වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




යාපනේ එන්න මල් පිපේ දැයි බලන්න

යාපනේ එන්න මල් පිපේ දැයි බලන්න

‘යාපනය අන්තර්ජාතික උලෙළ’ පිළිබඳ අනෝමා රාජකරුණා සමඟ කතාබහක්...

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ අපේ රටේ සිනමාවේ හෙට දවස වෙනුවෙන් වූ සුවිශේෂ සිනමා උලෙළක් ලෙස විශේෂ වේ. නිදහස් සිනමාවක අසිරිය යාපනයට කැඳවාගෙන එමින් යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වරටයි. හෙට (සැප්:23) ආරම්භ කෙරෙන සිනමා උලෙළ ලබන 27 වැනිදා තෙක් පවත්වන්නට කටයුතු යොදා තිබේ.

මේ වසරේදී කාන් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලද කෙන් ලෝච් අධ්‍යක්ෂණය කළ I, Daniel Blake නම් බ්‍රිතාන්‍ය චිත්‍රපටයෙන් ඇරඹෙන මෙවර උලෙළේ රටවල් රැසක් නියෝජනය කරමින් සිනමා නිර්මාණ හැටකට වැඩි ප්‍රමාණයක් තිරගත කිරීමට නියමිතය. සමාප්තිය සනිටුහන් කරන්නේ වැනිස් සිනමා උලෙළේ දී සම්මානය පාත්‍ර වූ වෙට්‍රි මරන් අධ්‍යක්ෂණය කළ Visaranai චිත්‍රපටය යි. යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ අධ්‍යක්ෂිකාව ලෙසින් මෙවරත් කටයුතු කරන්නේ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසිනි. ඇය මෙවර සිනමා උලෙළ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ මෙවර නියෝජනය කරන්නට සූදානම්ව සිටින්නේ කුමන රටවල්ද?

බෙල්ජියම, ඩෙන්මාර්කය, ජර්මනිය, ඉතාලිය, රොමේනියාව, පෝලන්තය, ස්ලෝවැකියාව, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, ලෙබනනය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, කැනඩාව, මියන්මාරය, බංග්ලාදේශය, නේපාලය, නයිජීරියාව සහ පකිස්තානය වැනි රටවල් මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කරනවා. මෙම රටවල් නියෝජනය කරමින් එහිදී වෘතාන්ත, වාර්තා සහ කෙටි චිත්‍රපට යන අංශ තුන යටතේ චිත්‍රපට හැටකට වැඩි සංඛ්‍යාවක් තිරගත කරන්න සූදානම්.

පසුගිය වසරේ පැවැති ප්‍රථම යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ සමඟින් සැසඳීමේදි මෙවර උලෙළේ වෙනස්කම් සිදු වී තිබෙනවාද?

අපි පසුගිය වසරේ පැවැත්වූ ප්‍රථම යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේදී මෙන් ජීවිතයේ වරක් පමණක් පිදෙන යාවජීව සම්මානය සහ හොඳම කුළුඳුල් චිත්‍රපටය වෙනුවෙන් සම්මානයක් පිරිනමන්න කටයුතු යොදලා තියෙනවා. මෙවර අපි යාවජීව සම්මානය පිරි නමන්නේ, කේ. පී. කේ බාලසිංහම් වෙතයි. යාපනයේ උපන් ඔහු ශබ්ද පරිපාලකවරයෙක් ලෙසින් විජය චිත්‍රාගාරය ඇතුළු දකුණේ චිත්‍රාගාරවල සේවයේ යෙදෙමින් දේශීය සිනමාවට සිය දායකත්වය ලබා දුන්නා.

