වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මම ගිනස් ලොක්කාට ලුණු ඇඹුල් ඇතිව බැන්නා
අඩුම කාලයකින් චිත්‍රපටයක් තනා ගිනස් පොතේ නම රැන්දූ නන්දන හේවාපන්න

මම ගිනස් ලොක්කාට ලුණු ඇඹුල් ඇතිව බැන්නා

නන්දන හේවාපන්න යනු පුංචි මිනිසෙකි. ඇඟපතින්ද එසේමය. එනමුදු ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය නම් මහ මෙර තරමටම උසය. මේ වන විට එම පුංචි මිනිසා ගිනස් වාර්තා පොතෙහි සිය නම සටහන් කරගෙන තිබේ. එනමට ඉදිරියෙන් ලෝකයේ අඩුම කාලයකින් තැනූ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා යනුවෙන් ලියැ වී ඇත. මේ පුංචි රටේ නම එලෙස නන්දන ජාත්‍යන්තරයට රැගෙන ගොසිනි. ඔහු ඒ සඳහා ගත්තේ අප්‍රමාණ වෙහෙසකි. එනමුත් මෙම අප්‍රතිහත ධෛර්යයක් ඇති තැනැත්තා අද වන විට සිටින්නේ කලකිරුණු සිතකිනි. එම තත්ත්වය පිටුපස කරුණු කාරණා ගණනාවක්ම ඇත. එහෙයින් අප ඔහුගේ කතාව මෙලෙස සටහන් කරන්නට සිතුවෙමු.

නන්දන, ඇයි මෙහෙම කලකිරීමෙන්?

ඒකට හේතු ගණනාවක්ම තියෙනවා. එකින් එක මට කියන්නට පුළුවන්. වදින තැන්වලට වදීවි. ඒත් කරන්න දෙයක් නැහැ.

කෙසේ වෙතත් ඔබගේ මංගල ගමන චිත්‍රපටය මේ වන විට ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබෙනවා?

ඔව්. ඒ සඳහා මං වෙහෙසුන තරම දන්නේ මං විතරයි. ඔන්න මං මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළා 2014 වසරේදී. තිර පිටපත ලිවීමේ පටන් ප්‍රදර්ශනය දක්වා පැය හැත්තෑ එකයි ගත වුණේ. ලෝකයේ කිසිම රටක එම කාලයෙන් චිත්‍රපටයක් හදලා නැහැ. නමුත් මං ඒක කළා. ඒ කාලයේ මට මුද්‍රිත මාධ්‍ය බෙහෙවින් උදව් කළා. විද්‍යුත් මාධ්‍ය නම් සත පහකට ගණන් ගත්තේ නැහැ. ඇතැම් අය විහිලු කළා මෙච්චර අඩු කාලයකින් කොහොමද චිත්‍රපටයක් හදන්නේ කියලා. මං නැති තැන්වල මට හිනාවෙච්ච මිනිස්සුත් අනන්තවත් හිටියා. මං මේ කළේ බොරුවක් කියලත් කියපු අය හිටියා.

ඔබ ඒ සියල්ලන්ටම පිළිතුරු සැපයුවා ගිනස් වාර්තා පොතට ඔබගේ නම ඇතුළත් කරගෙන?

ඒක එලෙසම සිද්ධ වුණා. මංගල ගමන චිත්‍රපටය ගිනස් වාර්තාව ලැබෙන්නට පෙර මං අන්තර් ජාතික චිත්‍රපට උලෙළ කිහිපයකට එය යැව්වා. ඒ අතරින් කැනඩා ජාත්‍යන්තර සිනමා උලෙළින් රෝයල් රීඩ් කියන සම්මානයත් ලැබුණා. එම උලෙළ මේ තුට්ටු දෙකේ එකක් නෙවෙයි. අනික චිත්‍රපට සිය ගණනක් අතරිනුයි මංගල ගමනට සම්මානය ලැබුණේ.

අවාසනාවට ඔබට එම උලෙළට සහභාගිවන්න බැරි වෙනවා?

ඔව්. එම උලෙළේ පාර්ටි එක ඇරේන්ජ් කරලා තිබුණේ නැවක. මගේ පවුලේ සියල්ලන්ටම ඊට ආරාධනා කරලා තිබුණා. එක් කෙනෙකුට ගුවන් ටිකට් එක දෙලක්ෂ හැටදාහයි. ඒ වන විට මං ආර්ථිකව වැටිලා හිටියේ. එනමුත් ඒ ගමනට එකතු වෙන්න ආසයි. කොයි කෙනාද අකැමැති ඔවැනි තැනක ඇගයීමක් ලබන්න. මං ඉතින් මං දන්න මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු ගාවට ගිහින් අනුග්‍රහයක් ඉල්ලුවා. අඩුම තරමේ මටයි නෝනටයි මේ සඳහා සහභාගි වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන්න කිව්වා. ඒත් කවුරුවත් නෙවෙයි කනකටවත් ගත්තේ.

