වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සිනමා අසල්වැසියා සත්‍යජිත් රායි

වින්දනීය සිනමා ලිපි

අපේ සිනමා අසල්වැසියා සත්‍යජිත් රායි

රුපියල් අටක මාසික වැටුපකට වෙළෙඳ දැන්වීම් ආයතනයක ටොපි චොකලට් සබන් දවටන කවර සිතුවම් කළ බෙංගාලි තරුණ කොලු ගැටයකුට එක්තරා සිහිනියක් විය. ඒ කෙසේ හෝ සිනමාව නම් වූ මහා කලා මාධ්‍යය දෙසට නැඹුරුවීමටයි. මෙම සිතුවිල්ල සිය හදවත් පතුලේ සඟවා ගත් හෙතෙම බෙංගාලයේ කල්කටා නුවර වීදි පුරා ඇවිද ගියේ කවදා හෝ සිනමා සංගමයක් අරඹන්නෙමියි යන සිතිවිල්ලනි. ඒ අනුව වර්ෂ 1947 දී කල්කටා චිත්‍රපට කවය පිහිටුවා ගත් මේ අපූරු තරුණයා ඉන් අනතුරුව බෙංගාලි සාහිත්‍යවේදී බිබුති බුෂන් බන්ධෝත්පාදිගේ පාතර් පංචාලි නවකතාවට පෙම් බඳින්නට පටන් ගත්තේය. එකල ඉන්දියාවට චිත්‍රපටයක් කරන්නට ආ ප්‍රංශ සිනමාකරු රෙනුවාට මේ අපුරු තරුණයා නිතරම පැවසුවේ පාතර් පංචලී පිළිබඳවය. ඉන් මාස කීපයකට පසුව රැකියාව නිසාම ලන්ඩන් නුවරට පියාසර කරන ඔහු ලන්ඩනයේ සිටි මාස තුනක් වූ කෙටි කාලය තුල නොකඩවා චිත්‍රපට 99 ක් නරඹන්නේ සිනමාවට ඇති ඇම්ම නිසාමය. මේ අපූරු යෞවනයා ජගත් සිනමා රන් දෙවොලට අනඟි සිනමා පිලිම රැසක් දායාද කළ මහා සිනමාවේදී සත්‍යජිත් රායි ය.

රායිගේ සිනමා ජිවිතයට මුලකුරු කියැවෙන්නේ සිනමා ඇදුරන් හා පාසල් තුළ නොවේ. සිය පියා කුඩා කලම මිය යාම නිසා ගෙයි තනිවන විට විටෙක ඔහු ලෝකය හා ගනුදෙනු කරන්නේ සිය නිවසේ තිබූ කුඩා සිදුරකින් මාවතේ යන එන මිනිසුන් දෙස වීදුරු කැබැල්ලකින් බලමිනි. බිත්තියේ සිදුරින් තමා දකින මාවතේ යන එන මිනිස් රූප හා එහි චලන ඒ මත වැටෙන විවිධ ආලෝක රටාවන් පසුබිමින් අසන ස්වභාවික නාදයන් දකින්න තමා පැය ගණන් බිත්ති සිදුර ලඟ සිටි බව රායි පවසන්නේ සිය බාල වියේ මතක අවදි කරමිනි. එම රූපයන් ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ පාතර් පංචලීවලදී ද අපට හමු වෙයි. දුර්ගා තම මලනුවන් වන ඕපු දෙස බිත්ති සිදුරකින් බලනු අපට මතකය. එසේම චාරුලතා චිත්‍රපටයේ තනිකම මකා ගැනීමට මහා මන්දිරයේ කුඩා කවුළුවකින් බයිනෝවක් තුළින් එබී බලන චාරුලතාව අප මතකයට නැඟෙයි.