ඊට අමතරව පසුගිය වසරේදී අපි ප්‍රේක්ෂකාගාරයේ ඡන්දයෙන් ජනප්‍රියම කෙටි චිත්‍රපටය තෝරා ගත්තා. එය මෙවර සිදු වුවත් අන්තර්ජාතික ජූරියක් විසිනුත් හොඳම කෙටි චිත්‍රපටය තෝරා ගන්න කටයුතු යොදලා තියෙනවා. ඒ නිසා මෙවර සිනමා උලෙළේ සම්මාන ප්‍රදානයේදී තවත් සම්මානයක් එකතු වී තියෙනවා. ඊට අමතරව ගිය වතාවේ සම්මාන වෙනුවෙන් නිර්මාණකරුවන් තෝරා ගත්තේ විචාරක ජූරියක් විසින්. නමුත් මෙවර ජූරිය අන්තර්ජාතික විචාරක ජූරියක්. කැනඩාව, ජර්මනිය, ඉන්දියාව, කොළොම්බියාව වැනි රටවල ජූරි සභිකයන් මේ වෙනුවෙන් සම්බන්ධ වෙනවා.

මෙවර සිනමා උලෙළේ ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ දායකත්වය ගැනත් සඳහන් කළොත්?

අපි ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගෙන් අයදුම්පත්‍ර කැඳෙව්වා. ඒ අනුව ලැබුණු නිර්මාණ අතරින් වෘතාන්ත සහ වාර්තා චිත්‍රපට යන අංශ දෙක යටතේ චිත්‍රපට හතරක් තෝරා ගත්තා. ඒ අනුව විමුක්ති ජයසුන්දරගේ නවතම සිනමා කෘතිය ‘සුළඟ ගිනි අරන්’ දකුණු ආසියානු ප්‍රදර්ශනය ආරම්භ කරනවා. ප්‍රසන්න ජයකොඩිගේ ‘28’ චිත්‍රපටයත් මෙවර උලෙළ වෙනුවෙන් තෝරා ගත්තා. ඒ සමඟින් ධර්මසේන පතිරාජගේ ‘In Search OF The Road’ නම් වාර්තා චිත්‍රපටයත් 1972 වසරේ නිර්මාණය වුණු ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපටයක් වන ‘කුත්තු විලක්කු’ මෙවර ප්‍රදර්ශනය කෙරෙනවා.

සිනමා උලෙළ වෙනුවෙන් සිනමා නිර්මාණ තෝරා ගත්තේ කුමන පදනමක සිටද?

ලෝකයේ වෙනත් අන්තර්ජාතික සිනමා උලෙළවල වගේම අයදුම් පත්‍ර කැඳවීමෙන් පසු ඒ හරහා අප වෙත ලැබුණු චිත්‍රපට අතරින් තරගකාරී අංශයට කුළුඳුල් නිර්මාණය සඳහා චිත්‍රපට තෝරා ගත්තා. එහිදී ඉන්දියාව, කැනඩාව, මියන්මාරය, බංග්ලාදේශය, නේපාලය, නයිජීරියාව වැනි රටවලින් අපට චිත්‍රපට ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට අමතරව වෙනත් අන්තර්ජාතික සිනමා උලෙළවලදී මෙන් වැඩසටහන් සම්පාදකයන් විසින් විචාරක අවධානයට ලක් වූ විවිධ සිනමා උලෙළවල සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට මේ සඳහා තෝරාගෙන තියෙනවා.

මෙම උලෙළ ඔස්සේ ඉලක්කගත කෙරෙන පිරිස සහ ඔවුන් වෙනුවෙන් තිරගත කෙරෙන චිත්‍රපට ගැනත් සඳහන් කළොත්?

සාමාන්‍යයෙන් අන්තර්ජාතික සිනමා උලෙළක ප්‍රේක්ෂකාගාරය විශාලයි. ඒ විශාල ප්‍රේක්ෂකාගාරය තුළ විවිධ පිරිස් ඉලක්ක වෙලා තියෙනවා. මෙවර උලෙළේ කුඩා ළමයින් වෙනුවෙන් ‘Paper Planes’ නමින් ඔස්ට්‍රේලියානු ළමා චිත්‍රපටයක් තිරගත කෙරෙනවා. එහි පාසල් දර්ශනයක් පවත්වන්නට කටයුතු යොදා තියෙනවා. ළමයින්ට, වැඩිහිටියන්ට, තරුණයන්ටත් විවිධ රසඥතාවයන් සහිත පුද්ගලයන්ටත් අපි චිත්‍රපට තෝරාගෙන තියෙනවා. කෙටි චිත්‍රපටකරුවන්ගේ නිර්මාණ ගත්තොත් මෙවර කෙටි චිත්‍රපට අංශයෙන් අපි තෝරන්නේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හොඳම කෙටි චිත්‍රපට පමණයි. එහිදී අපට ලැබුණු නිර්මාණ විශාල සංඛ්‍යාවක් අතරින් කෙටි චිත්‍රපට විස්සක් පමණ තෝරා ගත්තා.

