අපහසුතා මධ්‍යයේ ගෙන යනවා. නංගිලා දෙන්නයි. එක් කෙනෙක් නාලිනී සෙනෙහෙලතා. අනිත් නංගි ඩී. කේ. පූර්ණලතා. මල්ලි ලීලානන්ද. තුන්දෙනාම විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නවා. තාත්තා දයානන්ද දික්කුඹුර, අම්මා හේවා දික්කුඹුරගේ මැගිලින් නෝනා (ලුසු නෝනා). මල්ලි විජේනන්ද දික්කුඹුර තුන්දෙනාම අද ජීවතුන් අතර නෑ.

* ඔබේ පියා එවක හොඳ ව්‍යාපාරිකයෙක් වගේම කලාවට ලැදි පුද්ගලයෙක්?

තාත්තා කලාවට උදවු කරපු කෙනෙක්. මගේ පියා තමයි වෙසක් එකට මුළු ලංකාවටම මුලින්ම රැලි බකට් හැදුවේ. තාත්තාට දෙහිවල පොත් කඩයක්, පින්තූර රාමු කරන කඩයක් තිබුණා. ඒ කඩේට නම දාලා තිබුණේ දයාලතා පොත්හල පින්තූර රාමු කරන්නෝ කියලා. ඒ වගේම වැල්ලවත්තේ තාත්තාට තිබුණා ශ්‍රී ලංකා හෝටලය කියලා කඩයකුත්. තාත්තා දකුණේ මිනිහෙක් හින්දා එදා බොහෝ දෙනෙක් කඩේට ආවා තාත්තාගේ කඩේ කෑම කන්න. බිස්නස් අතින් තාත්තාට හොඳ කාලයක් ඒ අවධියේ තිබුණා.

ඒ කාලේ තාත්තාට ඛ් 6199 බේබි ඔස්ටින් කාර් එකක් තිබුණා. සුවිනීත ලාලනී චිත්‍රපටයේ උදුලා දාබරේ ඇල්. ඇම්. පෙරේරා එක්ක කබල් කාරෙක කැඩුණොත් මළා... සිංදුව කියමින් යන්නේ ඒ කාර් එකේ.

* ඔබ තුළ කලාවට ඇල්මක් ඇති වන්නේ?

මගේ සීයා ඩී. අර්නෝලිස් කිව්වාම ටීටර්කාරයෙක්. ඒ වගේම කොමියුනිස්ට් කාරයෙක්. මට මතකයි ඒ කාලේ වැල්ලවත්තේ සීයා රාක්ෂයකුට රඟපාන හැටි තාත්තා මට පෙන්නලා ගෙදර ගිහින් නිදාගන්න බයේ අඬපු හැටි.

* සැනා පාසල් කාලයේ හරිම දඟයෙක්?

වැල්ලවත්ත සුභූති විද්‍යාලයට මුලින්ම ගියත් පස්සේ තාත්තා මාව හදාගන්න කියලා දෙණියායේ ආච්චිගේ ගෙදරට යවලා දෙණියායේ රෝමානු කතෝලික විද්‍යාලයට ඇතුළත් කළා. මට එහෙ පරිසරය ඇල්ලුවේ නැහැ. දෙහිවල වගේ මට ඕනෑ දේ කරන්න ලැබුණේ නැහැ. මට හිතෙන හිතෙන දේ කන්න බොන්න එහෙදි තිබුණේ නැහැ. ඔය ඉස්කෝලේ ඉන්න කොට මම චිත්‍ර අඳින්න හොඳට ඉගෙන ගත්තා. කොහොම හරි ටික කාලෙකින්ම තාත්තාට කන්කෙඳිරි ගාලා රෙගුලාසිවලට යටත් වෙලා ආයෙත් දෙහිවල ගෙදරට ආවා. පස්සේ තාත්තා මාව කරගම්පිටියේ මෙතෝදිස්ත විද්‍යාලයට (අද කරගම්පිටිය විජය විදුහල) ඇතුළත් කළා. තාත්තා ප්‍රින්සිපල්ගේ යාළුවෙක් නිසා මටත් හොඳට ප්‍රින්සිපල් ආදරෙයි. ඉස්කෝලේ යන කාලේ මට නියම ස්වීප් එකක් ඇදිලා තිබුණා චිත්‍රපට බලන්න. ප්‍රින්සිපල් මාත් එක්ක හිතවත් නිසාම සතියට දෙතුන් වතාවක් මට ලියුම් මිටියක් දෙනවා දෙහිවල තැපැල් කාර්යාලයට ගිහින් බාර දෙන්න. මම ඉතිං පොත් මිටිය ප්‍රින්සිපල්ගේ කාමරයේ තැනක හංගලා ගිහින් ලියුම් ටික තැපෑලට දාලා වැල්ලවත්ත සැවෝයි එකට එනවා චිත්‍රපට බලන්න. ආයෙත් චිත්‍රපටය ඉවර වෙලා ඉස්කෝලෙට ගිහින් පොත් ටික අරගෙන ගෙදර එනවා හොඳ මිනිහා වගේ. මේ වැඩේ කොහොමත් සතියට දෙපාරක්වත් කළා. අන්තිමට කට්ටි පැන්න නිසා සාමාන්‍ය පෙළ විභාගයෙන් චිත්‍රයි භූගෝල විද්‍යාව විතරයි පාස් වෙන්නේ.

