වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල වේදිකාවට ග්‍රීක නාට්‍ය හඳුන්වා දුන් බන්දුල ජයවර්ධන

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 11

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

සිංහල වේදිකාවට ග්‍රීක නාට්‍ය හඳුන්වා දුන් බන්දුල ජයවර්ධන

අපේ රටේ බොහෝ ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවන් කලකට ඉහත පේරාදෙණි සරසවියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර පාමුල නාට්‍යකරණය ප්‍රායෝගිකවම ඉගෙන ගත් අය බව පෙනී යයි. ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, චන්ද්‍රසේන දසනායක, බන්දුල ජයවර්ධන, නාමෙල් වීරමුණි, සෝමලතා සුබසිංහ ඊට නිදසන් ලෙස දැක්විය හැකිය.

මෙයින් බන්දුල ජයවර්ධන අපට සුවිශේෂ වන්නේ ඔහු ග්‍රීක නාට්‍ය, සමකාලීන වේදිකාවට හඳුන්වා දුන් පුරෝගාමී නාට්‍යකරුවකු වශයෙනි. ඔහුගේ නාට්‍ය සමස්තය අතරින් ඔහු පරිවර්තනය කොට නිෂ්පාදනය කළේ එකම එක ග්‍රීක නාට්‍යයක් වුව එහි ආනුභාවය සිංහල වේදිකාව මත පසුකාලීනව දක්නට ලැබිණි.

ඝෝෂක වස්තුව (1960) බන්දුලගේ මුල්ම නාට්‍ය නිර්මාණයයි. එය 1961 ජාතික නාට්‍ය උලෙළට ඇතුළත් වූයේය. මෙම නාට්‍යයේ පිටපත 1960 සාහිත්‍ය දින නිමිත්තෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව පැවැත් වූ ඒකාංක නාට්‍ය තරඟයෙන් ප්‍රථම ත්‍යාගය දිනූ පිටපත ලෙස සඳහන්ව ඇත.

'ඝෝෂක වස්තුව'ට පාදක වූයේ 'සද්ධර්මරත්නාවලියේ' එන කතාවකි. විශ්වවිද්‍යාල සිසුහු මෙයට නන් අයුරින් සහභාගි වූහ. චාලි ජයවර්ධන රංගනයෙන් ද, එච්. එච්. බණ්ඩාර සංගීතයෙන් ද සහභාගි වූ ප්‍රථම නාට්‍යය මෙය වෙයි. නාට්‍යයේ ප්‍රධාන චරිතය වන කුඹලාගේ චරිතය නිරූපණය කළේ චාලිය. එච්. එච්. බණ්ඩාර, ජයන්ත අරවින්ද සමඟ එක්ව සංගීතය අධ්‍යක්ෂණය කළේය. චාලි හා බණ්ඩාර යන දෙදෙනාම 'සිංහබාහු' නාට්‍යයට සම්බන්ධ වූයේ ඉන් පසුවය. පේරාදෙණිය සරසවියේ පැවැත් වූ කලා මණ්ඩලයේ සිංහල නාට්‍ය උලෙළ සඳහා 'ඝෝෂක වස්තුව' නාට්‍යය ප්‍රථමයෙන් රඟදක්වනු ලැබ ඇත.

'බෙර හඬ' (1961) ග්‍රීක නාට්‍ය රචක සොෆොක්ලිස්ගේ 'ඉක්නෙවුටායි' නම් වූ සැටර් නාට්‍යයේ අනුවර්තනයකි. බන්දුල ග්‍රීක නාට්‍ය කලාව පිළිබඳ නොමඳ දැනුමකින් හෙබියා වූ නාට්‍යකරුවෙකි. සමකාලීනව වේදිකාවට ආ ප්‍රථම ග්‍රීක නාටකය 'බෙර හඬ' යැයි සිතමි. මෙයින් අපේක්ෂා කළේ දේශීය කලා නාට්‍ය කලාවේ ප්‍රගමනයට සම්භාව්‍ය ග්‍රීක නාට්‍යයේ ආභාසය ලැබිය හැකි ද යන ප්‍රශ්නයට කිසියම් පිළිතුරක් ලබා ගැනීමයි.

ග්‍රීක නාට්‍යයක් වුව අපේ ජන සම්ප්‍රදායේ (තොවිල් වැනි) ඇසුරු කරගෙන මෙය ඉදිරිපත්ව ඇත්තේ ඒ නිසා විය යුතුය.

පේරාදෙණි ගොවිකම් දෙපාර්තමේන්තුවේ සිංහල සාහිත්‍ය සංගමය ඉදිරිපත් කළ 'බෙර හඬ' ප්‍රථම දර්ශනය 1961 දී මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී පවත්වන ලදී.

