වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මම ලිවින් ටුගෙදර් අනුමත කරනවා

මම ලිවින් ටුගෙදර් අනුමත කරනවා

මවගේ මාලය අතැතිව රංග උකස් ගන්නා ස්ථානයට පිවිසියේ දහසකුත් එකක් බලාපොරොත්තු සිතේ රඳවමිනි. ඒ ඔහුගේ එක ම බලාපොරොත්තුව මෝටර් බයිසිකලයක් මිල දී ගැනීම ය. ඒ සිහිනය සැබෑකර ගන්නා රංග සිය පෙම්වතිය එහි පිටුපස තබාගෙන කොළඹ වටා රවුමක් යන්නේ දහසකුත් එකක් අතොර මැද ය. එදා ඒ දහසකුත් එකක් අතොර විදි තරුණයා අද අපට හමුවන විට සිටියේ බොහොම සැහැල්ලුවෙනි. ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයේ රංග නොහොත් ‘දසුන් පතිරණ’අප සමඟ කතාබහ ආරම්භ කළේ ඊටත් වඩා සැහැල්ලුවෙනි.

‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයේ රංගනට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

සිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. බොහෝදෙනා චිත්‍රපටය නරඹනවා. ඒ ගැන ඇත්තට ම සතුටුයි.

සිනමා ප්‍රේක්ෂකයන් පළමු වරටයි සිනමාපටයක ඔබව දකින්නේ?

ඇත්තෙන් ම ඔව්. ඒ මගේ පළමු රංගනය ම ඉතා අගේ කරනවා කියන්නේ මගේ රඟපෑම ඔවුන්ට දැනිලා තිබෙනවා කියන එකයි. ඒ වගේ ම මේ චිත්‍රපටයේ සමහර සිදුවීම් ඔවුන්ට දැනිලා තිබෙනවා. ඒ මඟින් මට මාව හමුවුණා වගෙයි දැනෙන්නේ.

තාරුණ්‍ය විඳීන්න කැමැති, රැකියා විරහිත භාවයෙන් පිඬා විඳීන තරුණයන් දහසකගේ කතාවයි ‘මෝටර් බයිසිකල්’ කියන්නේ?

ශමීර ඇතුළු අපේ කණ්ඩායමට ම වුවමනා වුණේ සමාජයේ පවතින එක් පැත්තක් පිළිබඳ මිනිස්සුන්ට අවබෝධ කිරීමයි. එය වඩාත් මිනිස්සුන්ට දැනෙන්නේ ඒ ඔවුන්ගේ ජීවිතවල තිබෙන සිදුවීම් රාශියක් නිසයි.

රංගගේ චරිතය සඳහා ඔබට ආරාධනා ලැබෙන්නේ කෙසේ ද?

ශමීර රංගගේ චරිතය ගැන මට කියන්නේ මීට වසර කිහිපයකට කලින්. ඒ අවස්ථාවේ මා සිටියේ තිසරඉඹුලානගේ ‘කෑල්ලක් දෙසිය පණහයි’ කියන කෙටි නාට්‍යයක පුහුණු වීම් අතරේ. පළමුවෙන් ම එවිටයි ඔහු පවසන්නේ ඔහුගේ චිත්‍රපටයට මා තෝරා ගන්නා බව. ඊට පසුව යළිත් ඔහු වසර කිහිපයකට පසුව ‘මෝටර් බයිසිකල්’ තිරරචනය මගේ අතේ තියනවා. රංගගේ ආරම්භය එයයි.

මේ චරිතයට ඔබ ම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණා ද?

මගේ චරිතයේ නාගරික ලක්ෂණ තිබෙන නිසා, ඒ චරිතය මට කළ හැකිය කියන නිගමනයට ශමීර පැමිණ සිටියා. මාත් සමඟ ඔහුගේ තිබුණු ඇසුරත් එවැනි නිගමනයකට පැමිණෙන්න යම් උදවුවක් වන්නට ඇතැයි මා සිතනවා.

රංගගේ හා දසුන්ගේ ජීවිතය සමාන ද?

රංග කළ දේවල් මා ජීවිතයේ කිසිම දවසක කරන්නේ නැහැ. කාමරයට ගිහින් මම නම් නිකම් ඉන්න එකක් නැහැ. එහෙම වුණත් අපි සියල්ලන්ට ම පොදු සිදුවීම් කිහිපයක් මෙහි තිබෙනවා. ඒ පොදු සිදුවීම් අප සියල්ලන්ට ම පොදුයි. ඒ සමාජය අතපත ගෑ නිසා මට ඒ චරිතය ප්‍රතිනිර්මාණය කරන්න පහසු වුණා.

