වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘ගෲෂාගේ චරිතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක්’

‘ගෲෂාගේ චරිතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක්’

රුවිනි මනම්පේරි

'හෙළ ගැඹුරුයි - පුත නොබලන්
සෙල වෙනකොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ මඟක් නැතේ
මේ මඟ මිස යමන් පුතේ
දෙවියො බලයි මූණ නුඹේ
නුඹව රකියි - යමන් පුතේ...'

වසර 12 ක් තිස්සේ හුණුවටයේ කතාවේ ගෲෂෘගේ චරිතයට ජීවය දෙමින් ඈ ආ මාවත අධිෂ්ඨානයේත් කැපවීමේත් අග්‍රඵලයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. එපමණටම ඇය නාට්‍ය හා රංග කලාවට රංගනයට පෙම් බඳින්නීය. ස්වකීය කුලුඳුල් වේදිකා නාට්‍ය නිෂ්පාදනයෙන් හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 11 කට හිමිකම් කියන්නට ඇයට හැකි විය. රුවිනි මනම්පේරි නම් වූ ඇය අද දවසේ අපේ සංවාදයේ කතා නායිකාව වන්නීය. ශ්‍රී ලංකා නාට්‍ය අනු මණ්ඩලයේ හිටපු ලේකම්වරියක ද වූ ඇය සමඟින් මේ සංලාපය අද්‍යතන නාට්‍ය කලාවේ වෙසෙස් ලකුණු පිළිබඳවය.

ඔබ ගෲෂාගේ චරිතයට කොටු වෙලා?

මෙහෙමයි, කොටු වෙලාම කියන්න බැහැ. මං බොහොම තෝරා බේරාගෙන නිර්මාණාත්මක රංගනයක් එක් කළ හැකි චරිතයන් පමණයි රඟපාන්නේ.

මං ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්නේ ලූෂන් බුලත්සිංහලයන්ගේ රතු හැට්ටකාරි - බෙර හඬ නව නිෂ්පාදනයෙන්. රත්නපුර සුමන බාලිකාවේ උසස් පෙළ කරපු මට කැලණි සරසවියට එන්නට අවකාශය හිමි වෙනවා. ඒ අතරතුර ටවර්හෝල් නාට්‍ය පාසල මට රංගනයට ගුරු ගෙදරක් වෙනවා. මමත් එක්ක චතුරානි තිලකරත්න, චාමික හත්ලහවත්ත, තුමිඳු දොඩම්තැන්න, ඉන්දික ෆර්ඩිනැන්ඩු ඇතුළු අද නාට්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනාගත් පිරිසක් එහි ඉගෙණීමට එකතු වුණා.

නාට්‍ය පාසලේ ඉගැන්වීම් කයුතුවලට හෙන්රි සර් (හෙන්රි ජයසේන) ආවා. එතුමාට ඕනෑ වුණා හුණුවටයේ නව නිෂ්පාදනයක් කරන්න. ඒ 1998 අවුරුද්්දේ. හෙන්රි සර් අසඩක්ගේ චරිතයත්, මානෙල් ජයසේන මහත්මිය ගෲෂාගේ චරිතය කරද්දී මම නටාලියාගේ චරිතයට ජීවය දුන්නා. ඔය අතරේ ගෲෂාගේ චරිතයට දක්ෂ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වෙලා තිබුණා. දුලිකා අක්කාට (දුලිකා මාරපන) ඒ අවස්ථාව හිමි වුණ. පුහුණුවීම් අතරතුර ඇයගේ කාර්යබහුලත්වය මත ඇයට පැමිණීමට නොහැකි වුණා. නටාලියාගේ චරිතය කළාට මගේ හිතේ වැඩි කැමැත්ත තිබුණේ ගෲෂාගේ චරිතයට. මට ඒ දෙබස් පවා සියල්ල හොඳට පාඩම්. එදත් දුලිකා අක්කට එන්න බැරි වුණා. හෙන්රි සර් කිව්වා 'රුවිනි ඔයා දැනට ගෲෂාගේ චරිතය කරන්න කියා'. මමත් උපරිමයෙන් ඒ චරිතය නිරූපණය කළා. (2002) එදා ඉඳන් මේ මොහොත දක්වාම මම ගෲෂාගේ චරිතයට පණ පොවනවා. ගෲෂාගේ චරිතය ලැබුණාම මට හිතුණා මීට වඩා වෙන මොනවත් අවශ්‍ය නැහැ කියා. එපමණටම මං ගෲෂාගේ චරිතයෙන් තෘප්තිමත්.

මානෙල් ජයසේන මහත්මිය විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ චරිතයක් ප්‍රති නිර්මාණය කිරීමේ අභියෝගය කෙසේද ඔබ ජය ගත්තේ?

