වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඩී.වී.ඩීයට යන්න කියමු -2

ඩී.වී.ඩීයට යන්න කියමු -2

පසුගිය සතියේ මා විසින් ඩීවිඩි යට යන්න කියමු යන මැයෙන් ලියන ලිපිය දීර්ඝ එකක් විය.එබැවින් මේ එහිම තවත් දිගුවක් වේ. මා විසින් එදින ලිපිය අවසන් කරන ලද්දේ ඩීවීඩිය ලොවට හඳුන්වා දීම පිළිබඳ කියමිනි.ඒ 1998 වසෙර්ය. ඩී.වී.ඩිය ඉතා ඉක්මනින් ලොව පුරා පැතිරුණේ වී.එච්.එස් කැසට් යන්ත්‍රය ගෙයි මුල්ලට දමමිනි. එහෙත් මිනිස් ආසාවන් යනු කිසිවිටෙකත් සන්තර්පණය කොට නිමා කළ හැක්කක් නොවේ. තිබුණාටත් වඩා තවත් දියුණු යමක් දැක ගැනීමේ ආසාව හා එම ආසාවෙන් විපුල එල නෙලීමේ ව්‍යාපාරික හැකියාව මත ඩීවීඩි යට වඩා තවත් තැටියක් ඉක්මනින් කළ එළි දුටුවේය.එහි ධාරිතාව ඩීවිඩීයට වඩා විශාලය.එබැවින් එමගින් නිකුත් කළ චිත්‍රපටයේ රූපය ඩීවිඩියට වඩා පික්සල් සංඛ්‍යාවෙන් ඉහලය.එබැවින්ම රූපය පැහැදිලිය.

මුල්ම ඩීවීඩී පටය ‘අස්වැසුම’

ශබ්ද එකතුව පුළුල්ය.රූපය සිනමාහලේ කෙතරම් දැවැන්ත යමක් කරයි ද එයට සමගාමිව හෝ එය ඉක්මවා යෑමේ ආලවන්ත තරගයක් මාධ්‍ය දෙකෙහිම පතල විය.තාක්ෂණයේ දියුණුව එයට මහෝපකාරි විය.එහි ප්‍රතිඵලය එකිනෙකා හා තරග වැදීමට වඩා සිනමාව සහ ටෙලිවිෂන යන පොදු වෙළෙඳ පොල දෙපිරිසම ග්‍රහණය කර ගැනීමය.ඒ බ්ලූ රේ පටය හඳුන්වා දීමය.බ්ලූ රේ පටයට වසඟ වූවෝ ඉක්මනින් ඩීවීඩිය අත හැරියහ.එහෙත් තවමත් ලංකාවේ ඩීවීඩි වෙළඳ පොළ අභිභවා යන්නට බ්ලූ රේ තැටියට හැකියාවක් නොලැබිණ.

බ්ලූ රේ තැටිය නිර්මාණය වනුයේ බ්ලූ රේ ඩිස්ක් ෆවුන්ඩර් ගෘෆ් නම් ආයතනය මගිනි.එයට සම්මාදම් වූයේ සෝනි. පැනසොනික්, පයනියර්, පිලිප්ස්, තොම්සන්, එල්.ජී.ඉලෙක්ට්‍රොනික්, හිතාචි, ෂාප්, සහ සැම්සුන් යන ආයතනයන්ය. එමෙන්ම ඩොල්බි, ඩීටීඑස්, ඉන්ටෙල්, මයික්‍රොසොෆ්ට්, මිට්ෂුබිසි, ටීඩිකේ, ඔරේකල්, ටෙක්නිකලර්, යුනිවර්සල්, වෝල්ට් ඩිස්නි, ෆොක්ස්, වෝනර් බ්‍රදර්ස් ආයතන ද අද එහි හිමිකාරත්වය දරති.තැටියක් වශයෙන් ගත් කළ ප්‍රමාණයෙන් සීඩී හෝ ඩීවිඩි ප්‍රමාණය එනම් විශ්කම්භය මිලි මීටර් 120 ක් ඉක්මවා නොගිය ද ධාරිතාව අතින් වැඩි දියුණු කළ බ්ලු රේ තැටියක ගිගා බයිට් 128 ක් ප්‍රමාණයෙන් යුත් දත්ත රැස් කළ හැක්කේය.එහි රූප ධාරිතාව පික්සල් ප්‍රමාණය 3840ය2160 කි. බ්ලූ රේ තැටිය එළි දැක්වූයේ 2006 වසරේ ජූනි 20 දාය. සෝනි සමාගම නිෂ්පාදනය කළ ෆිෆ්ටි ෆස්ට් ඩේස්, ද ෆිෆ්ත් එලිමන්ට්, ද ටර්මිනේටර්, හවුස් ඔෆ් ෆ්ලයිං ඩ්‍රැගර්ස් වැනි චිත්‍රපට මුලින්ම එළි දකින ලද බ්ලූ රේ ගොන්නේ විය.

