වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව’ එළිදැක්වේ

‘බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව’ එළිදැක්වේ

ශාස්ත්‍රපති චාමික මුණසිංහ සම්පාදිත ‘බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව’ බෞද්ධ විද්‍යා ග්‍රන්ථයේ සිවුවන මුද්‍රණය පසුගියදා මරදාන ‘සාහිත්‍ය පොත් පියස’ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළිදැක්විණි. මේ කෘතිය සාහිත්‍ය පොත්පියස ප්‍රකාශනයකි.


එඩ්වඩ් - චරිතා ‘මාරම්බරී’ සමඟ ඇමෙරිකාවේ

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ සංගීත ප්‍රසංගය වසර දහඅටකට පසුව ඇමෙරිකාවේ පැවැත්වෙයි. මේ වනවිට ඇමෙරිකාවේ ස්ථාන කිහිපයක ම පැවැත්වුණු ‘මාරම්බරී ප්‍රසංගය 17 වනිදා ර්‍ථධපබතචදඤ හිදීත්, 18 වැනිදා ඉචදටපචදජඪඵජධ හිදීත්, 24 වැනිදා එචඵඩඪදබධද ඤජ හිදීත්, 25 වැනිදා ව්ඥඹ රධපඬ හිදීත් පැවැත්වෙයි. එඩ්වඩ් ජයකොඩි සමඟ චරිතා ප්‍රියදර්ශනී ගී ගයන මේ ප්‍රසංගයේ සංගීතය නාලක අංජන කුමාරගෙනි. කළණි පෙරේරා හා චතුර ප්‍රසාද්ගෙන් සැදුණු වාද්‍ය වෘන්දයෙන් යුතු ‘මාරම්බරී’ ප්‍රසංගය සඳහා අනුග්‍රහකත්වය දක්වමින් සංවිධානය කරන්නේ තුසිත ද සිල්වා හා සුදර්ෂනී ද සිල්වා විසිනි.


‘මහා වානර’ ජාතික රූපවාහිනියේ

16 වැනි සියවසේ චීනයේ මිං අධිරාජ්‍ය සමයේ ලියැවුණු සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණ අතරින් එකක් ලෙස සැලකෙන ජර්නි ටු ද වෙස්ට් නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් ඇසුරෙන් රචනා වූ ‘මහා වානර’ කතාමාලාව සවස 6.30 ට මේ මස 12 වැනිදා පටන් ජාතික රූපවාහිනියෙන් විකාශය වීම ආරම්භ විණ.

මෙතෙක් විකාශය වූ ‘සන්නාලියනේ’ වෙනුවට ඔබ හමුවට පැමිණෙන ‘මහා වානර’ කතා මාලාවේ නිපැයුම මෙහෙයුම සංස්කරණ, තේමා ගී පද සහ පද රූ ගැන්වීම අතුල රන්සිරිලාල්ගෙනි. මෙහි චරිත සඳහා සිංහල හඬ මුසුකරන්නේ බුද්ධික රොෂාන්, තිලාන් වර්ණජිත්, චරිත් සේනානායක, ශෂී ප්‍රියංකරයි. හඬ කැවීම් නිපැයුම හා අදියුරුවම තුසිත විදානපතිරණ, හඬ සටහන හා මුසුව අසංක කුමාරපේලි, සුමුදු විජේවර්ධන, තේමා ගී තනුව සෝමපාල රත්නායක, තේමා ගී සංගීතය ජයන්ත රත්නායක, තේමා ගී ගැයුම කෝලිතභානු දිසානායක, නෙලූ අධිකාරීගෙනි.


‘බිනර සැදැහැති ගී සැදෑව’ මුල්ලේරියාවේ

කුමාරි දිසානායකගේ ‘බිනර සැදැහැති ගී සැදෑව’ මේ මස 16 වැනිදා මුල්ලේරියාව නීලාමල්ලිකාරාම විහාරස්ථානයේ වේදිකාවේ සවස 6.30 ට පැවැත්වෙයි. සංගීතාචාර්ය ගාමිණී සන්දනායක ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මෙහෙය වන මේ ගී සැදෑවට පැමිණෙන්නැයි කුමාරි නිර්මාණ පදනම ආරාධනා කරයි.


‘සුධාරි’ එළිදකියි

ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්න ලියූ හැටපස්වැනි නවකතාව ‘සුධාරි’ මේ මස 16 වැනිදා පෙරවරු 10.00ට ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී එළිදකියි. මේ කෘතිය දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයකි.


ගුණරත්න ඒකනායකගේ ‘ඇමැති දරුවෝ’

ගුණරත්න ඒකනායකගේ ‘ඇමැති දරුවෝ’ නවකතාව හෙට (16 වැනිදා) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී එළිදකියි. සති අන්ත ලංකාදීප පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ මේ නවකතාව කතුවරයාගේ විසිනවවැනි නවකතාවයි.