ටානියා රංගට පිටුපානවා. ඔබ, රංග නම් කරන්නේ කුමක් ද?

ආදරය කළාට හැමදෙයක් ම ලැබෙන්නෙත් නැහැ. ලබාගන්නත් බැහැ. එහෙම ආදරය කළ පමණින් එකතුවෙන්න වුවමනාත් නැහැ. ඒ නිසා යන්න කියනවා.

ඔබ ආදරය දකින්නේ කොහොම ද?

සාමාන්‍ය ජීවිතයේ දී බත් කනවා වගේ දෙයක්. ජීවිතයට අවශ්‍ය ම දෙයක්.

ඔබ ආදරය කරලා තියෙනවාද?

මම ආදරය කරන්නේ තුන වසරේ පටන්. මේ වනවිටත් මම ආදරවන්තයෙක්.

ඒ කියන්නේ මේ වනවිට ඔබ ගැහැනු ළමයින් රැසකට ආදරය කරල තියෙනවා?

ගණනක් නම් කියන්න බැහැ. සමහර විට එක් ආදරයක් තිබෙන්නේ සතියක්. එහෙම නැත්නම් දෙකක්. නැත්නම් මාසයක්. ඒ අතර හිතට දැනුණු ආදර කතාත් නැතුවා ම නොවෙයි.

ඒ දැනුණු ආදර කතාවලදි තිබුණු හැඟීම් ඔබ මේ චිත්‍රපටයේ රූප රාමු අතරටත් අරගෙන පැමිණිය ද?

‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයේ විවිධ අවස්ථා රූගත කිරීම්වලදි මගේ ජීවිතයේ දි දැනුණු හැඟීම් ඉස්මතු වන අවස්ථාත් නැතුවා ම නොවෙයි.

ඒ ඒ මොනවගේ අවස්ථාවලදී ද?

කෙල්ලෙක් දාලා යනවිට හරි කෙල්ලෙක් බැහැයි කියලා කියන විට දැනෙන හැඟීම චිත්‍රපටයේ දි ඒ ඒ අවස්ථාවලදිත් දැනුණා.

මේ තරම් ආදරය කළත් තව තවත් ආදරය සොයන්නේ ඔබට නියම ආදරය තවම දැනුණේ නැති නිසා ද?

ආදරය දැනුණු අවස්ථා තිබෙනවා. ඒත් ඒ ආදරය සමඟ ජීවිතේ බෙදාහදා ගන්නට නොහැකියි. එකට ජීවත් වීමේ දී පැන නැඟෙන ගැටලුත් සමඟ දිගට ම එක්ව ජීවත් වෙන්නට නොහැකි වෙනවා. එවැනි අවස්ථාවලදි කතාබහ කරලා වෙන්වීමයි සිදුවන්නේ.

ඔබ තවම තීරණය කරලා තිබෙන්නේ ඔබට නියම ආදරය මුණ නොගැසුණු බවයි?

මට ආදරය කළ අය වගේ ම මමත් ආදරය කළ අය ගොඩක් ඉන්නවා. ඒ අයත් එක්ක දීර්ඝ කාලයක් එකට ජීවත් වෙන්න පුළුවන් ද කියලා මා දන්නේ නැහැ. කාලයක් එකට ජීවත් වී සිටීමෙනුයි එය දැනගත හැක්කේ.

ඔබ ලිවින් ටු ගෙදර් අනුමත කරනවා?

අනිවාර්යයෙන් ම ඔව්. ඒක අනිවාර්යයෙන් ම කළ යුතුයි.

ඔබගේ නිවැසියන්ගෙන් මෙවැනි අදහස්වලට ගැටලුවක් පැන නැඟෙන්නේ නැද්ද?

නැහැ. මේක මගේ ජීවිතය. මගේ ජීවිතය උපරිම නිදහස්ව ගෙවන්න ඔවුන් මට අවසර දීලයි තිබෙන්නේ.

මේ දවස්වල ඔබ ආදරය කරන්නේ කාට ද?

නම කියන්න නම් බැහැ. මේ දවස්වල එයා ඉන්නේ විදේශ ගතවෙලා.

කවදාහරි විවාහ වෙන්නත් ඔබගේ බලාපොරොත්තුවක් තිබෙනවා?