ඇත්තටම ඒක හීනයක් සැබෑවීමක්. මට මතකයි රත්නපුරේ නගර ශාලාවේ හුණුවටයේ කතාව වේදිකා ගත කළ මොහොත. ශාලාව අතුරු සිදුරු නැතිව පිරිලා. මම නාට්‍ය බලන්න ආවේ පුදුමාකාර ආසාවකින්. ඒත් එකම අසුනක්වත් නෑ. මම ඉස්සරහ පඩිපෙළ අසල හිටගෙන නාට්‍යය බැලුවේ. ඒ විදියට නාට්‍යය බලපු මට ඒ නාට්‍යයේම ප්‍රධාන චරිතයට ජීවය දෙන්නට තරම් මං වාසනාවන්ත වූවා කියා නිහතමානී සතුටක් මට තිබෙනවා.

හෙන්රි සර් (ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේන) මට මේ චරිතය කරද්දී දුන්නු මුල්ම උපදේශය තමයි ඔයාට කවදාවත් මානෙල් ජයසේන වෙන්න බෑ. ඔයා රුවිනි වෙන්න. එහෙම වෙලා ගෲෂාගේ මනෝභාවයන්, මාතෘත්වය හා සම්බන්ධ යටි පෙළ ගැඹුරින් වගේම සියුම්ව හදාරන්න කියලයි. ඒ වගේම බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ තදාත්ම විඝටන න්‍යාය අබිබවා යන විදියට මවකගේ මෘදු ගුණය ප්‍රේක්ෂකාගාරය තුළ පතුරවන්න කියලයි. ඒ ගුරුහරුකම් සහ නාට්‍ය පාසලෙන්, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විෂය ශාස්ත්‍රාලීය ලෙස හැදෑරීමේ ප්‍රතිඵලයන් සමඟින් මට ගෲෂාගේ චරිතයත් එක්ක ඒකාත්මික වෙන්නට හැකියාව ලැබුණා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මට සුභපැතුම් හිමි වුණා. ප්‍රේක්ෂකයන්ගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇතැම් ප්‍රේක්ෂකයෝ හිතුවේ මං මානෙල් ජයසේන මහත්මියගේ දියණියක් කියලා. එපමණටම ප්‍රේක්ෂකයන් මේ චරිතයට ආදරය කළා. අදටත් එය එලෙසමයි. ගෲෂාගේ චරිතය තුළින් අපමණ තෘප්තියක් මං විඳිනවා. ඒ වගේම මවක්, බිරිඳක් ලෙසින් වගේම රාජකාරී ජීවිතයත් සමග වෙන නාට්‍යයක නිර්මාණාත්මක කටයුත්තකට හිතන්නවත් අවකාශයක් නැති තරම්.

ඔබේ පළමු වේදිකා නාට්‍ය නිෂ්පාදනයෙන්ම ඔබ සම්මානයට පාත්‍ර වෙනවා. එනමුත් එය ඔබේ ප්‍රථම සහ අවසාන නාට්‍යය බවට පත් වෙලා?

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී අවසන් වසරේ ප්‍රායෝගික පරික්ෂණයට වේදිකා නාට්‍යය නිර්මාණයක් නිෂ්පාදනය කරන්නට නියමිත වුණා. එහිදී මං තෝරා ගත්තේ ෂෝන් පෝල් සාතේ ගේ The Respectfull Prostitute  නාට්‍ය කෘතියයි. එය 'නම්බුකාර විලාසිනිය' නමින් සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි මහත්මයා. එතුමා බොහෝම ඉස්තරම් විදියට පරිවර්තනය කාර්ය සිදු කළා. නාට්‍ය නිෂ්පාදනයේදී චරිතයන් සඳහා රංගන ශිල්පීත් තෝරා ගැනීම (නළු වරණය) ඉතාම වැදගත්. ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ශිල්පීන් පිරිසක් ඒ සඳහා මට උදව් කළා. කෞශල්‍යා ප්‍රනාන්දු, ගිහාන් ප්‍රනාන්දු, අතුල පතිරණ, ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, සංජීව උපේන්ද්‍ර යන ප්‍රවීණ නළු නිළි කැල මේ මොහොතේත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන් මට සාර්ථක නාට්‍ය නිෂ්පාදනයක් කරන්න අවකාශය සලසා දෙනවා.

ප්‍රථම නිෂ්පාදනයෙන්ම හොඳම අධ්‍යක්ෂණයට සම්මාන දිනා ගැනීම විස්මිතයි?

