වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




රුහුණෙන් තරුවක්

රුහුණෙන් තරුවක්

මෙරට රංගන පරම්පරාවට විලාසිතා ලෝකයට වැඩි වැඩියෙන් අලුත් මුහුණු අවශ්‍යව ඇත. බොහෝ නිර්මාණකරුවන් අලුත් මුහුණක් අවැසිතැන අමතන්නේ සරසවියයි. එවිට ලැබෙන ප්‍රතිචාර ඉමහත්ය. මෙතුවක් පැවැති සම්ප්‍රදායය වෙනස්කරමින් සිරිලකපුරා සැඟව සිටින රංගන ක්ෂේත්‍රයට අවතිර්ණවීමට කැමැති අලුත් පරම්පරාවක් සොයායාමට සරසවිය තීරණය කළේය. එබැවින් දිනමිණ ගම්නගර චාරිකාව සමඟ එක්ව පසුගියදා දකුණුලක සුන්දර පුරවරයක් වූ වැලිගම නගරයට රුහුණේ තරුවක් යන මැයෙන් අප තාරකා සොයා ගියෙමු. අපට ලැබුණු ප්‍රතිචාර මවිත කරවන සුළුය. රඟපෑමට විලාසිතා ලොවට එක්වන්නට කැමැති බොහෝ දෙනෙකු එදා වැලිගම චාන්දනී සිනමා ශාලාවට ගොඩවැදිණ. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී ඔබේ නගරයට පිවිසෙන වග අප සතුටින් දැනුම් දෙමු.

ප්‍රේමසිරි නාරසිංහ

ප්‍රේමසිරි නාරසිංහ කියන නම සරසවියට හොඳට හුරුයි. ඔහු කලක් තිස්සේ සරවියට ලියූ අපේ පාඨකයෙක්. ප්‍රේමසිරි ද කලක සිට රංගන කටයුතුවලට සහභාගි වුණා. මහතලා හටන ඇතුළු නාට්‍ය ගණනාවක ඔහු චරිත මවලා තියෙනවා. ප්‍රේමසිරි කැමැතිම අධ්‍යක්ෂවරයා තමයි උදයකාන්ත වර්ණසූරිය. ඔහුගේ ගම මාතර.


නාමල් කොළඹආරච්චි

ටෙලි නාට්‍ය දහයකට වඩා රංගනයෙන් දායක වී ඇති කෙනෙක් තමයි නාමල් කොළඹආරච්චි. ඔහු එදා වැලිගම චාන්දනී සිනමා ශාලාවට ආවේ සිනමාපටයකට දායකවීමේ අභිලාෂයෙන්. නාමල්ගේ ගම අකුරැස්ස. උදයාකාන්ත වර්ණසූරිය සහ තිෂූල දීප තඹවිට ආදී නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට දායකවීමට ඔහු කැමැත්තෙන් ඉන්නවා.


ඉන්දික සුජීව

මේ ඉන්දික සුජීව. ඔහුගේ ගම මාතර. ඉන්දික මීට පෙර කිසිම නිර්මාණයක රඟපාලා නැහැ. රඟපාන්න අවස්ථාවක් හොයාගෙන තමයි ඉන්දික එදා වැලිගම චාන්දනී සිනමා ශාලාවට ආවේ. ඔහු කැමැතිම චිත්‍රපටය තමයි ප්‍රවේගය. ඒ වගේම හා හා පුරා කියලා සුගත් සමරකෝන්ගේ නිර්මාණයකට දායකවීමට කැමැත්තෙන් ඉන්නවා.