වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




පර නොවුණු ‘පරසතු මල’ක සුවඳ අතීතය...

පර නොවුණු ‘පරසතු මල’ක සුවඳ අතීතය...

නිෂ්පාදක - චිත්‍ර බාලසූරිය මතක ආවර්ජනයක...

‘පරසතුමල්’ තිරගතවී වසර පනහක් පිරීම නිමිත්තෙනි

“බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත හඬන හිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටු බව නොම හැඟුනාවේ
මා නැති කලක උන් සුවඳක් දැනුණාවේ...”

‘පරසතු මල්’ ලාංකේය සිනමාවට අමරණීය සිහිවටන රැසක් එක් කළ චිත්‍රපටයකි. එය මුල් වරට තිරගත වූයේ අදින් පණස් වසරකට පෙරාතුවය. දින වකාවනු හරියටම සඳහන් කළොත් 1966 සැප්තැම්බර් 23 වැනිදාය.

හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න කතාව සහ තිර නාටකය ලියූ ‘පරසතු මල්’ අධ්‍යක්ෂණය කළේ ගාමිණී ෆොන්සේකාය. එවකට විසිනව වැනි වයේ පසු වූ ගාමිණී එකී භාරදූර කාර්යයට අත ගැසුවේ ‘බොනී මහත්තයා’ නමැති එහි ප්‍රධාන භූමිකාව රඟපෑමේ අභියෝගය ද බාර ගනිමිනි. එය ගාමිණී නිරූපණය කළ භූමිකා අතුරෙන් විශිෂ්ටතම චරිතයක් වූ අතර පොදුවේ මෙරට සිනමාවේ අප දුටු අද්විතීය රංග භූමිකාවක් ද වේ.

කෙසේ වෙතත් චිත්‍ර බාලසූරිය නම් අපූරු මිනිසා නොවන්නට කිසි දිනෙක සිංහල සිනමාවේ ‘පරසතු මල්’ නොපිපෙනු ඇත. මන්දයත් ‘පරසතු මල්’ බිහි වූයේ ඔහුගේ අප්‍රතිහත ධෛර්්‍යයේත්, අප්‍රමාණ කලා රසිකත්වයේත් ප්‍රතිඵලයක් ලෙස බැවිනි.

මේ වන විට අසූ හතර වැනි වියේ පසුවන චිත්‍ර තවමත් පුවත්පත්, සඟරා ආදිය කියවන්නේ උපැස් යුවළක් රහිතවය. ඒ තරමටම ඔහුගේ අතීත මතකයන් ද සුපැහැදිලිය. ඔහු මෙසේ අප හා සොඳුරු කතාබහකට එක්වූයේ ‘පරසතු මල්’ පිළිබඳ සිය නිරවුල් මතකය අවධි කරමිනි.

‘පරසතු මල්’ මුල් බීජය රෝපණය වන තැන ඉඳන් මේ කතාබහ ආරම්භ කළොත්?

ගම්පහ, මගේ ගම් ප්‍රදේශයේ ඒ කාලේ හිටියා මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු ඡායාරුප ශිල්පියෙක්. ඔහුට අයත් ඡායාරූප ශාලාවක් තිබුණා ‘සෙන්ට්‍රල් ෆොටෝ’ කියලා. ඒ මිත්‍රයගේ නම මායාදුන්න. කොහොම හරි ඔහු මට බලහත්කාරයෙන් ඡායාරූප ශිල්පය ඉගැන්නුවා. මම කවදාවත් රජයේ රැකියාවක් කරපු කෙනෙක් නෙවේ. අවසානයේ දී මම ඒ මිත්‍රයාගේ යෝජනාවකට ගම්පහ නගරයේ මහ වීදියේ ඡායාරූප ශාලාවක් ආරම්භ කළා.

ඒ කොයි අවධියේද?

