වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඩී.වී.ඩීයට යන්න කියන්නේ ඇයි

ඩී.වී.ඩීයට යන්න කියන්නේ ඇයි

ඩී.වී.ඩි යට යන්න කියන්නයැයි ලියමින් මෙයට සති තුනකට පෙර ආරම්භ කළ මෙම ලිපිය අද සමාප්තිය දකින්නේ මෙරට ඩී.වී.ඩි ව්‍යාපාරයේ අවසානය සිදුවන්නේ කෙලෙසදැයි දක්වන්නටය. පසසුගිය සතියේ ඩි.වි.ඩියට අභියෝගයක් ලෙස බ්ලූ රේ පිවිසි ආකාරය හා එහි ඇති රූප මය ශක්‍යතාව පැහැදිලි කළෙමි.

එමෙන්ම මේ වන විට මෙරට ඩී.වී.ඩි වෙළඳ පොල ට ඇති ඉල්ලුම කවරේ දැයි සඳහන් කළෙමි. ලාංකික චිත්‍රපට නිෂ්පාදනයේ දී යම් ඉලක්ක සහගත ආදායමක් ඩී.වී.ඩි යක් ලෙස අලෙවි කිරීමෙන් උපයා ගැන්මට නිෂ්පාදකයන් මේවන විට බලාපොරොත්තුව සිටිති.සමහර විට එය ප්‍රදර්ශනයේ දී සාමාන්‍යයෙන් සිදු වන විවිධ කාරණා වලට බෙදීයාමකින් තොරව නිෂ්පාදකයාගේ අතට එන එකම මුදල එය විය හැක. පසුගිය සමයේ තිර ගත කළ ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයන්ට සිනමා හල් ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායමට වඩා ආදායමක් (ලාභයක් නොවේ) ඩී.වී.ඩී සඳහා අලෙවි කිරීමෙන් ලබා ගත හැකි විය.

කොටින්ම අප ගෙවා දමනුයේ ඩී.වී.ඩි ඉතිහාසයේ ස්වර්ණමය යුගයයි. එබැවින් මේ පැණි වරකාවට හෙණ ගසනවා යන්න තරමක් සිතා ගත හැක්කක් නොවේ.පෙනුමට එසේ නොවිය හැක.එහෙත් වළකාලිය නොහැකි කටුක යථාර්ථය එයයි. අප මුහුණ දිය යුත්තේ එම සත්‍යයටයි.

මේ සදහා බලපාන එක් කරුණක් නම් වර්තමානයේ තොග ගණනේ නිකුත් වන ඩී.වී.ඩී වල ඇති ප්‍රමිතියයි.දෙවැන්න තව දුරටත් ලෝකය වෙනස් වන බව ඉක්මනින් අවබෝධ කර ගැන්මට ඇති අකමැත්තයි.පසුගිය කාලයේ ඩී.වි.ඩී ව්‍යාපාරය ජනප්‍රිය වන්නට වන්නට සිනමාවේ නියැළි සිටි සමහරුන් පවා ඩී.වී.ඩී. චිත්‍රපට නිෂ්පාදනයට යොමු විය.ඉතා ජනප්‍රිය චිත්‍රපට රැසක් තැනූ නිෂ්පාදක රාජ් රණසිංහ වැන්නන් ප්‍රදර්ශනයේ සිදු වූ අලකලංචි සමග ඩී.වී.ඩීය වෙනුවෙන්ම නිෂ්පාදනයට අත තබා ඇත්තේය.

සාමාන්‍ය සිනමා කෘතියකට වඩා අඩු වියදමකින් තැනෙන මේ චිත්‍රපට නිපද වූ පසු වැඩි දිනක් නොයාම අවම වශයෙන් තමා වැය කළ මුදල හෝ සපුරා ගැනීමට සමත් වෙයි. එපමණක් නොව අවම වශයෙන් ඩී.වී.ඩීය එළිදකිනවාය යන සහනය හෝ ආයෝජකයාට ලැබෙන්නේය.මේ අතරවාරයේ කිසි කලක චිත්‍රපට ලෙස එළිනොදකින ඩී.වි.ඩි. ය සඳහාම තැනෙන චිත්‍රපට වෙයි.

තරුණ සිනමාකරුවකුට නම් තම නිර්මාණ එළි දැක්විමේ ක්‍රම වේදයක් වුව අපේ රටේ මෙම ඩී.වී.ඩි. බහුතරයක් කරනුයේ ජාවාරමක් හැටියටය. ජාවාරම සහ ව්‍යාපාර යනු දෙවර්ගයකි. මෙරට බහුතරයක් ඩීවීඩි සඳහා තැනෙන නිර්මාණ සමහරක් ජාවාරම්ය. නැත්නම් එදා වේල හමුබු කරන වැඩය. එසේත් නැත්නම් දා ගත හැක මල් කෙල්ලො දැලේ ජාතියේ වැඩය.

