වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මට මං ගැන විශ්වාසයි හෂිනිකා කරලියද්ද

මට මං ගැන විශ්වාසයි

හෂිනිකා කරලියද්ද

මේ දවස්වල ස්වර්ණවාහිනිය රූපවාහිනියේ ‘ජෝඩු ගෙදර’ ටෙලි සිත්තම ඔස්සේ ඔබ හමුවට පැමිණෙන හෂිනිකා කරලියැද්ද කිසිවකුටත් අමුත්තියක නොවේ. දිගු කාලයක පටන් රංගන ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින හෂිනිකා ‘සරසවිය’ට මුණ ගැසුණේ කලකට පසුව ය. මේ ඇය සමඟ ඇගේ රංගන ජීවිතය පිළිබඳ කළ කතාබහකි.

පසුගිය දවසකයි ඔබේ උපන්දිනය එළැඹුණේ. ඒ වෙනුවෙන් විශේෂ යමක් කළා ද?

උපන්දිනය වෙනුවෙන් විශේෂයෙන් කියලා යමක් මා කරන්නේ නැහැ. නමුත් දානයක් දීලා පන්සල් යන්න අමතක කළේ නැහැ.

මේ දවස්වල ඔබ නිරතවන විශේෂ වැඩකටයුත්ත කුමක් ද?

ටෙලි නාට්‍ය කිහිපයක ම රූගත කිරීම්වල නියැළෙනවා. ඒ අතර රවීන්ද්‍ර විජේරත්නගේ ‘ජෝඩු ගෙදර’ විකාශය වෙනවා. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍ය කිහිපයක ම රූගත කිරීම් කිහිපයකට සහභාගි වන අතර වේදිකා නාට්‍යයකටත් දායක වුණා. ඒ ‘මනමාලයා’ කියන වේදිකා නාට්‍යය. එය ඔක්තෝබර් 02 වේදිකා ගතවීමට නියමිතයි. ‘මාර හොරු’ හා ‘මිට නැති කුඩ’ මා රඟපාන අනෙක් වේදිකා නාට්‍ය දෙකයි. මේ සියලු කටයුතු අතර නිවෙසේ කටයුතුවල නියැළෙන්නත් මා අමතක කරන්නේ නැහැ.

‘ජෝඩු ගෙදර’ මේ දවස්වල රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රියයි?

ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර රැසයි. ප්‍රේක්ෂකයන් පවසන්නේ ‘ජෝඩු ගෙදර’ නොවැරැදීම නරඹන බවයි. ඔවුන් ඒ ටෙලි නාට්‍යයට බෙහෙවින් ප්‍රිය කරනවා. අපටත් ඒ ඔස්සේ ලැබෙන අත්දැකීම බෙහෙවින් සුන්දරයි. මෙහි වැඩිපුර ම රඟපාන්නේ වේදිකාවට සම්බන්ධව කටයුතු කළ ශිල්පීන්. ඒ නිසා ඔවුන් සියලුදෙනා ම එකතු කරලා ටෙලි නාට්‍යයක් කරනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නොවෙයි.

කාලයකට පසුවයි මෙවැනි මුණගැසීමක් සිදුවන්නේ?

ඇත්තට ම මේ නාට්‍යයේ රඟපානවාට වඩා අප සියලුදෙනා ම බොහොම තෘප්තියක් ලබන්නේ කාලයකට පසුව අප සියලුදෙනාට ම එක්ව රඟපාන්නට ලැබීම ගැනයි.

කුමාර තිරිමාදුරගෙන් ඔබගේ රංගනයට ලැබෙන සහයෝගය කොහොම ද?

‘ජෝඩු ගෙදර’ මගේ සැමියා විදියට රඟපාන්නේ කුමාර තිරිමාදුරයි. අපි හැමෝම එකාවගෙයි මෙහි වැඩකරන්නේ. සමහර විට විහිළුවට අපි රණ්ඩු කර ගන්නවා. කුමාර අයියාව මට මුණගැසෙන්නේ වේදිකාවෙන්. ඒ චාමික හත්ලහවත්තගේ ‘රූපාගේ ප්‍රේමය සහ ප්‍රේම්ගේ රූපය’ කියන කෙටි නාට්‍යයෙන්. එදා පටන් ඇතිවුණු හිතවත්කම අප අතර අද දක්වා ම එලෙස ම තිබෙනවා. ඒ නිසා රඟපෑමේදී ඔහුගෙන් මට ලැබෙන සහයෝගයත් අප්‍රමාණයි.

