වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ජ්‍යෙෂ්ඨ උත්තමාචාර

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළ පසුගියදා පැවැත්වුණා. එය හැඩ කරන්න බොලිවුඩයෙනුක් තරු පැමිණියා. ලාකික බොලිවුඩ් රසික රසිකාවනුත් මේ තරු දැක ගන්න රැස් වෙලා හිටියේ බොහොම උනන්දුවෙන්. ජැකී ශ්රොෆ්, ශ්‍රී දේවී, මධුරි ඩික්සිත්, සුනිල් ෂෙට්ටි, කරිෂ්මා කපූර්, නීල් නිතින් මුකේෂ් යන නළු නිළියන් තමයි ඒ අවස්ථාවට පැමිණියේ.

මේ පිරිසගේ සම්ප්‍රාප්තියත් එක්ක ශ්‍රී ලංකාවේදි මාධ්‍ය හමුවකුත් පවත්වන්න කටයුතු යොදා තිබුණා. මාධ්‍ය හමුව පටන් ගන්නාවිට, මධුරි ඩික්සිත්, සුනිල් ෂෙට්ටි, කරිෂ්මා කපූර්, නීල් නිතින් මුකේෂ් එම ස්ථානයට පැමිණ අසුන්ගෙන හිටියා. නමුත් ටික වේලාවක් ගත වූ පසුව මේ සියලු දෙනාම තම අසුන්වලින් නැඟී සිටියා. මොකද දන්නවාද මේ කලාකරුවන් පිරිසේ සිටි ජ්‍යෙෂ්ඨයා පැමිණියේ එම අවස්ථාවේදියි. ඔහු ජැකි ශ්රොෆ්.

මධුරි, සුනිල් කියන්නෙත් දැන් බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ නළු නිළියන්. ඒවුණත් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයෙකුගේ පැමිණීමේදී අසුනෙන් නැඟිට ආචාර කරන්න ඔවුන් නිහතමානි වුණේ අපේ අයටත් කදිම ආදර්ශයක් වෙමින්.


ස්මිතාගේ සම්මානය කත්‍රිනාට

2012 වසරේ තිරගත වුණු, සල්මන් ඛාන් සහ කත්‍රිනා කයිෆ් රඟන ‘ඒක් තා ටයිගර්’ වාණිජමය වශයෙන් අති සාර්ථක චිත්‍රපටයක් වුණා. මේ චිත්‍රපටයේ දෙවන කොටස ලබන වසරේ අග තිරගත වීමට නියමිතයි. මේ කතාව ඉන්දියානු රහස් ඔත්තු සේවා නියෝජිතයෙකු (සල්මන්) සහ පකිස්තානු රහස් ඔත්තු සේවා නියෝජිතවරියක (කත්‍රිනා) අතර ගොඩනැගෙන්නක්.

මේ අතර, පසුගිය 19 වැනිදා කත්‍රිනා සම්මානයකිනුත් පිදුම් ලැබුවා. ඒ ‘ස්මිතා පටේල් අනුස්මරණ සම්මානය’ යි. ඉන්දියානු සිනමා කර්මාන්තයට සිදු කරන ලද මෙහෙය අළලා මෙය ප්‍රදානය වූ බවයි පැවසෙන්නේ. ජූරිය විසින් මෙම සම්මානය වෙනුවෙන් කත්‍රිනාගේ නම ඒකමතිකව සම්මත කළ බවයි පැවසෙන්නේ. මේ සම්මාන උලෙළ 1984 වර්ෂයේ සිට නොකඩවා පවත්වාගෙන ආ එකක්.


ආදර ජවනිකාවට අකමැති ප්‍රියංකා

බොහොමයක් බොලිවුඩි නිළියන් තමන්ගේ ආදර කතා රහස් හැටියට තියා ගන්න තමයි උත්සහා කරන්නේ. ප්‍රියංකා චොප්රා කියන්නේ, කාන්තාවක් ලෙස දිගු දුරක් ගමන්ගත් කෙනෙක්. ‘refinery29.com නම් වෙබ් අඩවියට ඇය මෑතකදී සාකච්ඡාවක් ලබාදී තිබුණා. ඒ කාන්තාවන් පිළිබඳවයි.