* රංගනය කියන දේ ඔබ සොයා යන්නේ?

පාසල් අවධියේ පටන් මම පාසල් නාට්‍යවල රඟපෑවා. රංගනය කියන දේ මගේ ඇඟ තුළ තිබුණ දෙයක්. තාත්තා කවදාවත් සිනමාවට කැමැති නැති කෙනෙක්. හැම වෙලාවෙම මම කළේ තාත්තා අකමැති දේ. තාත්තා දැනගත්තා මම ඉගෙන ගන්න කැමැති නැති කෙනෙක් කියලා. මට දෙහිවල පොත් සාප්පුවයි පින්තූර රාමු කරන තැනයි බලන් ඉන්න කිව්වා. එතනදි මම පින්තූර රාමු කරන්න ඉගෙන ගත්තා. ඔය අතරේදී මම කලාවට යොමුවෙන පොටක් ගැන හිත හිතා ඉන්න කොට එවක දෙහිවල වයි. එම්. බී. එකේ නැටුම් පන්ති කළ පිළියන්දල මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයා වූ ගුණසේන රාජපක්ෂ මහතා මට හඳුනාගන්න ලැබුණා. මගේ අදහසත් කිව්වාම ඔහු යෝජනා කළා අපි නාට්‍යයක් කරමු කියලා. එතුමා එහෙම කිව්වෙත් තාත්තට කඩ එහෙම තිබුණ නිසා සල්ලි ගැන ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා. කොහොම හරි මම තාත්තාගේ කඩේ සල්ලි ලාච්චුවෙන් රුපියල් 350 ක් හොරකම් කරගෙන නාට්‍යයක් නිෂ්පාදනය කළා ගුණසේන රාජපක්ෂ එක්ක මධුරංග බහු බූත කියලා. දෙහිවල වයි. එම්. බී. එකේ පෙන්නුවේ. නාට්‍යයේ මමත් සමඟ දොන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා, ශීලා පරණමානගේ, සුමනා අමරසිංහ රඟපෑවා. සරත් දසනායක තමයි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළේ.

* ඔබේ රංගන ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති වන්නේ හරියට කිව්වොත් ලයනල් වෙන්ට් එකේ බින්න බැස්සට පස්සේ?

වැඩ ඉගෙන ගන්නත් එක්ක කියලා මාව නතර කළා තාත්තාගේ හොඳ යාළුවෙක් වූ පින්නදූව මහත්තයාගේ කඩේ. කැලණියේ තොරණ හංදියේ ප්‍රභා ස්්ටොර්ස් එකේ. මට තිබුණේ බඩු දෙන්න, බිල් ලියන්න වගේම කැෂියර් එකත් මට භාර වුණා. එතකොට මට වයස අවුරුදු 17 ක් විතර ඇති. ඔය කඩේට නිතර ආව ගියා විමල් කුමාර ද කොස්තා, සරත්චන්ද්‍ර සමරක්කොඩි, ගාමිණී හත්තොටුවේගම, දයා තෙන්නකෝන් වගේ අය. මෙයාලා එන්නේ කඩෙන් බීම එකක් බොන්න. ඔය එන දවසක සිළුමිණ පත්තරයේ කොස්්තයි, දයා තෙන්නකෝනුයි රඟපාන පින්තූරයක් පළ වී තිබුණා. මම ඇහැව්වා රඟපාන්න සම්බන්ධ වෙන්න පුළුවන් ද කියලා. පහුවදාම එයාලා මට ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට බැඳෙන්න ඇප්ලිකේෂන් එකක් ගෙනත් දුන්නා. මාසෙට ගෙවීම වුණේ රුපියල් 5 යි.