1964 වර්ෂයේ. ඒකේ නම චිත්‍ර ෆොටෝ. ප්‍රවීණ සංගීතඥ ලයනල් අල්ගම මගේ පන්ති සගයෙක්. ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් සංගීත ශාස්ත්‍රය හදාරලා අති දක්ෂ වාද්‍ය ශිල්පියෙක් හැටියට ලංකාවට ආවා. ඔහු නිතර ගොඩ වෙනවා මාව හමුවන්න ‘චිත්‍ර ෆොටෝ’ ඡායාරූප ශාලාවට. ඔය කාලෙම මහගම සේකර රදාවනේ ඔහුගේ උපන් ගමේ ඉඳලා ගම්පහ එනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ කොළඹ ලෝරන්ස් කොලීජියට අනුබද්ධ ඉංග්‍රීසි පාඨශාලාවට.

ඔහුත් නිතර ‘චිත්‍ර ෆොටෝ’ ඡායාරූප ශාලාවට ආගිය කෙනෙක්. ගම්පහට ආපු හැම වෙලාවකම වගේ ඔහු මගේ ඡායාරූප ශාලාවට ගොඩ වදින්න අමතක කළේ නෑ. එතකොට අපේ පණ්ඩිත් අමරදේව. ඔහුත් නිතරම ගම්පහ එනවා. මොකද ඔහුගේ ජාතික ඇඳුමේ බැනියම මහපු මැහුම් ශිල්පියා හිටියේ ගම්පහ. ඔහු එහෙම ආපු වෙලාවට අනිවාර්යයෙන්ම මාත් එක්ක දවල් ආහාරය අරගෙන යන සිරිතක් තිබුණා. ඒ වගේම දයානන්ද ගුණවර්ධනත් නිතර මගේ ඡායාරූප ශාලාවට ආගිය කෙනෙක්. ඔහු හිටියේ උඩුගම්පල.

මේ අයගේ ඇසුර නිසා කලාව පිළිබඳ ඔබේ හිතෙත් යම් ආශාවක් ඇති වෙන්න ඇති?

ඔව්. පාසල් කාලේ පටන් මම විරිදු ගායනයට දක්ෂයිි. විරිදු කියලා ඩඩ්ලි සේනානායක අගමැතිතුමා අතින් මම රන් පවුමකුත් ලබාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි කලාකරුවන් එක්ක මම ඇසුරට වැටුණේ. ඒ කාලේ ධර්මදාස කුරුප්පුත් මගේ ‘චිත්‍ර ෆොටෝ’ එකට නිතර ආගිය මගේ මිත්‍රයෙක්. ඔහු රංගන ශිල්පියෙක් විදිහටත් ඒ වෙද්දී දක්ෂතා දක්වලා තිබුණා. ඔහු තමයි මට මුලින්ම යෝජනා කරන්නේ චිත්‍රපටයක් කරමු කියලා.

කොහොමද ඔහු ඒ යෝජනාව කළේ?

‘මං හොඳට හඳුනනවා පී. කේ. ඩී. සෙනෙවිරත්නව. නරකද එයාට කියලා කතාවක් ලියවගෙන ඒකෙන් චිත්‍රපටයක් කළොත්’ එහෙම තමයි ධර්මදාස කුරුප්පු මගේ හිතට මේ අදහස දැම්මේ. ඒ වෙනකොට පී. කේ. ඩී. ‘සිකුරු තරුව‘ , ‘කුරුලු බැද්ද’ චිත්‍රපටවල තිර නාටකය ලියා ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ.

ඔබ මොකද කිව්වේ?

කිසි කතාවක් නෑ. මම තීරණයක් අරගත්තා. ‘ධර්මේ වරෙන්,නැගපන් කාරෙකට’ කියලා එවෙලේම පිටත් වුණා මගේ කරෙකෙන් පී. කේ. ඩී. හොයගෙන. ඔහු එතකොට පදිංචි වෙලා හිටියේ පල්ලෙවෙල. පල්ලෙවෙල තැපැල් ස්ථානාධිපති ඔහුගේ නෑදෑයෙක්. අපි යනකොට පී. කේ. ඩී. මහත්තයා සරමක් ‘පිටපොට’ ගහගෙන වෙලේ නියරක් උඩට වෙලා ඉන්නවා. අපිව දාකලා ඈත තියාම ‘ආ ධර්මේ කොහොමද’ කියලා අහලා මිත්‍රත්වය තහවුරු කරලා අපි එක්ක කතාබහට මුල පිරුවා.