එයින් මෙරට ඩී.වී.ඩී. ව්‍යාපාරයේ ප්‍රගතියට වන්නේ බලවත් අවැඩකි. නිර්මාණශීලී පරම්පරාවකට ගොඩ නැගිය හැකිව තිබුණ පදනමක් එමගින් විනාසව යයි. ලෝකයේ බොහෝ රටවල සිනමා ශාලා සඳහා පමණක් නොව ගෘහස්ථ තිර ගත කිරීම සදහා ද කෘතින් නිර්මාණය කරති. නොඑසේ නම් ප්‍රදර්ශකයන් විසින් තිර ගත කරවීම සඳහා බාර නොගනු ලබන චිත්‍රපට ද එලෙස ගෘහස්ථ සිනමා නිර්මාණ ලෙස රසිකයා වෙත සමීප වෙති.

එමෙන්ම පැරණි චිත්‍රපට ද අප විසින් නිරන්තරයෙන් නරඹන ලද්දේ ලොව පුරා විහිදුණ ගෘහස්ථ සිනමාවට පින්සිදුවන්නටය. එබැවින් එය ඉතා අතමිට සරු කරවන ව්‍යාපාරයක් බැව් අමුතුවෙන් කිවයුතු නැත. පසුගිය කාලයේ මෙරට ඩී.වී.ඩි ව්‍යාපාරය පවා දළුලා වැඩෙන්නට ගත්තේ වර්තමාන ලෝක සම්මුතියට අනුවය. ලෝකයේ නම් එය බ්ලූ රේ දක්වා අනුවර්තනය වීම වෙනම කතාවකි.

අපේ ඩී.වී.ඩි කර්මාන්තයට එක් සතුටු දායක පුවතක් වනුයේ තිස්ස නාගොඩවිතාන, සුනිල් ටී. ප්‍රනාන්දු වැනි ප්‍රධාන පෙළේ නිෂ්පාදකයන් ද මෙම ව්‍යාපාරයට එක්වීම ය. එහෙත් තවමත් බොහෝ විට වෙළඳ පොලෙන් අපට මිලයට ගන්නට සිදුවනුයේ තත්වයෙන් බාල නැතහොත් ප්‍රමිතියෙන් බාල තැටියකි.චිත්‍රපටයක් ඩී.වී.ඩියකට අනුවර්තනය කරද්දි කළ යුතු මූලික තාක්ෂණ සිද්ධාන්ත පවා අනුගමනය කරන්නට කිසිවකුට හෝ වුවමනාවක් නැති ගානය.

නැතහොත් සිංහල චිත්‍රපට නිෂ්පාදනයේ දී බොහෝ විට කෙරෙන්නාක් මෙන් මොකක් හෝ අටවා එළියට දැමීමක් කිරීමය. බොහෝ දෙනා ඩිවීඩි පටයක් මිළයට ගන්නේ එහි රූපය ද ශබ්දය ද වඩා හොඳීන් රස විඳීමේ අවශ්‍යතාව සලකමිනි. මෙරට අලෙවි කරන ටෙලිවිෂන හා ගෘහස්ථ සිනමා උපකරණ සමහර සිනමාහල ඇති උපකරණ වලට වඩා හොඳ බව නොරහසකි. කොටින්ම අද සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රධාන පෙළේ සිනමා මණ්ඩලයක කොළඹ ප්‍රධානම සිනමා හලේ ප්‍රක්ෂේපණයට වඩා හොඳීන් චිත්‍රපට නැරඹීමට මෙරට ගෘහස්ථ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන්ට හැක.

සමහර ජංගම දුරකතන මගින් උකහා දෙනු ලබන රූප රාමු ද සමහර සිනමාහල්වලට වඩා හොඳය. අපේ රටේ 4ම් සිනමා හල් ඇත්තේ ඇඟිලි වලටත් වඩා අඩු ගණනක් වුව ද 4ම් ටෙලිවිෂන පමණක් නොව 5ම් ටෙලිවිෂන මෙරට මිල දී ගත්තවුන් එමටය.ත්‍රිමාන පමණක් නොව කවාකාර ටෙලිවිෂන ද අලෙවිය ඉහලය.

