වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




රුහුණෙන් තරුවක්

රුහුණෙන් තරුවක්

මෙරට රංගන පරම්පරාවට විලාසිතා ලෝකයට වැඩි වැඩියෙන් අලුත් මුහුණු අවශ්‍යව ඇත. බොහෝ නිර්මාණකරුවන් අලුත් මුහුණක් අවැසිතැන අමතන්නේ සරසවියයි. එවිට ලැබෙන ප්‍රතිචාර ඉමහත්ය. මෙතුවක් පැවැති සම්ප්‍රදායය වෙනස්කරමින් සිරිලකපුරා සැඟව සිටින රංගන ක්ෂේත්‍රයට අවතිර්ණවීමට කැමැති අලුත් පරම්පරාවක් සොයායාමට සරසවිය තීරණය කළේය. එබැවින් දිනමිණ ගම්නගර චාරිකාව සමඟ එක්ව පසුගිය සිකුරාදා එනම් නවවැනිදා දකුණුලක සුන්දර පුරවරයක් වූ වැලිගම නගරයට රුහුණේ තරුවක් යන මැයෙන් අප තාරකා සොයා ගියෙමු. අපට ලැබුණු ප්‍රතිචාර මවිත කරවන සුළුය. රඟපෑමට විලාසිතා ලොවට එක්වන්නට කැමැති බොහෝ දෙනෙකු එදා වැලිගම චාන්දනී සිනමා ශාලාවට ගොඩවැදිණ. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී ඔබේ නගරයට පිවිසෙන වග අප සතුටින් දැනුම් දෙමු. මෙහිදී අපට උපකාර කළ වැලිගම චාන්දනී සිනමාශාලාවේ අධිපති ලාලින්ද විජයවික්‍රම මහතාට සහ එහි කාර්ය මණ්ඩලයට අපි තුති පුදමු.

SMBWE 01

රංගනයෙන් දිගු ගමනක් යාමට අපේක්ෂා කරන ඈ සඳුනි ඉමල්කා. එදින උදේ පාන්දරින්ම චාන්දනී ශාලාවට පළමුව ආවේ ඇයයි. සඳුනිගෙ ගම වැලිගම. ඇය මියුසික් වීඩියෝ කිහිපයකම රඟපාලා තිබුණා. මායා තමයි ඇයගේ ආසම සිනමා පටය. ඒ වගේම සෝමරත්න දිසානායක වැනි අධ්‍යක්ෂකවරුන් යටතේ රඟපාන්න කැමැත්තෙන් ඇය ඉන්නවා.

SMBWE 02

සුදත් නිශාන්තගේ පදිංචිය මාතර. මීට කලින් සුදත් නම් කිසිම නිර්මාණයකට දායකවෙලා නැහැ. තන්හා රති රඟා චිත්‍රපටයටලු සුදත් බෙහෙවින්ම කැමැති. සුගත් සමරකෝන්ගේ සිනමාපටයකට එකතුවන්නට ඔහු ආසාවෙන් ඉන්නවා. ඒවගේම සුදත් වඩාත්ම කැමැති චිත්‍රපට රංගනයට.