මම පින්නදූව මහත්තයාට ඇවිටිලි කරලා ඉරිදට නිවාඩු අරන් ලයනල් වෙන්ටඩ් එකට ගියා. හෙන්රි ජයසේන, ධම්ම ජාගොඩ, එස්. ඒ. ප්‍රේමරත්න, මහාචාර්ය සරච්චන්ද්‍ර, අර්නස්ට් මැකින්ටයඩ්, චන්ද්‍රසේන දසනායක, ගාමිණී විජේසූරිය, පද්මකුමාර එදිරිවීර, අයිරාංගනී සේරසිංහ, මයිලා සෙල්වදොරේ තමයි අපට ඉගැන්නුවේ.

* ප්‍රසිද්ධ වේදිකාවට ඔබ පිය මනින්නේ වේදිකා පාලකවරයකු ලෙසින්?

අයිරාංගනී සේරසිංහගේ පරස්තාව නාට්‍යයේ වේදිකා පරිපාලනය මට භාර කළේ ගාමිණී විජේසූරිය. ඔය අතරේ ඩබ්ලිව්. ජයසිරි වේදිකා පරිපාලනය කර කර හිටිය ධම්ම ජාගොඩගේ කොරා හා අන්ධයා නාට්‍යයේ වේදිකා පරිපාලනය මට භාර කළා. ඒ වෙනුවෙන් මට මුල්වරට දිග ලියුම් කවරයක දැමූ රුපියල් පහේ නෝට්ටු කවර පහක් ලැබුණා.

* වේදිකා පාලකයෙක් ලෙස කලාවට එන ඔබ නළුවෙක් වෙන කතාවත් හරි අපූරුයි නේද?

ප්‍රංශ ජාතික රෆායල් මොරිල්ලෝ නාට්‍යයක් කළා. ස්ක්‍රිප්ට් එක සිංහලට ලිව්වේ ධර්මසේන පතිරාජ. නාට්‍යයේ නම සොබා වෙළෙඳපොළට යයි. මේ නාට්‍යයට නළුවෝ නිළියෝ තේරුවේ සුද්දා. ධර්මසේන පතිරාජ මාව අරන් තිබුණේ වේදිකා පරිපාලනයට. ස්වර්ණා මල්ලවාරච්චිත් ඒ නාට්‍යයේ රඟපෑවා. ඔය තෝරා ගැනීම කරන දවසේ සුද්දා මටත් කතා කළා. ඒ පාර ධර්මසේන පතිරාජ කිව්වා එයා ස්ටේජ් මැනේජර් කියලා. සුද්දා ඇහුවේ නැහැ. මට ඇට් කරන්න කිව්වා. මම කළේ ස්ටේජ් එකේ තිබුණු වේවැල් කැඩිච්ච පුටුවක් අරගෙන ඇවිත් අභිනයෙන් ඒකෙ වේවැල් විව්වා. සුද්දා මේක බලන් ඉඳලා අත්පුඩි ගහලා ගුඩ් ඇක්ටර් කිව්වා. සුද්දාගේ තීරණය වුණේ ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ සොබාට මාව ගන්න. අපි නාට්‍යයේ රිහසල් කර කර ඉන්න අතරේ සුද්දාගේ අම්මා මිය ගිහින්. ඔහුට නැවත රට යන්න සිද්ධ වුණා. ඒකෙන් වුණේ නාට්‍ය අතරමඟ නතර වුණ එක. ඊට පස්සේ මට නාට්‍ය රැසකම රඟපාන්න ආරාධනා ආවා. ආරියරත්න විතානගේ අධ්‍යක්ෂණය කළ මඟුල් හටන නාට්‍යයේ මම චරිත දෙකක් කළා. මේ නාට්‍යයේ මගේ චරිත නිරූපණය පිළිබඳ එවක චන්ද්‍රසේන කිරිවත්තුඩුව මහත්තයා පත්තරයට විචාරාත්මක ලිපියක් ලියලා තිබුණා සැනට් නාට්‍ය කලාවේ අනාගත බලාපොරොත්තුවක් කියලා.

