වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ගොල්ෆ් ක්‍රීඩකයකු වූ කප්පම්කරුවා

සොහේල් ඛාන් විසින් නිර්මිත, නවසුද්දීන් සිද්දික් ප්‍රධාන චරිතය රංගන පළමු වාණිජ චිත්‍රපටය වන ‘ ෆ්‍රේකි අලි‘ පසුගිය 9 වැනිදා තිරගත වීම ඇරඹුනා. මැරවරයෙකුගේ කප්පම් එකතු කරන්නාවී සිටින පුද්ගලයකුඑක් අහඹු සිදුවීමක් නිසා විශිෂ්ට ගොල්ෆ් ක්‍රීඩකයෙකු බවට පත්වීමේ කතාව මෙම චිත්‍රපටයෙන් කියවෙනවා.

අති දක්ෂ නළුවෙකු බවට ප්‍රකට නවසුද්දීන් මෙහිදී අගනා රංගනයක යෙදෙන බව බොහෝ විචාරකයින් පවසා සිටිනවා. ඔවුන් පවසන්නේ ගොල්ෆ් ක්‍රීඩාව බොහෝ අය අතර ජනප්‍රිය නොවන නමුත් ඕනෑම කෙනෙකුට ඒ හා සම්බන්ධ වීමට තරම් ආකර්ෂණයක් නවසුද්දීන් සිය රංගනයෙන් ලබාදෙන බවයි.


රුව ප්‍රභුදේවාගේ හඬ ෂාරුක් ඛාන්ගේ

ඒ. එල් විජේ නම් අධ්‍යක්ෂවරයා විසින් නිර්මිත හාස්‍යෝත්පාදක මෙන්ම බියජනක කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් ඔක්තෝබර් මස 7 වැනිදා සිට තිරගත වීමට නියමිතයි. දෙමළ, තෙළිඟු සහ හින්දි යන භාෂා තුනෙන්ම නිර්මාණය වී ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඒ ඒ ජාතීන් නියෝජනය කරන නළුවන් සහ නිළියන් .ප්‍රභූ දේවා (දෙමළ), තමන්නා (තෙළිඟු) සහ සෝනු සූද් (හින්දි) විසින් රඟ දක්වනවා. මේ චිත්‍රපටය දෙමළ භාෂාවෙන් ‘දේවි’ ලෙසත්, තෙළිගුවෙන් ‘අභිනේත්‍රී’ ලෙසත්, හින්දියෙන් ‘ටුටක් ටුටක් ටුටියා’ ලෙසත් නම් කර තිබෙනවා. හින්දි චිත්‍රපටයේ ප්‍රභූදේවා ගේ චරිතයට කටහඬ දෙන්නේ ශාරුක් ඛාන් බවත් ආරංචියි.

මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට ප්‍රභූ දේවා සහ සෝනු සූද් ද සම්බන්ධකමක් දක්වනවා. මේ වනවිට හින්දි සහ තෙළිඟු චිත්‍රපට බොහෝ ගණනකට රංගනයෙන් දායක වී ඇති සෝනු සුපිරි සටන් නළු ජැකී චෑන් සමඟ හාස්‍යෝත්පාදක ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘කුන්-ෆු යෝගා’ චිත්‍රපටයටද සම්බන්ධ වී සිටිනවා.


රන්බීර්ගේ කඩා වැටීමට හේතුව?

වේගවත් ගමනක් ගිය රන්බීර් කපූර්ගේ ගමන මන්දගාමී වූයේ අනුරාග් කාශ්‍යප්ගේ සොයුරා නිර්මාණය කල “බෙශ්‍රාම්” (2013) චිත්‍රපටයත් සමඟයි. අනුරාග් නිර්මාණය කළ “ බොම්බේ වෙල්වට්” (2015) හි අසාර්ථකත්වයත් සමඟ රන්බීර්ගේ ජනප්‍රියතාව තව තවත් පහලට වැටුණු බවයි පෙනෙන්නේ.

