වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




අත්හදා බැලීම් නවක මුහුණු සමඟ වස්සානයේ සඳ රූ ගැන්වේ

අතිශය භයංකාර දර්ශන රැසකින් සමන්විත ‘බන්ධනය’ සහ සංවේදී කතාවක් ඇතුළත් ජාත්‍යන්තර ඇගයීම් ලබමින් තිබෙනා ‘මධුර චාරිකා’ චිත්‍රපටල වැඩ නිමා කොට ප්‍රදර්නයට සූදානම් කොට තිබෙන උදයකාන්ත තවත් අපූරු චිත්‍රපටයක රූගත කිරීම් අතරයි මේ දිනවල සිටින්නේ. ඒ උදයකාන්තගේ විසි දෙවැනි චිත්‍රපටය වන ‘වස්සානයේ සඳ’ සමඟයි.

පර්යේෂණාත්මක සහ අපූර්ව චිත්‍රපට නිරන්තරයෙන් සිංහල සිනමාවට එක් කරන්නකු විදියට නම් දරන උදය ඔහුගේම එකකට එකක් වෙනස් නිර්මාණ සසඳා බැලූ විට ඒ කිසිවකටත් සම නොවන අපූරු නිර්මාණයක මේ දිනවල නිරත වන බවයි පසුගියදා අපි කෝට්ටේ - බැද්දගානේදී ‘වස්සානයේ සඳ’ දර්ශන තලයේදී දුටුවේ.

ප්‍රවීණ සහ අති දක්ෂ චරිතාංග නළුවන්ගේ අද්විතීය රංගන හැකියාවන් මතු කරගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතර උදයකාන්ත සිටින බවම නෙවෙයි මේ කියන්න හදන්නේ. ත්‍රිකෝණ ප්‍රේම වෘත්තාන්තයක තීරණාත්මක චරිතයක් වෙච්ච බුද්ධිමය වශයෙන් අභියෝගයට ලක්ව සිටින ළමයකුගේ චරිතයක්, උදයකාන්ත සැබෑ ජීවිතයේදී ඒ තත්ත්වයේම පසුවන ළමයකු ලවා හරි අපූරුවට තෙවැනි ඇසට හසුකරගනිමින් සිටින බවයි.

එතෙකින් නොනවතින මේ අභියෝගයේදී උදය මිස්ටර් ශ්‍රී ලංකා කිරුළට හිමිකම් කියූ කඩවසම් යොවුන් නළුවන් දෙදනකු සහ රූ රැජනන් මෙන්ම රූබර මෝස්තර නිරූපිකාවන් දෙදනකුටත් මේ චිත්‍රපටයේ ප්‍රධාන භුමිකා තිළිණ කරමින්ම වස්සානයේ සඳ නම්වන සෞම්‍ය මතුපිටකින් ගලායන නමුත් ඒ ඒ චරිත අභ්‍යන්තරයෙන් විවිධ සමාජයීය, සංස්කෘතික හැලහැප්පීම පවතින කතාවකින් උදයකාන්තගේ ඊළඟ සිනමා රූපාවලිය වර්ණ ගැන්වෙන බවක් අප ඔබට මේ ලියන්නේ.

පියුමි හංසමාලි පුංචි තිිරයෙන් ඔබ දුටුව තාරකාවක්. ඇය මුල්වරට සිනමාපටයකින් දකින්න ලැබෙන්නේත් මේ චිත්‍රපටයෙන්. උදයගේ අදියුරුවකින් සිනමා ලෝකේ එළිය බලන්න ලැබුණාට පියුමි සිටින්නේත් ප්‍රීති ප්‍රමෝදයෙන් බව තමයි ඇයත් සරසවියට කීවේ.

‘වස්සානේ සඳ’ට අනුව පියුමිගේ පෙම්වතා මේ කියලා එක්කෙනෙක් නම් කරන්න අමාරුයි. ඒ ඇය කඩවසම් තරුණයන් දෙදෙනකුගේම ආදරයට මැදිවන නිසයි. අනුජ් රණසිංහ එයින් එක් අයෙක්. අනුජ් ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටයෙන් දුටුව පෙම්වතාට වඩා වෙනස්ම ආරකින් වස්සානයේ සඳට රඟන බවයි අප දුටුවේ.

