වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිිල්ගේ ගෙදර සරස්වතී මණ්ඩපයක්ම විය

80 දශකයේ යහපත් සිනමාවක් සඳහා කැප වූ තරුණ සිනමාකරුවන් කිහිප දෙනෙක් අපේ සිනමාවට එක් වූහ. මේ අතර චන්ද්‍රරත්න මාපිටිගම හා ෂෙල්ටන් පයාගල එකතුව 'මලට නොඑන බඹරු' නම් විවාද සම්පන්න චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට. එහි පූර්ව ප්‍රචාරයක් වශයෙන් 'සරසවිය' පුවත්පතට විශේෂාංගයක් ලිවීමට මට ආරාධනය කළේය. මට ආරාධනය කළේ මාපිටිගමය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද තරුණයන් දෙදෙනෙකි. අප ගියේ මින් එක නිෂ්පාදකවරයකු වූ සුනිල් ෆොන්සේකාගේ නාරාහේන්පිට ගෙදරටය. එහිදී අනික් නිෂ්පාදකවරයා වූ එන්. ඒ. ප්‍රේමසිරි ද දක්නට ලැබිණ. ප්‍රේ්මසිරි මා උපන් කොස්ගස් හන්දියේම රෙදි ව්‍යාපාරයක් කරමින් සිටි උත්සාහයෙන් දියුණු වූ තරුණයෙකි. සුනිල් පංචිකාවත්ත පාරේ පිහිටි 'ටයර් හවුස්' ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාය.

සාමාන්‍යයෙන් චිත්‍රපට නිෂ්පාදනයට යොමු වන අනික් නිෂ්පාදකයන්ට වඩා සුනිල් වෙනස්ය. උසස් රසාස්වාදයක් ඇති මේ තරුණයා වල්පල් කතා. ඕපදූප, හිස් කතා නොතෙපෙළ වූ කලා රසිකයකු විය. අපේ සාකච්ඡාව නිමවීමෙන් පසු චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ද තෝරා ගත් පසු සුනිල් අපට ආගන්තුක සත්කාරය පටන් ගත්තේ ඉස්තරම්ම ආකාරයටය. ඒ සංග්‍රහ භුක්ති විඳිමින් අප කතා කළේ කලාව, රස වින්දනය, විශ්ව සාහිත්‍යය හා විශ්ව සිනමාව ගැනය. මට ෂෙල්ටන් පයාගල හඳුනා ගැනීමට ලැබුණේ ප්‍රථම වරටය. ෂෙල්ටන් කොතරම් පිරුණු, මානව හිතවාදී, වාමාංශික පන්නරය ලැබූ තරුණයකු ලෙස හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය..

ඔවුන්ගේ ප්‍රිය ඇසුර මට කොතරම් ප්‍රියජනකදැයි සිතූ මම සතියකට වරක්වත් ඒ ප්‍රිය ඇසුරට සුනිල්ගේ නිවසට ගියෙමි. එතැනදී සුනිල් තම චිත්‍රපටයට වඩා කතා කළේ විවිධ මාතෘකා ගැනය. සැබවින්ම එය 'සරස්වති මණ්ඩපයක්' මැ විය. මේ ප්‍රිය සමාගමට අධ්‍යක්ෂවරුන් දෙදෙනා හැරුණු විට ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ප්‍රසන්න පරණවිදාන, වී. උපාලි පෙරේරා, ලාල් පියසේන වරින් වර එක් වූහ. කාල් මාක්ස් ගෙන් පටන් ගෙන ටෝල්ස්ටෝයි, ඩොස්ටව්ස්කි, චොකොෆ්, නිට්ෂේ, සොක්‍රටිස්, බීතෝවන්. බර්ග්මාන්, බූන්වෙල්, කුරොසාවා, රායි, රවි ශන්කර් ගැන ද සමාධි පිළිමය, සීගිරි චිත්‍ර ආදිය ගැන කරන සංවාදය විවාද සම්පන්නය.

