වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

එන්න 23 වැනිදා ‘තල් අරණට’

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ ලබන සතියේ

යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය සහ සිලොන් තියටර්ස් සමාගම එකමුතුවෙන් සංවිධානය කෙරෙන යාපනය සිනමා උලෙළ මෙම මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා යාපනයේදී පැවැත්වෙයි. වෙට්‍රි මාරන්ගේ සම්මානනීය සිනමා කෘතියක් වන ‘විසරණයි’ උලෙළේ අවසන් සිනමාපටය වනු ඇත. මෙහිදී අංශ හයක් යටතේ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

යුරෝපීය සිනමා කෘති, විශේෂ තෝරා ගැනීම්, අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රථම සිනමා පටයන්, ආරාධිත සිනමාපට, සංචාරක චිත්‍රපට සහ කෙටි චිත්‍රපට එම අංශයන්ට ඇතුළත් වේ. මෙහිදී ජ්‍යෙෂ්ඨ සිනමාකරුවන් සහ නවක සිනමාකරුවන් අගයමින් සම්මාන ප්‍රදානයක් ද සිදුකෙරේ. එම අංශ හය යටතේ බෙල්ජියම්, ඩෙන්මාර්ක්, ජර්මානු, ඉතාලි, රොමේනියානු, පොලන්ත,

ස්ලොවැකියානු, ස්විට්සර්ලන්ත, නෙදර්ලන්ත, ප්‍රංශ, අමෙරිකානු, ලෙබනන, ඉන්දියානු, ශ්‍රී ලාංකික, ඔස්ට්‍රේලියානු, එංගලන්ත, කැනඩා, මියන්මාර්, බංග්ලාදේශ, නේපාල, නයිජිරියානු සහ පාකිස්තානු විශිෂ්ට සිනමාපට රැසක් මෙවර උලෙළේ තිරගත වනු ඇත. මෙහි ජූරි සභිකයන් වශයෙන් ඇලිස් ෂිහ් (කැනඩාව), ඇක්සෙල් එස්ටේන් (ජර්මනිය), ගයත්‍රි චැටර්ජි (ඉන්දියාව), ජුආන් කාර්ලෝස් ලෙමුස් පොලානි ( කොලොම්බියාව) කටයුතු කරයි.

මෙම සිනමා උලෙළට සමගාමීව සිනමාව හා සබැඳි වැඩමුළුවක් ද පැවැත්වෙනු ඇත. මෙහිදී සංස්කරණය පිළිබඳ ඇන්ඩ්‍රියා වෙන්ස්ලර් (ජර්මනිය), රංගනය පිළිබඳ ශන්මුග රාජා (ඉන්දියාව) සහ ශබ්ද පරිපාලනය පිළිබඳ ශ්‍යාමන් ප්‍රේමසුන්දර (ශ්‍රී ලංකාව) දෙසුම් පවත්වති.


ගාමිණි ගුණ සමරා  ලේ දන්දීමක්

හෙළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරින්ගේ දොළොස් වැනි ගුණානුස්මරණය සහ අප අතරින් සමුගත් සියලුම කලාකරුවන් සහ ජනමාධ්‍යවේදින් සිහිපත් කරමින් ඔවුනට පින් පැමිණවීම උදෙසා ලේ දන්දීමේ පින්කමක් මෙම මස 30 වැනි සිකුරාදා දවස පුරා කොළඹ 05 නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී සිදු කෙරේ.

මේ සඳහා සහභාගිවන්න යැයි සියලු කලාශිල්පීන්ට මෙම කාර්යයේ කැඳවුම්කරු අශෝක සෙනරත් මුදලිගේ විවෘත ආරාධනාවක් කරයි.


ශේක්ෂ්පියර් සිනමා දැක්මට Richard III 

විලියම් ශේක්ෂ්පියර් අනුස්මරණ සිනමා උලෙළේ සැප්තැම්බර් මස සිනමා දැක්ම වෙනුවෙන් Richard III  චිත්‍රපටය (1995) අද (සැප්:15) පස්වරු 4.00ට කොළඹ 07, නිදහස් මාවතේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී තිරගත කෙරේ.

විලියම් ශේක්ෂ්පියර්ගේ වේදිකා නාට්‍යයක් ඇසුරෙන් ඉයන් මැක්මිලන් සහ රිචඩ් ලොන්ක්‍රේන් තිර රචනය කළ Richard III  චිත්‍රපටයේ අධ්‍යක්ෂණය රිචඩ් ලොන්ක්‍රේන් ගේය. චිත්‍රපටය හඳුන්වාදීම සිදු කෙරෙන්නේ සුමිත් චාමින්ද විසිනි.


විජය වෙනුවෙන් පින්කමක් හෙට

නැසීගිය රංගන ශිල්පී විජය නන්දසිරිට පින් පමුණුවීම උදෙසා සංවිධානය කළ දම් දෙසුමක් සහ දානමය පින්කමක් මෙම මස 16 වැනිදා එනම් බිනර පොහොය යෙදෙන හෙට දින සවස 5.00ට මොරටුව සොයිසාරාම විහාරස්ථානයේදී පැවැත්වෙයි. මෙහිදී කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොළ අමරකිත්ති හිමියන් විසින් දහම් දෙසුම පවත්වනු ලබයි.