 එතකොට මංගල ගමන ගිනස් වාර්තාවට යොමු කළේ කොයි කාලෙදිද?

ඔය මං කලින් කිව්ව දේවල් එක්ක මං හරියට මානසිකව වැටිලා හිටියේ. නමුත් උත්සාහය අත හැරියේ නැහැ. මං ගිනස් වාර්තාවට ඇප්ලයි කළා. එතැන් පටන් තමයි වෙනම ගමනක් මට යන්න සිදු වුණේ.

ඒ මොකක්ද?

ගිනස් වාර්තාවට යවන්න සෙන්සර් බෝඩ් එකේ අනුමැතිය ගන්න ඕනෑ. එතකොට සෙන්සර් බෝඩ් එකට ඩීසීපී තාක්ෂණයෙන් චිත්‍රපට පෙන්වන්න බැහැ. ඒකට තරංගනී ශාලාව වෙනමම මට බුක් කරන්න වුණා. මිලිමීටර් 35 හේ රීල් එක. ඒකෙ දාලා සෙන්සර් බෝඩ් එකේ 21 දෙනාවම ගෙන්වලා සෙන්සර් බෝඩ් ඇපෲවල් ලෙටර් එක ගත්තා. ඒකත් එක්ක චිත්‍රපටය ගිනස් මණ්ඩලයට යැව්වා. ඔවුන් මට පෙරළා ලිපියක් එව්වා චිත්‍රපටයක් කොපමණ අඩු කාලයකින් කළත් වැඩක් නැහැ ඒක මෙම වාර්තාවට ඇතුළත් වෙන්න ඕනෑ නම් චිත්‍රපටය රිලීස් කරලා තියෙන්න ඕනෑ කියලා.

ඊට පස්සේ ඔබ මොකද කළේ?

එකත් කරගත්තේ එහෙට මෙහෙට දුවලා. සංස්ථාවෙනුයි අමාත්‍යාංශයෙනුයි උදව් ඉල්ලුවා. ඔවුන්ගේ බලපෑම මත මට කොළඹ රීගල් සිනමා ශාලාවේ සංස්ථා මණ්ඩලය යටතේ රිලීස් එකක් ලැබුණා. මං චිත්‍රපටයේ ඩී. සී. පී එකත් අරගෙන රීගල් එකට ගියාම එතන තිබුණු ප්‍රොජෙක්ටරේ මගේ ඩී සී පී එක වැඩ කළේ නැහැ. ඔය අස්සේ අර ලියුමෙ තියෙනවා ඉක්මනින් රිලීස් කරලා ඔවුනට දන්වන්න කියලා. නැත්නම් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවලු. මං තකහනියෙම දිව්වා නාවලපිටියේ දිනුෂා හෝල් එකට. ඒකත් සංස්ථා මණ්ඩලයේ ඩී. සී. පී හෝල් එකක්නෙ. දවස් තුනක් ගියා එකේ අයිතිකරුව අල්ල ගන්න. මගේ සහ රටේ වාසනාවට ඔහු කැමැති වුණා මංගල ගමන රිලීස් කරන්න. වැඩේ කියන්නේ රීගල් එකේ ක්‍රියාත්මක නොවුණු ඩී. සී. පි එක ඒ හෝල් එකේ ක්‍රියාත්මක වුණු එක. මං ඊට පසුව චිත්‍රපටය රිලීස් කළා කියලා දැන්වූවා. ඔවුන් පෙරළා මට අමුතු ලියුමක් එව්වා. ඒක කියවලා මං තුෂ්නිම්භූත වුණා.

මොනවද එහි තිබුණේ?

සාමාන්‍යයෙන් අපේ චිත්‍රපටයක් රිලීස් කළාම ලැබෙන ලියුමෙ සටහන් වන්නේ පබ්ලික් රිලීස් කියලා. ඔවුන් කියා සිටියේ ඔවුනට පබ්ලික් රිලීස් එකක් නොව කමර්ෂල් රිලීස් එකක් අවශ්‍යයි කියලා. පබ්ලික් රිලීස් එකක් කියන්නේ ඔවුන්ගේ මතයට අනුව වෙනම එකක්. මහජන ප්‍රදර්ශනයට ඔවුන් කියන්නේ කමර්ෂල් රිලීස් එකක් කියලලු. මං කෙලින්ම ගියා චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා ළඟට. ඔහුගෙන් ලියුමක් ඉල්ල ගත්තා අපේ රටේ පබ්ලික් රිලීස් එකක් කියලා කියන්නේ ඔය රටේ කමර්ෂල් රිලීස් එකක් කියලා අදහස් කරන දෙයටමයි කියලා. ඒ ලිපියට ඔවුන්ගෙන් ලැබුණේ තවත් මං අන්ද මන්ද කරන ලියුමක්.

