වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

‘සර්ල රඟපාන්න පටන් ගත්තාම අපට යන එන මං නැති වෙයි’

'මම ලොකු පවුලක මිනිහෙක් හැටියට ඔයාට පේනවා ඇති. හැබැයි මම පුංචි මිනිහෙක්'

රවිඳු දුණුවිල සිනාසෙන්නට තැත් කළේය. බටහිර මුහුදෙන් ඉර බැස යන්නට ආසන්නය. රවිඳුගේ අව් කන්නාඩිය පුරා ඇත්තේ මානවීගේ රූපයයි. බසින හිරු එළියෙන් ඔහුගේ මුහුණ රත් පැහැව ඇත්තේය.

'පුංචි හින්දා වෙන්නැති එංගලන්තේ ඉගෙන ගත්තේ'

'එංගලන්තේ ඉගෙන ගත්තේ නිකම් නෙවේ. එහේ හෝටල්වල පිඟන් හේදුවා. පෙට්‍රල් ෂෙඩ්වල වැඩ කළා. නාකි සුද්දියන්ගේ බල්ලො නෑව්වා'

රවිඳුගේ උච්චාරණ ශෛලියට මෙන්ම අවසාන වචන පෙලට මානවීට සිනා නොවී සිටිය නොහැකි විය.

'මොකද ඔයා හිනාවුණේ'

රවිඳු ඇසුවේ බැරෑරුම් ස්වරයකිනි.

'ඔයාට තිබුණේ සුද්දියක් බැඳගෙන එංගලන්තේ ඉන්න'

'සුද්දියෝ හොඳ නම් මං එංගලන්තේ ඉන්නවා. උන් කොහොමත් අපටයි, ඉන්දියන් කාරයන්ටයි යටි හිතෙන් කැමැතියි'

'කී දෙනෙක් යාළුවෙලා හිටියද?'

තමා ඇසුවේ අනවශ්‍ය ප්‍රශ්නයකි. තමන්ගෙන් පෙරළා එම ප්‍රශ්නය අසන කළ දිය හැකි පිළිතුර කුමක්දැයි මානවී වහා සිතා බැලුවාය.

'අපොයි තුන් හතර දෙනෙක් හිටියා. මං අවුරුදු දහයකට වැඩිය හිටියනේ'

'ඉතින් අපරාදේනේ මෙහේ ආවේ'

'එහෙම තමා හිතන් හිටියේ ඒ උණාට ලොකු අප්පච්චි මාව ගෙන්නුවනේ'

රවිඳු දුනුවිල පෙර දිනක සාදයෙන් පසු තමන්ට දුරකතන ඇමතුමක් දෙතැයි මානවී දවසක් දෙකක් බලාපොරොත්තු වූවාය. සාමාන්‍යයෙන් සිදු වන්නේ එයයි. ඉන් අනතුරුව මානවීට ද ඔහු අමතක විය. චමිල පසුගිය සති කිහිපය ඇතුළත වරින් වර ඇයට හමු විණ. ඇයගේ රථය පැදවීමට හෝ තනියට තමා කොතැනක හෝ ගිය විට එතැනට වී තනිවම කල් මැරීමට චමිල පුරුදුව ඇතැයි මානවීට සිතිණ. ඒ හැරෙන්නට දෙසතියකට වතාවක් ගමට ගොස් එන්නට ද ඔහු පුරුදුව සිටියේය.

'මට ටෙලි නාට්‍යයකට කතා කළා'

චමිල පැවසුවේ ඒ අතරවාරයේය.

'මම ඒකට ජොයින්ට් වෙන්න බැලුවේ'

'හොඳයි'

මානවී පැවසුවේ උදාසීන සිතිණි. එය කාගේ එකක්දැයි අසන්නට ඇයට සිත් දුන්නේ නැත. චමිල සියල්ලම කරන්නේ තම අවසරය ලබාගෙනය.

'චමිල ඔයා තීරණයක් ගන්න'

ඔහු හිස සැලුවේය.