ආපු කාරණයත් කිව්වා?

ඉතාම සංතීෂයෙන් එතුමා අපේ ඉල්ලීම පිළිඅරගෙන සති දෙකකින් චිත්‍රපට කතාව ලබා දෙන්න පොරොන්දු වුණා. හරියටම සති දෙකකින් මම තනියම ඔහු සොයා ගියා. දෑතින්ම චිත්‍රපට කතාව මා අතට දීලා, කිසිම ගවිසුමක් නැතිව ‘අපි කරගෙන යමුකෝ කියලා’ මට කිව්වා. මමත් ‘බොහොම ස්තූතියි’ කියලා තිර නාටකය අරගෙන ඉතාම සතුටෙන් ආපහු ආවා.

තිර නාටකයත් තියෙනවා. නිෂ්පාදකයාත් ඉන්නවා. ඊළඟ කාරණය අධ්‍යක්ෂවරයෙක් හොයා ගන්න එකනේ?

ඔව්. මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා හමුවෙන්න ගියා. ඒත් ගියේත්් තනියම. ඔහු එතකොට ‘රේඛාව‘ ‘ගම්පරළිය’ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුණා. ඔහු හමුවෙලා මේ කතා පිටපත දීලා ආරාධනාවක් කළා චිත්‍රපටය කරන්න කියලා. ඔය බාර දෙන වෙලාවේදී කතාවේ නම දාලා තිබුණේ ‘පෙම්වතුන්ගේ ලෝකය’ කියලා. ඒ නම නම් හොඳ නෑ. වෙනස් කළ යුතුයි කියන සිතිවිල්ලක් මගේ හිතේ තිබුණා.

එතකොට ‘පෙම්වතුන්ගේ ලෝකය’ තමයි ‘පරසතු මල්’ වුණේ?

ඔව්. ඒක වුණේ කොහොමද කියන තැනට මම පසුව එන්නම්. දැන් ඉතින් මම බලාගෙන ඉන්නවා ලෙස්ටර් මහත්තයාගෙන් පණිවිඩයක් එනකම්. සති දෙකකට විතර පස්සේ ඔහු හමුවෙන්න කියලා මට පණිවිඩයක් ලැබුණා. මම ගියා. ‘චිත්‍ර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ කලින් චිත්‍රපටයක් කරපු නිෂ්පාදකයකුගෙන් මට ආරාධනයක් ඇවිත් තියෙනවා ඊළඟ චිත්‍රපටයත් කරන්න. එයා කිව්වා වෙන වැඩක් බාර නොගෙන ඒ චිත්‍රපටය විතරක් කරන්න කියලා’ ලෙස්ටර් මහත්තයා කිව්වා. ‘අපි මේක දෙමු ගාමිණී ෆොන්සේකාට’ කියන යෝජනාව කළේත් එතුමාමයි. ඔය කාලෙදි ලෙස්ටර්, සුමිත්‍රා විවාහ වෙලා හිටියේ නැහැ. නමුත් බොහොම ළඟ ඇසුරක් තිබුණා. අපි දෙන්නම උදවු කරන්නම්’ කියලත් කිව්වා.

ඊට පස්සේ මොකද වෙන්නේ?