ලාංකික ගෘහස්ථ සිනමාව වඩා පුළුල් ලෙස එළි දකින්නට සැරසුනේ ඩීවීඩී ව්‍යාප්තිය සමගය. ලෝකයේ ගෘහස්ථ සිනමා කර්මාන්තය අතර ලාබාලතම ගෘහස්ථ සිනමා ව්‍යාපාරය ඇත්තේ ලංකාවේය. මේ ලිපියෙහි වඩා අවධානය යොමු වනුයේ ඩීවීඩී ව්‍යාපාරය ඔස්සේ එම ව්‍යාපාරය ගොඩ නැගුණ අන්දම පිළිබඳ යම් විග්‍රහයක යෙදෙන්නටය. මෙරට ඩීවීඩි අලෙවිය ආරම්භ වනුයේ වසර 2000 දී පමන වුවත් එය වර්ධනය වන්නට තවත් වසර ගණනාවක් ගත විය. ඉංග්‍රීසි සහ ඉන්දියානු චිත්‍රපට සුපුරුදු පරිදි එහි ආරම්භය ගත්තේය.මුලින් සුඛෝපභෝගී භාන්ඩයක් ලෙස එළි දුටු ඩීවීඩී චිත්‍රපට ආරම්භයේ තරමක් මිළ අධික විය.

ඒවා ද මුලින් වීඩියෝ මෙන් කුළියට දෙනු ලැබිණ.එතුවක් වීඩියෝ පට ලබා දුන් බොහෝ ස්ථාන ඉක්මනින් ඩීවීඩි කුලියට දීම ආරම්භ කළ අතර එතෙක් පැවැති වීඩියෝ සාමාජිකත්ව මුදලට වඩා ඩිවීඩි සාමාජිකත්වයේ කුලිය ඉහල අගයක් ගත්තේය.ආරම්භයේ චිත්‍රපටයක් කුළියට ගැනීමට රුපියල් සියයක් පමණ ගෙවිය යුතු විය.එහෙත් වීඑච්එස් මෙන් නොව රූපයේ ශාක්‍යතාව ඉහල බැවින් ඩීවිඩිය සම්බන්ධව එය සාධාරණයැයි එකල අපගේ සිතුවිල්ල විය.මේ අවදියේ සිදු වූ එක් සිදුවීමක් මට සිහිපත් වෙයි.ශ්‍රී ලාංකේය සම්භවයකින් යුත් හිමිකාරිත්වය දරණ සුප්‍රකට සමාගමක් වන අයිනගරන් සමාගමේ එක් නියෝජිතයකු එකල මට හමු විය.