තාත්තා ලෙඩ ගාණේ පසු වන බව ඇසූ නිර්මලා යළි ගමට යන්නට තීරණය කළාය. ඇය රැකියාවෙන් ඉවත් වන්නට තීරණය කළේ ඒ අනුවය.

'අම්මාට මං ඕක කිව්වේ කලින්'

අම්මාත් තමාත් අතර තරමක දුරස්වීමක් ඇතැයි මානවීට වැටහිණ. මානවීගේ දිවි පෙවත ගැන එක එල්ලේ කියන්නට නිර්මලා මැලි වූවාය. ඇය ඇසුරු කරන මිනිසුන් ඉදිරියේ තමා කුඩා ප්‍රාණියකු වැන්න යැයි ඇයට සිතිණ. ඔවුන්ගේ භාෂාව, විලාසය සියල්ල තමන්ට නුහුරුය. එයට හැඩ ගැසෙන්නට තමා වියපත් වැඩි යැයි නිර්මලාට සිතිණ.

'එතකොට ඔයා කොළඹ තනි වෙනවා. ඒකයි මට බය'

තමා සොයාගෙන කොළඹ ආ දියණිය ගෙන්දගම් පොළවේ හැප්පෙන්නේ නොබියව බව නිර්මලා දන්නා කරුණකි. ඇය සතු මුදල් ද බලය ද ඈ ලබාගත්තේ කෙසේදැයි සොයන්නට නිර්මලා අපොහොසත් විය. දිනෙන් දින දියණිය මුණ ගැසෙන්මෝ ද, ඇගේ තතු විමසන්මෝ ද ඉමහත්ය. දියණියට හොඳ ගුණ යහපත් තරුණයෙකුගේ අත සොයා දීමට නිර්මලා කල්පනා කළාය. දියණියගෙන් එලෙස විමසා ඇය මෙල්ල කර ගන්නට තවදුරටත් නොහැකිය. ඇය තමාට වඩා දැවැන්ත ලෝකයක කිරුළ සොයා ගමන් කරන්නීය. ඒ ගැන විමසා පලක් නැත. ඈ ගැන ඕපාදූප කටකතා පුවත්පත්වල ද පළ වෙයි. ඒ ගැන විමසන්නට නොහැකි තරම් තමා අසරණ බව නිර්මලාට වැටහුණේ කලකට පෙරය. වීරප්පෙරුමගේ ග්‍රන්ථය දොරට වැඩියදා මානවී උසස් මිනිසුන් රැසක් සමඟ සිටිනු ඇය දුටුවේ ප්‍රවෘත්ති විකාශයක් අතරතුරය. ඒ ලොකු මිනිස්සුය. වියත් සබා මැද නොසැලී සිටින්නට දියණියට ඇති හැකියාව අම්මාගේ ආඩම්බරයට හේතු විය. එහෙත් මොකද්දෝ අනියත බියක් නිර්මලාගේ සිත වෙළා ගනී. ඇතැම් රැයක දියණිය එනතුරු ඇයට නින්ද යන්නේ නැත. අඩ නින්දේ සිටින ඇය පිබිදෙන්නේ තැති ගැන්මෙනි. වැඩපලේදී ද දියණිය ගැන සමහරු කතා වෙති.

'නිර්මලාට ඔච්චර ලොකු දුවෙක් ඉන්න එකේ දැන් මොකට මහන්සි වෙනවද?'

සමහරු අසන්නේ ආදරයටම නොවේ. දිවා ආහාර වේලේදී රාත්‍රියේ දුටු ටෙලි නාට්‍ය ගැන බොහෝ දෙනා කතා වෙති. ඔවුන්ගේ ප්‍රියතම කතා අතරට මානවී ද යොමු වෙයි. මුහුණට පැවසෙන කතාවලට වඩා වෙනත් ඕපාදූප කියවනු ඇයට ඇසෙයි. ඒ කතා ඈ සමීපයේදී නතර වෙයි.