මම ආයෙත් පී. කේ. ඩී. සෙනෙවිරත්න මහත්තයා හම්බ වෙන්න ගිහිල්ලා අර ‘පෙම්වතුන්ගේ ලෝකය’ නම ගැන මගේ එතරම් කැමැත්තක් නැති බවත් අඟවලා මේ චිත්‍රපටය ගාමිණී ෆොන්සේකාට අධ්‍යක්ෂණය කරන්න දෙන බවත් කීවා. ඔය වෙනකොට මම ගාමිණී ෆොන්සේකා එක්ක වචනයක්වත් කතා කරලා නෑ. ඒ තියා පණපිටින් දැකලාවත් නෑ.

එතකොට ගාමිණී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නෙවෙයිනේ. ඔබට යම් චකිතයක් ඇති වුණේ නැද්ද මේ වැඩේ ඔහුට බාර දෙන්න?

නෑ. ඇයි අර ලෙස්ටර්ගේ රෙකමාදාරුව තිබුණනේ. ‘ගාමිණී මේ වැඩේ හොඳට කරයි’ කියලා ඔහු මුලින් මට ප්‍රකාශ කළ නිසා ඒ ගැන සැකයක් නම් තිබුණේ නෑ. අනෙක ලෙස්ටර්, සුමිත්‍රා දෙන්නත් උදවු කරන්නම් කිව්වනේ.

කොහොම හරි ‘පරසතු මල්’ නමින් තමයි චිත්‍රපටය ආරම්භ කරන්නේ?

‘පෙම්වතන්ගේ ලෝකය’, ‘පරසතු මල් වුණේ මෙහෙමයි. මමයි, ලයනල් අල්ගමයි, පී. කේ. ඩී. සෙනෙවිරත්නයි ගියා චන්ද්‍රරත්න මානවසිංහ හමුවෙන්න. ඔහු පදිංචි වෙලා හිටියේ බොරලැස්ගමුවේ ‘වාපි මේඛලා’ නිවසේ. නමුත් ඔහු ඒ වෙලාවේ නිවසේ හිටියේ නෑ. බෙහෙත් වගයක් ගන්න ‘මහවැව’ ගිහිල්ලා.

ඇද්දා ‘මහවැවට?

එහෙම්ම ගියා මහවැව, මගේ කාරෙකෙන්ම. ඒ කියපු තැන හොයගෙන යන කොට ලොකු වත්තක් මැද හාන්සි පුටුවක මානවසිංහයන් දිගෑදිලා හිටියා. ‘බේත්’ කෙසේ වෙතත් වෙන මොනවාද නම් බිබී හිටියා. අපි ආපු කාරණේ කිව්වම ‘මෙතන මේවා කතා කරන්න බෑ අපි යමු හොඳ තැනකට’ කිව්වා. මහවැව ඉඳන් හලාවතට යන පාරේ තමයි ‘සුදුවැල්ල’ දේවාලය තියෙන්නේ. අපි ගියේ ඔතැනට. ඉතින් ඔන්න දැන් අපි අර වැල්ලේ වාඩිවෙලා මානවසිංහට කතාව කියනවා. පී. කේ. ඩී. තමයි කතාව කියන්නේ. කතාව බාගයක් දුරට යද්දී එකපාරටම මානවසිංහ කිව්වා ‘ආ මේ උඹ කතා කරන්නේ අනුන්ගේ ගෑනු ගැනනේ. ‘පරසතු මල්’ අනුන් සතු කියන එකනේ. ඕකට දාපන් ‘පරසතු... කියනකොටම ‘මල්’ කියලා ලයනල් අල්ගම ඉතිරිය සම්පූර්ණ කළා.

ඒ නම ගැන ඔබ සතුටට පත් වුණාද?