මඳ විරාමයක් අපට ලැබෙන්නේ එතැන සිටින සුනිල්ගේ හිතවතකු වූ සුදු අයියා නිසාය. ප්‍රේමදාස විජේකෝන් නම් ඔහු චිත්‍රපට නළු පියදාස විජේකෝන්ගේ සහෝදරයෙකි. ඔහු කිති කැවීමෙන් තවත් විනෝද ජවනිකාවක් ඇරඹෙයි. හැමගේ ආදරයට පාත්‍ර වූ සුදු අයියා නැති තැන ඇති වූයේ පාළුවකි. පාඩුවකි. ෂෙල්ටන්, ලියෝ ටෝල්ස්ටෝයි කලාව ගැන කියූ පාඨයක් උපුටා දක්වමින් කතාව ශාස්ත්‍රීය පැත්තට යොමු කරවයි. ලංකාවේ වැඩිම පොත් කියවූ නළුවා වූ ද, අගනා විශාල පුස්තකාලයකට උරුමකම් කියු ටෝනි රණසිංහගෙන් ෂෙල්ටන්ට ගැලවීමක් ලැබෙන්නේ නැත.

වරෙක මේ පිරිස සංගීතය රස විඳිති. ලංකාවේ සිටි නළුවන් අතර පෙර අපරදිග ශාස්ත්‍රීය සංගීත එකතුව තිබුණේ ජෝ අබේවික්‍රම ළඟය. ඔහුගේ නුගේගොඩ පාගෙඩ පාරේ පිහි නිවසේ කළුවර පෙටිටියක සම්භාව්‍ය සංගීත තැටි සුරැකිව තිබුණි. බටහිර සිම්පනි මෙන්ම රවි ශංකර්. අලි අක්බාර් ඛාන්. විලයාත් ඛාන්, බිස්මිල්ලා ඛාන්. බාලසුබ්‍රමනියම් ආදීන්ගේ වාදන සහිත මේ තැටි සුනිල්ගේ නිවසේ අසන්නට ලැබිණ. එහි සිටින අය හා පිටතින් එන අමුත්තෝ ගොළුවත රකිමින් භාවනානුකුලව සමාධි ගතවෙති. අවශ්‍යම දෙයක් කතා කරන්නේ ගොළු භෂාවෙන් හා අංග චලනයෙනි.

පසුකාලීනව සුනිල් රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසේදී මේ මිත්‍ර සමාගමට අමරදේව, තිස්ස අබේසේකර, දයා අල්විස්, ප්‍රසන්න විතානගේ, ජැක්සන් ඇන්තනි ද එක් කොටගෙන සම්භාව්‍ය චිත්‍රපට ගැන කතා කරති. ප්‍රමිතිගත චිත්‍රපට උලෙළක් පැවැත්වීම ගැන එකල මිත්‍ර සමාගම අවධානය යොමු කළේ සුනිල්ගේ සංකල්පයක් අනුවය. 1987 වසරේ ඇති වූ මේ සංකල්පය අනුව 'ස්වර්ණ සංඛ සම්මාන උලෙළ' පටන් ගැනුණි. ඊට කලින් වෝග් ජුවලර්ස් අනුග්‍රහයෙන් 1966 වසරේ එම නමින්ම සම්මාන උලළක් පවත්වා එය ඒ වන විට අක්‍රීයව තිබුණි. එහි නමේ අයිතිය ලබා ගැනීමට සුනිල් වෝග් ජුලර්ස් අධිපති අනුර හේමචන්ද්‍ර හා කතා කිරීමට මට පැවරීය. කවදත් කලාවට. උසස් රස වින්දනයට කැමැති විශේෂයෙන් සංගීතය ප්‍රායෝගිකව හැදෑරූ මේ තරුණ ව්‍යාපාරිකයා 'ස්වර්ණ සංඛ' නම නොමසුරුව අපට ලබා දුන්නේය.