එංගලන්තයේ ජිවත් වූ ඔහු ලංකාවේ අයිනගරන් ඩීවීඩි අලෙවි හලක් ආරම්භ කිරීමට අදහස් කොට මෙරට දී තම නීත්‍යානුකූල ලේබලය සහිත ඩීවීඩියක මිළ නීර්ණය කළේය.අදාල බදු ගෙවූ පසු ඒ වන විට එක් තැටියක් අලෙවි කළ හැකි අවම මිළ රුපියල් දහස ඉක්ම විය. මගේ අදහස වූයේ එපමණ මිළකට මෙරට ඩීවීඩි පට අළෙවි කළ නොහැකි වගය.මගේ මතය ඔහු පිළිගත්තාදැයි මා දන්නේ නැත. යළි ඉන් වසර ගණනාවකට පසු ඔහු මට පැවසුවේ තමා අලෙවි හල පිලිබඳ අදහස අත හැරිය වගය.හේතුව ඔහුගේම ලේබලය සහිත ඩීවීඩියක් කොළඹ ලිබර්ටි ප්ලාසා සංකීර්ණයේ දී රුපියල් තුන්සියකට මිළට ගැනීමට හැකිවීමය.ප්‍රසිද්ධියේ අලෙවි කරන ලද්දේ නීත්‍යානුකූල නොවන ඩීවීඩියක් වග දැන සිටිය ද ඒ සඳහා කිසිවක් කරන්නට ඔහු උත්සුක වූයේ නැත. එපමනක් නොව නීත්‍යානුකූල ලෙස අදාල බදු ගෙවමින් සිනමාහල් වල ප්‍රදර්ශණය කරන චිත්‍රපට ද දිනයක් ගෙවෙන විට මෙරට ඩීවීඩි වෙළඳ පොලේ නිදැල්ලේ දැකිය හැකි විය. මෙම නීත්‍යානුකූල නොවන චිත්‍රපට පිටපත් ලංකාවට ලැබුණේ මැලේසියාව හෝ පාකිස්ථානය හරහා බව ප්‍රසිද්ධ මතය විය.

සමහරවිට එසේ පැමිනෙන්නේ එක් පිටපතක් පමණී. එය සැනෙකින් රට පුරා පැතිරෙන ජාලයක් ව්‍යාපාරය සමග විය. අන්තර්ජාලය සුලබ වීමත් සමග මේ තත්වය වෙනස් වූයේ ටොරන්ට්ස් හරහා චිත්‍රපට නොමිලයේම බාගත හැකි වීම සමගය. එයින් මුලින්ම පහර වැදුනේ එතුවක් චිත්‍රපට කුලියට දෙමින් සිටි සම්ප්‍රදායික වීඩියෝ පිටපත් බෙදා හරින්නන්ටය. එතුවක් සිනමාවට බලවත් තර්ජනයක් ව පැවැති එම ව්‍යාපාරය බලා සිටියදීම බිඳ වැටිණ. ඉතා ඉක්මනින් ඩීවීඩි අලෙවිසැල් රට පුරා හතු පිපෙන්නාක් මෙන් බිහි විය. ඇතැම් ඩිවීඩි තැටියක චිත්‍රපට දෙක තුන එකතු කොට අලෙවියට ආවේය.එය ප්‍රේක්ෂකයන්ට ලාභයක් සේ පෙනුන ද එහි අඩංගු චිත්‍රපට බහුතරය තත්වය අතින් බාල වූයේය.එයට හේතුව ඩීවිඩියකට අඩංගු විය යුතු දත්ත ප්‍රමානය ඉක්මවා අඩංගු කිරිම සඳහා චිත්‍රපටයක ධාරිතාව අඩු කිරීමෙන් ගුණාත්මක බව අඩු වූ හෙයිනි. කෙසේ ‍වෙතත් මිනිසුන්ගේ අවශ්‍යතාව අනුව පුළුල් වුනා විනා මෙරට ඩීවීඩී ව්‍යාපාරයට නීත්‍යානුකූල පිළිගැනීමක් නොවීය.කොටින්ම එය චිත්‍රපට මහ දවල් මංකොල්ල කෑමක් විය. එයට හේතුව නම් මෙරට ඩීවීඩි වෙළඳ පොල ට පිවිසෙන කිසිදු විදෙස් චිත්‍රපටයකට ලංකාවේ අලෙවි කිරිමට නීතිමය අවසරයක් නොතිබූ හෙයිනි.