යාපනය අන්තර්ජාතික සිනමා උළෙල හැමෝටම විවෘතයි. මෙම සියලුම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන්නේ නොමිලයේ.

සිනමා උලෙළට සමගාමීව සිනමාව සම්බන්ධ වූ වැඩමුළු පවත්වන්නත් සූදානම් ද?

මෙවර සිනමා උලෙළ සමඟින් සංස්කරණය, රංගනය සහ ශබ්ද පරිපාලනය පිළිබඳ වැඩමුළු තුනක් පවත්වන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙහිදී සංස්කරණය පිළිබඳ වැඩමුළුව මෙහෙය වන්නේ, අන්ඩ්‍රියා වෙන්ස්ලර් නම් ජර්මන් ජාතික සංස්කාරකවරිය විසින්. දකුණු ඉන්දීයානු ජනප්‍රිය නළුවෙකු වන ශන්මුගරාජා විසින් රංගනය පිළිබඳ වැමුළුව පවත්වනවා. ඊට අමතරව ශබ්ද පරිපාලනය පිළිබඳ වැඩමුළුව මෙහෙයවන්නේ ශ්‍යාමන් ප්‍රේමසුන්දර විසින්.

දෙවැනිවතාවට පැවැත්වෙන යාපනය අන්තර්ජාතික සිනමා උලෙළට සහයෝගය දක්වන පාර්ශව කවුරුන්ද?

අපි මේ උලෙළ ඉදිරිපත් කරන්නේ, යාපනය විශ්වවිද්‍යාලය, සිලෝන් තියටර්ස් සමගාමත් එක්ක එකතු වෙලා අජෙන්ඩා 14 ආයතනය විදියටයි. යාපනයේ අපේ සත්කාරක හෝටලය වන්නේ ජෙට්වින් ජැෆ්නා. ජාතික චිත්‍රපට සංස්ථාව, ඇන්ඩෲ ට්‍රැවල්ස් ආයතනයට අමතරව ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය වැනි රටවල තානාපති කාර්යාල, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ජර්මන් සංස්කෘතික ආයතනය වැනි ආයතන, නවද්ල්ලි, පෝලන්ත සංස්කෘතික ආයතනත් අපිත් සමඟින් මේ කටයුත්ත සඳහා එක් වී සිටිනවා.

මෙම අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා යාපනයේ සිනමා ශාලා පහසුකම් වෙන්වෙන්නේ කොහොමද?

පසුගිය වසරේ වගේම මෙවරත් යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ පැවැත්වෙන්නේ ස්ථාන තුනකදීයි. මැජෙස්ටික් සිනමා සංකීර්ණය, යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශ්‍රවණාගාරය සහ යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරය ඒ වෙනුවෙන් වෙන් වෙනවා.

අන්තර්ජාතික සිනමා උලෙළක් යාපනයේ පැවැත්වීම සේම එය පැවැත්වීමේදී ඇතිවන අභියෝගත් ඇති?