'ඒකි දැන් ඉන්නේ අලුත් වලව්වේ කොල්ලත් එක්කලු'

එකෙක් පවසයි.

චමිල හා මානවී අතර සබඳතාවයක් තිබුණ ද ඔහු කිසිසේත්ම මානවීට නොගැළපෙතැයි නිර්මලා විශ්වාස කළාය. දියණියගේ ජීවිතයේ රහස් එලෙසම වළදා දැමිය යුතුය. සියල්ලෙන් ඉවත්ව ගමට යන්නට ඈ තිරණය කළේ මේ කාරණාත් එක්කය. මානවී, නිර්මලා ඇය හැරලවා ආපසු ආවාය. ඇය දිගටම ගියේ වීරප්පෙරුමගේ නිවසටය. මහල් නිවාසයේ පහත අලුත් බෙන්ස් රියක් නවතා තිබිණි. එයට යාබදව තිබුණේ වීරප්පෙරුමගේ රථයයි.

මානවී කිසිත් නොවිමසා සෝපානයට ගොඩ වී වීරප්පෙරුමගේ නිවසට ගියේය. දොර ඇතුළතින් අගුලු ලා තිබිණ. ඇය එයට තට්ටු කළාය. දොර ඇරියේ රවිඳුය. රවිඳු දැකීමෙන් ඇය විශ්මයට පත් විය. එය බලාපොරොත්තු වූවක් නොවීය.

'අම්මාව ඇරලුවද?'

වීරප්පෙරුම ගේ ඇතුළට පිවිසෙන මානවීගෙන් විතාළාය.

ඈ හිස වනා ඔව් යැයි පැවසුවාය. වීරප්පෙරුම තමාගේත් ඔහුගේත් නම්බුව බේරා ගත් වග මානවීට වැටහිණ.

'සර්ල රඟපාන්න පටන් ගත්තාම අපට යන එය මං නැති වෙයි'

වරක් රඟපෑම ගැන කතාබහකදී මානවී පැවසුවේ එවැනි දෙයකි.

රවිඳු, වීරප්පෙරුම උන් තැනට ගියේ කරමින් සිටි කතාබහ යළි යා කරන්නටය. එය ඉංග්‍රීසි සාහිත්‍ය ගැන කතාබහක් වග මානවීට වැටහිණ.

මානවී දොර ළඟ නැවතී සිය පාවහන් ගැලවූවාය. හිටගෙනම එක් පයක් නවා සුරතින් පාවහන් ගලවද්දී ඇගේ ගවුම මඳක් ඉස්සී තිබෙනු රවිඳුට පෙනිණ. වීරප්පෙරුම සිටියේ ඔවුනට පිටුපා ගෙනය.

මානවී සාලයේ ඔවුන්ගේ කතාබහට කන් නොදී වටපිට බැලුවාය.

'මම බොන්න මොනවා හරි ගේන්නම්'

ඈ අවසර පැතුවාය.

'දැනට තේ එකක් හොඳයි'

රවිඳු පැවසුවේය.

මානවී මුළුතැන් ගෙයට වැදුණාය. රවිඳු හා වීරප්පෙරුමගේ කතාබහට ඇය කන් දෙමින් සිටියාය. එහි අගක් මුලක් තේරුම් ගන්නට ඇය අපොහොසත්ය. මේ මුළුතැන් ගෙය ඉතා සැලසුම් සහගතය. එහි බොහෝ දේ මානවී දන්නේ පුරුද්දෙනි. ටික වේලාවකින් මානවී තේ ට්‍රොලිය රැගෙන එතැනට ගියාය. වීරප්පෙරුමගේ කෝප්පයට දැමිය යුතු සීනි ප්‍රමාණය ඇය දනී. ඇය නොවිමසා රවිඳුගේ මුහුණ බැලුවාය.

'මං දාගන්නම්'

'දැන් මගේ තනියට ඉන්නේ මානවී විතරයි'

වීරප්පෙරුම පැවසුවේ ඈ යාබද අසුනේ වාඩි වූ පසුවය.

