වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

මෙච්චර පායන්නේ වහින්න

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

'මේ වත්තේ තියෙන හැම ගහ කොලක්ම බේත් පැලයක්. අත්තා වත්තේ ඔක්කොම වැව්වේ ඒ විධියට'

මානවී වත්තේ ඇවිදිමින් කිව්වාය. රවිඳු ඈ පසුපස ගමන් ගත්තේ පයට පෑගෙන තණකොළ ගොල්ල ගැන පවා සැලකිලිමත් වෙමිනි.

අත්තා අසනීප යැයි අම්මා දැන් වූ සැණින් මානවී ගමට එන්නට සැරසුණාය. පණිවිඩය ලැබෙන විට ඇය සිටියේ ජයවර්ණ නාළිකාවේ සාකච්ඡාවකය. එහි අරඹන අලුත්ම වැඩ සටහනක් මෙහෙයවීමට එහි පාලකයන් තීරණය කර තිබුණේ මානවී සමඟය. යෝජනාව රාජ් ගෙනි.

'ඔයා ගාන කියන්න එක ප්‍රෝගෑම් එකකට'.

පසුගිය දවසක රාත්‍රියේ රාජ් දුරකතනයෙන් සිය දුක් අඳෙීනාව කියා පෑවාය. මානවී එය අසා සිටියේ නිසොල්මනේය. පසුදා උදෑසනම රාජිණි මානවිට කතා කළාය. ඇය රාජ්ගේ ලේකම්වරියයි.

'බොස් ලයින් එකේ ඉන්නවා. මිස් මානවී'

දුරකතන ඇමතුම ගත්තේ එහෙමය. වැඩ සටහන සඳහා නිෂ්පාදක කණ්ඩායම හමුවන්නට මානවී එන බව පැවසුවාය. රාජ් ඇය එනතුරු කාර්යාලයේ රැඳී සිටියේය.

'ඔයාට ලොකු ප්‍රෝග්‍රෑම් එකක්. මේ ටිකේ ටෙලි ඩ්‍රාමාවලින් ටිකක් ඈත් වෙන්ඩ වෙයි'

රාජ් පැවසුවේ බැරැරුම් හඬකිනි.

'ප්‍රශ්නයක් නෑ . . . හැබැයි . . .'

'නෑ ඔයාට පාඩුවක් වෙන්න අපි දෙන්නේ නෑ'

රාජ් මානවීගේ සිතැඟි වටහා ගත් ආකාරයෙන් ඇගේ කතාව සම්පූර්ණ කළාය. මානවිගේ ජංගම දුරකතනය නාද වුණේ ඒ අතරතුරය. ඇය දුරකතනය නොබලාම විසන්ධි කළාය. රාජ් ඇගේ ඉරියව් දෙස බලා සිටියේ සැලකිලිමත් වෙමිනි.

'ප්‍රෝග්‍රෑම් එකේ ඇග්‍රිමන්ට් එක අපි හදා ගමු'

'රාජ් මානවීට පැවසුවේ නැවත හමුවන බලාපොරොත්තුවක් ඇති කරලමිනි.

'අපි දැන් දිගටම හමු වෙනවානේ'

රාජ් පැවසුවේය. මානවී හිස සලා අත දිගු කළාය. ඔහු ඇගේ අත ගෙන සෙල වූයේය. අනතුරුව ඇය සිය කාර්යාල කාමරයෙන් පිටව යනතුරුම ඔහු පසුපසින් ආවේය. එයින් පිට වූ මානවී දුටුවේ තමා දෙස වුවමනාවෙන් බලන ලේකම්වරිය රාජිණීය. වයසට නොගැළපෙන ආකාරයෙන් රූ සපුව රැක ගැන්මක යෙදී සිටි රාජිණි කලක් රූ රැජිනක් බව පෙනිණ. ඇය තමා දෙස වුවමනාවෙන් බැලුවේ කවර අර්ථයෙන්දැයි මානවීට වැටහිණ. මානවී සිනාවූයේ එය වටහා ගෙනය. කාමරය ඇතුළදී කිසිවක් සිදු නොවිණි යැයි රාජිණි වටහා ගන්නට ඇත. එබැවින් ඈ අඩ සිනහව අතුරුදන් කොට බිම බලා ගත්තාය.

තම රථයට නැඟ ගත් මානවී දුරකතනය විපරම් කර බැලුවාය. අංක කිහිපයක්ම එහි විය. ඒ අතරින් සමහරක් නොදන්නා අංකයන්ය. නිර්මලා ද කිහිප වරක්ම කතා කොට තිබුණෙන් ඇය එම අංකය ඇමතුවාය. අත්තා අසනීපෙන් බැව් නිර්මලා පැවසුවේ එවිටය. ඉදිරියට ඇදුණු රථය මොහොතක් නතර කර ගත් නිර්මලා කතාවකින් තොරව මොහොතක් බලා සිටියාය.