ඒ අතරවාරයේ මෙරට ප්‍රධාන පෙලේ ඩීවීඩි යන්ත්‍ර ආනයනකරුවන් ඩීවීඩි මෙන්ම හෝම් තියටර් යන්ත්‍ර ද පහසු මිළට අලෙවි කළහ. එහිදී අතැති මුදලට නොව පහසු ගෙවීමේ ක්‍රම සහ ණය වර කාඩ් පත් ද වර්තමාන පාරිභෝගික සමාජයේ අවශ්‍යතාවන් සපුරා ලූවේය. සුඛෝපභෝගී භාණ්ඩය සාමාන්‍ය ගෘහ මෙවලමක් වන්නේ එලෙසය. එයට අමතරව පරිගණකයේ ද ඩීවීඩිය උපාංගයක් විය. තව දුරටත් සිනමාහලකට ගොඩ වී චිත්‍රපට නැරඹිය යුතුය යන්න අවලංගු මාතෘකාවක් විය. මේ අතරවාරයේ අන්තර්ජාලය හරහා ස්වාධීනව ද චිත්‍රපට බා ගැන්මට ඇතැම්හු පෙළඹුණහ.

සිංහල චිත්‍රපට ඩීවීඩිය සඳහා නිකුත් කිරීමේ අවශ්‍යතාව බොහෝ දෙනා හඳුනා ගත්ත ද එයට අත ගැසීමට අකමැති වූයේ හොරෙන් චිත්‍රපට පිටපත් කිරීම වසංගතයක්ව පැවැති හෙයිනි.මගේ පෞද්ගලික අත්දැකීමක් මෙහි ලා සඳහන් කරමි.තහනම් ගහ, සඳමඩල වැනි චිත්‍රපට මෙන්ම සම්මානනීය ටෙලි නාට්‍ය රැසක නිෂ්පාදක රංජිත් පෙරේරා මේ සම්බන්ධයෙන් මුලින් උනන්දු වූ එක් අයෙකි.ඒ අනුව ඔහු එක්තරා සිංහල චිත්‍රපටයක් ඩීවීඩියක් ලෙස සකස් කිරීම සඳහා එහි අයිතිය ඇති මෙරට ප්‍රධාන සිනමා සමාගමකට ගියේ මා සමගය.චිත්‍රපටය ඩීවීඩියක් ලෙස මුල් පිටපත මෙන්ම එහි කවරය ද සැකසුණ නමුත් මොකක්දෝ හේතුවකට එය අතරමග ඇණ හිටියේ අදාල නිෂ්පාදකවරයා අවසන් මොහොතේ වැඩේ කර ඇරිය බැවිනි. ඒ වන විට රංජිත් ‘මමයි රජා’ චිත්‍රපටය වීසීඩී මඟින් මෙරට වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබිණ. කෙසේ වෙතත් මෙරට ඩීවීඩි නිෂ්පාදනය සඳහා මුල්ම ගෞරවය හිමි විය යුත්තේ ටොරානා ආයතනයටය. එහි සරත් සහ කුමාර කොතලාවල දෙසොහොයුරන්ටය. ඔවුන් අතින් මුල් වරට එළි දුටුවේ බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ අස්වැසුම චිත්‍රපටය බව මගේ මතකයයි. බර්ට්‍රම් නිහාල්ගේ ‘කඩවර’ මුලින්ම එළිදුටු ටෙලි නාට්‍යයයි. ඒ ටොරානා ලේබලයෙනි. මුල් යුගයේ සිංහල චිත්‍රපටයක් ඩීවීඩියක් ලෙස එළි දුටුවේ රුපියල් හත් සිය පනහක් වැනි මිළකටය. ඒ වන විට විදෙස් චිත්‍රපටයක මිළ රුපියල් දෙසීයක් පමණ විය. වැඩිපුරම සිංහල චිත්‍රපට අලෙවි වූයේ විදෙස් ගත ලංකිකයන් ඉලක්ක කර ගෙනය. ඒ අවදියේ ඩීවීඩි යක් සඳහා චිත්‍රපටයක් මිළ දී ගනු ලැබුවේ රුපියල් ලක්ෂයක පමණ මිළකටය. කෙසේ වෙතත් නීත්‍යුකූල නොවෙන අන්දමින් චිත්‍රපට පිටපත් තැනීම වසංගතයක් වූ හෙයින් සිංහල චිත්‍රපට ඩීවීඩි නිකුත් කිරීම පහසු ව්‍යාපාරයක් නොවීය.

