වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




රැලෙක්ස් සහ සරත්ලා දෙදෙනෙක්

රැලෙක්ස් සහ සරත්ලා දෙදෙනෙක්

‘යටගිය දවස' නම් මේ ලිපි පෙළ මා ලියන්නේ එහි එන සිද්ධි අනු පිළිවෙළකට නොව ඉඳහිට කියවන පාඨකයකුට කියවන්නට හැකි වන ලෙසය. පසුගිය සතියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල සහ රනිල් රණසිංහ සංස්කරණය කළ රූපලේඛන සංග්‍රහයක් දොරට වඩින උත්සවයකට මට ආරාධනයක් ලැබිණ. උත්සවය පැවැත් වූයේ කොල්ලුපිටියේ ඹ් ඕ ජ්ඪදචදජඥ ර්‍ථඹ්ඛ් ප්‍රධාන කාර්යාලයේය. එම ආයතනය ද මේ කෘතියට අනුග්‍රහය දක්වා තිබුණි. ෆාස්ට් පබ්ලිෂිං (පුද්ගලික) සමාගම ප්‍රකාශයට පත් කළ 'රැලෙක්ස්' නම් කෘතියට රැලෙක්ස් රණසිංහ නම් ප්‍රවීණ ඡායාරූප ශිල්පියාගේ ඡායාරූප අතරින් තෝරා ගත් නිර්මාණ රැසක් ඇතුළත්ව තිබිණ. මෙහි මුද්‍රණය ඉතා අනර්ඝය. ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයකි එය.

රැලේක්ස් රණසිංහ (1935 - 2006) යනු විවිධ කුසලතා සහිත අග්‍රගණ්‍ය කලාකරුවෙකි. එපමණක් නොව මේ අපූරු හිතුවක්කාර කලාකරුවා තුළ ඡායාරූප ශිල්පියකු, පෝස්්ටර් නිර්මාණ ශිල්පියකු, පුවත්පත් රූ රටා ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, කලා අධ්‍යක්ෂවරයකු, වේදිකා පසුතල නිර්මාණ ශිල්පියකු, වේදිකා විශේෂ නිරූපණ ශිල්පියකු, දැන්වීම් නිර්මාණ ශිල්පියකු, පොත් පිට කවර නිර්මාණ ශිල්පියකු අප්‍රසිද්ධව සැඟ වී සිටියේය.

අප ආදරයෙන් 'රැලෙක්ස් අයියා' නමින් කතා කළ ඔහුට මා වඩාත් ඇලුම් කළේ ඔහුගේ හිතුවක්කාර ගති ගුණවලට සහ අසම්මත ශෛලිය තම කලා කෘති සඳහා පාදක කර ගැනීම නිසාය. මා චිත්‍රපටයක (නිමවළල්ල) නාමාවලිය ඇඳ තිිබූ බව අසා රැලෙක්ස් අයියා තම ප්‍රචාරක කටයුතු කරමින් සිටි 'මොකද වුණේ' චිත්‍රපටයේ නාමාවලිය අඳින ලෙස කීවේය.

'ඉලන්දාරියා මේක පියසිරි ගුණරත්නගේ චිත්‍රපටයක්. අපි හිතුවා රන්ජිත්ට නාමාවලිය අඳින්න බාර දෙන්න'. රැලෙක්ස් අයියාගේ මේ ඉල්ලීමෙන් මම උඩ ගොස් බිම වැටුණෙමි.

'ඔය ඇත්තටමද රැලෙක්ස් අයියා?'

'ඔව් මනුස්සයෝ'

රැලෙක්ස් අයියාට මා නාමාවලිය අඳින බව පවසා තිබුණේ 'මොකද වුණේ' හා 'නිම්වළල්ල' චිත්‍රපටවල කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්නය. මම 'මොකද වුණේ' චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් කිහිප දෙනෙකුගේ නම් සාම්පල් වශයෙන් ඇඳ රැලෙක්ස් අයියාට පෙන්නා ඈතට වී සිටියෙමි.

'හරි ෂෝක්! හරි ෂෝක්!' කියමින් ඔහු මට වැඩය කරන ලෙස භාර දුන්නේය. ඔහු හා මා හරියට හඳුනා ගත්තේ එදාය.