* ප්‍රසිද්ධ නාට්‍යකරුවන් රැසක් අතරේ ඔබ චරිතාංග නළුවෙකු බවට පත් වෙනවා?

සුගතපාල ද සිල්වා, පරාක්‍රම නිරිඇල්ල, පීටර් වෙදමුණි, ප්‍රේමලාල් ගංගේ, විජිත ගුණරත්න, ජයන්ත චන්ද්‍රසිරි, රත්නසිරි පරණවිතාන, පුණ්‍යසේන ගුණසිංහ, ජගත් චන්ද්‍රසිරි, නාමෙල් වීරමුණි වගේ නාට්‍යකරුවන්ගේ දුන්න දුනුගමුව, සෙක්කුව, මුහන්දිරම් හාමුදුරුවෝ, බත් දංකුඩ, දැති කියත, අත්, මෝරා, කැකිල්ල, ගුරු මාරුව, පැන්ස තුනේ කතාව, නැට්ටුක්කාරි ආදී නාට්‍ය රැසක රංගනයන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා.

* සිනමාවට ඔබ අහම්බෙන් එක් වෙන්නෙත් හරි අපූරු ආකාරයකට?

අහස් ගව්ව චිත්‍රපටයේ සීන් එකක් තිබුණා ජීප් එකක් හෝදන අවස්ථාවක්. මේකට ධර්මසේන පතිරාජ තෝරගෙන හිටියේ ඒ දවස්වල ගුවන් විදුලියේ වැඩ කරපු හිතවතෙක්. එයා චරිතය දුන්නහම මේක රඟපාලා වැඩට යන්න වෙන එකක් නැහැ කියලා රඟපාන්න බැහැ කිව්වා. ඒ පාර පතිරාජ මට ඒක කරන්න කිව්වා. මම ඉතිං බාල්දියත් අරන් පැනලා රඟපෑවා. අහස් ගව්ව තමයි මගේ මුල්ම චිත්‍රපටය.ද මේ වෙන කොට චිත්‍රපට කොපමණ ප්‍රමාණයකට දායක වෙලා ඇද්ද?

පරාක්‍රම නිරිඇල්ලගේ පළවෙනියා හා අන්තිමයා, පී. යූ. ඩී. පෙරේරාගේ සුදු ඇතාගේ කතාව කෙටි චිත්‍රපට දෙක සමඟ චිත්‍රපට හතළිහක විතර රඟපාලා තියෙනවා. එයා දැන් ලොකු ළමයෙක්, මධුවතී, අතුරු මිතුරු, බඹරු ඇවිත්, පාර දිගේ, දියමන්ති, සුරබිදෙන, අයෝමා, පවුරු වළලු, මගේ වම් අත, පුර සක්මන, බොරදිය පොකුණ, හෝගානා පොකුණ, සක්කාරං, අරුමෝසම් වැහි, පිස්සු ට්‍රිබල්, සුළං කිරිල්ලී, කතරගම රූමතිය ඒ අතරින් කීපයක්.

* ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේද ඔබ නමක් දිනූ නළුවෙක්?

ශ්‍රීමතී ලියනගේ ගේ ඕන් පළවෙනියා ඕන් දෙවැනියා ළමා ටෙලි නාට්‍යයෙන් තමයි මම රූපවාහිනී මාධ්‍යයට ඇතුල් වන්නේ. මහදැනමුත්තා, ලොක්කේ මාමා, දිය සිතුවම් ඇතුළු ටෙලි නාට්‍ය බොහොමයකම චරිත නිරූපණය කරනවා.

* වෙළෙඳ දැන්වීම් අතරත් ඔබ ජනප්‍රිය චරිතයක්?

මම පෙනී හිටිය වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම සාර්ථක වුණා. ඒ සාර්ථකකම නිසාම සමහර දැන්වීම් ආයතන නැවත වෙන ඇඩ් එකක් පවා මාව දාලා කෙරුවා.

* ඇත්තද මේ රඟපාපු ඒවටත් තවම මුදල් ලැබුණේ නැහැ කියන්නේ?