කවර අර්බුද පැවැතිය ද ඩීවීඩී වෙළඳ පොල සුළු එකක් නොවීය.දෙවැනුව එහිලා වඩාත්ම ගොඩ නැගීමට මෙහෙයක් කරන ලද්දේ තරුණ ව්‍යවසායකු වූ සුරංග ද අල්විස්ය. සුරංග මේ ව්‍යාපාරයේ අඩු ලුහුඬු කම් අඳුනා ගත්තා පමනක් නොව වෙළෙඳ පොලට ගැලපෙන ආකාරයෙන් ඩීවීඩී නිකුත් කිරීම ආරම්භ කළේය. මේ අතරවාරයේ තිර ගත වන චිත්‍රපට වලට අමතරව ඩීවීඩිය සඳහාම චිත්‍රපට නිපදවිය. ඒවා රැඟුම් පාළක මණ්ඩලයේ ඇසට හෝ ලක් නොවීය. එමෙන්ම සිනමා කෘති ලෙස නිපද වුව ද තිර ගත වීමට වරම් නොලද චිත්‍රපට සඳහා ද අලුත් ඉල්ලුමක් ඇති විය. මේ සියල්ල අපේ ඩීවිඩි ව්‍යාපාරය පුළුල් කිරීමට හේතු විය. බම්බලපිටියේ ටොරානා ආයතනයෙන් ඇරඹි චි‍ත්‍රපට සඳහා පිටකොටුවේ දී අලුත් වෙළඳ පොලක් ඇති විණ. ඩීවීඩි ය සඳහා අලුත් නිෂ්පාදකයන් රැසක් පිටතින් පෙනුන ද බොහෝ විට මෙකී විවිධ නම් සඳහා සිටියේ එකම ආයෝජකයක් පිරිසකි.

එහෙත් එය ඉල්ලුමේ පුළුල් පරාසයක් ඇති කිරිමට සමත් විය. ඒ සමග ඩීවිඩි යට මෙරට වෙළඳ පොලේ මිළ ද ඉහල ගියේය. සිංහල චිත්‍රපටයක් තිර ගත වන්නට මත්තෙන් නිෂ්පාදකවරුන් සොයා ගොස් ඩිවීඩි අයිතිය ඉල්ලා සිටින්නට තරම් එය පුළුල් විය. චිත්‍රපට ප්‍රදර්ශණය කාලින ව වෙනස් වීම් සොයා ඇදෙද්දී නිෂ්පාදකවරුන්ට ඩිවීඩිය ඇති කරන නව වෙළඳ පොළ යම් සහනයක් ගෙන දුන්නේය. චිත්‍රපටයක නිෂ්පාදකට ගෙවන මුදල ඉහල ගියද ඩීවීඩි වෙළද පොලේ මිළ සාමාන්‍ය රසිකයාට දැරිය හැකි වූයේය. චිත්‍රපටයක මිළ තීරණය කරන ලද්දේ එහි ඇති නලු නිළියන් සහ එයට සිනමාහල් මගින් ලැබුණ ආදායම මතය. ඇතැම් චිත්‍රපටයකට රුපියල් ලක්ෂ පනහකට එහා මුදලක් ගෙවා අයිතිය ලබා ගැනිණ.