ඇය පවසන ආකාරයට ඇගේ ජීවිතයෙන් සියයට අනූවක්ම විවෘත දේවල්. ඇය පෞද්ගලිකව තබා ගන්නේ ඇගේ ප්‍රේම සම්බන්ධතා පමණයි. කෙසේ නමුත් මෙහිදී ඇය ඒ‍ ගැනත් පවසා තිබුණා.

“මා සිතනවා මටම කියාත් යමක් තිබිය යුතුයි. ඒ නිසා මම ආරක්ෂා වෙනවා. මට සම්බන්ධතා නොතිබුණා නොවෙයි. මට බොහෝ සම්බන්ධතා තිබුණා. නමුත් මේ වෙලාවේ මම ඉන්නේ එක්තරා සංකීර්ණ තත්ත්වයක.” ඇය පවසනවා. ඒ විරතක් නෙවෙයි, ප්‍රියංකා, ඇය රඟපෑ චිත්‍රපට ප්‍රේම ජවනිකා ගැනත් දක්වන්නේ මෙවැනි අදහසක්. “මම මගේම ආදර ජවනිකා බලන්න ප්‍රිය නැහැ. ප්‍රේම ජවනිකා වලටත් මගේ එතරම් කැමත්තක් නැහැ. එය තාත්විකව කළ යුතු වන්නේ පන්සියයක් විතර බලා සිටිද්දීයි.”


සැබෑවක්ද ? සිනමා දසුනක්ද ?

ඉන්දියාවේ හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සහ උත්සවාකාරයෙන් සමරන ‘ගණපති’ පූජාව පසුගිය සතියේ නිමා වුණා. මුම්බායි හි මේ උත්සවය සමරන්නන් අතරට පැරණි නළු රිෂි කපූර් සහ ඔහුගේ පුතණුවන් වන රන්බීර් කපූර් සහ සොහොයුරා වන රන්ධීර් කපූර් ද එක්ව සිටියා.

උත්සවයේ යම් අවසථාවක සිදුවුණු නොසන්සුන්තාවයක් සමඟ රිෂි කපූර් එහි පැමිණ සිටින යම් පිරිසකට පහර දෙන සිද්ධියක් සහිත වීඩියෝ දසුන් පසුගිය දිනවල උණු කැවුම් සේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. කෙසේ නමුත් රිෂි පවුල දෙසින් එන ආරංචි පවසන්නේ මේ වීඩියෝව සියුම් ලෙස සංස්කරණය කළ එකක් බවයි. මේ ගැන ඔවුන් නීතීඥ උපදෙස් පවාලබාගනිමින් සිටින බවත් බොලිවුඩයෙන් ආරංචි වෙනවා.


අසාර්ථකත්වය කියූ රහස

බොලිවුඩයේ අලුත්ම ආදර කතාව අසාර්ථක වී ඇති බවයිආරංචි වෙන්නේ. ඒ කත්‍රිනා සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රඟපෑ ‘බාර් බාර් දෙඛෝ’ චිත්‍රපටය යි. කෙසේ නමුත්, පසුගිය දින 10 පුරාම තිරගත වී ‘බාර් බාර්දේඛෝ’ සිය පිරිවැය වූ ඉන්දියානු රුපියල් කෝටි 50 යන්තම් උපයාගන්නට සමත් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, චිත්‍රපටයට විචාරකයින්ගෙන් ලැබී තිබෙන්නේත් සෘණ ප්‍රතිචාර. ‘Rediff.com’ වෙබ් අඩවියේ ප්‍රමුඛ විචාරය පවසන ආකාරයට මෙය කඩා වැටීමටම හේතුව දුර්වල පිටපතක් සහ දෙබස්.

සිද්ධාර්ත් මේ ගැන පවසන්නේ මෙවැනි අදහසක්. “මහන්සි වී කළ කාර්යයක් අගය නොවුනාම ඕනෑම කෙනෙක් ඒ ගැන සිතනවා. මා මුලින්ම මේ චිත්‍රපටයේ පිටපත දුටුවාම එයට දැඩි සේ ආකර්ෂණය වුණා. කෙසේ නමුත් සිදුවූ දෙයින් මම මගේ අනාගතය ගැන මීට වඩා සාවධානව සිතිය යුතුයි යන්න පැහැදිලි වුනා. මේ චිත්‍රපටය සාර්ථක එකක් වුණා නම් මට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ.”