‘ජෝඩු ගෙදර’ ජෝඩුවලට නම විදියට භාවිත කරන්නේත් සැබෑ නාමයමයි?

එහිදී අපේ සාමාන්‍ය ජීවිතයේ දී භාවිත කරන නම්වලිනුයි අප සියලුදෙනා ආමන්ත්‍රණය කරන්නේ. මම හෂී, කුමාරට තිරා, සුජානිට සුජා. චමිලාට චමී, දමිතාට දමී, ජයනිට ජයනි. ඒ නිසා ම බොහෝ ප්‍රේක්ෂකයන්ට ඒ නම් මතකයේ රැඳෙනවා.

අද බොහෝ නළු - නිළියන්ගේ නම් බොහෝදෙනෙකුට අමතකයි?

ප්‍රේක්ෂකයන් පවසන්නේත් ඒ කතාවමයි. ඒ වගේ කාලයක අපි වගේ නළු - නිළියන් කිහිපදෙනෙකුගේ එකමුතුව බොහොම සෞන්දර්යාත්මකවයි ප්‍රේක්ෂකයන් දකින්නේ. ‘ඔයාලා ඉන්න නිර්මාණ අපි ආසාවෙන් බලනවා’ ඔවුන් පවසන්නේ කටපුරා සිනහවෙමින්. අපට ඒ අදහස ගැන දැනෙන්නේ සතුටක්.

ඔබ වැඩිපුර ම රඟපාන්නේ රවින්ද්‍ර විජේරත්නගේ ටෙලි නාට්‍යවලයි. මේ කාරණයට විශේෂ හේතුවක් තියෙනව ද?

රවින්ද්‍ර අයියා මට මුණගැසෙන්නේ 2000 වසරේදී. මාව මිනිස්සු හැඳීන ගන්නේ ‘සත්පුරවැසියෝ’ ටෙලි නාට්‍යයෙන්. එහිදී රවිඅයියා සහය අධ්‍යක්ෂවරයා විදියටයි කටයුතු කරන්නේ. එදා පටන් අද දක්වා ම ඒ ඇතිවුණු හිතවත්කමයි අප අතර තිබෙන්නේ. ඒ නිසා ම රවින්ද්‍ර අයියාගේ ‘අපි අපි වගේ’, ‘තූර්යා’, ‘කුටුකුටු මාමා’, ‘උරුමක්කාරයෝ’ වගේ ටෙලි නාට්‍ය කිහිපයක ම මට රඟපාන්නට ආරාධනා ලැබුණා. ඊට මගේ දක්ෂතාවත් හේතුවුණා.

ඔබ චරිත තෝරාබේරා ගැනීමක් ඇතිව ද රඟපාන්නේ?

වැඩිපුර නිර්මාණවල මා දකින්න නැත්තෙත් ඔය කියන කාරණය නිසයි. කමඩි කිව්වට සෑම කමඩියකමත් රඟපාන්නට මා කැමැති නැහැ. ටෙලි නාට්‍යවලදි නම් එවැනි තෝරාබේරා ගැනීමක් කරන්න වෙන්නේ අඩුවෙන්. එහෙම කියලා සෑම නිර්මාණයක ම මා රඟපාන්නේත් නැහැ. චිත්‍රපටයක වුණත් අපට රඟපාන්න පුළුවන් චරිත තියෙනවා. ඒවා පමණයි මා කරන්නේ. එහෙම කියලා අනෙක් චරිත හොඳ නෑ කියලා නොවෙයි මා පවසන්නේ. ඒ චරිත මට රඟපාන්නට නොහැකි වුණත් අනෙක් අය රඟපානවා නම් අප අගය කළ යුතුයි. මා රඟපෑමට ආවේ වේදිකාවෙන්. ඒ ඔස්සේ අපට දැනෙන රසයක් තිබෙනවා. ඒ අනුවයි මා නිර්මාණ තෝරාබේරා ගන්නේ.

