වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මානය මට වටිනවා

සරසවිය සම්මානය මට වටිනවා

අර්ජුන් කමලනාත්

අර්ජුන කමලනාත් කියන්නේ අනූව දශකයේ අග භාගයේදී අපේ දේශීය සිනමාවට සම්බන්ධ වුණු රංගන ශිල්පියෙක්. අහම්බයෙන් සිනමාවට සම්බන්ධ වුණත් සිනමාව වෙනුවෙන් කැප වී කටයුතු කරන කලා ශිල්පියකු විදියටත් අර්ජුන ප්‍රසිද්ධයි. රංගනයෙන් පමණක් නොව අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනයෙනුත් ඔහු දේශීය සිනමාවේ යහපත් හෙට දවසක් වෙනුවෙන් නිර්මාණකරණයේ නියැළී සිටින ක්‍රියාශීලි කලාකරුවෙක්.

2005 වසරේ පැවැති සරසවිය සම්මාන උලෙළ විචිත්‍රවත් කරන්න අර්ජුනත් සිය දායකත්වය ලබා දුන්නා. එහිදී ඔහු සම්මානයටත් පාත්‍ර වුණා. ඒ නැඟි එන නළුවාට හිමි සම්මානයෙන්. එයින් දශකයකට පසුව එදා සම්මානනීය වූ අවස්ථාව ගැන අර්ජුන කිව්වේ මෙහෙම දෙයක්.

“නැඟි එන නළුවාට හිමි සම්මානය ගැන අදහසක් මගේ හිතේ කොහේවත් තිබුණේ නැහැ. ඒ වෙනකොට මම ‘ජොලි හලෝ 1’, ‘ජොලි හලෝ 2’, ‘ගිනි ගත් හෝරාව‘, ‘තිසරාවි’ ඇතුළුව චිත්‍රපට විස්සකට විතර රංගනයෙන් දායක වෙලා තිබුණා. 2005 වසරේ සරසවිය සම්මාන උලෙළේ අනූෂා දමයන්ති සමඟින් නර්තන අංගයකට මට ආරාධනා කළා. ඒක ඉදිරිපත් කරලා වේදිකාවෙන් පිටවෙනකොටම නැඟි එන නළුවාට හිමි සම්මානය වෙනුවෙන් මගේ නම නිවේදනය කළා. ඒ වෙනකොට මම ඇඳුම් මාරු කරන්න යන ගමන් හිටියේ. ඉතිං ඒ නිසා සම්මානය ගන්න මම ආපසු හැරිලා වේදිකාව ඇතුල් පැත්තෙන්ම ඇවිත් ඇතුල් පැත්තෙන්ම ආපසු ගියා.

හැබැයි ඉතිං මට නැඟි එන නළුවාට හිමි සම්මානය ලැබුණේ ප්‍රධාන චරිත ගොඩකුත් ඉදිරිපත් කළාට පසුව තමයි. “

* දැන් ඔබ සම්මාන උලෙළවල දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි ?

සම්මාන උලෙළ ගැන මට එතරම් පැහැදීමක් නැහැ. අපේ රටේ සම්මාන උලෙළ පවත්වන අය ජනප්‍රිය කියන්නේ මොකක්ද කියන එකවත් හරියට දන්නේ නැහැ. ඔවුන් ජනප්‍රිය නළු නළු නිළියන්ට හිමි සම්මාන දෙන්නේ කවුරුවත් හඳුනන්නේවත් නැති අයට. එස්එම්එස් වලින් මිනිස්සු තරු තෝරනවා කියලා මම නම් හිතන්නේ නැහැ. මේක මවාගත්තු දෙයක්. සම්මාන උලෙළ සමඟින් මට තරහක් නැහැ. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් මම කිසිම සිනමා සම්මාන උලෙළකට සහභාගි වෙන්නේ නැහැ.