නැතිව. මම ඉතින් නැගිටලා වැල්ලේ පිනුමක් එහෙම ගහලා සතුට ප්‍රකාශ කළා. මගෙත් ඉතින් කොලු වයසනේ. එතකොට මට වයස අවුරුදු තිහයි. එතනින් අපි හතර දෙනා කෙළින්ම ආවා ඹ්චඬඥ ඩ්ධභඵඥ එකට. එතකොට ‘සරසවිය’ කර්තෘ මීමන. අපි යනකොට පත්තරේ මුද්‍රණයට සූදානම්. කර්තේලිස් බාස් දැන් පත්තරේ මුද්‍රණයට අකුරු අමුණනවා. මීමන පණිවිඩයක් ඇරියා පත්තරේ නතර කරන්න කියලා. ‘ගම්පහින් පරසතු මල් පිපේ’ කියලා අලුත් සිරස්තලයකුත් යොදලා මීමන ඒ ප්‍රවෘත්තිය පළ කළා.

එහෙම තමයි ‘සරසවිය’ ආරම්භයේ ඉඳන්ම කලාවට සිනමාවට අත හිත දුන්නේ?

ගණන් කරලා බැලුවොත් පත්තර දෙසීයක විතර ‘පරසතු මල්’ අගය කරලා තියෙනවා. ඒක මටත් නම්බුවක්, පත්තරේටත් නම්බුවක් නේ.

‘පරසතු මල්’ රූගත කරන අවධියේ ගාමිණීගේ වයස අවුරුදු විසි නවයයි මම හිතන්නේ?

ඔව්. විසි නවයයි. ‘පරසතු මල්’ කරන කොට ගාමිණී ‘චණ්ඩියා’ ඇතුළු චිත්‍රපට පහක වැඩ. ඉතින් ඔහු ගොඩක් කාර්යබහුලවයි හිටියේ. ඒ නිසා එළිමහන් දර්ශන සියල්ලම වාගේ රූගත කළේ ලෙස්ටර්. සුමිත්‍රා සහ කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහගෙන් ඔහුට ලොකු සහයෝගයක් ලැබුණා.

ලෙස්ටර් සහ ගාමිණී අතර තිබුණේ කොයි වගේ සම්බන්ධයක්ද?

මට නම් අදටත් ශක්තියක් නෑ ‘ලෙස්ටර්’ කියා ඔහුට කතා කරන්න. මම කතා කළේ මිස්ටර් පීරිස් කියලා. නමුත් ගාමිණී පුරුදු වෙලා හිටියේ ලෙස්ටර් කියලා මූණටම ඔහුට ආමන්ත්‍රණය කරන්න. ඒත් ලෙස්ටර් පිළිබඳ ගාමිණීගේ හිතේ ලොකු ගෞරවයක් තිබුණා. ලෙස්ටර් මහත්තයත් එහෙමයි.

චිත්‍රපටයක් කරද්දී ‘ගිවිසුම්’ අත්සන් කිරීම සාමාන්‍යය සම්ප්‍රදායනේ. නමුත් ‘පරසතු මල්’ එහෙම ගිවිසුම් ගහලා කරපු නිර්මාණයක් නෙවෙයි කියා මා අසා තිබෙනවා?

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, එතකොට කිසිම නළුවෙක්, නිළියෙක්, කාර්මික ශිල්පියෙක් කිසිම මුදලක් ඉල්ලුවේ නෑ.

නළු නිළියන් තෝරා ගැනීමේදී කුමන පිළිවෙතක්ද අනුගමනය කළේ?

කවදාවත් කතා කර තිබුණේ නැති ගාමිණී ෆොන්සේකා ‘බොනී මහත්තයාගේ’ චරිතයට යෝජනා කරන්නේ මම. අනුලා කරුණාතිලක දැකලා තිබුණේ වේදිකාවේ විතරයි. පුණ්‍යා ‘කුරුළු බැද්ද’, ‘සිකුරු තරුව‘ රඟපාලා මීරිගම පැත්තේ ඉන්නවා කියලා දන්නවා. ඔය සෑම කෙනෙක්ම මමයි තේරුවේ. මේ එකම නළු, නිළියෙක්වත් ගාමිණී වෙනස් කළේ නෑ.

‘පරසතු මල් ‘චිත්‍රපටයට දායක වූ පිරිස මේ වෙලාවේ සිහිපත් කළොත් මම හිතන්නේ එය ඔවුන්ට කරන උපහාරයක් වේවි?