නමුත් අද චරිතවලට නළු - නිළියන් තෝරා ගැනීමේ දී අනුගමනය කරන පිළිවෙළ ගැන සතුටු වීමට නොහැකියි නේද?

අද ටෙලි නාට්‍ය වගේ ම නළු - නිළියන් රැසක් රංගන ක්ෂේත්‍රයට පා නඟලා තිබෙනවා. බොහෝ වෙලාවට නිර්මාණවලට නව - නිළියන් තෝරා ගැනීම සිදුවන්නේ මුදල පිළිබඳ සලකා බැලීමෙන්. එහෙම නැතිව චරිතය ඉල්ලන කෙනා නොවෙයි ඔවුන් නිර්මාණය සඳහා තෝරාගන්නේ. දෙබස් යන්තමට හෝ කියාගන්නට හැකි නම් එවැනි අයව නිර්මාණවලට තෝරා ගැනීම නිසා සිදුවන්නේ ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ නිර්මාණ අතරෙන් ඈත් වී යෑමයි.

ඒ වගේ ම මේ නිසා අවරගණයේ නිර්මාණ රැසක් සමාජයට පිවිසෙනවා?

සමහර නිර්මාණ ප්‍රවීණ ශිල්පීන්ගෙන් ප්‍රතික්ෂේප වනවිට ඒ නිර්මාණ කරන්න කවුරු හෝ ඕනෑ වෙනවා. එවිට ඒවාට ඉදිරිපත් වෙන්න කැමැති අය වගේ ම ඒවාට ගන්නත් අය ඉන්නවා. එසේ කරන නිර්මාණ කොහොමහරි විකුණා ගන්නටත් ඔවුන්ට හැකියි.

සමහර විට නිර්මාණයක පිටපත දුර්වල වුණත් අනෙක් අංශවල තිබෙන දක්ෂතාව නිසා නිර්මාණය ගොඩයන වෙලාවලුත් ඕනෑතරම්?

හොඳ නිර්මාණකරුවන් සිටියොත් ඔවුන් මෙතෙක් ලබා ඇති අත්දැකීම් මඟින් එවැනි පිටපත් යම්තාක් දුරට රැගෙන පැමිණිය හැකියි. ඒ එවැනි නිර්මාණයට දායක වන අනෙකුත් ශිල්පීන්ගේ තිබෙන දක්ෂතාව නිසයි සිදුවන්නේ. අද නිර්මාණකරුවන්ට වඩා ඉන්නේ ව්‍යාපාර කරන අයයි. ඔවුන්ගේ අතේ නිර්මාණය සැරිසැරීමයි මේ සියලු ඛේදවාචකවලට මූලික වී තිබෙන්නේ. මේ කාරණය අද වේදිකාවටත් පොදුයි.

එහෙම වුණත් සම්පූර්ණයෙන් ම වැරැද්ද ඔවුන් මතට පැටවිය හැකියි ද?

ඒක රූපවාහිනි ආයතන ගෙවන මුදල පිළිබඳ ප්‍රශ්නයක්. එක් දර්ශනයකට ගෙවන මුදල අඩුයැයි පවසමින් දුර්වල නිර්මාණ කරනවා නම් ඒක ව්‍යාපාරයක්. එහෙමයි පවසමින් අපි නිර්මාණයක් දුර්වල ආකාරයෙන් කරනවද? නැත්නම් නිර්මාණයක් විදියට කරනවද? කියලා තීරණය කළ යුතුයි. නිර්මාණය කියන අර්ථයෙන්වත් එයට සාධාරණයක් විය යුතුයි. එසේ නොවෙනවා නම් කලාකාරිනියක් ලෙස ඒ ගැන මගේ සිතට දැනෙන්නේ දුකක්.

අපේ රටේ සම්මාන උලෙළවල් පිළිබඳ ඔබට තිබෙන්නේ කුමන අදහසක් ද?