පාතර් පංචලි නිමවන්නට මුදල් නොමැති නිසා නොකඩවා වේගයෙන් රැකියා කරන්නටත් ඒ ඉපයීම් ඉතුරු කරන්නටත් රායිට සිදු වෙයි. අවසානයේ චිත්‍රපටය තැනීමට තම ජීවිත රක්ෂණය ද විකුණා දමන රායි කිසි දිනෙක සිනමා කැමරාවකට අත නොතැබූ සුබ්රා මිත්‍ර ද සමඟ පාතර් පංචලී නිර්මාණය කරයි. මුළුමනින්ම ආධුනිකයන් එකතුව බිහිවන රායිගේ නෑඹුල් ඵලය වූ පාතර් පංචලී ඉන් අනතුරුව 1956 දී ලොව සිනමාකරුවන්ගේ ක්ෂේම භූමියක් වූ කාන් සිනමා උලෙළේදී හොඳම මානවීය සිනමාපටය ලෙසින් සම්මානයට පාත්‍ර වෙයි.

පාතර් පංචලී තුළින් ලද ආශ්වාදය නිසාම අනතුරුව ඕපුගේ ජිවිතය අලළා අපූර් සංසාර් සහ අපරාජිතෝ නිර්මාණය කරන්නට රායි සමත් විය. ඔහුගේ ගැටවර කාලයත් ඉනික්බිති තාරුණ්‍යයේ මල්බර විය හා විවාපත් ජීවිතයටත් බෙංගාලි පුරයේ ජිවන හුස්ම පිඹින මෙම අපූරු ඉන්ද්‍රජාලිකයා එැතැන් පටන් ඉන්දීය නාමය ලොවට ගෙන ගිය බෙංගාලි තානාපතිවරයාම විය.

ඕපු ත්‍රිත්වයේ දෙවැන්න වූ අපරාජිතෝ තුළින් කුඩා ඕපුගේ ගැටවර විය නිරූපණය වෙයි. ඕපුත් මවත්, පියා වන හරිහරන් සිය ගමෙන් පැමිණ නගරබද ඇති ගංගා නදිය අසල ජිවත්වීමට පටන් ගනිති. පියා හින්දු පූජකයකු ලෙස සේවය කරන අතර අවසානයේ රෝගී වීම නිසා මිය යයි. ඉනික්බිති ඕපු සහ මව අතර පවතින ආත්මිය සබඳතාවය තීව්ර කරමින් රායි අපව ගංගා නම් නදියත් කල්කටා පුරවරයත් හරහා වට වන්දනාවක කැඳවා ගෙන යයි. මවගෙන් සමුගෙන වැඩි අකුරු උගෙනුමට නගරයට යන ඕපුත් සියල්ල අහිමිව හුදෙකලා වන හරිජයා නම් මවගේ ශෝකයත් රායි අපට පෙන්වන්නේ මුනිවරකු විසින් රන් දෙවොලක සිතුවම් කළ අනගි චිත්‍රයක් ලෙසිනි.

ඒ නිසාම අපරාජිතෝ චිත්‍රපටය 1957 දී වැනිස් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි රන් සිංහ සම්මානයට පාත්‍ර විය. එපමණක් නොව එම වසරේම බර්ලින් සහ කාන් සිනමා උලෙළයන්හි ප්‍රධාන සම්මානයන් ද අපරාජිතෝට හිමි විය.