එසේ තිබියදී ඩීවීඩිය වෙළඳ පොළට නිකුත් කිරීමේ දී එයට ඉහළ ප්‍රමිතියක් සපයන්නට තරම් මෙරට ඩීවීඩි නිකුත් කරන්නන් අදිමදි කරන්නේ අමුතුවෙන් සතයක් වත් වැය වන නිසා නොව මෙරට ඩීවීඩී නරඹන්නන් ද එකල සිනමා හලට ගොඩ වැද ඕනෑම උලව්වක් කිසිදු ප්‍රමිතියකින් තොරව නැරඹූ රසිකයන් ලෙස සළකන නිසා වෙන් ද යන්න විමසිය යුතුය. නොඑසේ වන්නට මෙරට ඩී.වි.ඩි ව්‍යාපාරය මෙයට වඩා තව දුරටත් පුළුල් වනු ඇත.

පසුගිය සමයේ සිනමාහල්වලට පිවිසි අලුත් චිත්‍රපට සියල්ලම පාහේ ඩී.වී.ඩී ලෙස නිකුත් විය. එය හොඳ චිත්‍රපටයක් නරඹන්නට සිනමාහලට යන්නට අතපසු වුව ද ප්‍රේක්ෂකයන් ඒ පිළිබඳ කම්පා නොවන්නේ ඉක්මනින් ඩී.වී.ඩි. නරඹන්නට ඉඩ සැලසෙන යන විශ්වාසය නිසාය. සමහර විට සිනමාහලකට ගොඩවීම සඳහා කාලය පමණක් නොව මුදල් ද බලපායි. සමහර චිත්‍රපට නරඹද්දී සිනමාහලේ අසල්වැසි අසුනේ සිටින තැනැත්තාගේ ජංගම දුරකතනය මහ වදයක් වන අවස්ථා එමටය.

වෙනත් දියුණු රටවල් මෙන් නොව ජංගම දුරකතනය භාවිතය සම්බන්ධව පවා අපට විනයක් නැත. එය අසල්වැසියාට බාධවක් ද යන්න ගැන වත් විමසුමක් නැත. අප සිනමාහලට ගොඩ විය යුත්තේ එවැනි අනපේක්ෂිත කරදර ද විඳ දරා ගැන්මට බලාගෙනය. සමහර සිනමාහල් ඩිජිටල් වු ව ද ඒවායේ සේවකයන් තවමත් ගල් යුගයේ බැවි නොරහසකි. බොහෝ විට අඩු වැටුපකට හිමිකරුට කඹුරන සිනමාහල් සේවකයා එම වාඩුව ගන්නේ ප්‍රේක්ෂකයා ගෙනි. මේ සියල්ල විසඳාලන හැකි මාර්ගයක් බවට පත්වූයේ ඩීවිඩී යයි.

එහෙත් සිනමාකරු විසින් උසස් තාක්ෂණයෙන් යුතුව සිනමාහලට නිර්මාණය කරනු ලබන චිත්‍රපටය එබඳු ප්‍රමිතියකින් තොරව ඩි.වී.ඩී පටයක් බවට පරිවර්තනය කිරීම මෙරට සිනමා රසිකයන්ට පමණක් නොව සිනමාකරුවනට පවා කරන අසාධාරණයකි. කොටින්ම මේ වන විට ලෝකය බ්ලූ රේ පිටපත් නිකුත් කරද්දී අප තවමත් ඩී.වී.ඩි.වල රැඳීම සමාවට කරුණක් වුවත් එහි ප්‍රමිතිය බාල කිරිම නම් සමාව දිය හැක්කක් නොවේ. කොටින්ම ප්‍රසන්න විතානගේ වැනි සම්භාවනීය සිනමාකරුවකු චිත්‍රපටයේ රූපයට මෙන්ම ශබ්දයට ද ලබා දෙනුයේ එක හා සමාන අවධානයකි.

ඔහුගේ මෙයට පෙර නිකුත් වූ මචං හෝ ආකාස කුසුම් වැනි චිත්‍රපට මෙරට ඩී.වී.ඩී. වෙළඳපොළට පිවිසෙනුයේ 5:1 ශබ්ද ක්‍රමය සහිතව වුවත් ඔහුගේ ඔබ නැතුව ඔබ එක්ක තැටියට නැගෙනුයේ 2:1 ශබ්ද රටාව අනුවය. මේ උදාහරණයක් පමණී. ප්‍රවේගය, කුස පබා, පත්තිණි, හෝ ගාන පොකුණ, වැනි මෑත එලි දුටු ඩී.වී.ඩි. අප දකිනුයේ එම අඬුලුහුඬු කම සහිතවය. එය නිසි ආකාරයෙන් නිකුත් කිරීමට කිසිසේත් අමතර සතයක් වත් වැය වන්නේ නැත. ඩී.වී.ඩී. ධාරිතාවේ වෙනසක් වනුයේ ද නැත. අද මෙරට අලෙවි වන බහුතරයක් ගෘහ සිනමා උපකරණ පවා 5:1 ශබ්ද ක්‍රමයෙන් යුක්තය.

