වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




 ඩිල්ෂාන් - මංජුලා යුග ගීයක් ගයයි

ඩිල්ෂාන් - මංජුලා යුග ගීයක් ගයයි

භවයෙන් භවේ පැතුවා ලෙසින් - දෛවය අපේ ලියැවීලා ගීතය එළි දුටුවේ දියණියගේ උපන් දිනයේදී

භවයෙන් භවේ පැතුවා ලෙසින්
දෛවය අපේ ලියවීලා
දෙවියන් ලොවේ මට භාර දුන්
මිල නොවන මැණිකයි ඔයා
හැම සංසාරයේ ඇස් දෙක මගේ
එක සෙවනේ ඉඳන්
රැක ගන්න ඕන ඔයා

සෙනෙහෙ ඔබේ නිමි නැති
මහමෙර තරම් උස ඇති
මොහොතක් ඔබෙන් දුරකදි
ඉවසන්න ඒකයි බැරි
වරමක් ලෙසින් මගෙ වාසනා
ඔබමයි එම මට ඇති
හැම සංසාරයේ . . .

සංසාර ගානේ අපි
මේ ලෙසම හමුවෙන්නැති
පෙර පුරුදු දැනිලා යළි
මුණ ගැහිලා ඇත්තෙ අපි
වරමක් ලෙසින් මගෙ වාසනා
ඔබමයි එම මට ඇති
හැම සංසාරයේ. . .

 

තිලකරත්න ඩිල්ෂාන් කියන නාමය අපට හමු වූයේ ක්‍රිකට් එක්ක. ඒ වගේම මංජුලා තිළිණි රංගන ශිල්පිණියක් ලෙසින් කලකට ඉහතදී අප සිත් පැහැර ගත්තා. මේ දෙන්නා යුග දිවිය අරඹලා මේ වන විට අවුරුදු කිහිපයක් ගත වෙලා. දුවා දරුවන්ගෙන් ද ඒ ලොව පිරිලා. ඉතින් ඩිල්ෂානුත් මංජුලත් ඒ සොඳුරු ජීවිතය අපූරුවට විඳිමින් ගත කරනවා. මා ඉහත සඳහන් කළ පද පේළිය ගීතයක් බවට පත් කරලා ගයන්නේ ඩිල්ෂාන් සහ මංජුලා. සැබවින්ම ඒ ඔවුන්ගේ ජීවිත කතාව වනු නොඅනුමානයි. මංජුලාවත් ඩිල්ෂාන්වත් සිංදුවක් නිර්මාණය කරන්න හිතලාවත් තිබුණේ නැහැ. ඔවුන්ට ඒ යෝජනාව ගේන්නේ නව පරපුරේ ගායකයකු සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ද වන යෂාන්. යෂාන් ඒ වනකොටත් දැනගෙන ඉඳලා තියෙනවා ඩිල්ෂාන්ටයි මංජුලාටයි හොඳට සින්දු කියන්න පුළුවන් කියලා. සඳුන් පෙරේරා ලියපු පද මාලාවට ෂෙනාල් සංගීතය යෙදුවා. ඒ ගීතය මංජුලාට සහ ඩිල්ෂාන්ට අහන්න දුන්නාම ඔවුන් පුදුමයට පත් වුණාලු. මොකද ඒ අයගේ පෞද්ගලික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගීතයේ පදමාලාව ගැළපෙන නිසා. ඒ ගැන අහද්දී ගීතය රචනා කළ සඳුන් කියලා තියෙන්නේ කාලයක් තිස්සේ ඩිල්ෂාන්ගේ පවුල් ජීවිතය ගැන දැක බලාගෙන ඉඳලා එය ලිව්වා කියලයි. මේ සඳහා රූප රචනාව නිර්මාණය චතුර රත්නායක විසිනුයි. මේ සේරම නිර්මාණකරුවෝ නව පරපුරේ අය. මේ සින්දුව රිලීස් කරලා තියෙන්නේ ඩිල්ෂාන්ලගේ ලොකු දෝණිගේ උපන් දිනයදා උපන් දින තෑග්ගක් ලෙසින්. මේ වන විට අන්තර් ජාලයේ ඉහළ ප්‍රතිචාර විඳිමින් මේ ගීතය පවතිනවා.