වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




තරුවක් නොවී...

තරුවක් නොවී...

ප්‍රවීණයින් තමන්ව අගයන්නේ නැහැ කියලා නව පරපුරේ අය කියනවා. අනේ මන්ද? මේකෙ ඇත්ත නැත්ත කොහොමද කියලා. ඒ කෙසේ වෙතත් ප්‍රවීණයකු පසුගියදා නව පරපුරේ කෙනෙකුව වර්ණනා කළා. මේ ප්‍රවීණයා තමයි බන්දුල විජේවීර. ඔහු අගයපු නව පරපුරේ කෙනා වන්නේ තීක්ෂණ අනුරාධ. ඔවුන් දෙදෙනා එකට එක්ව ටෙලි නාට්‍යයක තේමා ගීතයක් ගැයුවා. ඒ නාට්‍ය සිකුරු භවන. එය සමන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්. බන්දුල එම ගීතය පටිගත කළදා තික්ෂණට හොඳ චරිත සහතිකයක් දුන්නා.

පණ්ඩිත් අමරදේවයාණන් සහ ආචාර්ය වික්ටර් රත්නායක වගේ අයගෙන් ශිල්පය හදාළ බන්දුලට එම ගුරුවරුන් නිතර කිව්වේ තරුවක් වෙන්න එපා කියලලු. ඉරක් හරි හඳක් හරි වෙලා කලා ලොව එළිය කරන්න කියලලු බන්දුලට උපදෙස් ලැබුණේ. තරු කියන ජාතිය කඩා වැටෙනවලු. ඒකලු තරුවක් වෙන්න එපා කියලා කිව්වේ. තීක්ෂණත් තරුවක් නෙවෙයි කියලා බන්දුල කියනවා. තරු තෝරන තරගයකින් ආවත් තමන්ගේ දස්කම් පෙන්වා ඔහු ඉදිරියට ගිය එක ගැන බන්දුල කතා කරන්නේ ඉතාමත් සතුටින්. ළඟදීම මේ යුවළ ගැයු සිකුරු භවනේ තේමා ගීතය අසන්නට ලැබේවි.