ස්වර්ණ සංඛ සම්මාන උලෙළ සංවිධානය කිරිමට හා එහි ප්‍රමිතීන් සකස් කිරීමට තිස්ස අබේසේකර මෙහෙය වූයේය. මට ද එයට දායක වීමට අවස්ථාව ලැබිණ. සුනිල් ෆොන්සේකා නම් මේ කලා අර්ථපතියා මෙරට කලාකරුවන් රැසකට අනුග්‍රහ දැක් වීය. ඉග්මාර් බර්ග්මාන් චිත්‍රපට උලෙළ මෙරට පවත්වා බුද්ධිමත් රසිකයාට එය බැලිමට අවස්ථාව ලැබුණේ ඔහු නිසාය. 'කැන්ගරූ කැබ්ස්' ජාලයේ අධිපතිවරයා ද වූ ඔහු ව්‍යාපාර කටයුතුවලට අමතරව කලාව සඳහා රජයකට වඩා අර්ථපතිත්වය ලබා දී ඇත.

යටගිය දවස නමින් අප ලියන මේ ලිපි මාලාවේ ජෝ අබේවික්‍රම නම් විශිෂ්ට නළුවා ගැන නොලියුණු නිසා ඔහු ගැන සටහනක් තැබිය යුතු යයි මම සිතුවෙමි. ජෝ අබේවික්‍රම මට මුලින් මුණ ගැසී කතා කිරිමට අවස්ථාව ලැබුණේ රොස්මිඩ් පෙදෙසේ මයික් විල්සන්ගේ නිවසේදීය. ඒ 1970 වසෙර්දීය. 'සරසවිය'ට මා ලියූ තිරයේ මැවූ චරිත' නම් විශේෂාංගය සඳහාය ඒ. එවකට 'වැලිකතර' චිත්‍රපටයේ ඔහු රඟපාමින් සිටි අතර එහි රඟපෑ කලකදී කල්්‍යාන මිතුරන් වූ ගාමිණී ෆොන්සේකා සමඟ කාගේ දෝ කේලමක් නිසා නොහොඳ නෝක්කාඩු වී සිටියේය.

සරසවිය' පත්‍රයේ ගාමිණි සමඟ කළ පිළිසඳරකදී තමා ජෝ අබේවික්‍රමගේ විශිෂ්ට රංගනය දුටුවේ වැලිකතරේ ගෝරිං තුළින් බව පළ කොට දෙසතියකින් පමණ ජෝ අයියා හදිසියේ මට හමු විය.

'හැබැවටම මල්ලියේ මහ එකා මා ගැන එහෙම කිව්වද?' කනට කර මගෙන් ඇසීය.

'නැතිව ජෝ අයියා එයා නොකියන දෙයක් මම ලියනවද? එයා අමතු ජාතියේ කෙනෙක්නේ. ඔය තරහ මරහ දැන් අත් අරිමු. පස්සේ ඔය කේලම්කාරයෝ හඳුනා ගත හැකි වේවි. මම මහදැනමුත්තෙකු ලෙස කී වට ඔහු සිනාසුණා මිස කිසිවක් නොකීවේය.

එදා මා ජෝ අයියා හමුවීමට ගියේ ද විශේෂාංගයක් ලිවීමටය. කතා කරන ගමන් ඔහු මට මෙසේ කීවේය.

'මම ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටයක රඟපාලා නෑනේ. එයාගේ චිත්‍රපටයක රඟපාන්න මම කැමැත්තෙන් ඉන්නේ. කවද හරි මම මැරුණ දවසක ලෙස්ටර් මහත්තයා කනත්තට ඇවිත් මා ගැන මෙහෙම හිතාවි.

'අනේ අපරාදේ ජෝ මැරුණනේ. මගේ චිත්‍රපටයකට ගන්න බැරි වුණා. ඒකයි කනගාටුව' කියලා.

මට මෙය කදිම ආරංචියකි.

'ඔන්න ජෝ අයියා මම ඕක සරසවියට ලියනවා'

'උඹ ලියපන් මල්ලියේ'

ඊළග 'සරසවියේ' මගේ විශේෂාංගය සමඟ ප්‍රවෘත්තිය ලොකුවට පළ කලෙමි.