එයටත් වඩා දියුණු 7:1 හෝ 9:1 වැනි ශබ්ද ක්‍රම සහිත උපකරණ ද අද සුලබය. එහි රූපයේ තත්වය කෙතරම් බාලදැයි සැසදිය යුත්තේ මේ චිත්‍රපට ඩ්ච්,3ච් හෝ 4ම් ටෙලිවිෂනයක් ඔස්සේ නරඹන විටදීය. අපට අපේ සිනමාව ගැන දුක හිතෙන්නේ එවිටය. එපමණක් නොව හොර පාරෙන් දකින පැරණි චිත්‍රපට වල මෙන්ම අද නීත්‍යානුකූල ව නිකුත් වන පැරණි සිංහල චිත්‍රපට ඩී.වි.ඩි වලද තත්වයේ වෙනසක් නැත.වෙනස ලේබලයේ පමණි. ග්‍රැමෆෝන් තැටියක් වර්තමානයේ නව තාක්ෂණයට අනුව නිකුත් කිරීමේ දී එහි පැවැති පැරණි ශබ්ද දොස් සියල්ල නිදොස් කිරිම සුලබය.

එයට හේතුව නව යන්ත්‍රවල පැරණි ආකාරයෙන් සවන් දිය නොහැකි හෙයිනි. ඒ ඉතා සියුම් ශබ්ද පවා එමගින් ඉස්මතු කරන හෙයිනි. ඉන්දියාව ඔවුන්ගේ පැරණි චිත්‍රපට ඩී.වී.ඩී ලෙස එළි දක්වන්නේ මුල් පිටපත් වල ඇති දෝෂ පරිගණක මගින් මකා දමමිනි.නැතහොත් එම චිත්‍රපට බලා සිටීම ඉතා අපහසුය. එහෙත් අප එබඳු චිත්‍රපට එලි දක්වනුයේ සියලු දුක්ඛ දොමනස්සයන් රසිකයා වෙත යොමු කරලමිනි.මේ සියල්ල ඩී.වි.ඩි. කර්මාන්තයේ ස්වර්ණ යුගය නිම කිරිමට අනියමින් හේතු වන්නේය. මේ දෝෂ නිවැරදි කිරීම කළ යුතුය. කළ හැක.

මේ වන විට අන්තර්ජාලයේ වේගය ඉමහත්ය. එය අපට ගෙනෙනුයේ දැනුම පමණක් නොවේ අද වන විට අන්තර්ජාලය හරහා චිත්‍රපට පෙන්වීම මහා පරිමාණ ව්‍යාපාරයක් ව ඇත. එමඟින් නැරඹීමේ වේගය වඩා ලාභ දායි සහ ඉක්මන් වෙමින් පවතී. මෙතුවක් හොරෙන් බා ගත් ටොරන්ට්ස් සඳහා ලොව පුරා තහංචි පැනවෙමින් පවතී.

කික් ඇස් වැනි ඩවියකට විරුද්ධව නඩු පැවරිණ. සමහර ටොරන්ට් අඩවි සෝමාලියාව වැනි ලෝකයේ කවර නිතියක් වත් නැති රට වලට රිංගා ගෙන ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇත්තේ එබැවිනි. ඒවායේ ද පැවැත්ම තාවකාලිකය. එබැවින් මුදල් ගෙවා ඉතා ලාබයට චිත්‍රපට අන්තර්ජාලය හරහා දැක ගැනීමේ ක්‍රම වේදය ආරම්භව ඇත්තේය. අවශ්‍ය ස්මාට් වීම පමණි.

ලොව පුරා මෙම අලුත් තත්වය ආරම්භ කරන ලද්දේ නෙට්ෆ්ලික්ස් සමාගම මගිනි. 1997 වසරේ දී ඩීවීඩි අලෙවි කිරීම සදහා රීඩ් හාස්ට්ං සහ මාක් රැන්ඩොල්ෆ් ගේ දායකත්වයෙන් ඇරඹි එම සමාගම පසුගිය කාලයේ ලෝකයේ චිත්‍රපට නැරඹීමේ සම්ප්‍රදාය තවත් පුළුල් කරන ලදදේ ඔන් ලයින් ක්‍රමයට චිත්‍රපට නැරඹීම ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය කරවීමෙනි.