රංගනයෙන් ගාමිණී ෆොන්සේකා, පුණ්‍යා හීන්දෙණිය, ජෝ අබේවික්‍රම, සිරිමතී රසාදරී, ටෝනි රණසිංහ, ශාන්ති ලේඛා, ඩී. ආර්. නානායක්කාර, අනුලා කරුණාතිලක, චිත්‍රා වාකිෂ්ඨ, සී. ඒ. බාලසූරිය, එස්. ඒ. ජේමිස්, ෂෙල්ටන් පෙරේරා, විජේරත්න වරකාගොඩ, ධර්මදාස කුරුප්පුු, නෙල්සන් කරුණාගම ‘පරසතු මල්’ චිත්‍රපටයට දායක වුණා. සුමිත්ත අමරසිංහ වගේ කැමරා අධ්‍යක්ෂවරයෙක් හමුවුණේ ඇත්තටම මගේ පෙර පිනට. සංස්කරණයෙන් ටයිටස් තොටවත්ත, කලා අධ්‍යක්ෂණයෙන් ධර්මසේන හේමපාල ‘පරසතු මල්’ සැරසුවා. ගීත රචනා කළේ මහගම සේකරයන්. ලයනල් අල්ගමගේ සංගීතය. ගායනයෙන් අමරදේව, සුජාතා අත්තනායක දායක වුණා. මේ අය අතරින් බොහෝ දෙනෙක් අද මිය පරලොව ගිහින්.

ඒත් ඔවුන් දායක වූ නිර්මාණය අදටත් අමරණීයයි?

ඇත්තටම ඒක අපි හැමෝගෙම පිනක්. මේ නිර්මාණය තුළ ඔවුන් සදාකල් ජීවමානයි. අද ජීවත්ව සිටින අයට මම නිදුක්, නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.

‘පරසතු මල් ‘රූගත කළේ කොහේද?

‘බොනී’ මහත්තයාගේ නිවස හැටියට අපි යොදා ගත්තේ ගම්පහ ‘අග්‍රා’ වළව්ව. ඒක ලක්ෂ්මන් ජයකොඩි අමාත්‍යවරයාගේ පරම්පරාවට අයත් වලව්වක්. අද ගම්පහ කච්චේරිය පිහිටා තිබෙන්නේ එතැන. එතකොට එළිමහන් දර්ශන සියල්ල අපි රූගත කළේ පිළිකුත්තුවේ. සැබෑම ගැමි පරිසරයක් එදා එහි තිබුණා.

එදා ‘පරසතු මල්’ චිත්‍රපටය නිපදවන්න ඔබට කොපමණ මුදලක් වැය වුණාද?

රුපියල් හත් ලක්ෂ අනූ දාහක්.

එතකොට ලාභෙත් ඒ වගේම ලැබෙන්න ඇති?

සති හතරකින් රුපියල් තිස් හත් ලක්ෂයක මුදලක් ලාභය වශයෙන් මට ලැබුණා. ගමක් ගන්න සල්ලි. අපි පිටපත් දහනවයක් දැම්මා. දුවන්න පුළුවන් ප්‍රමාණයක් දිව්වට පස්සේ ඊළඟ වටයට දානවා. ඉතිං ‘පරසතු මල්’ කියන්නේ හොඳට දිව්ව චිත්‍රපටයක්.

චිත්‍රපටයට දායක වූ පිරිසත් එහි ප්‍රතිලාභ අත් වින්දා?