සල්ලිකාර පවුලක හැදී වැඩෙන ඔහු මේ චිත්‍රපටයේදී විදේශගත වී අත පය කඩාගෙන එක්තැන්වීමෙන් පමණක් නොවෙයි නැවත ලංකාවට පැමිණි මතකයත් අහිමි කරගන්නා තත්ත්වයකට පත් වන බවයි අනුජ්ගෙන්ම අපට අසන්නට ලැබුණේ.

‘ඇත්තටම මං අඩුවෙන් රංගනයට එකතු වෙන්න හේතු තියෙනවා. වෘත්තියෙන් ව්‍යාපාරික කටයුතුවල නිරත වුණත් රංගනය හැදෑරීම මං නිරන්තරයෙන් කරන දෙයක්. පසුගිය කාලයේදීත් අනෝජා වීරසිංහ, ජයන්ත චන්ද්‍රසිරි ආදීන්ගේ රංගන වැඩමුළුවලට සහභාගිවෙමින් අත්දැකීම් එකතු කරගැනීමේ යෙදී සිටියා.

ආදරණීය ප්‍රේමවන්ත චරිත නිතර ලැබීම මගේ පෙනුමත් එක්ක සිද්ධ වෙනවා ඇති. ඒත් ඊට වඩා වෙනස් ටෙලි නාට්‍ය තුනකින් පුංචි තිරයෙන් මං ප්‍රේක්ෂකයා හමුවෙන්න නියමිතයි. ඒ රාවණා යුගයේ ඓතිහාසික කතාවකින්. ඒ අතීත යුගයේ හේවායෙක් සහ ඒ ටෙලියේම එන ඒ චරිතයේම වර්තමාන චරිතය ඔස්සේ ද්විත්ව චරිත රඟපෑමකින් ‘නෝම්යා’ ටෙලි නාට්‍යයෙන් සොබා දහමට ආදරය කරන නාගරික තරුණයකු විදියටත් ‘දේදුනු පාලම’ ටෙලියේදී විප්ලවවාදී ගම්බද පාසලක උගන්වන ගුරුවරයකු විදියටත් තමයි ඒ. ඒත් මං අන්ධ චරිතයක් නැතිනම් ගොළු චරිතයක් රඟපාන්න කාලෙක ඉඳන් ආසාවෙන් ඉන්නේ’

අනුජ් රණසිංහ මේ මතක අවුස්සන අතරේ අනුජ්, පියුමි වගේම මුල් වතාවට උදයකාන්ත වර්ණසූරියගේ මේ චිත්‍රපටයෙන් රංගනයට පිවිසෙන මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලැබූ ඇන්ජලෝ සන්ජීව් බාන්ස් පිළිබඳත් සඳහන් කරන්නම වටිනවා.

විදේශ රටක රාජකාරි කරන ඇන්ජලෝ දෙසතියක නිවාඩුවක් ලබාගෙනමයි උදයකාන්තගේ ‘වස්සානයේ සඳ’ වෙනුවෙන්ම ශ්‍රි ලංකාවට ඇවිත් සිටියේ. ඔහුගේ එකම සහෝදරියත් වෛද්‍යවරියක්. ඉදිරියේදී මව සහ පියා සමඟ එකට ජීවත් වෙන්නට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් කුඩා කාලයේ සිට රංගනයට පවතින ආශාව උදයගේ චිත්‍රපටයකින් ඉටුවීම අමන්දානන්දයට හේතුවක්ව තිබෙන බවයි ඇන්ජලෝ කියන්නේ.

උදයකාන්තත් කලින් එතරම් දැන නොසිටිය හෙයක් අනුජ්, ඇන්ජලෝ, පියුමි සහ ඕෂදී හිමාෂා කියන මේ කොල්ලො කෙල්්ලන්ගේ තිබිලා තියෙනවා. ඒ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේදී එකට හමු වී ඒ අය ඇතිකරගත්ත දැන හැඳුනුම්කම්. ඒ යාළුකම් උඩ උදයවත් අන්දුන් කුන්දුන් කළ දඩබ්බ වැඩක් ඒ කට්ටිය කෙරුවා.

