වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ආපහු මුහුදේ අතරමං වන Robinson Crusoe

ආපහු මුහුදේ අතරමං වන Robinson Crusoe

දකුණු පැසිෆික් සාගරයේ තනි වූ කුඩා දූපතක මැක් නම් ගිරවා සහ ස්ක්‍රබී නම් එළුවා සහ කාමෙලෝ නම් කටුස්සා ඇතුළුව සහළුවන් පිරිසක් සතුටින් දිවි ගෙවති. නිල් අහසත් සුන්දර මුහුදත් රසබර පළතුරුත් කරකර ගා හැපෙන කෘමීන් ද ඔවුන්ගේ ලෝකය යි. නමුත් සෑම දිනයක්ම ඒකාකාරි ලෙසින් දිවි ගෙවීමට සිදුවීම නිසා මැක් දවස ගෙවන්නේ දැඩි අලසකමකිනි.

ඈත ක්ෂිතිජයෙන් එහා තවත් නුදුටු ලෝකයක් ඇති බව විශ්වාස කරන ඔහු සිය නිවහන අතහැර ඒ වෙත යාමට සිහින මවයි. මේ අතර එක් දිනක් දරුණු කුණාටුවක් හමයි. යහළුවන් උදෑසන අවදිවන විට විශාල නෞකාවක් වෙරළට ගොඩගසා තිබෙනු දකින්නට ලැබෙයි. අමුතු ආකාරයේ ජීවින් දෙදෙනෙක් මේ නෞකාවෙන් එළියට මතු වෙයි.එක් අයෙක් රොබින්සන් කෲසෝ නම් වන අතර අනෙකා ඔහුගේ බලු සුරතලා වන ඒන්ස්ලි නම් වෙයි. දූපත් වාසි මිතුරන් විසින් මේ අමුත්තන් දෙදෙනා සාදරයෙන් පිළිගනු ලබන අතර රොබින්සන් සහ මැක් ඇතුළු පිරිස මෙම සුන්දර දූපතේදී ලබන වික්‍රමාන්විත අත්දැකීම් සමූහයක් Robinson Crusoe (The Wild Life) ලෙසින් රිදී තිරයේ දිගහැරී ඇත.

වින්සන්ට් කෙසලූට් සහ බෙන් ස්ටෙසන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Robinson Crusoe චිත්‍රපටය ගිනා ගල්ලෝ, මිමි මෙනාඩ් ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයකි. ලී ක්‍රිස්ටෝපර්, ඩොමොනික් පැරිස් සහ ග්‍රැහැම් වෙල්ඩන් විසින් රචනා කර ඇත. බෙල්ජියානු සහ ප්‍රංශ ත්‍රිමාන පරිගණක සජීවකරණ චිත්‍රපටයක් ලෙසින් නිර්මිත Robinson Crusoe චිත්‍රපටය ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා ද්විත්වයෙන් හඬ ගැන්වී ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 13.5ක වියදමින් තැනුණු මෙය දැනට අමෙරිකානු ඩොලර් 20.9ක ආදායමක් උපයා ඇත.

මෙම චිත්‍රපටය මීට වසර 297 කට පෙර ඩැනියෙල් ඩෙෆෝ නම් ලේඛකයා විසින් නිර්මිත ‘රොබින්සන් කෲසෝ’ චරිතය පාදක කොටගෙන තැනූවකි. නවකතාවක් ලෙස දොරට වැඩි මෙම කෘතිය ‘ද ලයිෆ් ඇන්ඩ් ස්ට්‍රේන්ජ් සප්‍රයිසින් ඇඩ්වෙන්චර්ස් ඔෆ් රොබින්සන් කෲසෝ’ ලෙස නම් වුනු අතර, මෙහි තවත් කොටස් දෙකක් ඉන් පසු බිහිවිය. මෙම නවකතාව ඇලෙක්සැන්ඩර් සෙල්ක්‍රික් නම් වූ නාවිකයෙක් 1704 සිට 1709 දක්වා වූ කාලය තුළ සිය ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් පදනම් කොට තැනූවක් බවටද කතාවක් ඇත. මෙම නාවිකයාගේ උපන් බිමද චිලී රටට අයත් දූපතක් වන අතර, එය අද ‘රොබින්සන් කෲසෝ දූපත’ නමින් හැඳීන්වේ. ඩේෆෝ විසින් නිර්මාණය වූ රොබින්සන් කෲසෝ ගේ කතාන්තරය පළමු වරට සිනමාවට නැගුනේ 1902 තරම් ඈත කාලයකදීය. ඉන් පසු 1927, 1947, 1954, 1964 සහ 1997 වර්ෂ වලදී මෙම කතාව නැවත නැවතත් සිනමා නිර්මාණ ලෙසින් රිදී තිරයේ දිග හැරී ඇත.

IMDB දර්ශකයේ ලකුණු 5.3/10 ක් සටහන් කරන මෙම නවතම චිත්‍රපටය, ‘රෝටන් ටෝමාටෝස්’ හි 42% ක ලකුණු ප්‍රමාණයක් සටහන් කර ඇත. මෙම චිත්‍රපටයට එතරම් විචාරක පැසසුම් ලැබී නැති අතර එක් විචාරක‍යෙක් චිත්‍රපටය ගැන කියන්නේ මෙය සුන්දරව තැනුණු ඉතා බොළඳ කතාවක් බවයි. මෙය කුඩා දරුවන්ටම සුදුසු, වර්ණවත්, කාටූන් චරිත සමඟ නිමැවුණු සරළ ඉලෙක්ට්‍රොනික දරු නැළවිල්ලක් පමණක් බව තවත් විචාරකයෙක් පවසන අතර, සාපේක්ෂව බලන කල මෙය කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි එකක් බව තවත් විචාරකයකුගේ අදහසයි.