ඔව්. අපේ ශ්‍රමය සූරාකාපු රූපවාහිනී ආයතනත්, ටෙලි නාට්‍ය නිෂ්පාදකයොත් ඉන්නවා. ටෙලි නාට්‍ය විකාශය වෙලාත් ඉවරයි, අපිට පොරොන්දු වූ ගාණ නැහැ. චිත්‍රපටයක රඟපාලා මට වැඩිම මුදලක් ලැබුණේ සක්කාරං චිත්‍රපටයට. ඒ වෙනුවෙන් මට රුපියල් 50,000 ක මුදලක් ලැබුණා. ටෙලි නාට්‍යයක රඟපෑවොත් ලැබෙන්නේ ඉල්ලන මුදලටත් වඩා අඩු ගාණක්.

* සිඟමන් යදින්නා, සාස්තරකාරයා හැරුණු කොට ඔබට කලා නිර්මාණවල වෙනත් චරිත නොලැබෙන හැඩයි?

මගේ කොණ්ඩෙයි, රැවුලයි, බාහිර පෙනුමයි මේ දෙකට හොඳට ගැළපෙනවා. ඒක නිසා කවුරුත් මාව හිඟන්නෙක් විදියට දකිනවා ඇති. කලා ක්ෂේත්‍රයේ රංගනය ඇතුළු අනෙකුත් දෑවලින් මම පොහොසත් වුණත් සැබෑ ලෙසම මම මුදල් අතින් හිඟන්නෙක්.

* හිඟන්නගේ පාත්තරේටමයි හෙනහුරත් ලබල තියෙන්නේ?

ඔව්. රඟපාන්න ගියොත් පොරොන්දු මුදල දෙන්නේ නැහැ. චරිතයක් ලැබෙන්න තිබුණොත් මොනවා හරි කරලා කපල දානවා. ඒකට ප්‍රධාන හේතුව විදියට මම දකින්නේ මම කියන්න ඕනෑ දේ කාට වුණත් කෙළින් කියන නිසා කියලයි.

* වීදි නාට්‍ය ශිල්පියෙකු ලෙසත්, අභිරූපණ රංග ශිල්පියෙකු ලෙසත් ඔබ තවත් පැත්තකින් නමක් දරා සිටින පුද්ගලයෙක්?

ගාමිණී හත්තොටුවේගමගේ වීදි නාට්‍ය කණ්ඩායමේ ශිල්පියෙකු ලෙසත් මම දීර්ඝ කාලයක් කටයුතු කළා. අභිනය කියන දේ නළුවෙකුට අවශ්‍යය දෙයක්. ඒ දේ නෑ කියන්නේ ඒ නළුවාගෙන් වැඩක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ අභිරූපණ රංග විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන අතරේ ජාතික තරුණ සේවා සභාවේ ද විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ලෙසත් මම කටයුතු කරනවා.

* සම්මානනීය ඇගයුම් අතරේ ඔබත් ඇගැයීම් ලැබූ කලාකාරයෙක්?

මෝරා නාට්‍යයේ 1988 දී වසරේ හොඳම අංග රචනා ශිල්පියා ලෙසින් රාජ්‍ය සම්මානය මට හිමි වුණා. පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව නාට්‍යයේ මම චරිත පහක් නිරූපණය කරනවා. ඒ වෙනුවෙන් විශිෂ්ට කුසලතා සම්මානය මට හිමි වුණා. කලා භූෂණ සම්මානයෙනුත් පිදුම් ලබලයි ඉන්නේ.

* තනිකඩ ජීවිතය තුළ ඔබේ ජීවිතය ගෙවී යන්නේ?

මම බොහෝ විට පොතපත කියවනවා. මේ දවස්වල ඕසෝන්ගේ පොතක් කියවනවා. ඒ ඇරෙන්න ඉතිං මම ගෙදර හදා වඩා ගත්ත බලු සුරතලුන් සමඟ තමයි කාලය ගත කරන්නේ. ලකී, පපී, බුවුන්, ටොමී කියන මේ සත්තුන්ට මම කොහේ ගියත් කෑම දීලා, සාත්තු කරලා යනවා. ලෙඩක් හැදුනහමත් එහෙමයි. මිනිස්සුන්ට වඩා හොඳ ගුණයක් මේ බල්ලො ළඟ තියෙනවා.