ඕපු ත්‍රිත්වයේ අවසන් කොටස ලෙසින් සත්‍යජිත් රායි නිම වූ අපූර් සංසාර් රායිගේ සිනමා ජීවිතයේ තවත් කඩඉමක් සටහන් කරන්නකි. සිය මවගේ මරණයෙන් පසුව කල්කටාවේ තනිවන ඕපු රැකියාවක් නොමැතිකම නිසා දුක් විඳින්නට පටන් ගනියි. වැඩිදුර ඉගෙන ගැනීමට ඇවැසි වුවත් මිල මුදල් නොමැතිකම නිසා අසරණ වන ඕපු කල්කටාවේ තනි වෙයි. ඒ අනුව ඕපු නවකතාකරුවකු වීමට සිහින මවයි. එක්තරා දිනෙක තම මිතුරකුගේ ඇරයුමෙන් ඈත ගමක තරුණියකගේ විවාහ මංගල උත්සවයකට යන ඔහු නොසිතූ විරූ ලෙස විවාහයේදී අත්හැර දැමූ මනාලිය වූ අපර්ණාව තම කුටියට කැන්දගෙන එයි. දරු ප්‍රසූතියේදී අපර්ණා මිය යන අතර ඉන් මානසිකව කම්පාවට පත්වන ඕපූ සිය බිලිඳු පුතු අත්හැර ඉන්දියාව පුරා ඇවිදිමින් ගමනාන්තයක් සොයයි.

කල්කටා පුර මැද සියතින් ගිලිහී යන ජීවිතය නැවත අල්ලා ගන්නට වෙර දරන අපූරු බැතියකුගේ ශෝකාලාපය කියාපාන අපූර් සංසාර් සැබැවින්ම ජගත් සිනමාවට අඹන ලද අනඟි සිතුවමකැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. සෞමිත්‍ර චැටර්ජි හා ෂර්මිලා තාගෝර්ගේ විස්මිත රංග ලීලාවන්ගෙන් ඔප් නැංවුණු අපූර් සංසාර් යනු බෙංගාලයේ තවත් එක් මධ්‍යම පාන්තික ප්‍රේම පුරාවක් නම් නොවේ. එය හුදු ප්‍රේමය නම් සත්තාවෙන් එහාට දිවෙන අපූර්ව හැඟුම් සමුදායකි. අපූර් සංසාර් චිත්‍රපටය තිරගත වී අද වන විට වසර 57 ක් ගෙවී ගොස් තිබුණ ද එහි පවතින නැවුම් ආස්වාදය සැබැවින්ම අපූරුය. එය අප මතකයෙන් සදා අමතක නොවන්නකි.

ඉන්දීය මහා කවි රවින්ද්‍රනාත් තාගෝර්ගේ කතාවකින් ප්‍රති නිර්මාණය වූ චාරුලතා සත්‍යජිත් රායි විසින් නිර්මාණය කළ තවත් ප්‍රශස්ත රූප කාව්‍යයකි. පුවත්පත් දේශපාලනයට පිවිස කුටුම්භය අමතක කළ සැමියකු නිසා සිරවන අහිංසක බෙංගාලි ගැහැනියකගේ ජිවිතය කියාපාන චාරුලතා රායි නිර්මාණය කළේ 1964 දීය.

කල්කටාවේ ධනවත් මන්දිරයක භූපතිත් ඔහුගේ සුරූපී බිරිඳ චාරුලතාත් ජීවත් වෙති. භූපති සිය පුවත්පත මඟින් දේශපාලනයට පිවිස සිටින අතර ඒ නිසාම සිය බිරිඳ හා අල්ලාප සල්ලාපයේ යෙදීමේ කාලය ඔහුගෙන් ගිලිහී යයි. එය තේරුම් ගත් ඔහු සිය සහෝදරයකු වන තරුණ අමල්ව ගෙන්වා ගන්නේ චාරුට උපකාර කිරීමටය. අමල්ගේ පැමිණීමත් සමඟම චාරුගේ සිතුම් පැතුම් නිදහස් වන්න පටන් ගනී. ඇය අධ්‍යාත්මිකව නොදැනීම මෙන් අමල්ට සමිප වෙයි. එහෙත් ඒ වන විට අමල් යළිත් චාරුගේ මහ මන්දිරයෙන් පිටව ගොසිනි. චාරුලතා යළිත් මන්දිරය තුළ සිරවන කිරිල්ලියක බවට පත් වෙයි. අවසානයේ චාරුත් ඇගේ සැමියාත් නැවත සමගි වන බවක් අපට පසක් වෙයි. මෙම සරල කතා පුවත කේන්ද්‍ර කර ගනිමින් රායිගේ චාරුලතා සිත්තම නවකතාවේ හුදු සරල බව පරදවමින් සිනමා සහෘදයන් තුළ විශ්මයජනක රූපාවලියක් මවයි. මහා මන්දිරයේ සිර වූ චරුගේ ජීවිතය කියාපාන සංකේත රූප මවන රායිගේ සිනමා රූප සහ කෝණ උසස් සංගීත නිර්මාණයදී එකිනෙක මුසු කරන ලද ස්වර රටාවන් මෙන් අප සිත් පහන් කරවයි.