පසුදා ලෙස්ටර් මහතා මට කාර්යාලයට කතා කළේය.

'රන්ජිත්ට තෙලිපති තියෙනවා. ජෝ ගේ නිව්ස් එක දකින කොට අපි ඊයේ රෑ ගුණසේන ගලප්පත්ති එක්ක තීරණය කළා ජෝව 'දෑස නිසා' ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙට ගන්න'

'අනිත් චරිතවලට කවුද ගන්නේ' මම කතුහලයන් ඇසුවේ ගලප්පත්තිගේ 'දෑස නිසා' වේදිකා නාට්‍යය දැක තිබූ නිසාය.

'අපි හිතලා තියෙනවා අන්ධ ගර්ල් ශ්‍රියාණි අමරසේනව. තාපසයට රවින්ද්‍ර රන්දෙණියව'.

ලෙස්ටර් මහතාගේ මේ පුවත මම කර්තෘ විමලසිරි මහතාට ජයග්‍රාහි ලෙස කීවෙමි.

'මරු නැගලා යනවා. අපි 3 වැනි පිටුවේ බොක්ස් කරල මේ නිව්ස් එක දාමු'

ජෝ, රවීන්ද්‍ර මුල්වරට ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපාන බව මතු කරමින් 'දෑස නිසා' ප්‍රවෘත්තිය මා ලියා පිටුව සකස් කළේ ලෙස්ටර් - ගලප්පත්ති හා ජෝගේ ඡායාරූප සමඟය.

දෑස නිසා' රූපගත කිරිම් බැලීමට මාත්, බන්දු කොඩිකාරත් ඇහැටුවැව දර්ශන තලයට ගියෙමු. එහිදී අප දුුටුුවේ සුපුරුදු ජෝ නොව විරූපී, දත් ඉදිරියට නෙරා ආ අමුඩයක් ගසා සිටි අමු ගොඩයෙකි.

'මල්ලියේ ලෙස්ටර් මහත්තයාගේ චිත‍්‍රපටයක රඟපානවා කියන්නේ රඟපෑම ගැන ඉගෙන ගන්න ලෝකයේ තියෙන සිනමා විශ්ව විද්‍යාලයකට ගියා වගේ වැඩක්' ජෝ අයියා කීවේය. කොළඹ පැමිණි පසු ඊළඟ 'සරසවියේ' මා ලියූ විශේෂංගයේ හෙඩිම (ශීර්ෂය) වූයේ එම පුවතය.

ජෝ ස්වභාව ධර්මයට කැමැති හුදෙකලාව තම ප්‍රියතම කලාව කර ගත් අහිංසක ගැමියෙකි. නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි නිවසේ උඩ මහලේ ඇති පාරට මුහුණ ලා ඇති කාමරයේ ඔහුගේ හාන්සි පටුවට ඉදිරියෙන් ඇත්තේ තොලුවිල බුද්ධ ප්‍රතිමාවේ ආකෘතියකි. එම ප්‍රතිමාව නෙළු ප්‍රවීණ මූර්ති ශිල්පී මියගිය විමලසේන ඩයස් (ප්‍රවීණ කලා ශිල්පී උපාලි ඩයස්ගේ පියා) නම් මිතුරා විසින් ජෝට තෑගි කරනු ලැබු එම බුදු පිළිමයේ ආකෘතියයි. ජෝ මේ බුදු රුව දෙස උදෑසන බලා භාවනානුයෝගීව සිටිම එකල සිරිතකි. මීට වසර හතළිස් දෙකකට පමණ පෙර 'දෑස නිසා 'රූගත කිරීමට පෙර දිනක එම නිවසට ගිය මට දකින්නට ලැබුණේ කාමරයක් වසාගෙන අමුඩයක් ඇඳ නිරුදක ලෙස දෙබස් උච්චාරණය කරමින් රඟපාන මේ රංගධරයාණන්ය. මට ඉඳ ගැනීමට පුටුවක් පෙන්නා ඉඳ ගැනීමට අභිනයෙන් පෙන්වා ඔහු දිගටම රඟපායි. ඔහුගේ නිරුවත් උඩුකය දහඩියෙන් තෙමී ඇත.