'මං හෙට උදෙන්ම එන්නම්'

උදේම එන්නම් යැයි පැවසුවත් මානවී පසුතැවුණාය. පසුගිය කාලයේ තමාට අත්තාව බලන්නට යන්නට වූයේ නැත. කුඩා කාලයේ පිය සෙනෙහස තමා ලැබුවේ ඔහු අතිනි.

'පුතා දැන් රෑ වෙනවානේ. දැන් එන්න එපා. කලබල වෙන්න දෙයක් නෑ'

නිර්මලා ගේ බස් අසා සිත සනසාගන්නට මානවී උත්සාහ කළාය. රාත්‍රියේ නින්දට වන් ඇයට අත්තා කතා කරනු සිහිනයෙන් මෙන් ඇසිණ. අඩ නින්දේ පසුවන ඇයට දුරකතන ඇමතුමක් ලැබිණ. ඈ කලබල වී බැලුවාය. රවිඳු නම එහි පුවරුවේ සඳහන් විය. තත්පර ගාණක් ඈ කල්පනා කළේ දුරකතන ඇමතුම ලබා ගන්නේ ද යනුවෙනි. මේ රාත්‍රියේ එන දුරකතනවලට ඈ ඇමතුම් දුන්නේ කලාතුරකිනි. නොදන්නා අංකවලට ඇමතුම් දීමෙන් ඇය ඇස් රතු කර ගත්තේ ක්ෂේත්‍රයට පැමිණි මුල් දවස්වලය. ඒ තරම් නින්දිත දුරකතන ඇමතුම් මිනිසුන් දෙන්නේ කෙලෙසද ඇයට සිතාගත නොහැකි විය. සමහරුන් මුලින් තෙපලන්නේ ආදර බස්ය. එතැනින් මොහොතකින් පසු මිහිපිට ගැහැනියකට අසා සිටිය නොහැකි ඇසැබි වදන්වලට පෙරළෙයි.

'ලෙඩ්ඩු'

එබඳු කතාවක් ගැන හෙළිදරව්වකදී පැරැණි නිළියක් පැවසුවාය.

'උඹලා වගේ අලුත් අයට නෙවේ, අපි වගේ වයසක උන්දැලටත් එහෙමයි'

ඈ මානවී අස්වසන්නට තැත් කළාය. රවිඳු නැවතත් ඇමතුමක් ලබා දුන්නේය. මානවී දුරකතනය අතට ගත්තාය.

'මම රවිඳු, නිදාගෙන හිටියා නම් සොරි'

ඔහු පැවසුවේය.

'නැහැ, කියන්න'

'මම කතා කළේ ඔයාට ආරාධනාවක් කරන්න. හෙට හවස ලයනල් වෙන්ඩ්ට එකේ ඩ්‍රාමා එකක් තියෙනවා. එන්න පුළුවන්ද?'

'අනේ සොරි. මම හෙට උදේ ගමේ යන්න කියලා'

'ගමේ කිව්වේ?'

'මගේ ගම අනුරාධපුරේ කිට්ටුව'

ඔහු හූල්ලනු ඇයට ඇසිණි.

'මොකෝ හූල්ලා වැටුණෙ'

'අපරාදේ ඔයාට අනිද්දා යන්න පුළුවන්නේ'

'බැහැ! අත්තට ටිකක් සනීප නැහැල්ලු'

'අප්පච්චියේ කොහොමද ඔයා යන්නේ'

'මම වාහනේ ඩ්‍රයිව් කරන් යනවා'

'තනියම?'

'ඔව් ඇයි?'

'නැහැ, නිකං මමත් එන්නද?'

'එතකොට ඩ්‍රාමා එක?'

'ප්‍රශ්නයක් නැහැ, ආයේ ස්ටේජ් කරයිනේ'

'මං ආසයි ඔයාගේ ගම බලන්න'

ඔහු ඇසුවේ නිහැඬියාවක් ඇති කළ පසුය.

'මොනවටද?'

'මං පුංචි කාලේ ගමට ගියාට පස්සේ ගියේ නැහැ. මං ආසයි ඔය පැත්තට ගිහින් බලන්න'

'එහෙට හරියට පායනවා'

'ළඟදී වහියි'

රවිඳු පැවසුවේ අමුතු ආකාරයටය.

'ඔයා කාලගුණ විද්‍යාවත් දන්නවද?'

'නැහැ, මෙච්චර පායන්නේ වහින්න. මම ඔයාව උදේ හත වෙනකොට ගන්නවා'

ඔහු අනතුරුව පැවසුවේ බැහැයි කියන්නට බැරි ආකාරයේ ස්වරයකිනි.

'එච්චර උදෙන්'

'ඇයි ගමනක් යන්න පිටත් වෙන්න ඕනෑ ඒ වෙලාවට. ඒ වෙලාව තමයි බ්‍රහ්ම මූර්තිය කියලා කියන්නේ දන්නවාද'

රවිඳු ඉක්මනින් කතාව නිම කළේය. මානවී ඇඳට වී පොරෝනය ලා ගත්තාය. නිවසේ කවුරුවත් නැත. ඇයට තනිකම පුරුදුය. නින්දට ගොස් ටික වෙලාවක් රවිඳු ඇගේ සිරස සිපගන්නා අයුරු ඇයට පෙනිණ. ඇය තිගැස්සී පිබිදුණාය.