මන්දිරයේ මහා කුලුණු - විශාල කොරිඩෝවන් - සුව පහසු කාමර හරහා දිවෙන කැමරාව හා බැඳුණු ආලෝකය හා අඳුර අපට කියාපන්නේ එහි ජීවත් වන චාරුලතාගේ හුදෙකලාව මිස අන් කුමක්ද? හදිසියේ හමා එන සුළං මාරුතයත් සමඟම මන්දිරයට පැමිණෙන අමල්ව අප දකිමු. ක්ෂණයකින් මන්දිරය තුළ මෙතෙක් පැවති ආලෝක රටා වෙනස් වන්නට පටන් ගනී. ඒ සමඟම නැවත ජීවිතයට පණ පොවන චාරුලතාගේ පිබිදීම අප අත් විඳින්නෙමු.

සිනමාරූප ගුණයෙන් අනුන වූ චාරුලතා 1965 බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළේ ප්‍රධාන සම්මානයට ද පාත්‍ර විය. එසේම එය ලොව දහස් සංඛ්‍යාත සිනමා රසිකයන් අමන්දානන්දයට පත් කළ සිනමාපටයක් ලෙස හැඳින්විණි. වරක් සිනමා අදියුරු රායිම ප්‍රකාශ කළ් තම සියලු චිත්‍රපටවලින් තමා වඩාත් ප්‍රියකරන චිත්‍රපටය චාරුලතා බවයි. එසේ වුව ද චාරුලතා නිර්මාණය කිරීම රායිට පහසු කටයුත්තක් නොවිණි. එහි සියලු ඇතුලත රූපගත කිරීම් මැදිරි තුළ සිදු වූ අතර සියලු පසුතල නිර්මාණය කරන්නට ද සිදුවිණ. අනෙක් කරුණ වූවේ රායි විසින් චාරුලතා සඳහා තෝරා ගන්නා ලද මාධබි මුකර්ජි දැඩි ලෙස බුලත්කෑමට පුරුදු වී සිටි නිසා ඇගේ දසන් දෙපල අවර්ණව තිබීමයි. එකල දත් සුදු කිරීමට සමත් වෙස් ආලේප භාවිත නොවූ අතර ඒ නිසාම චාරුලතාගේ දසන් නෙපෙනෙන ලෙස තමාට කැමරා කෝණ සාදන්නට සිදු වූ බව රායි සඳහන් කරයි.

රායි නිර්මාණය කළ චිත්‍රපට අතර 'මහා නගර්' ද ඉතා අගනා කෘතියක් ලෙස හැඳින්වෙයි. කල්කටා නගරයේ ජීවත් වන මධ්‍යම පාන්තික යුවළක් වටා ගෙතුණු මහා නගර්වල කතා නායිකාව අර්තී නම් ගැහැනියයි. සිය සැමියා සහ පවුල ජීවත් කිරීම වෙනුවෙන් දොරින් දොරට යමින් බඩු විකුණන ගැහැනියක වූ අර්තී ලෙස මෙම චිත්‍රපටයේ රඟපෑවේ මාධබි මුකර්ජිය. ආර්ථික අහේනිය නිසා දුකට පත් සිය පවුල නගා සිටුවන්නට උර දෙන නිදහස් ගැහැනියක් කල්කටාවේ වෙළඳ සමාජයත් නිරූපිත මහා නගර් කෙරෙහි සිනමා විචාරකයින් එකළ නෝක්කාඩු වුව ද මහා නගර් තුළ සැඟවුණු රායිගේ සිනමා කෞශල්‍යය කිසි විටෙක සුළු කොට සැළකිය නොහැක්කකි. මහා නගර් 1964 දී 14 වන බර්ලින් සිනමා උලෙළේ ප්‍රධාන සම්මානය දිනාගත් කෘතියකි.