විවාහ වෙනවා කියන අදහස මගේ සිතේ තවම නැහැ. දෙදෙනෙකුගේ සම්බන්ධය කොළයකට සීමා කරන්න මට බැහැ. ඒ නිසා ඕන නම් ඉඳීයි. ඕන නම් නැතිවෙයි. නීතිමය ප්‍රශ්නයක් වුණොත් අවශ්‍ය නම් අත්සන් කරලා දාන්නනේ තියෙන්නේ.

විවාහය කියන්නේ සෙල්ලමක් ද?

ඒකයි මම කිව්වේ විවාහය කොළයකට සීමා කරන්න බැහැ කියලා. දෙන්නෙකුගේ බොහෝ දේවල් ගැළපෙන්නේ නැත්නම් ඔවුන්ට දිගු කාලයක් එකට ඉන්න බැහැ. නීතියෙන් සමහර විට කරන්නේ බලෙන් තබා ගැනීමයි. අද බොහෝදෙනා ලෝකයාට පෙනෙන්න බලෙන් ජීවත්වෙනවා. මා ඒකට කැමැති නැහැ.

ආදරය කරන ආදරවන්තයන්ට නිදහසේ ආදරය කරන්න සුදුසු වටපිටාවක් අද සමාජයේ නිර්මාණය වෙලා නැහැ. ඔබ මේ ගැන දරන්නේ මොනවගේ අදහසක් ද?

ආදරය කරන අවස්ථාවලදි අපට කිසිම කෙනෙකු බාධා කරලා නැහැ. නමුත් එවැනි බාධා නැති වටපිටාවක් නිර්මාණය කරගන්න තමුන් දැන ගන්න ඕනෑ. ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ කරදර බාධක මැද හමුවීමෙනුයි ආදරයේ වටිනාකම වැඩි වන්නේ.

චිත්‍රපටයේ සිටින පෙම්වතුන් දෙදෙනාට අවසානයේ නතර වීමට සිදුවන්නේ ලැඟුම්හලකයි. මේක වර්තමාන පරපුරේ ඛේදවාචකයයි පෙන්නුම් කරන්නේ?

පෙම්වතියව තමන්ගේ නිවෙසට ගෙන්වා ගන්න බැහැ. එවැනි සංස්කෘතියක් අපේ රටේ නැහැ. විදේශ රටවල්වල මේ ක්‍රමය වෙනස්. ඒ කියන්නේ අපේ අයගේ යම් අඩුපාඩුවක් තිබෙනවා. ඒ හිඟය පියවගන්න කුමක් කළ යුතු ද කියලා නම් මා දන්නේ නැහැ. අනෙක් අයගේ අදහස් වෙනස් කරන්නත් අපට බැහැ.

ඔබ නම් ඊට වඩා වෙනස්?

මා නම් එහෙම මගේ පෙම්වතියව අරගෙන කාමරයකට ගිහින් නැහැ. මවුපියන්ගේ අවසර ඇතිව නිවෙසට ම එක්කගෙන එනවා. මෙපමණ කාලයක් මා කළේ එයයි.

ඔබගේ රංගනයට සමනලීගෙන් ලැබුණු සහයෝගය කොහොම ද?

සමනලීත් සමඟ මගේ වසර ගණනක යහළුකමක් තිබෙනවා. ඒ වගේ ම අපි එකට වැඩ කරලා තිබෙනවා. ඒ නිසා එයාගේ රිඇක්ෂන් එකක් මටත් මගේ රිඇක්ෂන් එක එයාටත් තිබුණු නිසා ඇයත් එක්ක රඟපෑම පහසු වුණා.

 රංගට මෝටර් බයිසිකලයක් ගන්න තිබුණු සිහිනය වගේ ඔබටත් සැබෑ කරගන්න සිහින තිබුණ ද?

මට තිබුණු එක ම සිහිනය නම් නළුවකු වීමේ සිහිනයයි. ඒත් තවමත් ඒ සිහිනය සැබෑකර ගැනීමට ලැබුණේ නැහැ. ඒ වගේ ම ලොකු ලොකු සිහින මගේ සිතේ මැවෙන්නේත් නැහැ. අද දවස ගැන පමණයි මා සිතන්නේ.

ඔබ දසුන්ව හඳුන්වන්න කැමැති රැඩිකල් චරිතයක් විදියට ද?

මා රැඩිකල් කියන එකේ තේරුමක්වත් දන්නේ නැහැ. ප්‍රායෝගිකව කරන්න වුවමනා දේවල් මා කරනවා. ජීවිතේ ගැන ලොකුවට සිතන්නේ නැහැ. මට දැනෙන විදියට ජීවත් වෙනවා.