පසුගිය දවසක නාවල රෙස්ටොරන්ට්ටෙකකදි ලන්ච් ගන්න සීන්නෙකක් වස්සානයේ සඳේ තිබ්බා. ඒ වෙද්දිත් සවස දෙකට කිට්ටුයි. ලොකු බඩගින්නක හිටිය පියුමි, අනුජ්, ඇන්ජලෝ කට්ටිය චිත්‍රපට පිටපතේවත් නැති කෑල්ලක් ඒ සීන්නෙකට එකතු කෙරුවා.

‘උදය අයියා කට් කට් කියයි. ඒත් අපි බඩපිරෙන්නම කමු. කාගෙන කාගෙන යමු’ පියමිගේ ඒ යෝජනාවට අනුජ්ලා ඇන්ජලෝලත් එක පයින් කැමැති වෙනවා. අන්තිමේදී සිද්ධ වුණේත් ඒකම මිසෙක උදයකාන්තට වුවමනා තැනින් ඒ කෑම ගැනිල්ල නැවීත්වීම නම් නෙවෙයි.

කෑම මතක් වෙද්දී බලන්ගොඩ, බෙලිහුල් ඔය ලොකේෂන්වලට වස්සානයේ සඳ අරන් මේ කට්ටිය යන්න කලින්දා අපි බැද්දගානේදී දැක්ක තවත් සිද්ධියක් තියෙනවා. ඒ ඩොනා විදියට කාගේත් හෘදයාංගම ආමන්ත්‍රණය ලබන මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය භාරව සිටින ඩොනල්ඩ් ජයන්තට සම්බන්ධදයෙන්. ඩොනල්ඩ්ගේ ‘මායා’ චිත්‍රපටය තිරගත වෙන්න ගත්ත අලුත ලැබෙන ප්‍රතිචාරවලට සතුට පළ කර කර ඩොනල්ඩ් අපි ළඟම ඉඳන් අල්ලේ තියන් උන්නු පිඟානේ බත් ගුලි එක එක ගුලි කර කර පිඟානේ පැත්තකින් තියනවා. කුතුහලය ඉවස ගන්න බැරිම තැනදි අපි ඒකට හේතු ඩොනල්ඩ්ගෙන්ම ඇහැව්වා.

‘ඇයි ඔායාලා එහෙම කරන් නැද්ද? මං තනියෙන් කෑම කද්දි එහෙමයි. බිරියයි දරු දෙන්නයි මතක් කරලයි එහෙම කළේ’

ඩොනල්ඩ්ට එහෙම වුණත් බන්ධනය වගේම උදයගේ මේ චිත්‍රපටයෙත් චරිතයකට පණ පොවන සුවිනීතා වීරසිංහට නුගේගොඩ දර්ශන තලයකදී තිබුණේ තිගැස්මක් ඇතිකෙරුව අත්දැකීමක්. විදුලි බුබුලක් සවිකරන්න ඉනිමඟක නැග්ග කාර්මික ශිල්පියෙක් තමන් බලන් ඉන්දැද්දීම බිම වැටිලා. ඔළුව වැදිච්ච ඒ මතකේ අමතක වෙන්නෑ කියලයි සුවිනීතා කිවුවේ.

‘උදයකාන්තගෙන් මං ප්‍රවීණ අධ්‍යක්ෂවරු දෙදෙනකුගේ ගතිගුණ නිතර දකිනවා. මහාචාර්ය ඩී. බී. නිහාල්සිංහ, එච්. ඩී. ප්‍රේමරත්න තමයි ඒ. උදයකාන්තත් ඒ දෙදෙනා වගේම ළඟට ඇවිත් සෙමෙන් කියාදීලා යන කෙනෙක්. ඉතින් දවසක වැඩ හමාර කරලා අපි අනෙක් දවසේ රඟපාන්න ලොකේෂන් එකට එන්න බලාගෙන පිටවෙන්නේ හරිම සතුටින්. සිත් රිද්දන්නේ නැතිව මිත්‍රශීලීවයි කතා කරන්නේ. තමන්ටම ඒ චරිතයෙන් ගොඩනැඟෙන්න ඉඩහරින සන්සුන් ගතිය උදයකාන්තගේත් තියෙනවා.

ඇත්තටම ‘වස්සානයේ සඳ’ පිළිබඳ උදයකාන්තගේ සිතිවිලි මොනවාද? මේ කතාව, දෙබස් සහ තිර රචනයත් ඔහුගේමයි. උදයකාන්ත බරපැන දැරීමෙන් ද ‘වස්සානයේ සඳ’ ට සම්මාදන්ව සිටිනවා.