සම්මාන උලෙළවල මට තිබුණේ කුඩම්මාගේ සැළකිලි. අද ඊයේ නෙවෙයි. සම්මාන උලෙළ කිහිපයකම පෙනි පෙනී මට අසාධාරණ සිදු වුණා. ඒ නිසා මින් මතුවට කිසිම සිනමා සම්මාන උලෙළකට නොයන්න තීරණයක් අරගෙනයි ඉන්නේ. හැබැයි මේ සම්මාන උලෙළවල සම්මාන ගන්නේ අපේ ක්ෂේත්‍රයේ අයනේ. ඔවුන්ට මම ආශිර්වාද කරනවා.

* ක්ෂේත්‍රය ගැන කළකිරීමෙන්ද ඉන්නේ?

සම්මාන නොලැබුණා කියලා චිත්‍රපට කෙරෙන එක නවතින්නේ නැහැ නේ. මම තවමත් අවුරුදු දහඅටක් තිස්සේ ක්ෂේත්‍රයේ ඉන්නවා. සම්මාන ගත්තු ඇතැම් අය හොයන්නවත් නැහැ. මම හිතන්නේ සම්මානය යි රටේ මිනිස්සුයි ඉන්නේ පරස්පර තැනක. අද සම්මාන රැඳී තියෙන්නේ හිතවත්කම්, ලාභ වැනි දේවල් මතයි. ඒ නිසා සම්මාන උලෙළ මට අදාළම නෑ. නමුත් නැඟි එන නළුවාට හිමි සම්මානය ලැබුණාම සන්තෝසයක් දැනුණා.

මොකද සරසවිය සම්මාන උලෙළ කියන්නේ බොහොම වටිනා සිනමා සම්මාන උලෙළක්. ජීවිතේ ප්‍රථමවතාවට සම්මානයක් ලැබුණා නේද කියලා තෘප්තිමත් බවකුත් දැනුණා. මම මගේ අම්මා, තාත්තා නිසා සිනමාවට සම්බන්ධ වුණු කෙනෙක් නෙවෙයි. අපේ පවුලේ කිසි කෙනෙක් සිනමාවට සම්බන්ධ නැහැ. මම පාරේ යනකොට අරගෙන නළුවෙක් කළ කෙනෙක්. එ නිසා මේක මම තනියෙන් ආපු ගමනක්. එහෙම කෙනෙකුට සම්මානයක් ලැබුණාම හරි බරයි. ඒක එදා සරසවිය සම්මාන උලෙළේදී මට දැනුණා. ඒක මට වටිනවා.

* සරසවිය නැඟී එන නළුවා වෙන්න පෙර සිනමාවට පැමිණි මුල් කාලයේ ගමන කොහොමද?

ඇත්තටම මම සිනමාවට පැමිණි කාලයේ සිංහල සිනමාවක් තිබුණේ නැහැ. තනිකරම බොලිවුඩය අපේ රට ආක්‍රමණය කරලා තිබුණේ. සිංහල සිංදුවක් අහන්න නැහැ. සිංහල චිත්‍රපටයක් බලන්න නැහැ. ජනප්‍රියයි කියන නළුවොත් ලංකාව දාලා ගියා. ඒ කාලයේ හිටියේ මම විතරයි. මං ක්ෂේත්‍රයට එනකොට තිබුණේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට. මට මුලින්ම ලැබුණේ ‘මොහොතින් මෙහොත’ චිත්‍රපටය. හැබැයි මට තිබුණේ සාමාන්‍ය දර්ශන දෙකක් විතරයි. ඊළඟට මට ලැබුණා සීත රැය කියලා වැඩිහිටියන්ට වෙන් වූ චිත්‍රපටයක්. මට තිබුණේ සිංදුවක වාඩිවෙලා ඉන්න දර්ශනයක්. මගේ වාසනාවට වැඩිහිටියන්ට පමණයි දර්ශනවලින් මිදෙනවා.