ඒ මොකක්ද?

ඔවුන් කියනවා සභාපතිතුමෙක් දෙන ලියුමක් පිළිගන්න බැහැ කියලා. අවසනදි මට සිදු වුණා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ගිහින් ලියුමක් ඉල්ල ගත්ත ලංකාවේ සිනමා ක්ෂේත්‍රය පිළිබඳ වගකිවයුතු තැනැත්තා සංස්ථාවේ සභාපති වන වගට. ඒ ලියුම යවපුවාම ඔවුන් කියනවා තවත් හතර බීරි කතාවක්. ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් රෙකමන්ඩ් කරපු ලියුම බාරගන්න බැරිලු. විදෙස් කටයුතු අමාත්‍යාංශය මඟින් ලියුමක් එවන්නලු. මං ඊට පස්සේ විදෙස් කටයුතු අමාත්‍යාංශයට ගිහින් ලියුමක් අරගෙන යැව්වා.

ඔච්චර දේවල් කළායින් පසුවත් ගිනස් වාර්තාව ලැබුණේ නැහැ නේද?

ඔව්. ඔක්කොම ලියුම් හරියාකාරව යැව්වට පස්සේ ඔවුන් මට කියනවා චිත්‍රපටය රිලීස් කරපුදා ගත්තු වීඩියෝවක් එවන්නලු.

ඉතින් එහෙම වීඩියෝවක් තිබුණද?

දෙයියන්ගේ පිහිටෙන් ජාතික රූපවාහිනියෙන් එය ෂූට් කරලා තිබුණා. මගේ පොඩි පුතත් ශාලාවේ උඩ ඉඳලා හැන්ඩි කැම් එකකින් ෂූට් කළා. මං ඒවා යැව්වා. ඒත් එක්ක මං ගිනස් කමිටුවේ සභාපති මිස්ටර් ක්‍රිස්ටෝපර්ට හොඳට ලුණු ඇඹුල් ඇතුව ලියුමක් යැව්වා. මං පුංචි මිනිහෙක් නිසා ද, ලංකාව ආසියාතික රටක් නිසා ද මෙච්චර රස්තියාදු කරන්නේ කියලා ඇහැව්වා. ඒ වගේම වාර්තාවට හිමි තැන දෙනවා නම් දෙන්න. නැතිනම් නෑ කියන්න කියලත් මං කිව්වා. ඒක යවලා කාලයක් ගතවෙත්ම ගිනස් වෙබ් පිටුවේ මගේ නම සඳහන්ව ඇති වගට දැනගන්නට ලැබුණා. ක්‍රිස්ටෝපර් මහතා මට පෙරලා ලියුමක් එව්වා ඔහු දැනුවත්ව නොවෙයි අර මාව රස්තියාදු වන වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. ගිනස් කමිටුවේ අය තමයි එහෙම කරලා තියෙන්නේ කියලා. මේ වන විට ලෝකයේ වේගවත්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මම වගට නිල වශයෙන් දැනුම් දීලා ඉවරයි. කැනඩාවේ අගමැතිතුමා පවා මට කතා කරලා සුබපැතුවා. අපේ කවුරුවත් නම් තවමත් කතා කළේ නැහැ. මේ වන විට මට ජාත්‍යන්තරයෙන් උත්සව පවා සංවිධානය කරලා තියෙනවා. නමුත් අපේ රටෙන් නම් කිසිවක් නැහැ.

මෙරට සිනමා උලෙළයන් සඳහා ඔබේ චිත්‍රපටය ඇතුළත් කළාද?

මොකද නැත්තේ. ඇතැම් සම්මාන උලෙළවලින් මට ආරාධනාවක් නැහැ. සමහර සම්මාන උලෙළවල්වල හින්දි නළු නිළියන් ගෝල්ඩ් කාපට් එකේ ගේනවා. ගිනස් වාර්තා පොතේ නම තබපු මාව ශාලාවේ පිටිපස්සේ පැත්තෙන් ඇතුළු කරවනවා. ඕවා ඔහොම තමයි.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මේ චිත්‍රපට කෙරුවාව නිසා මට වුණේ කලකිරීමක් සහ ඊර්ෂ්‍යාකරුවන් පිරිසක් හදාගත්තු එක පමණයි. මොන දේ කොහොම වුණත් මං කවදාවත් මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නේ නැහැ. කවදා හරි ඔස්කා සම්මාන උලෙළ නියෝජනය කිරීමයි මගේ එකම පැතුම.