අපේ රටේ සම්මාන දෙන විදිය ගැන මගේ නම් කිසිම කැමැත්තක් ඇත්තේ නැහැ. ඒ සම්මාන ලබාදෙන්නේ අනෙක් නිර්මාණ දෙස ඇහැක් ඇරලා බලලා නොවෙයි. සම්මාන ලබාදෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පමණයි ඔවුන් සම්මාන ලබාදෙන්නේ. සම්මාන ලබාදිය යුතු නිර්මාණ, චරිත තව ඕනෑතරම් තිබෙනවා. අඩු ම ගණනේ ඒ නිර්මාණ නිර්දේශවත් වෙන්නේ නැහැ. ඒ වගේ ම ඔය සම්මාන උලෙළවල්වලට යන්නට නළු - නිළියන්ට ආරාධනා පත්‍රයක් ලැබෙන්නේවත් නැහැ. එදාට නළු - නිළියන් ඉන්නේ ගෙවල්වල. වෙන පිරිසකුයි එතැන ඉන්නේ. ඒ නිසා අපේ රටේ සම්මාන ගැනත්, සම්මාන උලෙළවල් ගැන වත් තැකීමක් අපට ඇත්තේ නැහැ.ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන සම්මානය ඔය ලැබෙන සම්මාන සෑම එකකට ම වඩා වැදගත්.

සමාජයේ බොහෝදෙනා අතර අද නළු - නිළියන්ට තිබුණු ගෞරවය අඩුවෙලා?

මට මා ගැන සම්පූර්ණයෙන් ම විශ්වාසයි. ඒ විශ්වාසයයි මා මෙතැන රඳවලා තිබෙන්නේ. කලාව පිළිබඳ කිසිවකුත් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ. කලාව කියන්නේ දෙවියන්ගේ දෙයක්. සමහරු තමන් නළුවෙකු හෝ නිළියක ලෙස හඳුන්වාදෙමින් වෙනත් කටයුතු සඳහා මෙය වෘත්තියක් කරගන්න අයුරු අපට පෙනෙනවා. එසේ සිටින්නේ කිහිපදෙනෙකු පමණයි. ඒ අයට මා පවසන්නේ කලාව මුවාවෙන් කරන කැතවැඩ, එය විකුණගෙන කෑම නවත්වන්න යන්නයි.

ඔබ රංගනයට පිවිසෙන්නේ කුරුණෑගල වගේ ඈත ගම්මානයකින්?

පාසල් වේදිකාවේ මම දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ නිසා රංගනයට ඇතිවන කැමැත්තයි මේතාක් දුර මා රැගෙන ආවේ. නිහාල් සුරංජිත් ගුරුතුමා ඉගැන්වූ කුරුණෑගල ජනතා වේදිකා වීදි නාට්‍ය කණ්ඩායමට මමත් ගියා. ඒ නාට්‍ය කණ්ඩායමේ ඉගෙන ගන්න අතරතුර ම වේදිකා නාට්‍යවලට සහභාගි වුණා. ඒ ‘මායා’, ‘ඇඳීරිදරුවෝ’ සඳහා. ‘මායා’ සඳහා කළ රංගනයට මට කුසලතා සහතිකයක් ලැබෙනවා. පසුව රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයේ නාට්‍ය වැඩමුළුවක් කළා. එහි අවසානයේ කළ ‘නඩුවිභාගය’ වේදිකා නාට්‍යයේ මා රඟපෑවා. ඉන්පසුව ‘බුබුළ’, ‘අරුන්දතී’ වේදිකා නාට්‍යවල රඟපානවා. යොවුන් නාට්‍ය උලෙළේ ‘අරුන්දතී’ සඳහා හොඳ ම සහය නිළියත්, රාජ්‍ය නාට්‍ය උලෙළේ කෙටි නාට්‍ය කිහිපයක් ම සඳහා හොඳ ම නිළියත්, ‘මල්සර බිසව්’ සඳහා හොඳ ම නිළියත් වීම මගේ රංගන ජීවිතයේ මා ලැබූ ජයග්‍රහණයි.

රංගන කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය පිළිබඳත් කියමු?

මගේ සැමියා කුමාර දිසානයක යුද හමුදා නිලධාරියෙක්. ඔහු මා රංගන කටයුතුවල නියැළෙනවාට කැමැතියි. මට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. ඔවුන් තෙරුණි අමා දිසානායක හා තිලිති ලක්ෂා දිසානායකයි. මගෙන් පවුලේ අයට ඉටුවිය යුතු යුතුකම්වලට අමතරව සියලු කටයුතු සොයා බලන්නේ මගේ සහෝදරියක්. ඈ නිසා මගේ රංගන කටයුතුවලට ලැබෙන්නේ පහසුවක්.