වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




කුමාර සිරිවර්ධනගෙන් පරිවර්තන කෘති හයක්

කුමාර සිරිවර්ධනගෙන් පරිවර්තන කෘති හයක්

රාජ්‍ය සම්මානලාභී පරිවර්තක කුමාර සිරිවර්ධනගේ අලුත්ම පරිවර්තන කෘති පහක් 2016 සාහිත්‍ය මාසය වෙනුවෙන් දැන් නිකුත්වී තිබේ. ප්‍රකට හා සම්භාවනීය ලේඛකයන් වූ ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ ‘මෑන් ඉන් දි අයන් මාස්ක්’ හා වික්ටර් හියුගෝ ගේ ‘ද ලාෆිං මෑන්’ පිළිවෙළින් ‘යවෙස් ලූ මිනිසා’ සහ ‘විප්පයෝගය’ යන නම්වලින් කුමාර අතින් සිංහලට පරිවර්තනය වී ඇත.

අමෙරිකාවේ සම්මාන දිනූ ලේඛිකාවක වූ කැතරින් ලැස්කි, වහල් යුවතියකගේ පලා යාම අළලා ලියූ ‘ටෲ නෝර්ත්’, ‘මකුළු දැලේ යුවතී’ නමින් පාඨකයන් වෙත තිළිණ වෙයි. ජොහානා වයිස්ගේ ‘ද ස්විස් ෆැමිලි රොබින්සන්’, ‘දූපතක හුදකලාව’ නමින්ද ටී. ලොබ්සාං රම්පාගේ ‘කේව් ඔෆ් දි ඒන්ෂන්ට්ස්’, ‘මායා ලෝකයේ සැරි සරන ආත්ම’ නමින්ද නිකුත් වී තිබේ.

එඩ්ගාර් රයිස් බරෝස් ගේ ‘මූන්’ තුන් ඈඳුතු නවකතාව ‘චන්‍ද්‍ර කන්‍යාව’ නමින් සාහිත්‍ය මාසයට පෙරම වෙළෙඳ පොළට නිකුත් විය. කුමාර සිරිවර්ධන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයෙන් හා බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය.


රජසිහ ගී සර දිස් වූ හැටි

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය පෙරදිග සංගීත අංශයේ ගුරුභවතුන් විසින් සංවිධානය කොට ඉදිරිපත් කළ ‘රජසිහ ගී සර – 2016’ සංගීත ප්‍රසංගය පසුගියදා එම විද්‍යාලයීය ශාලාවේදී පැවැත්විය. සිසුසිසුවියන් තිස්තුනකින් සමන්විත අංග සම්පූර්ණ වාදක මණ්ඩලයක දස්කම්ද ප්‍රාසාංගික ගීත රැසක් සහ නර්තනාංග කිහිපයක්ම කරළිය මත දිස් විය. විදුහල්පති ජගත් ප්‍රියශාන්ත සූරසේන ගේ සංකල්පයක් මත සංවිධානය කළ මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සංගීත ආචාර්ය විශාරද සාරංග චූලසිංහ ගෙනි.


සමන්තගේ තනි තරුව 24දා

සමන්ත විජේරත්න විසින් පස්වන වරටත් පවත්වන ‘තනි තරුව’ ඒක පුද්ගල ගී ප්‍රසංගය සැප්තැම්බර් 24 වැනිදා දොඩම්ගොඩ මිරිස්වත්ත ජාතික පාසල ශ්‍රවණාගාරයේදී පැවැත් වේ. සමන්ත විජේරත්න විසින් මෙම ප්‍රසංගයේදී නව ගීත නිර්මාණ පහක් ද ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි. මෙම ප්‍රසංගය සංගීතවත් කෙරෙන්නේ කැප්රා සංගීත කණ්ඩායම විසිනි. දොඩම්ගොඩ මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පාසල් සමයේ සිටම ගීත ගායනයට යොමු වූ ඔහු සිය ප්‍රථම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වූයේ 1997 වසරේදීය.