දොරට තට්ටු කරන හඬක් ඇසුණි. මම දෙර ඇරියෙමි.

'දේවසිරි වරෙන් ඇතුළට... ඔහොම බිම ඉඳගෙන බලං හිටිින්'

දේවසිරි මා දුුටුවේ එදාය. ඔහු ජෝ අයියාගේ හිතවතෙකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන හා ජෝගේ නිවසේ අඩුපාඩු බලා උදව් කරන්නේ ඔහුය. ජෝ රඟපායි. දේවසිරි කට වහගෙන සිනාසෙයි.

'අපි කහට උගුරක් බොමුද? දේවසිරි'

'මම හදන් එන්නම් සර්'

දේවසිරි වසර හතළිහකට පමණ පසු මට හමු වුණේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ දේශපාලන කාර්යාලයේදීය. එම කාර්යාලයේදී අපට සහාය වූයේ ඔහුය. අපි දෙදෙනා හමුවන විවේකී අවස්ථාවල ජෝ ගැන පැරැණි තොරතුරු කියමින් විනෝද වන්නෙමු.

ජෝ ගැන හොඳ හොඳ කතා රැසක් වෙයි. ඔහු මට කළ උපකාරයක් ගැන මතක් වන්නේ අද ජීවතුන් අතර නැති ඔහුට උපහාරයක් වශයනි. 1988 වසරේ මගේ බිරිය බලවත් ලෙස රෝගාතුරව සිටියාය. ඉංග්‍රීසි බෙහෙත් කළ ද 'අපි සිංහල බෙහෙත් ටිකක් කරලා බලමු. මගේ යාළු රාජකීය වෙද මහත්තයෙක් ඉන්නවා. අපි එහෙ යමු' දිනක් අප නිවසට පැමිණි ජෝ අයියා මට කීය. කොණ්ඩය බැඳ ඇති ප්‍රනාන්දු වෙද මහතා රාජකීය වෛද්‍යවරයෙකි. ඔහු හමුවීමට අපි දෙහිවල හන්දියට කිට්ටු මුහුද පැත්තට යන හරස් පාරකින් එම වෙද ගෙදරට ගියෙමු. කරුණාවන්ත පින්බර මුහුණකට හිිම්කම් කී එතුමා මා බිරියට බෙහෙත් වට්ටෝරුවක් ලියා දී බීමට අරිෂ්ටයක් ද දී තම මිත්‍රයාට කරන ආදරය නිසා අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. එවක පාර්ලිමේන්තුවේ පත් කළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයි. ඩබ්ලිව්. ප්‍රනාන්දු නම් මේ රාජකීය වෛද්‍යවරයාගේ බාල සොහොයුරා වුයේ කීර්තිමත් දිසාපතිවරයකු වූ ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු (රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති) මහතාය.

කෙනෙකු කරදරයකට වැටුණු පසු පිහිටට සිටින මිතුරන් හිතවතුන් ඇත්තේ අතේ ඇඟිලි දහයටත් අඩු ප්‍රමාණයකි. ගාමිණී, ජෝ, රවීන්ද්‍ර ඒ අතර ප්‍රධානය. මගේ බිරිය තදබල ලෙස රෝගාතුර වී ජාතික රෝහලේ සිටිි අවස්ථාවේ රොස්මිඩ් පෙදෙසේ තම නිවසේ සිට අහාරපාන සැපයූ සුනිල් ෆොන්සේකාත්, ඔහුගේ 'ටයර් හවුස්' ආයතනනයේ විධායක නිලධාරි ඒ. ජී. විජයසිරි පෙරේරා ද අපට දුන් සහාය, අනුග්‍රහය අසීමිත බව මම කෘතඥතා පූර්වකව කියනු කැමැත්තෙමි.