වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මෝටර් බයිසිකලය ගැන සංවාදය 28 දා

මෝටර් බයිසිකලය ගැන සංවාදය 28 දා

ශමීර රංගන නාඔටුන්න විසින් අධ්‍යක්ෂණය කරන මෝටර් බයිසිකල් චිත්‍රපටය පිළිබඳ විචාරාත්මක සංවාදයක් මෙම මස 28 වැනිදා සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. ස්වාධීන සිනමා එකමුතුව සංවිධානය කරන මෙම සංවාදයේ අජිත් ගලප්පත්ති, බූපති නලින් වික්‍රමගේ සහ කේ. කේ. සමන් කුමාරි විසින් අදහස් දැක්වීමට නියමිතය. මෙය ඩබ්ලිව්. ජයසිරි මෙහෙයවනු ලබයි.


සිරි පොද වැස්ස සිනමා උලෙළ මේ දිනවල

ශාන්ති පදනම, සිරි පොද වැස්ස මනෝ උපදේශන සේවාව මඟින් සංවිධානය කළ චිත්‍රපට උලෙළක් මෙම මස 21 වැනිදා එනම් ඊයේ දිනයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘පුංචි සුරංගනාවී’ චිත්‍රපටයෙන් ආරම්භ විය. මෙම මස 23 වැනිදා ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘පොන්මනී’, 24 වැනිදා රබීන් චන්ද්‍රසිරිගේ ‘පටීභාන’, 25 වැනිදා ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘හෝගානා පොකුණ’ යන සිනමාපටයන් ප්‍රදර්ශනය වේ. මේ සෑම දිනකම සවස 1.00ට සහ 3.30ට එම චිත්‍රපට තිරගත වනු ඇත.


රතු සමනල හීනය ජාත්‍යන්තර උත්සව දෙකක

නව පරපුරේ සිනමාකරු ප්‍රියන්ත කළුආරච්චිගේ කුලුඳුල් සිනමාපටය ‘රතු සමනල හීනයක්’ විදෙස් සිනමා උලෙළ ද්විත්වයක් නියෝජනය කිරීමට වරම් හිමි වී තිබේ. ඒ අනුව ඉන්දියාවේ ඩිල්ලයිට් අන්තර්ජාතික සිනමා උලෙළ සහ ඉතාලියේ ඒෂියා ටීකා සිනමා උලෙළේදී එම සිනමාපටය තිරගත වනු ඇත.

‘රතු සමනල හීනයක්’ හි මහේන්ද්‍ර පෙරේරා, ධර්මප්‍රිය ඩයස්, නිරන්ජනී ශන්මුගරාජා සහ ශ්‍යාම් ප්‍රනාන්දු රංගනයෙන් දායක වෙති.


කපුගේ ගීත ඇසෙන පිය සටහන් 24 දා

නැසීගිය විශිෂ්ට ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු වූ විශාරද ගුණදාස කපුගේ ගේ සුමියුරු ගීත විස්සකින් සමන්විත ‘පිය සටහන්’ ප්‍රසංගය මෙම මස 24 වැනිදා නුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ගුණදාස කපුගේ ගේ පුතු මිත්‍ර කපුගේ මෙහි ගැයුම් ඉදිරිපත් කරනු ඇත. සහය ගායනා සන්ධ්‍යා බුලත්සිංහල ගෙනි. ලාල් ආනන්ද කථනයෙන් දායක වේ. ප්‍රණීත් සාරංග ප්‍රමුඛ වාදය වෘන්දය සංගීතය මුසු කරයි. ‘පිය සටහන්’ ප්‍රසංගය මොහාන් විජේරත්නගේ සංවිධානයකි.


ආදරණීය කතාවට දින සියය යි

ප්‍රියන්ත කොළඹගේ ගේ ‘ආදරණීය කතාවක්’ සිනමාපටය තිරගතවීම අරඹා මෙම මස 24 වැනිදාට දින සියයක් සපිරේ. ඒ වෙනුවෙන් එදින කොළඹ රීගල් සිනමා ශාලාවේදී සවස 4.15ට ‘ආදරණීය කතාවක්’හි විශේෂ දර්ශනයක් පැවැත්වෙනු ඇත.


සිහින අහසේ වසන්තේ නිකුත් වේ

“සිහින අහසේ වසන්තේ” ඇතුළු සදා අමරණීය චිත්‍රපට ගීත රැසක පද ගෙත්තම් කළ නැසී ගිය ගී පද රචක උපාලි ධනවල විතානයන්ගේ එම ගී පදමාලා ඇතුළත් ග්‍රන්ථයක් ‘සිහින අහසේ වසන්තේ’ නමින් පසුගිය දා නිකුත් විය. එය ජෝර්ජ් රොබ්සන් ද සිල්වාගේ සංස්කරණයකි.