1997 දී ඇරඹි කේබල් හෝ සැටලයිට් මගින් ටෙලිවිෂනය මගින් තමන් රිසි පරිදි චිත්‍රපට ටෙලිනාට්‍ය නැරඹීමේ ක්‍රමවේදය (ධ්ර්‍ථඊඍ)වඩා පුළුල් ආකාරයෙන් ලොව පුරා ගෙන යන ලද්දේ නෙට්ෆ්ලික්ස් මගිනි. අද ලොව පුරා ඔන්ලයින් ක්‍රමය අනුගමනය කරන සිනමා සමාගම් බිහි වමින් පවතින අතර එයින් විපුල ඵල නෙළා ගත හැකි වනුයේ තරුණයන්ගේ සිනමාවටය.

නෙට්ෆ්ලික්ස් සමාගම ගැන ලැබෙන අලුත්ම ආරංචිය එය පසුගියදා සිංහල චිත්‍රපටයක් මිළ දී ගත් වගය. ඒ සදහා චිත්‍රපටයක් ඉදිරිපත් කරවීම තවමත් වියදම්කාරී එකක් වුවත් එමගින් ලැබෙන ආදායම ඉහල එකකි.

ආරංචියේ පරිදි මුල් වරට ලාංකික චිත්‍රපටයක් නෙට්ෆ්ලික්ස් මගින් මිළයට ගැනීම හොඳ ප්‍රවණතාවක් සේ දැකිය හැක. එය හැම සිනමාකරුවක්ටම නොලැබෙන වරප්‍රසාදයක් වුව අද එබඳු සමාගම් රැසක් ලොව පුරා බිහි වෙමින් පවතී. මේ වන විට නෙට්ෆ්ලික්ස් ව්‍යාප්ත නොවී ඇත්තේ මුලු මහත් ලෝකයෙන්ම චීනයේ පමණය. ලංකාවේද නෙට්ෆ්ලික්ස් අනුගමනය කළ ව්‍යාපාර රැසක් දැනටමත් තරග වදිති.

මාසිකව ඉතා සුළු මුදලකට අන්තර්ජාල සපයන්නන් ගෙන් පමණක් නොව නෙට්ෆ්ලික්ස්, ඇමේසන් වැනි ආයතන මගින් හෝ ලෝකයේ තැනෙන අලුත් චිත්‍රපට කරදරයකින් තොරව තමන් කැමැති වෙලාවට නැරඹිම සරළ කාරණාවකි. එයට වැය වන මුදල බොහෝ විට දැරිය හැකි එකකි. වයිෆයි වේගය ඉක්මවා ලබන වසරේ දී පමණ එළිදකින ලයිෆයි සමඟ නව ක්‍රමවේදයන් අදටත් වඩා ඉක්මනින් රසිකයා වැළද ගනු ඇත. එහිදී අපේ සිනමාව තවත් අර්බුදයකට මුහුණ දිය යුතුය.

ඒ එවැනි සිනමා ප්‍රදර්ශණ ක්‍රමවලට අනුගත වෙමිනි. එය ඩී.වී.ඩියට ඇති තැන පහසුවෙන් උදුරා ගන්නා බව කිසිසේත්ම රහසක් නොවේ. 2018 වන විට ලොව පුරා සියලු ටෙලිවිෂන නාලිකා ඩ්ච් ක්‍රමයට අනුගත විය යුතුය. එය සිනමාවේ ඩිජිටල් ගැටලුව මෙන් කාල් ගාමින් සිටිය හැක්කක් නොවේ. අනෙක් කරුණ නම් පරිගණකය ආරම්භයේ දත්ත සැපයීම සඳහා උපයෝගී කර ගත් ෆ්ලොෆි අවලංගු වූ ආකාරයට තැටිය ද අවසන් වන අන්දම පෙනී යාමයි. අද තැටියටත් වඩා දත්ත ප්‍රවාහණ ක්‍රම ඇත්තේය.

අයි පෑඩ් වල හෝ ටැබ් වලින් ඇරඹි තැටි ධාවකය අහිමි වීම නවතම ලැප්ටොප් වලට ද එළැඹෙමින් පවතී. වර්තමාන ගූගල් ලැප්ටොප් පරිගණකය මේ වන ව්ටත් නිකුත් වනුයේ තැටි ධාවකයකින් තොරවය. අපි ඩී.වී.ඩි.යටත් යන්න කියන්නේ ඒ නිසාය.