* මුදල් හදල් අතින් අඟහිඟකම් තිබෙන ඔබ එදිනෙදා යැපීමට මුදල් හොයා ගන්නේ?

මම යන තැනකින් මට කෑම හම්බ වෙනවා. මගේ හිතවත් කඩ කීපයක් තියෙනවා. ඒ වගේම මට ගොඩක් ළෙන්ගතු මුස්ලිම් මිනිස්සු කීප දෙනෙක්ම ඉන්නවා. මේ අය මට ඕනෑ වෙලාවක ඇවිත් කෑම කාලා යන්න කියලා තියෙන්නේ. මට මොනවා හරි නිර්මාණයක් ලැබිලා අතට මුදලක් ලැබුණ ගමන් මේ කඩවලට මම ගෙවන්න තියෙන කෑම බිල ගෙවලා දානවා. ඕක තමයි ඇත්ත කතාව.

* ඔබත් නාට්‍ය පිටපතක් ලිව්වා නොවේද? ඒකට මොකද වුණේ?

ඒ පිටපත පස්සේ මගේ අතිනුත් නැති වුණේ අහඹු සිද්ධියකින්.

* ලිව්ව එකම පිටපතත් අස්ථාන ගත වුණේ කොහොමද?

මොකටද ලැජජා වෙන්නේ, ඒකත් මම කියන්නම්. ඒ කාලේ බම්බලපිටියේ ලයන් හවුස් එකට තමයි ගොඩක් කලා ක්ෂේත්‍රයේ අය හමුවන්නේ. මෙතනට ඇවිත් රෑ බෝ වෙනකන් අප්ප කකා, තේ බිබී නාට්‍ය පිටපත් ගැන කතා කරනවා. සමහර කට්ටිය එකතු වෙලා ආප්ප කාලා බිල ගෙවන් නැතුව ලෙස්සලා යනවා. එහෙම නැත්නම් තමන් කාපු ආප්ප ගාණ තව කෙනෙක්ගේ එකවුන්ට් එකට දානවා. ඔය වගේ මටත් කීප සැරයක්ම කීප දෙනෙක් කළා. ඉතිං මමත් ඔය ස්ක්‍රිප්ට් එක අරන් ඔතෙන්ට ගියා. ඒක මම ඉඳගත්ත පුටුවේ උඩින් තියලා ඒක උඩ මම ඉඳගත්තා. ඔහොම ඉන්න කොට මට මීට කලින් ආප්ප කාලා මගේ එකවුන්ට් එකට දාලා ලිස්සල ගිය කීප දෙනෙක්ම එදා මේ ටේබල් එකේ හිටියා. මම ඉතිං එදා හොඳට ආප්ප කාලා එයාලගේ එකවුන්ට් එකට මගේ ගාන බැර කරලා මාත් ලිස්සලා ගියා. මොනවා කරන්නද මගේ ස්ක්‍රිප්ට් එකත් පුටුව උඩ අමතක වෙලා.

* ඇත්තද මේ අදටත් සැනා නිළි රැජණ මාලිනී ෆොන්සේකාට සොසේජස් ණයයි කියන්නේ?

ඕක දන්නේ මම විතරයි. මාලිනී ඒක අදටත් දන්නේ නැහැ. මම කිව්වේ මම ටික කාලයක් තොරණ හංදියේ කඩේක වැඩ කළා කියලා. මමත් හරි ආසයි නාට්‍යවල දකින මාලිනීව දකින්න. දවසක් ඇවිත් මාලිනී සොසේජස් වගයක් ඉල්ලුවා. ඒ දවස්වල කිලෝ නැහැ. රාත්තල් තියෙන්නේ. මම සොසෙජස් කිරුවා. බෑග් එකටත් දැම්මා. ඒ ඔක්කොම කළේ මාලිනීගේ මුහුණ දිහා බලාගෙන. සල්ලි දීලා ඉතිරිත් අරන් මාලිනී යන්න ගියා. මම තරාදිය දිහා බලන කොට සොසේජස් කෑලි දෙකක් තරාදියේ. වෙලා තියෙන්නේ මාලිනීගේ මුහුණ දිහා බලන් සොසේජස් දුන්නට තරාදියේ තිබුණ ඔක්කොම කවරෙට දාලා නැහැ.