ඉන්පසු 'දවස' කාර්යාලයේදීද, සුගතපාල ද සිල්වා, තිස්ස අබේසේකර, සිරිල් බී. පෙරේරා, නමෙල් වීරමුනි, ආතර් යූ. අමරසේන, ධර්මසිරි වික්‍රමරත්න, ටී. අර්ජුන, ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවන හැම තැනකදීම රැලෙක්ස් අයියා මට හමු විය. ඒ හමුව ඉතාමත් රසවත් විය. ටී. අර්ජුන අධ්‍යක්ෂණය කළ 'වසන්තේ දවසක්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු භාරව සිටියේ රැලෙක්ස්ය. අර්ජුනගේ ඉන්දියානු මිත්‍රයෙකු වූ ගිරි නැවතී සිටියේ කොල්ලුපිටියේ ඩියුරෝ හෝටලයේය. සෑම සතියකම දින තුනක්වත් මා එහි යන්නේ අර්ජුනගේ ඇරයුමෙනි. ප්‍රේමසිරි කේමදාස, අර්ජුන හා රැලෙක්ස් සමඟ මා ද මහ දවල් මී විතෙන් සන්තර්පණය වී චිත්‍රපටයේ පෝස්ටර්, පුවත්පත් හා ගුවන් විදුලි දැන්වීම් ආදිය ගැන කරන කතාබහ හරිම රසවත්ය. රැලෙක්ස්, ප්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහගේ වැඩිමහල් සොහොයුරාය. ටෝනිට අගනා පුස්තකාලයක් තිබුණි. ඔහු තරම් පොත් කියවන නළුවකු මා දැක තිබුණේ නැත.

'රන්ජිත් දන්නවද වැඩක්. ටෝනිගේ පුස්තකාලයේ තියෙන්නේ එයා සල්ලි දීලා ගත්තු පොත්. මටත් පුස්තකාලයක් තියෙනවා. ඒකේ තියෙන්නේ අනුන්ගෙන් ඉල්ලාගෙන ආපහු නුදුන්න පොත්. වැඩියක්ම තියෙන්නේ සුගත්ගේ (සුගතපාල ද සිල්වා) පොත්. මිනිහා කේ. වී. ජී. ද සිල්වා පොත් සාප්පුවේ වැඩ කළානේ. ඒ කාලේ අඩුවට ගත්තු පොත්. ඒවායින් වැඩි හරියක් මගේ ලයිබ්‍රරියේ තියෙන්නේ. ලෙස්ටර්ගේ, සිරිල් බී.ගේ, ටෝනිගේ පොත් මා ළඟ තියෙනවා. මගේ ලයිබ්‍රරි එකේ මම බෝඩ් එකක් ගහලා තියෙනවා. 'මේ පොත් මගේ නොවේ. අනුන්ගේ පොත්ය. ඒ නිසා පොත් ඉල්ලා අමනාප නොවන්න' කියලා. රැලෙක්ස් හයියෙන් සිනාසෙමින් කී අයුරු මට මතකය.

තිස්ස අබේසේකරයන්ගේ 50 වැනි උපන් දිනය දා රාජගිරියේ නිවසේ සාදයක් පැවැත්විණ. එදා සනත්, සබීතා, ශ්‍රියාණි, ආතර්, අසෝක පීරිස්, දයා අල්විස්, උපාලි අත්තනායක, ජී. ආර්. පෙරේරා තිස්සට සුබපතන පින්තූර ගත්තේ රැලෙක්ස්ය.

'රැලෙක්ස් අයියා අපි සර්ප්‍රයිස් එකටත් එක්ක පින්තූර ටිකක් සරසවියේ පළ කරමු' මම යෝජනා කළෙමි.

ඔහු මගේ ඉල්ලීම ඉටු කළේය. එහි තිස්සගේ 50 වැනි උපන් දිනය දා ගත් පින්තූර යයි මම සඳහන් කළෙමි.

'අයිසේ මළ කෙළියයි, තිස්ස කැමති නෑ 50 කියලා දානවට' රැලෙක්ස් පත්‍රය බලා මට කතා කළේය.