ඔව්. නම්බුකාර විලාසිනිය නාට්‍ය නිර්මාණය සම්මාන 11 ක් හිමිවීම නාට්‍යයට සම්බන්ධ වූ සියලු දෙනාගේම කැපවිමේ ප්‍රතිඵලයක් විදියටයි මං දකින්නේ. හොඳම නිළිය ලෙසින් කෞශල්‍යා ප්‍රනාන්දු, හොඳම සහාය නළුවා ලෙසින් ගිහාන් ප්‍රනාන්දු, හොඳම පරිවර්තනනය සඳහා නමෙල් වීරමුණි, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම අධ්‍යක්ෂණය සහ ජූරියේ විශේෂ සම්මානය ඇතුළු සම්මාන තුනක් (03) මා හටත් හිිමි වුණා. ඒ මතකය අදටත් සොඳුරුයි.

ඒත් අද වන විට මේ මොහොත වන විට නාට්‍ය කලාවේ ජීව ගුණය හීන වෙමින් යනවා?

ඔව්. ඒක ඇත්ත. වේදිකා නාට්‍යයක සාර්ථකත්වයට සියලු දෙනාගේම කැපවීම, මනා පුහුණුව ඉතාමත් අවශ්‍යයි. ඒ දවස්වල අපි නාට්‍යවල පුහුණුවීම්වලට සම්බන්ධ වුණේ හදවතින්මයි. ඒත් අද අපේ විශ්විද්‍යාලවල සහ නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන නංගිලා මල්ලිලා බහුතරයක් මුදල මත පමණක් සීමා වෙලා. මුදල් අපිට අවශ්‍යයි. ඒත් හැමදේම මුදල් මත තීරණය කරන්න බැහැ. එදා අපි නාට්‍ය කලාව වෙනුවෙන් හෙළු දහඩිය කඳුළු පසු කලෙක සතුටු කඳුළු වෙලා අපිට පන්නරය ලබා දෙනවා. ඒත් අද බොහෝ දෙනෙක් නාට්‍යයකට ඇවිත් උත්සාහ කරන්නේ ඊළඟට වෙළඳ දැන්වීමකට, ටෙලි නාට්‍යයකට 'කරනමක්' ගහන්නේ කොහොමද කියා. ඔවුන්ට ඕනෑ ක්ෂණික ජනප්‍රියත්වයක්. ඒ නිසා ගුණාත්මක බවින් හීන දේවල් පසු පස පවා ඔවුන් හඹා යනවා. මේක ඛේදනීය තත්ත්වයක්.

ඔබේ නිවසේම ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙක් සිටිනවා. ඒත් ඔබ පුංචි තිරයේ දැකගන්නට නොහැකි තරම්?

මං මුලින්ම පැවසුවා වගේ ගුණාත්මකභාවය පිළිබඳ මං බෙහෙවින් සැලකිලිමත් වෙනවා. මගේ සැමියා රසික සුරවීරආරච්චි. ඔහුගේ නිර්මාණ කාර්යට ඕනෑ කරන නිර්මාණාත්මක අවකාශය සලසා දෙන්න මං නිරන්තරයෙන් උත්සාහ කරනවා. කිවිදි කසුන්දරා සුරවීරආරච්චි අපේ දෝණිට දැන් වයස 10 යි. ඇගේ කටයුතුවලට සැමියාගේ නිර්මාණ කටයුතුවලට වගේම මගේ කලා කටයුතුවලට මුල් තැන දෙමින් ජීවිතය සතුටින් ගලා යනවා.

ක්ෂේත්‍රයට එන්නට මඟ කියූ අයට තුති පුදන්න මේ වේලාවයි?

ලූෂන් බුලත්සිංහල, හෙන්රි ජයසේන, සුනන්ද මහේන්ද්‍ර, කේ. බී. හේරත්, දයානන්ද ගුණවර්ධන ආදී ප්‍රවීණ නාට්‍යවේදින්ගේ නිර්මාණ කෘති සඳහා මාව තෝරා ගනිමින් ලබාදුන් ගුරුහරුකම් පිළිබඳ මගේ හිතේ තිබෙන ගෞරවය එලෙසමයි. ඒ වගේම මගේ ආදරණීය සැමියා ඇතුළු පවුලේ සැමගෙන් ලැබෙන සහායත් සදානන්දනීයයි.

ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උසස් දැනුම ලබා දුන් ආදරණීය ඇදුරු මඩුල්ලත්, සංස්කෘතික කටයුතු නංවාලන්නට අපමණ වෙහෙසක් දරන සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මැතිනියවත් හෘදයාංගමව සිහිපත් කරනවා.

අවසන් වශයෙන් ඔබට පවසන්නට යමක් ඇති?

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හුණුවටයේ කතාවේ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා.

'දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති විය යුතු
ගොවි දන මනා වූ
ලැබිය යුතු සේම ගම් බිම්'