ගමට යන රවිඳු පිළිබඳ වැඩිහිටියන් කවරාකාරයේ පිළිගැනීමක් කරාවිදැයි මානවී සිතුවාය. ඔහු සමඟ යන්නට කැමැති වූයේ ඇයි යන්න ඇයට සිතා ගත නොහැකිය. ආපසු කතා කොට එන්නට එපා යැයි කියන්නට මානවී සිතා ගත්තාය. දුරකතනය අතට ගත් අය එහිි අංක එබුවාය.

'විහිළුවට නෙවි උදේ පහට මං ඔතැන'

වෙනත් දෙයක් කියන්නට ඉඩ නොදී එකවරම රවිඳු පැවසුවේය.

මගේ ඇඩ්ඩ්‍රස් එක'

බලාපොරොත්තු බිඳ ගත් මානවී ඇසුවාය.

'ප්‍රශ්නයක් නෑ'

මානවීට යළි නින්ද ගියේ නැත. උදෑසන පහ දුරකතනයේ සනිටුහන් වනවාත් සමඟ එය නාද විය.

'දොර ඇරගෙන එන්න මං එළියේ'

රවිඳු පැවසුවේය. මානවීට තිබුණේ කීකරු වන්නටය. රවිඳු පැද වූ රථය වේගයෙන් ඉඟිල ගියේ ඊළග මිනිත්තු කිහිපයේය. හෙමින් යමු කියන්නට මානවීට වුවමනා වුවත් කෙළින් බලාගෙන රථය පදවන රවිඳුගේ මුහුණ දෙස ඈ බලා සිටියාය.

'ඔයා මොකටද හදිසියේ අපේ ගමේ යන්න හිතුණේ'

'මං කිව්වනේ ලස්සන බලන්න'

අලුත්ම පන්නයේ බෙන්ස් මෝටර් රථයක් වැව් බැම්මේ දූවිල්ල අවුස්සා ගෙන ගමන් කරනු ගැමියෙකු බලා සිටියේය. වැව කෙළවරින් රථය හැරුණේ වෙද ගෙදරටය. නුහුරු මෝටර් රථයක් නිවසට එනු දුටු නිර්මලා තැති ගත්තාය. රථයෙන් බැස්සේ දියණියයි. ඒ සමඟ පැමිණි අමුත්තා ඇය හඳුනා ගත්තේ ටෙලිවිෂනය දැක ඇති නිසාමය.

රථයෙන් බට රවිඳු පැරණි නිවසක අඩක් ඉතුරු කොට ගොඩනැඟුණු අලුත් නිවහන දෙස බලා සිටියේය.

'එන්න ගෙට. මේ අපේ අම්මා'

මානවී රවිඳුට ආරධනා කළේය. රවිඳු සීරුවට ගෙට ගියේ නිර්මලාට ආචාර කරමිනි.

'අම්මා මම ගමට යනවා කිව්වාම රවිඳුටත් එන්න ඕනෑ කිව්වා'

මානවී පැසුවාය. මේ ලොකු මහත්තයෙක් බව නිර්මලාගේ දුගී හදවත පැවසුවාය. මානවී නිවස ඇතුලට ගමන් කළාය. නිවස පුරා තිබුණු අලුත් පැහැය පෙරළමින් තෙල් බෙහෙත් සුවඳක් රවිඳුගේ නාස් පුඬු අතරින් ගිියේය. ඔහු මානවී පසුපස ගියේය.

ඇය ගියේ කාමරයකටය. එහි හොඳින් වාතාශ්‍රය පිරී තිබිණ. අත්තා ඇඳක් මත වැතිර සිට ඇය දැක වීරියෙන් නැඟී සිටින්නට තැත් කළේය. මානවී ඔහුගේ ඇඳ පාමුල දණ ගසා ගත්තාය. අත්තා බැලුවේ අමුත්තා දෙසය.

'මේ රවිඳු මහත්තයා අත්තාව බලන්න ආවා'

අත්තා බැගෑපත් ලෙස සිනාසුණි. රවිඳු ඔහුගේ අතින් අල්ලා ගත්තේය. වේලුණු පරඬැල් පත් මෙන් දෑත් හිමි මේ මිනිසා කලකට ඉහත මහ පොළව සමඟ ගැටුණු ශක්ති සම්පන්න මිනිසෙකු වන බව ඔහුට වැටහිණ.

'ඔහොම ඉන්න'

රවිඳු අත්තාට වාරුවක් වූයේය. කිසිවෙක් කිසිවක් කතා නොකර මොහොතක් සිටියහ. බොහෝ දේ කියන්නට සිටි අත්තා වචනයකුදු කතා කළේ නැත. ඔහු හැරමිටිය ඉල්ලා සිටියේය. අනතුරව එයට වාරු දී ගෙයින් එළියට එන්නට සැරසිණි.