'දියසේන නොපැමිණීම' (1963) ඓතිහාසික චරිත කීපයක් යොදාගෙන ඉදිරිපත් කෙරුණු ප්‍රහසනයක් ලෙස හඳුන්වා දිය හැකිය. දුටුගැමුණු, පරාක්‍රමබාහු, බුද්ධදාස වැනි රජවරුන් ද, ගුරුළුගෝමි, දියසේන කුමාරයා වැනි චරිත ද මෙහි දක්නට ලැබිණි. කිසියම් ව්‍යසන අවස්ථාවකදී රට ගලවා ගැනීම සඳහා පැමිණෙන දියසේන නම් වූ කුමාරයකු පිළිබඳ විශ්වාසයක් අප ජන විඥානයේ ඇත. නාට්‍යයට පාදක වන්නේ එකී පුරාණෝක්තියයි. මෙම නාට්‍යයේ එක් තැනක දුටුගැමුණු රජු යාපනයේ කළු සුරුට්ටුවක් රස බැලීමට ඉල්ලන අවස්ථාව වැනි සිදුවීම්වලින් හාස්‍යජනක ස්වරූපයක් මවා පා ඇත.

'දියසේන නොපැමිණීම' නිපදවා ඇත්තේ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සේවක නාට්‍ය සංගමය වෙනුවෙනි.

'ස්වර්ණ හංස' (1964) බන්දුලගේ තවත් නාට්‍ය නිර්මාණයකි. මෙම නාටකයට වස්තු වූයේ 'ස්වර්ණ හංස' ජාතකයයි. පසු කලෙක මහාචාර්ය සරච්චන්ද්‍ර ලියූ 'බවකඩතුරාව'ට පාදක වූයේ ද මේ කතා පුවතයි.

'බිහිවනු බෝසතාණෙනි' (1965) චෙකොස්ලෝවැකියාවේ ෂැපෙක් සහෝදරයන්ගේ 'ද ලයිෆ් ඔෆ් ඉන්සෙක්ට්' නාට්‍යයේ අනුවර්තනයකි.

1966 ජාතික නාට්‍ය උළෙලේදී සිංහල නාට්‍ය අනු මණ්ඩලය ඊට පෙර වර්ෂවල හොඳ නාට්‍ය නිපද වූ නාට්‍යකරුවන් දස දෙනකුට නව නාට්‍ය නිෂ්පාදනය සඳහා ආරාධනාවක් කළේය. එයට ඉදිරිපත් වූයේ නාට්‍යකරුවන් සය දෙනෙකි. එනම් හෙන්රි ජයසේන (අහස් මාළිගා) ප්‍රේමරංජිත් තිලකරත්න (අම්මයි අප්පයි) මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර (සයුරෙන් ආ ළඳ) සුගතපාල ද සිල්වා (හෙලේ නැග්ග ඩෝං පුතා) එස්. කරුණාරත්න (එරබදු මල් පොට්ටු පිපිලා) බන්දුල ජයවර්ධන (බිහිවනු බෝසතාණෙනි). මෙයින් 'එරබදු මල්' හැරුණු කොට සෙසු නාට්‍ය සියල්ල විදෙස් නාට්‍යවල පරිවර්තන අනුවර්තන වීම කැපී පෙනෙන්නකි.

'බිහිවනු බෝසතාණෙනි' ඇතැමුන්ගේ නිර්දය විචාරය ලද නාට්‍යයකි. මෙය අළලා තිස්ස අබේසේකර ලියූ විචාරයක මෙසේ සඳහන් කර ඇත.

'මේ නාට්‍යය ගැන ලිවීමට මට පිටු ගණනක් අවශ්‍යය. මේ නාට්‍යය නරඹද්දී මා තුළ ඇති වූ කෝපය, පිළිකුල මට පිටකර ගත හැක්කේ පිටු ගණනක් වැය කර මේ නාට්‍යයට නිර්දය ලෙස බැණ වැදීමෙන් පමණි. මේ නාට්‍යය වේදිකාගත කිරීමට අනුමණ්ඩලය රුපියල් දාහක මුදලක් වැය කළේ ඇයිදැයි මට සිතේ. මුළු නාට්‍යයේම හොඳ යැයි කිව හැක්කේ ලූෂන් බුලත්සිංහලගේ රඟපෑම් පමණි. මෙතරම් ප්‍රතිභාපූර්ණ නළුවෙක් මේ බහුබූතයන් අතරට වැදුණේ කෙසේදැයි මම නොදනිමි'.