ඔබට මම මුලින්ම කිව්වනේ කිසිම කෙනෙක් එක්ක කිසිම විදිහේ ගිවිසුමක් නැතිවයි මේ චිත්‍රපටය කළේ කියලා. ඒත් මම ඒ උපයපු මුදල් තනියෙන් පොදි ගහ ගත්තේ නෑ. එතකොට ගාමිණී ෆොන්සේකා මැලිබන් බිස්කට් ආයතනය කිට්ටුව කුලී නිවසක හිටියේ. සාමාන්‍යයෙන් ඒ කාලේ ගාමිණී චිත්‍රපටයක රඟපාන්න රුපියල් 15,000 ක මුදලක් අය කරනවා. ඔහු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණයත් කළානේ. සිරිමල් උයනේ ඔහු පදිංචිව හිටපු නිවස මම ‘පරසතු මල්’වලින් ඔහුට අරන් දුන්න ගේ. ඒ කාලේ මම රුපියල් 40,000 ක මුදලට එය මිලදී ගත්තේ. පී. කේ. ඩී. සෙනෙවිරත්න මහත්තයට මම ‘ඕපල් රෙකාඩි’ කාරෙකක් අරන් දුන්නා රුපියල් 7,200 කට. එතකොට බෙන්ස් එකක් රුපියල් 29,000 යි.

ඒ වාගේ හැමෝටම සැලකුවා?

අපොයි ඔව්. පී. කේ. ඩී. සෙනෙවිරත්නගෙන් මම ඇහුවා පුණ්‍යාට කොපමණ මුදලක් ගෙවන්නද කියලා. රුපියල් 15,000 ක් පුළුවන් නම් දෙන්න කිව්වා. මම ඇයට ඒ මුදල ගෙව්වා. ඔය වගේ හැමෝටම ගෙවල්වලටම ගිහින් මුදල් දුන්නා. නමුත් ඔවුන් තමන් දායක වූ චිත්‍රපටයට ගරු කළා. ලෙස්ටර් මහත්තයාට ඒ දවස්වල කෑම කන්න බැරි අසනීපයක් තිබුණා. ඔහු කෑවේ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පමණයි. මම ඔහුට ක්‍රීම් ක්‍රැකර් පැකට් එකක් ගෙනිහින් දුන්නා.

‘බොනී මහත්තයා’ සිංහල සිනමාවේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්තම චරිතයක්?

ගාමිණී ෆොන්සේකාටවත් හිතාගන්න බෑ ඒ චරිතය මේ තරම් හොඳට රඟපෑවෙ කොහාමද කියලා. ඇත්තටම මේ කතා කරන ඔබත්, මමත් දෙන්නම සියනෑ කෝරළෙන්. ඒ් වගේම ‘පරසතු මල්’ චිත්‍රපටයට දායක වූ වැඩි දෙනෙකුත් සියනෑ කෝරළයේ උපන් අය. මේ බොනී මහත්තයාගේ චරිතයත් සියනෑ කෝරළයේ විසූ එක්තරා ප්‍රකට දේශපාලනඥයකුගේ පියාගේ චරිතය ඇසුරෙන් ගොඩ නැඟුනු චරිතයක්. ඒ නම කියන්න මම කැමැති නෑ.

‘බොනී ‘මහත්තයා සල්ලාලයෙක්, බේබද්දෙක් විදිහට ඇතැමුන් දකිනවා. තවත් අය ඔහු දකින්නේ අපූරු රසවතෙක් විදිහට. ඔබ මේ චරිතය දකින්නේ කොහොමද?

ඔහු ඕමාර් ඛයියාම්ගේ දර්ශනය අනුව ජිවත් වූ කෙනෙක්. ඒ කියන්නේ ස්ත්‍රිය, සුරාව, සංගීතය, ජීවිතය කියා හිතපු කෙනෙක්. ඔහු රසවතෙක්. සෞන්දර්යවාදියෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු අවාසනාවන්තයෙක්. අන්තිමට ජීවිතය හැර යන්නේ කාත් කවුරුවත් නැතිව. ඇත්තෙන්ම කිව්වොත් මේ බොනී මහත්තයාගේ මරණය හරහා ඔහුගේ ඉරණම හරහා අපට පසක් වන්නේ බෞද්ධ දර්ශනයේ හරය. ඒකම තමා ජීවිතයේ යථාර්ථය.