‘එක්තරා ළමයෙක් දැකීමෙන් මීට අවුරුදු පහකට විතර ඉහතදී මගේ සිතේම ගොඩනැඟුණු කතාවක්, වස්සානයේ සඳ. ඒත් නිෂ්පාදකවරයකු මුණ ගැසෙන තුරා මේ රූප මගේ හිතේමයි පැලපදියම්වෙලා තිබුණේ. නමුත් එච්. ඩී. ප්‍රේමසිරිවත් ඉන් පසුව ඕස්්ට්‍රේලියාවේ ජීවත්වන මහේෂ් බණ්ඩාරත් හමුවීමත් සමඟයි චිත්‍රපටයේ කටයුතු ඇරඹුණේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ රූගත කිරිම් නිමයි. සති කිහිපයක කාලයකට ඕස්ට්‍රේලියාවට රූගත කිරීම්වලට යන්නයි නියමිතව තියෙන්නේ.’

සැබැවින්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය දර්ශන තලයක් කියන්නේම රස ගුලාවක් වගේම දැනුම් සාගරයක් එත්තැන් වෙච්ච ඉසව්වක්. රංගනයේ නිරත වෙමින් රූපවාහිනී සහ ගුවන් විදුලි හඬ කැවීම් ශිල්පියකු විදියටත් සංගීත ප්‍රසංග නිවේදකවරයකු විදියට අප හමු වන සුසන්ත ප්‍රියදර්ශන එහිදී අපට කීවේ වික්‍රම සෙනෙවිරත්නගේ මල් සීයාගේ සංධ්වනිය වේදිකා නාට්‍යයෙන් වේදිකාවේදී ඔහු ළඟදීම අප හමුවන බවක්. සම්මානනීය අංග රචනා ශිල්පී ඉන්දික උදාර ලංකා ඔහු ක්ෂේත්‍රයට පිවිසුණේ අවුරුදු අට හමරක් පමණ සහාය අංග රචනා ශිල්පියකු විදියට වැඩ කිරීමෙන් පසුව බවයි නිහතමානීව අපට කිවේ. ප්‍රවීණයකු වුවත් කැමරාකරණ ශිල්පී අයේෂ්මන්ත හෙට්ටිආරච්චිත් උදයකන්ත අලුතින්ම හෙළ සිනමා අහසට කැන්දන ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේ කැමරාව මෙහෙයවීම තමන් අපූරු අභියෝගයක් විදියට සලකන බවයි අපට ළෙන්ගතුව කියා සිටියේ.

රවීන්ද්‍ර රන්දෙණිය, අනුජ් රණසිංහ, සුවනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක, ශ්‍රීනාත් මද්දුමගේ, ගිවන්ත අර්ථසාද්, කුමාරි සේනාරත්න, සුසන්ත ප්‍රියදර්ශන ආදීහු රඟන වස්සානයේ සඳ චිත්‍රපටයෙන් උදයකාන්ත, පියුමි හංසමාලි, ඇන්ජලෝ සන්ජීව් බාන්ස් සහ ඕෂදි හිමාෂාව සිනමාවට හඳුන්වා දෙයි.

සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත ද, කැමරා අධ්‍යක්ෂණයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි ද, කලා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස් ද, වේශ නිරූපණයෙන් ඉන්දික උදාර ලංකා ද, නිෂ්පාදන කළමනාකාරණයෙන් අශෝක ආරියරත්න ද ඇඳුම් පැලඳුම් නිිර්මාණයෙන් ශාන්ති වර්ණසූරිය ද එක්වන ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේදී රෝහණ වීරසිංහගේ සංගීතයට මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් විමලවීර සහ කුලරත්න ආරියවංශ රචනා කළ ගී ගැයුමින් සුනිල් එදිරිසිංහ, උරේෂා රවිහාරි, අමල් පෙරේරා, අභිෂේකා විමලවීර, දුමාල් වර්ණකුලසූරිය සහ දේශානි විතානගේ එක් වෙති. නිශ්චල ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්තය.

‘වස්සානයේ සඳ’ චිත්‍රපටය එච්. ඩී. ප්‍රේමසිරි, මහේෂ් බණ්ඩාර සහ උදයකාන්ත වර්ණසූරියගේ නිෂ්පාදනයකි.