බන්දුල 'මිහිකතගේ දරුවෝ' යන නමින් නාට්‍යයක් නිපදවා ඇති බව සඳහන් වෙතත් ඒ පිළිබඳ මූලාශ්‍ර සොයා ගැනීම උගහටය. ඇතැම් විට එය 'ස්වර්ණ තිලකාම' විය හැකි යැයි අනුමාන කරමි. පසු කලෙක මාක්ස්වාදී කලා විචාරිකාවක වූ ආචාර්ය පියසීලී විජේගුණසිංහ මෙම නාට්‍යයේ රඟපා ඇත.

'මොනර පිල්' (1984) නාට්‍යයේ බන්දුල අනුවර්තකයා පමණි. නිෂ්පාදනය කිංස්ලි දිසානායකගෙනි. මෙය මොලියර්ගේ 'ලා බූර්ෂුවා ජොන්ටිඕම්' නාට්‍යයේ අනුවර්තනයකි. මේ නාට්‍යයම කොළඹ විශ්ව විද්‍යාල නාට්‍ය යුගයේදී 'මුදලාලිගේ පෙරළිය' නමින් නිපදවා තිබිණි. එය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මුල්ම නාට්‍යය ලෙස ද විශේෂත්වයක් දරයි.

'මොනර පිල්' නාට්‍ය ගැන සඳහනක් කරන මහාචාර්ය සරච්චන්ද්‍ර හාස්‍ය රසය නිශ්ශබ්ද මානසික වින්දනයක් බවත් එය මන්ද ස්මිතියකින් ශබ්ද නඟා සිනාසීමෙන් ප්‍රකාශ වන්නක් නොවන බවත් කියමින් 'මොනර පිල්' මනුෂ්‍යයන්ගේ නොයෙක් දුර්වලකම් දෙස බලා අනුකම්පාවෙන් යුක්තව සිනාසීමට තුඩු දෙන බව කියයි.

ස්වර්ණමාලි (1999) බන්දුල, නිශ්ශංඛ දිද්දෙණිය සමඟ එක්ව සම නිෂ්පාදනය කළ නාට්‍යයකි. මෙය සුපුරුදු සාලිය, අසෝකමාලා කතා පුවතයි. 2000 ජාතික නාට්‍ය උලෙළේදී මෙහි අසෝකමාලා ලෙස රඟපෑ දුලීකා මාරපන වසරේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවාය.

'සකල ජන හෙවත් ධනවතාගේ අභාවය' බන්දුල ජයවර්ධනගේ අනුවර්තනයකි. මෙය ඔස්ට්‍රියානු නාට්‍යවේදී හියුගෝ ෆොන් හොෆ්මන්ස්තාල්ගේ 'එව්රිමන්' නමැති නාට්‍යයේ පරිවර්තනයකි. ධම්ම මෙය ක්ලවුඩ් කුසන්බර්ග් සමඟ එක්ව නිෂ්පාදනය කළේය. රංගගත වුයේ කොළඹ කෙෘතුකාගාරයේ එළිමහන් වේදිකාවකය.

'එව්රිමන්' මොරැලිටි ප්ලේ (ර්ර්‍ණඅඒඹ්ධ්ඊක ර්‍ථඹ්ඒක) යනුවෙන් ප්‍රකට ආගමික නාට්‍ය විශේෂයකට අයත් නාට්‍යයකි. ක්‍රිස්තියානි 'එව්රිමන්' නාට්‍යයට වස්තු වී ඇත්තේ බෞද්ධ නිකාය සාහිත්‍යයේ එන දේවදූත සූත්‍රය බව බන්දුල කියා ඇත. 'සකල ජන' හැඳින්වෙන්නේ ද 'දහම් නළුවක්' ලෙසිනි. කොළඹ කෞතුකාගාර භුමියේ විශේෂයෙන් ඉදි කළ එළිමහන් මණ්ඩපයක මෙම නාට්‍යය රංගගත කර ඇත.

නාට්‍ය රචකයකු හා නිෂ්පාදකරවරයකුට අමතරව බන්දුල නාට්‍ය සඟරා සංස්කාරකවරයකු, නාට්‍ය ග්‍රන්ථ රචකයකු, නාට්‍ය අනු මණ්ඩල සාමාජිකයකු, නාට්‍ය විනිශ්චයකරුවකු ලෙස නන් අයුරින් සිංහල නාට්‍යයේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් මෙහෙයක් ඉටුකර ඇත. 'ග්‍රීක නාට්‍ය කලාව සහ ප්‍රේක්ෂක ඔබ' (චන්ද්‍රසෝම විතානගේ සමඟ) සම්භාව්‍ය 'ග්‍රීක නාට්‍ය කලාව' (විජේරත්න පතිරාජ සමඟ) ඔහු ලියූ නාට්‍ය ග්‍රන්ථ අතර වෙයි.