ප්‍රති ද්වන්ධි සිනමා කෘතිය ද රායිගේ සිනමාවේ අප්‍රකට බව ලොවට හඬගා කියන සිත්තමකි. මෙතෙක් පුද්ගලවාදී දෘෂ්ටියකින් චරිතවල අභ්‍යන්තරයට කතා කළ රායි සමාජ අසාධාරණය දේශපාලන දැක්මකින් සෘජු ලෙස ප්‍රකාශ කරනුයේ මේ චිත්‍රපටය තුළිනි. ප්‍රතිද්වන්ධි හි නිරූපිත සිද්ධාර්ථ චරිතය අපට සදා අමතක නොවන්නකි. සිද්ධාර්ථ විරැකියාව නිසා කල්කටා පුරය පුරා ඇවිදින්නේ රැකියාවක් සොයන්නටයි. සම්මුඛ පරීක්ෂණයකදී බලධාරින් ඔහුගෙන් අසන්නේ පසුගිය දශකයේ සිදු වූ වැදගත් සිදුවීම කුමක්ද යන්නයි? සිද්ධාර්ථ එයට පිළිතුර ලෙස සඳහන් කරන්නේ වියට්නාම යුද්ධයයි. මෙම පිළිතුර නිසාම ඔහුට රැකියාව ලැබීම අහිමි වෙයි. බලධාරීන් ඔහු කොමියුනිස්ට්කාරයකු ලෙස සලකා බැහැර කරන අතර අවසානයේ සිද්ධාර්ථ තමාට හමුවන ඕනෑම දෙයක් රැකියාව ලෙස කරන්නට පටන් ගනියි.

සිද්ධාර්ථ ලෙස රඟපාන්නේ එකල තාරුණ්‍යයේ හිනිපෙත්තේ සිටි ද්‍රිතිමන් චැටර්ජිය. ඔහු සැබවින්ම රංගධරයෙකි. වියපත් වූ පසුත් රංගනයේ යෙදුණු චැටර්ජි මෑතකදී තිරගත වූ හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටයේ මහාචාර්යවරයා ලෙස ද රඟපෑවේය.

ඉන් නොනවතින රායිගේ සිනමාව අනතුරුව තින් කන්‍යා - ජල්සගාර් - හරේක් රාජා දේශ් - ඝාරෙ බයිරේ - දේවි - කන්චින්ජුන්ගා - නායක් - ආරාදින් රාත්‍රී - ජන ආරණ්‍යා දක්වාම දිවෙයි. රායි කෙතරම් විශිෂ්ට චිත්‍රපට නිර්මාණය කළ ද ඔහුගේ බොහේ චිත්‍රපට ආදායම් වාර්තාවලට සමීප වූවේ නැත. ඒ නිසාම ඔහුට නිෂ්පාදකයින් සොයා ගැනීමට හැකි චිත්‍රපට කළ හැකි බව ලොවට පෙන්වන්නට සිදු විය. රායි ජල්සාගර් චිත්‍රපටය කරන්නට සැරසෙන්නේ අපරාජිතෝ සිනමා කෘතිය තුළින් පාඩු ලැබීම නිසා බව පෙනේ. ඒ බව ස්ථිර කරමින් ඔහු වරෙක සිය පොතක සටහනක් තබන්නේ තමා අන් චිත්‍රපටවල ඇති සේ නැටුම් ගැයුමින් පිරි කෘතියක් කළ යුතුව තිබූ බවයි. ධනවත් එක් රදළ ඉඩම් හිමියකුගේ ගරා වැටෙන ජීවිතය පිළිබඳව විවරණය කෙරෙන ජල් සාගර් ඒ අනුව බිහිවන අතර එය නැටුමින් ගැයුමින් යුත් සිනමාපටයක් වෙයි. එහෙත් එහි සැඟව ඇති රායිගේ සිනමා ඉම අති විශිෂ්ටය. එය සිනමාරූපී බවින් අති මුවහත්ය. එසේම ජල්සාගර් ඉන්දියානු බෙංගාලි චිත්‍රපටයක් ලෙසින් ආදායම් ඉපද වූ බවද පෙනේ.