තිසරාවී එනකොට මට ප්‍රධාන චරිතය ලැබුණා. සුන්දර වරද, කන්‍යාවියගේ රාත්‍රිය, ගිනි ගත් හෝරාව වැනි චිත්‍රපටවලින් පසුව ටිකෙන් ටික ඒ රැල්ල නැති වුණා. ඒ චිත්‍රපටවලට දායක වුණු අයත් ඒ චිත්‍රපට එක්කම නැති වෙලා ගියා. මම හිටියා. මොකද ඒ චිත්‍රපටවල මට තිබුණේ සිංදුවක් නම් නැත්නම් සටන් දර්ශනයක් නම් ඒ හැම එකක්ම හොඳට කළා. අර්ජුන චිත්‍රපටයේ මොනවද කළේ කියන එක මේ චිත්‍රපට නැරඹූ අය දන්නවා. ඊට පසුව ලාල් ප්‍රියදේව මාව ජොලි හලෝ 1,2,සුනිල් සෝම පීරිස් ඔහොම හරිද, හිත හොඳ පිස්සෝ වගේ කොමඩි රැල්ලත්, සඳුනි වගේ ළමා චිත්‍රපටත් නිසා මම ක්ෂේත්‍රෙය් රැකුණා. මම දායක වුණු චිත්‍රපට දින හැත්තෑ පහ, සියය පසු කළා. ජනතාව මාව ප්‍රතික්ෂේප කළෙත් නැහැ. බොහෝ දෙනා මට පහරදීලා සමතලා කරන්න හැදුවත් ඔවුන්ට ඒක කරන්න බැරි වුණා. ඒවුණත් සිනමාවේ අමාරුම කාලයේ මම සිනමාව අල්ලාගෙන හිටියා කියන එක අද කාටත් අමතකයි.

* ඔබට සිනමාව තුළ තරගකාරීත්වයක් තිබෙනවා ද?

තරගකාරිත්වයට වඩා අපේ සිනමාව තුළ තියෙන්නේ කැපිල්ල. හැබැයි මට කවුරුවත් කපාගෙන යන්න ඉලක්කයක් නැහැ. ඒ වුණත් මේ දක්වා බොහෝ නළුවන් මට කැපිල්ල දාලා තියෙනවා. මම සිනමාවාට දායක වුණු මේ කාලය පුරාවට මම කිසිම සහෝදර නළුවෙකුට කැපිල්ලක් දාලා නැහැ. කවදා හරි දවසක ඒ වෙනුවෙන් මට සත්‍යක්‍රියාවක් වුණත් කරන්න පුළුවන්. ඒ වගේම මේ කිසිම නළුවෙක් මට අභියෝගයකුත් නෙවෙයි.

* සිනමාව තුළ ඔබේ දායකත්වය දැන් පුළුල් ?

සිනමාව වෙනුවෙන් මා විසින් කළ යුතු දේ මම අනිවාර්යයෙන්ම කරනවා. රංගනය වගේම චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයත් නිෂ්පාදනයත් සමඟින් මගේ දායකත්වය අපේ සිනමාවට ලැබෙනවා. දැන් ‘කුල් නෙත් මීඩියා’ මගේ ස්ටුඩියෝ එකෙන් චිත්‍රපට කරන්න අපහසු අයට පසු ගෙවීමේ ක්‍රමයට චිත්‍රපටත් නිර්මාණය කරලා දෙනවා.

මට මගේ නිර්මාණ තුළින් ලාබ ලැබුණොත් කරන්න පින් කටයුතු බොහොමයක් තියෙනවා. මගේ එකම ඉලක්කය එය යි. මම දැන් පන්සලකුයි දේවාලයකුයි හදනවා. ඒ පුණ්‍යස්ථාන දෙකේම වැඩ නිම කරන්න ඕනි. ඒ වගේම විශාල ඉඩමක් අරගෙන මහමඟ අසරණ වූ සුනඛයින්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් විශාල වැඩ කටයුත්තක් ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා. එදා මම පොඩි තැනකින් ඇවිත් අද ඉන්න තැන ගැන මට හරිම ආඩම්බරයි.