'කමක් නෑ රැලෙක්ස් අයියා, නැත්නම් පාඨකයෝ හිතාවි ඒක තිස්සගේ 60 වෙනි උපන් දිනේ කියලා' මම ඇඟට පතට නොදැනෙන ලෙස කීවෙමි.

මගේ මේ කියමනට රැලෙක්ස් බඩ අල්ලාගෙන සිනාසුණේය.

'ඔය ටික රන්ජිත් කිව්වා කියලා තිස්සට කියන්නම ඕනෑ'යි සිනාව අතරින් ඔහු කීවේය.

කැමරාවක් අතැතිව සිටි රැලෙක්ස් අයියා වරක් මට හමු වුණේ 'මඩොල් දූව' චිත්‍රපටය තිරගත වූදා රාත්‍රියේ එහි නිෂ්පාදක ලක් ලූම්ස් අධිපති සමරසිරි ද සිල්වා පැවැත් වූ සාදයේදීය.

'අනේ රැලෙක්ස් අයියා, මගේ පින්තුරයක් ගන්නකෝ' යි මම විහිළුවට මෙන් කීවෙමි.

'අයිසේ රන්ජිත්, මම ඔයාගේ පින්තුරයක් අරන්ම නැහැ නේද? ඒකට වෙනම දවසක අපි ගනිමු. දැනට මම ගන්නම් පින්තූරයක්. මට ඕනෑ ඔයාගේ සිගරට් එකේ දුම අතරින් ඔයාගේ පින්තුරයක් ගන්න'

ඔහු මට දුම්වැටියක් දල්වා ගන්නා ලෙස කියා එහි දුම් අතරින් ඔහු පින්තූර කිහිපයක්ම ගත්තේය. ඔහු වෙනුවෙන් මා සතු එකම සිහිවටනය නම් මේ පින්තූරයයි. රැලෙක්ස් අයියාගේ වේදිකා නාට්‍යය හා චිත්‍රපට පෝස්ටර්ස් ගැන විශේෂාංගයක් ලිවීමට මමත්, කුමුදුත් (අද කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය කුමුදු කුසුම් කුමාර) ඔහුගේ කැලණියේ පිහිටි නිවසට ගියෙමු. මේ 1970 වසරේ නත්තල් සමයේය. එකල කුමුදුත්, මාත් 'සමීප රූප' නමින් සිනමා සඟරාවක් සංස්කරණය කරමින් සිටියෙමු. එහි දෙවන කලාපයට රැලෙක්ස්ගේ මේ ලිපිය පළ කිරීමට සිතා සිටියත් අපට අවශ්‍ය තරම් වෙළඳ දැන්වීම් නොලැබීම නිසා එය නතර විය.

එදා රැලෙක්ස් අයියා තමා සතුව තිබූ චිත්‍රපට හා නාට්‍ය පෝස්ටර්ස් අපට පෙන්වා ඒවා නිර්මාණය කළ ආකාරය ගැන දිර්ඝ විස්තරයක් කළේය. අපට දහවල් කෑමට නවත්වා ගත් ඔහු කෑමට පෙර දිදාලයක් බඳු පුංචිම වීදුරු දෙකකට මිශ්‍ර නොවූ අරක්කු වත්කර දුන්නේ 'පුංචි ළමයින්ට මේව ගොඩක් හොඳ නෑ' විහිළුවක් කරමිනි. අප සකස් කළ ඒ ලිපිය ද සඟරාව ද නතර වීම නිසා රැලෙක්ස් අයියා දුටු තැන අප මඟහැර යාමට උත්සාහ කළ ද එය මැනවින් තේරුම් ගෙන සිටි ඔහු සුපුරුදු ලෙස ළෙන්ගතුව කතා කළේ අර ලිපිය ගැන වචනයකුදු කතා නොකරමිනි.