ශ්‍රී නාට්‍ය රංග කවයට නිලධාරින්

ශ්‍රී නාට්‍ය රංග කවයේ මහා සභා රැස්වීම පසුගියදා පැවැත් වූ අතර එහිදී එම කවයේ සභාපති ලෙස කලාභූෂණ ඊ. ඩි ශ්‍රියාපාල පත් විය. ලේකම් ලෙස අනූෂා දමයන්ති, උප ලේකම් ලෙස මංජුලා කුමාරි, භාණ්ඩාගාරික ලෙස සාරා අලුත්වල, කාරකසභිකයන් ලෙස යමුනා මාලිනි පෙරේරා, රමේෂ් උවයිස්, අජිත් අලහකෝන් තේරි පත් විය. එම ශ්‍රී නාට්‍ය රංග කවය මඟින් පාසල් අධ්‍යාපනය නිම කළ දුවාදරුවන්ට නොමිලයේ තෛ‍්‍රයිමාසික වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. එය කවයේ සභාපති ශ්‍රියාපාලගේ උපන්දිනය යෙදෙන මෙම මස 18 වැනිදා ආරම්භවනු ඇත.


ඔශුගේ කෘති දෙකක් ඉංගී‍්‍රසියට

ලෝක සම්භාවනාවට පත් ජපන් සිනමාකරු ඔශු යසුජිරෝ විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට චිත්‍රපට ද්විත්වයක The Only Son   (හිතොරි මුසොකො - 1936) සහ There Was A Father  (චිචි අරිකි - 1942) තිර නාටක මහාචාර්ය ආරිය රාජකරුණා විසින් ජපන් බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදුව දැන් නිකුත් වී ඇත. මීට පෙර ද මහාචාර්ය ආරිය රාජකරුණා අකිර කුරොසවගේ 'රෂෝමෝන්' සහ ඔහුගේම 'ටෝකියෝ ස්ටෝරි' වැනි තිර නාටක රාශියක්ම සිංහල බසට පරිවර්තනය කර ඇත. මේ කෘතිය ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයකි.


මෙන්න සාහිත්‍ය සම්මාන

2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහිදී හොඳම නවකතාව - ‘දුල්වල අලංකාරය’- සුමුදු නිරාගී සෙනෙවිරත්න, හොඳම කෙටිකතා සංග්‍රහය - ‘දිමියා’- අනුරසිරි හෙට්ටිගේ, හොඳම ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහය -‘නැණ සිළුමිණ නම් උමංදානන්දය’- මහාචාර්ය දර්ශන රත්නායක, හොඳම ගීත සංග්‍රහය - ‘සිංහලයකු වී ඉපදීමෙන්’- මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය - ‘මට එරෙහිව මම’- පියල් කාරියවසම්, පරිවර්තිත නවකතාව - ‘මම ඔබ සොයමි’- සුමිත්‍රා රාහුබද්ධ, පරිවර්තිත කෙටිකතා - ‘කැදලි බිඳී ගියපසු’ - උපාලි ලීලාරත්න, ‘මුදු හද ඇති ළඳ’ - චන්දන මෙන්ඩිස්, හොඳම පර්වර්තන නාට්‍ය - ‘ස්වප්නවාසවදත්ත’ - මහාචාර්ය වෝල්ටර් මාරසිංහ, හොඳම යොවුන් සාහිත්‍ය කෘති - ‘මේ නිවාඩු කාලයයි’ - සෝමලතා වෛද්‍යරත්න, හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ - ‘කාලාවකාශයේ සිරකරුවා’ - දමිත් නිපුණජිත්, ළමා සාහිත්‍ය කෘති - ‘ඉර එළිය’ - තනුජා අයගම, ‘සුමුදුමලී’ - චන්ද්‍රිකා අඹේපිටිය ආදී නිර්මාණකරුවෝ රැසකට සම්මාන හිමිවූහ. එමෙන්ම ජීවිත කාලයේදී එක්වරක් පමණක් හිමිවන ශ්‍රී ලංකා සාහිත්‍යරත්න සම්මානයෙන් පිදුම් ලැබුවේ සාහිත්‍යවේදී සිරිතිලකසිරි, මහාචාර්ය මර්ලින් පීරිස්, ආචාර්ය එස්. ජෙබනේෂන් රදගුරුතුමන් යන විද්වතුන් ය.


හසන්තගේ චිත්‍රපටයට ඔස්ට්‍රේලියාවෙන් සම්මානයක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවති ෆෝකස් ඔන් ඇබිලිටි ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය මෙරටට හිමි විය. හසන්ත දිසානායක අධ්‍යක්ෂණය කළ  Disability is not a Disability  නැමැති කෙටි චිත්‍රපටය මෙලෙස සම්මානයට පාත්‍ර විය. මේවන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන හසන්ත ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකි.

මෙ චිත්‍රපට උලෙළේ අවසන් වටය සඳහා අමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, නෙදර්ලන්තය ආදී රටවල් ගණනාවකින් කෙටි චිත්‍රපට ඉදිරිපත්කොට තිබුණි.