'මෙයාගේ අනාගතය ගැන බලන එක තමා මගේ වගකීම. මං දැන් කියලා තියෙන්නේ මේ අතරේ එයාගේ ස්ටඩීස් කරන්න කියලා'.

වීරප්පෙරුමට කිසිවකු පිළිතුරු දුන්නේ නැත. මානවී තේ කෝප්පයක් වත් කර ගත්තාය. එය දේශපාලනයෙන් තොර ඕපාදූපවලින් තොර කතාවක් වූයේ නැත. මානවී කතාබහ අසා සිටියා මිස එයට හවුල් වූයේ ද නැත. තේ කෝප්පයේ උණුසුම විදෙස් මත්පැන්ට මාරු වුව ද මානවී එයට දායක වූයේ ද නැත. ඒ මොහොතේ නැඟිට ගිය ඈ අවන්හලකින් රාත්‍රී භෝජනය ඇණවුම් කළාය.

මම විජිටේරියන්'

රවිඳු කෑම මේසයේ වාඩිවෙමින් පැවසුවේය.

'මම කෙහොමත් එහෙම ඕඩර් කළා'

රවිඳු මානවී දෙස බැලුවේ විශ්මයෙනි. පිරිමින් ආහාර ගන්නා තුරු මානවී එහි අසුන් ගන්නට උත්සාහ කළේ නැත. ඇයට අසුන් ගන්න යැයි වීරප්පෙරුම කිහිප වරක්ම පැවසුවේය.

'මගේ හිත මට වද දෙනවා. මානවී මේ සංසාරේ අපි කොහේ හරි තැනක ඉන්න ඇති. ඒ බැඳීම් තමා මේ විදියට එන්නේ'

වීරප්පෙරුම මානවීට පැවසුවේ නිදි යහනේදීය. වෙනදා මෙන් නොව ඔහු උදාසිනව ඇතැයි ඇයට දැනිණ. මානවී කිසිවක් පැවසුවේ නැත. තවත් මොහොතක් නිසංසලව ගෙවී ගියේය.

මානවී පසුවදා සාප්පු සංකීර්ණයකට ගියේ මංගල සාදයකට තෑග්ගක් ගන්නටය. එම උලෙළට නොගිහින්ම බැරිය. ඒ ඈ සමඟ ටෙලි නාට්‍ය රැසකට දායක වූ දර්ශනීගේ විවාහයයි. තෑගි සොයමින් පහත මාලයට ආ මානවී තුෂ්නිම්භූත වූයේ ඇය ඉදිරිපිට සිටින තැනැත්තා දුටු විටය. ඒ රවිඳුය.

'මම ඔයා දැකලා නතර වුණේ'

මිනිසුන් කිහිප දෙනෙක්ම ඔවුන් හඳුනාගෙන ඇති වග මානවීට වැටහිණ.

'මේ පැත්තට ආවේ?'

'මම ගිෆ්ට් එකක් ගන්න අවේ'

'මාත් ඒකටමයි'

ඔවුහු කතා කරමින්ම සාප්පු සංකීර්ණයෙන් එළියට ගියහ.

'මානවීට යන්න හදිස්සි නැත්නම් අපි තේ එකක් බොමු ළඟට ගිහින්.'

රවිඳු ඇසුවේ රථ ගාලේදීය. ඈ එයට එකඟ විය.

ඊලඟ මොහොතේ රවිඳුගේ මෝටර් රථය අනුව ගමන් කළ මානවීගේ රථය වැල්ලවත්තේ මුහුද අද්දර අවන්හලක් අසලක නතර වී තිබෙනු දක්නට ලැබිණ.

'තරුණ දේශපාලකයකුයි තරුණ නිළියකුයි දැක්කාම ෆේස්බුක් එකට නම් හොඳ නිව්ස් එකක්'

රවිඳු පැවසුවේ දිගු කතාවකට මුල පුරමිනි.