මීට වසර 10 කට පෙර මියගිය රැලෙක්ස් අයියා අවසන් වරට හමු වූයේ ඔහුගේ පියාගේ උපන් දිනයක් වෙනුවෙන් උස්වැටකෙයියාව පැත්තේ හෝටලයක තිබූ සාදයකදීය. මම කැමරා ශිල්පී ප්‍රදීප් පද්මපෙරුම (මේ කාලයේ මම 'සරසි' සිනමා පුවත්පතේ කතුවරයාය) සමඟ එහි ගියෙමු. එකල සරසවිය උප කතුවරයා වූ වර්තමාන කතුවරයා ද එයට සහභාගි විය. රණසිංහ පවුලේ එතෙර මෙතෙර සිටි සියලුම සාමාජිකයන් ඒ අවස්ථාවට සහභාගි වූ අතර එකම ආරාධිත අමුත්තා වූයේ විශාරද අමරදේවයන්ය. එදා අමරදේවයන් කිසිදු වාද්‍ය භාණ්ඩයක් නැතිව ගීත කිහිපයක්ම ගැයීය. වාද්‍ය භාණ්ඩ කුමටද? ඔහුගේ රන් ස්වරයම වාද්‍ය භාණ්ඩයක් නොවේද? අපි එම අවස්ථාව දැක ගැනීමට භාග්‍යවන්තයන් වීමු.

එදා රැලෙක්ස්ගේ රූපාලේඛන ග්‍රන්ථය දොරට වැඩිදා ආනන්දයේ මගේ සමකාලීන ශිෂ්‍යයකුව සිටි සරත් කෝන්ගහගේ ද හමු විය. රූපවාහිනි සංස්ථාවේ සභාපති, ලේක්හවුස් හි වැඩ බලන සභාපති, ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති යන තනතුරු දැරු සරත් එදා ආනන්දයේ විවාද කණ්ඩායමේ ජනප්‍රිය කථිකයා විය. සෙසු සාමාජිකයන් වූ නායක රන්ජන් අබේසේකර (කරුණාරත්න අබේසේකර ගේ සහෝදරයෙකි) හා ඉම්ටියාස් බකීර් මාකර් (හිටපු ජනමාධ්‍ය ඇමති) ද ඔහුට නෙදෙවෙනි කථිකයෝ වූහ. විවාද කණ්ඩායම පුහුණු කළේ බර්ටි විජයසිංහ ගුරු මහතාය. ආනන්ද විද්‍යාලීය ශාලාවේ පැවති එක්තරා සංගීත ප්‍රසංගයකට අමරදේවයන් හා නන්දා මාලිනිය පැමිණියහ. එදා ප්‍රසංගය මෙහෙය වූයේ සරත් කෝන්ගහගේය. ඔහුගේ හඬ හරියටම එච්. එම්. ගුණසේකරගේ වැනිය. එතරම්ම නිරවුල්ය. වාග් කෝෂය පිරිපුන්ය. සරත්ගේ පියා චිත්‍රපට ක්ෂේත්‍රයට ද සම්බන්ධව සිටියේය. 'මංගලා' චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයෙකි ඔහු. සරත්ගේ පුතා දේවින්ද ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.

සරත් ලේක්හවුසියේ වැඩ බලන සභාපතිවරයාව සිටි එක්තරා සරසවිය සම්මාන උලෙළකදී සිනමා සාහිත්‍යයට සේවයක් කළ මාධ්‍යවේදියකුට, ලේඛකයෙකුට පිරිනමන රණතිසර සම්මානය (රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සම්මානය) තිදෙනකුට පුද දුන්හ. තම ගුරුවරයකු වූ කලාකීර්ති එඩ්වින් ආරියදාස, ආතර් යූ. අමරසේන හා මට මේ අවස්ථාව ලබා දුන්නේ සරත්ය.මේ උසස් සම්මානය මට දීමට අකෘතඥ වූ පාලකයන් සිටි බව මම දනිමි. සරත් එදා මා අගය කිරීම ගැන මගේ කෘතඥතාව ඔහුට පුද කරමි.

ඒ සරත් ගැන ලියන මෙහොතේ මට තවත් සරත් කෙනකු මතකයට එයි. අද අමාත්‍යවරයකු වන ආචාර්ය සරත් අමුණුගමයි ඒ. ඔහු ද කලක් ලේක්හවුසියේ සභාපතිවරයකු විය. අමුණුගම මහතා මා මුල්වරට හඳුනා ගන්නේ 1962 දිනමිණ පුවත්පතේ ඔක්තෝබර් 06 වෙනි සෙනසුරදා පළ වූ 'ග්‍රන්ථ විවේචන' යන ශීර්ෂය යටතේ පළ වූ කේ. ජයතිලකගේ 'අප්‍රසන්න කතාවක්' නම් නවකතාව අරභයා ලියූ විචාරයෙනි. මේ විචාරය කිය වූ පසු ඒ නවකතාව කියවීමට මට කතුහලයක් ඇති විය. එවකට මම දහහතර හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්මි. මේ විචාරය තවමත් සුරැකිව මා සතුව ඇත. එම විචාරයේ කතුවරයාගේ ද පොතේ පිට කවරය හා විචාරකයාගේ ද ඡායාරූප පළ වී තිබුණි.