“සිහින අහසේ වසන්තේ” (ජෝති, ග්‍රේෂන්, ඇන්ජලීන්), “කඳු පාර ඈත අයිනේ” (මිල්ටන් මල්ලවආරච්චි), “උදුම්බරා” (දයාරත්න රණතුංග), “දිය කිඳුරිය සේ සාගරේ” (ජෝති), “මිණි කිංකිණි හඬ පරදා” (විජය කුමාරණතුංග) ඇතුළු උපාලි රචනා කළ ජනප්‍රිය ගීත සියයක් සියලු පද මාලාවන්, සංගීතවත් කළ සංගීතඥයින්, ගැයූ ගායක ගායිකාවන්, අඩංගු චිත්‍රපටය ආදි විස්තරයන්ද සහිතව මෙහි සටහන් වීම විශේෂත්වයකි. සිහින අහසේ වසන්තේ රසාංජලී ප්‍රකාශයකි.


සුජාත පුත්‍ර 30 දා
තවත් අලුත් අධ්‍යක්ෂවරයෙක්

ශ්‍රී පාලි හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කළ ‘සුජාත පුත්‍ර’ සිනමාපටය මෙම මස 30 වැනිදා සිට එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ කෙරේ. රවීන්ද්‍ර රන්දෙණිය, දිල්හානි අශෝකමාලා, නයනා කුමාරි, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, ඩයනා හෙට්ටිආරච්චි, නන්ද වික්‍රමගේ, උපුල් වීරසිංහ, ප්‍රමුදිත උදයකුමාර (ළමා), හර්ෂි රසාංගි (ළමා) මෙහි චරිත නිරූපණය කරති.

අමිල ශෂින්ද්‍ර සුජාත පුත්‍ර නිෂ්පාදනය කොට තිබේ. සංස්කරණය සහ කැමරා අධ්‍යක්ෂණය සජීව සංකල්ප ගෙනි. වජිර ප්‍රියශාන්ත කලා අධ්‍යක්ෂවරයාය. තරිඳු ඉලංගකෝන් සහ සාලින්ද රත්නාක සහාය අධ්‍යක්ෂවරුන්ය. නිශ්චල ඡායාරූප සහ මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්ත ගෙනි. ගැයුමෙන් විශාරද දීපිකා ප්‍රියදර්ශනි සමඟ යොනාල් මන්දිර දායක වූහ. ගී පද රචනා රඹුකන සිද්ධාර්ථ හිමි ගෙනි.


ගුණසිරිගේ පොත් තුනක්

ප්‍රවීණ විචාරක ගුණසිරි සිල්වා විසින් රචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් පසුගියදා නිකුත් විය. ලංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය, ලාංකේය දේශපාලනයේ අර්බුද සහ අරගල සහ සමීප ආගන්තුකයා එම ග්‍රන්ථ වේ.


සුනිල්ගේ ‘හේලි’ විවෘත වූ දා

චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරිගේ නවතම ස්වර්ණාභරණ මැදුර ‘හේලි’ පසුගියදා කිරිබත්ගොඩ නුවර පාරේ අංක 69 දරණ ස්ථානයේදී විවෘත විය. සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, සනත් ගුණතිලක, ජයලාල් රෝහණ, රොඩ්නි වර්ණකුල, සුසාර දිනාල් ඇතුළු කලාලොවේ සහෘදයින් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ. එහි විශේෂ දසුනක් ඡායාරූප ශිල්පි උපුල් නිශාන්තගේ තෙවැනි ඇසට මෙසේ හසු විය.


අසිරිමත් සිනමාව

සම්මානනීය සිනමා විචාරක ගාමිණී වේරගම විසින් රචනා කරන ලද සිනමා ග්‍රන්ථ ද්විත්වයක් පසුගියදා එළිදැක්විණ. අසිරිමත් සිනමාව 4 ඉන් පළමුවැනි ග්‍රන්ථය වෙයි. සුමේධා සිට සමනල සන්ධ්වනිය දක්වා සිනමා විචාර 40 ක් ඊට ඇතුළත්ය. එමෙන්ම දේශීය සිනමා වංශය ප්‍රථම කාණ්ඩයේ දෙවැනි මුද්‍රණය ද අලුතින් නිකුත් විය. එම ග්‍රන්ථය 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් සහ 2015 සිග්නීස් සම්මානයෙන් පිදුම් ලැබීය.