ඇත්තටම යාපනයේදී පමණක් නෙවෙයි ඕනෑම තැනක චිත්‍රපට උලෙළක් පැවැත්වීම විශාල අභියෝගයක්. එය විශාල පිරිවැයක් අවශ්‍යවන කටයුත්තක්. සිනමා ශාලා ලබාගැනීම, ප්‍රදර්ශයට චිත්‍රපට ලබාගැනීම, සම්බන්ධ වන සිනමාකරුවන්ගේ පැමිණීම, නවාතැන් පහසුකම් ආදි නොයෙකුත් දේ සිනමා උලෙළකට ඇතුළත්. නමුත් ලංකාව වැනි රටක අපට මෙවැනි උලෙළක් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබීම හුඟක් අඩුයි. ඒ වගේම චිත්‍රපට කලාව සම්බන්ධයෙන් වෙනත් ආයතනවල ලොකු මැදිහත්වීමත් සිදු වෙන්නේත් නැහැ. එවැනි අවස්ථාවක සිලෝන් තියටර්ස් ආයතනයේ දායකත්වය විශේෂයි.

ඒ වගේම පසුගිය මැයි මාසයේදී කාන් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානනීය වූ කෙන් ලෝච් අධ්‍යක්ෂණය කළ I, Daniel Blake  චිත්‍රපටය ආසියාවේ ප්‍රථම තිරගත කිරීම සිදු කරන්නේ මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේදීයි. ලංකාව වැනි රටක යාපනය වගේ කුඩා සිනමා උලෙළකට එවැනි චිත්‍රපටයක් කෙටි කාලයක් ඇතුළත ලබා ගැනීම ලොකු අභියෝගයක්. ‍එපමණක් නොව බොහෝ සම්මාන ලාභි චිත්‍රපට ලබා ගැනීමේ අභියෝගය අපට තියෙනවා.

දකුණු ඉන්දීය වාණිජ සිනමාවේ ග්‍රහණයට ලක් වූ යාපනය වගේ නැතක ප්‍රේක්ෂකාගාරයේ රසිකත්වය කලාත්මක සිනමාව කෙරෙහි දක්වන නැඹුරුව කෙතරම්ද කියන එකත් විශේෂ අභියෝගයක්. අපි ඇත්තටම උත්සාහ කරන්නේ වෙනස් ආකාරයේ සිනමාවක් ලෝකයේ පවතින බව මේ ප්‍රේක්ෂකාගාරයට හඳුන්වා දෙන්නයි. ඒ සමඟින් කෙටි චිත්‍රපටකරණයේ නියැළෙන තරුණ පරම්පරාවකට ඒ සිනමාව හඳුන්වා දෙන්නත් ඔවුන්ගේ රසඥතාවය දියුණු කිරීමට යම්කිසි කාර්යය කොටසක් ඉටු කරන්නත් මේ ඔස්සේ බලාපොරොත්තු වෙනවා.

මෙම සිනමා උලෙළ අපේ රටේ සංචාරක කර්මාන්තයටත් බලපෑමක් කරනවාද?

කඳු ශිඛර තරණය කරන්න එහෙමත් නැත්නම්, වෙරළ තීරයන් ආශ්‍රිතව, පෞරාණිත නටඹුන් ආශ්‍රිතව, සිද්ධස්ථාන ආදි පාරිසරික සහ ‍ඓතිහාසික කාරණා සහ සෞන්දර්ය මුල්කරගත් සංචාරක කර්මාන්තයක් ලෝකයේ තියෙනවා. ඒ එක්කම ලෝකයේ සිනමාව සමඟින් බැඳුණු සංචාරක කර්මාන්තයකුත් පවතිනවා. නවතම චිත්‍රපට දැකබලා ගන්න ලෝකයේ විවිධ සිනමා උලෙළවලට සංචාරකයන් ඇදී එනවා. යුද්ධය නිමා වෙලා යාපනයට එන්න අවස්ථාව ලැබුණාට පසුව යාපනයට නොපැමිණි පිරිස් ඇතැම් චිත්‍රපට නරඹන්න පසුගිය වතාවේ පැවැති යාපනය අන්තර්ජාතික සිනමා උලෙළට ආවා. සිනමා උලෙළ තුළ ඔවුන් අප සමඟින් කතා කළා. ඒ අතරින් බොහෝ දෙනෙක් යාපනයට පැමිණ තිබුණේ ප්‍රථම වතාවටයි. මෙවරත් අපට එවැන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.