දැනට කළුතර කච්චේරියේ සේවය කරන සිවිල් නිලධාරි සරත් අමුණුගම ලංකා විශ්වවිද්‍යාලයේ බී. ඒ. ගෞරව උපාධිධරයෙකි'.

එසේ විචාරකයා හඳුන්වා දී තිිබූ අතර ඔහුගේ සිනාමුසු රූමත් රුව සහිත ඡායාරූපය කාලයක් යන තෙක් ඇඳී තිබුණි. 1964 වසරේ ආනන්දයේ උසස් පෙළ පන්තියේ උගැනුම ලබමින් සිටි අපට සාහිත්‍ය ගුරුවරයා වූ සාන්තන රාජපක්ෂ මහතා 'සිංහල කවිය' ගැන කතා කරන අතරේ රත්නපුර උප දිසාපති සරත් අමුණුගම මහතා 'නූතන සිංහල කාව්‍යය' ගැන කළ කතාවක් සඟරාවකින් උපුටා දක්වා මේ ලිපිය අනිවාර්යෙන්ම කිවයුතු බව පැවසුවේය. සිංහල සාහිත්‍ය විෂයට විභාගයට ආ සිංහල කවිය ගැන ලියන්නට ලැබුණු ප්‍රශ්නයට මේ ලිපිය අපට පිහිට විය. අමුණුගම මහතා දෙවැනිවරට මා හඳුනා ගත්තේ මේ ලිපියෙනි.

1970 වසරේ මුල් භාගයේ තිස්ස අබේසේකර පදිංචිව සිටියේ උද්‍යාන පාරේ පටුමඟක ගෙදරක උඩ තට්ටුවේය. ඒ කාලයේ තිස්සගේ ගේ අසලම ස්වර්ණා මල්ලවාරච්චි ද, පසු කලෙක ඒ ළඟම විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, ධර්මසේන පතිරාජ ද තට්ටු ගෙවල්වල ජිවත් වූහ. මේ මතකය සරත් අමුණුගමගේය. ඔහු 1997 දෙසැම්බර් 28 වෙනි ඉරිදා ලක්බිම පුවත්පතේ මංජුසාව අතිරේකයට ලියූ 'සිතුවිලි' නම් විශේෂාංගයේ මේ සිද්ධිය අනාවරණය කරයි.

'තිස්ස හමුවීමට ඔහුගේ නිවසට ගිය ඇතැම් විටක ඔහුගෙන් ගුරුහරුකම් ලබා ගැනීමට පැමිණි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් ද මට හඳුන්වා දෙන ලදී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කලාවට ලැදි ආනන්ද විද්‍යාලයේ සිසුන් වූහ. ඔවුන්ගෙන් තිස්සගේ නෑදෑයින් වූ බන්දුල පද්මකුමාර හා ප්‍රභාත් කුමාර සමඟ පැමිණි කිහිප දෙනෙකුම පසු කාලයේ විවිධ වෘත්තීන්වල යෙදී හොඳ නමක් ඇති කර ගත් අයයි. රංජිත් ලාල්, සරත් කෝන්ගහගේ හා ඒ. ඩී. රන්ජිත් කුමාර ද ඔවුන් අතර සිටියහ.

ජ්‍යෙෂ්ඨයින් වූ තිස්ස හා මා අරක්කුත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අනුග්‍රහයෙන් ඇතැම් විට විස්කි ද පානය කළ අතර කනිෂ්ඨයින් වූ බන්දුල, සරත් හා රංජිත් කුමාරගේ පානය බීරවලට සීමා කරන ලදී. ඒ කාලයේ වුව ද ඔවුහු තර්ක විතර්කයට හා සමාජ ආශ්‍රයට බෙහෙවින් ප්‍රිය කළහ.'