“මා හිතන විදිහට රන්බීර් දක්ෂම නළුවෙක්. ඒ වගේම ඔහු පරීක්ෂණාත්මක චිත්‍රපට වලටත් සම්බන්ධ වනවා. අප සැම දෙනාම එක්වී ඔහුට පරාජය අත්කර දුන්නා කියලයි මා සිතන්නේ. “ අනුරාග් පවසනවා. අනුරාග් සහ රන්බීර්ගේ හිතවත්කම් නම් මේ නිසා පළුදු වී නැහැ. කෙසේ නමුත් ළඟදී රන්බීර් සමඟ චිත්‍රපටයක් කිරීමට සැලැස්මක් නැති බවත්, මීළඟ වසර දෙක තුළ රන්බීර් වෙනත් චිත්‍රපට නිසා කාර්යබහුල වී සිටිනු ඇති බවත් අනුරාග් ප්‍රකාශ කරනවා.


නිර්මාණශීලී වෘත්තිය

ශෲති හසන් හින්දි, දෙමළ වැනි භාෂා ගණනාවක චිත්‍රපටයන්හි රංගනයේ යෙදෙන යොවුන් නිළියක්. එමෙන්ම ඇය විශිෂ්ට නළු කමල් හසන්ගේ දියණියයි. ඒ වගේම ගායිකාවක්. තම වෘත්තීය ගැන ඈ දරන්නේ මෙවැනි අදහසක්.

“නිර්මාණශීලී වෘත්තියක කටයුතු කිරීම අභියෝගයක්. රංගනයේ නිරත වීම පමණක් නොවෙයි, ප්‍රේක්ෂකයින් විසින් මා පිළිගනු ලැබීමත්, මගේ රංගනයක් අගය කිරීමත් මට විශාල සතුටක්. මම, තමන්ට රිසි දේ කිරීමට තරම් භාග්‍යවන්ත වූ අය අතුරන් එක කෙනෙක් බව මා සිතනවා . අමාරු අවස්ථාත් නොතිබුණා නොවෙයි. මගේ වෘත්තීය සාර්ථක කර ගැනීමට බොහෝ ගුරුහරුකම් මට ලැබී තිබෙනවා. සමහර විට සැකයත් අපිට ආශිර්වාදයක් වෙනවා. තමන්ගේ දුර්වලතා මඟහරවා ගෙන උපරිමයෙන කාර්යය කිරීමට එය අපට උදවුවනවා” ශෘති පවනවා.


අමිතාබ් සහ ‘පින්ක්’

‘පින්ක්’ ඉන්දීය මහා නළු, අමිතාබ් බච්චන් රඟන අලුත්ම චිත්‍රපටයයි. හෙට (16) සිට තිරගත වීමට නියමිත මේ චිත්‍රපටයේ අමිතාබ් රඟන්නේ නීතීඥ වරයකුගේ චරිතයයි. අතවරයකට ලක්වන කාන්තාවන් තිදෙනෙකු වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමෙහිලා වෙහෙසෙන නීතීඥයෙකු ගේ කතාව ‘පිනක්’ කියාපානවා.

මේ චිත්‍රපටය ගැන අමිතාබ් දක්වන්නේ මෙවැනි අදහසක්. මෙය “social Thriller’ ගණයට වැටෙන චිත්‍රපටයක්. සමාජයේ සාකච්ඡා විය යුතු ප්‍රධාන අංගයක්ව තිබෙන, ඒවුණත් එහි ගති ස්වභාවය නිසා සාකච්ඡා නොවන දෙයක් මෙහි සාකච්ඡා ‍වෙනවා. මෙය ස්ත්‍රියක් සතු බලය හෝ ස්ත්‍රී දූෂණ පිළිබඳ කතාවක් නොවෙයි”. චිත්‍රපටය නිර්මාණයේදී බොහෝ අතීත නඩු අධ්‍යයනය කර ඇති බවත් සඳහන්. මේ චිත්‍රපටයේ අමිතාබ් සමඟ තප්සී පානු, කර්ටි කුල්කානි ආදීන් රංගනයේ යෙදෙනවා.