සත්‍යජීත් රායිගේ සිනමා රීතිය සැබැවින් ධ්‍යානශීලී වූවකි. එය ආසියානු කලාපයේ 60 වන දශකයේ බොහෝ සිනමා ඇදුරන් තුළ ද දක්නට ලැබෙයි. ජපානයේ ඕසු - ශ්‍රී ලංකවේ අප සිනමාවේ පියාණන් වන ආචාර්ය ලෙස්ර් ජේම්ස් පීරිස් මැතිදුන්ගේ සිනමාපට තුළදී ද අපට මෙම රීතිය හමුවෙයි. රායි සැබැවින්ම සාහිත්‍යයෙන් පෝෂණය ලැබු සිනමාකරුවකු ලෙස ද සැලකිය හැකිය. රූප ඥානය ඉහළින්ම භාවිතා කළ අලංකාර ශිල්ප හරඹවලින් විනිර්මුක්ත වූ ඔහුගේ රීතිය සැබැවින්ම සරලය. සම්ප්‍රදායික රූප ඥානය ප්‍රගුණ කළ සිනමා පරම්පරාව අයත් රායිගේ සිනමාපටවල අපට දැකිය හැක්කේ ද එම සරල වූ නිරායාසයෙන්ම වෘත්තාන්තය ගලාගෙන යෑමේ හැකියාවයි.

රායි සැබැවින්ම සංගීත විශාරදයෙකි. කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි. බොහෝ කලා ශිල්ප ප්‍රගුණ කළ අයෙකි. චාරුලතාහි පියානෝ වාදනය කරන්නේ අන් කිසිවෙක් නොව සත්‍යජිත් රායිමය. චරුලතා චිත්‍රපටයේ සිට සිය සිනමා කෘතිවල සංගීතය නිර්මාණය කරන්නේ ද ඔහුමය.

භාවමය සත්තාවක් වූ සිනමාව කල්පනා ලෝකයක් වුව ද ඔහුගේ චිත්‍රපට නරඹන විට කුමක්දෝ ආශ්චර්යයක් සිදු වන බවක් මට දැනෙයි. සංගීත ශිල්පියකුගේ අගනා ස්වර රටාවන් මෙන් මතුව එන රායිගේ රූප සමුදාය සදා අමතක නොවෙන අතර විටෙක මම එහි චරිතයන් හා ආත්මිකව බැඳෙන්නෙමි. බෙංගාලි ගම්මානයේ පුංචි අපු හ දුර්ගා - පෝස්ට් මාස්ටර් තින් කණ්‍යාහි තැපැල් මහත්තයාට බැල මෙහෙවර කරන දැරියට මෙන්ම චාරුලතා හි අමල් මෙන්ව ප්‍රති ද්වන්ධි හි සිද්ධාර්ථට මා දැඩිව ප්‍රේම කරමි. ඒ අන් කිසිවක් නිසා නොව ඉහ වහා ගිය මානව භක්තියකින් යුතුව වෘතාන්තයේ පාත්‍ර වර්ගයාට රායිගේ සිනමා වියමනෙන් පිදෙන දයාබර බැල්ම නිසා යැයි මට සිතෙයි.