වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ටාර් සිටි මවුපියන්ට වෙන් කළේ කුරුණෑගල අත්දැකීමකින්

ස්ටාර් සිටි මවුපියන්ට වෙන් කළේ කුරුණෑගල අත්දැකීමකින්

- දුලීකා මාරපන

අවසනදී දුලීකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ස්ටර් කණ්ඩායම දෙරණ ස්ටාර් සිටි තරඟාවලියේ ජයග්‍රාහකයෝ වූහ.

* ගොඩක් සතුටු ඇති නේද දූලීකා?

අප කණ්ඩායමේ සියලු දෙනා එකාවන්ව එකට හිටියා. කණ්ඩායම් හැඟීමෙන් තමයි අවසන් තරඟාවලියට මුහුණ දුන්නේ. අවසානයේ අපි දින්නා. සෑහෙන කාලයක් මේ වෙනුවෙන් අප ජීවිතය කැප කළා. ඉතින් සතුටු නැද්ද.

* ඔබට මතකද මේ තරඟාවලියට ආරාධනා ලැබුණු පළමු දුරකතන ඇමතුම?

ඔව්. මට දෙරණෙන් මේ ගැන විස්තර කිව්වා. මං එතකොට මගේ අනෙකුත් රංගන කටයුතු හින්දා බොහොමත්ම කාර්යබහුල වෙලා හිටියේ. හැබැයි මං මේ අවස්ථාව අත හැරියේ නැහැ. ඇත්තටම මරු වැඩක් මේක කියලා හිතුණු නිසා මං ඊට එකඟතාවය පළ කළා.

* ඔබට මුල් යුගයේ හරි හැටි කණ්ඩායමක් තිබුණේ නැහැ?

මට විතරක් නෙවෙයි බහුතරයකට එහෙම තමයි. ආරාධනාව ලැබුණු වෙලාවෙදිවත් මට නිශ්චිත කණ්ඩායමක් තියෙනවා කියලා කිව්වේ නැහැ.

* කාලයක් ගතවෙත්ම ඔබ සුපර් ගැන්ස්ටර් නම් වූ කණ්ඩායමක නායිකාවක් වෙනවා. එහි සාමාජිකයින් ගැන සෑහීමකට පත් වුණාද?

මෙහෙමයි ආර්ටිස්ලා ටිකක් එහා මෙහා වුණා. මට වරෙක රජිත හිරාන් හෙවත් අපේ පිංපොංව දෙනවා කියලත් කිව්වා. අවසනදී එහෙම වුණේ නැහැ. කෙසේ වෙතත් මට ලැබුණු කණ්ඩායමේ සාමාජිකයින් ගැන මං සෑහීමකට පත් වෙනවා. ඩිනක්ෂි ප්‍රියසාද්, අනූෂා දමයයන්ති, තීක්ෂණ අනුරාධ, රවීන් කනිෂ්ක කියන මගේ පිරිස මං හොඳින් මෙහෙය වූවා.

* කලක් චරිත් අබේසිංහත් ඔබ කණ්ඩායමේ හිටියා නේද?

චරිත්ට පළමු වටයේදි පමණයි ස්ටාර් සිටි වේදිකාවේ දස්කම් පෙන්වන්න පුළුවන් වුණේ. එයාගේ නාට්‍ය වැඩ කටයුතු හින්දා ඔහුට යන්න වුණා. නමුත් චරිත් හිටියත් අපි දිනන එක දිනනවාමයි.

* අවසන් තරඟයට වෙනකම් කොහොමද ඔබ සුපර් ගැන්ස්ටර්ලාව මෙහෙය වුයේ?

ඒ ගැන දීර්ඝ විස්තරයක් කිව යුතුමයි. සාමාන්‍යයෙන් කණ්ඩායමක ඉන්න පුද්ගලයින්ගේ අදහස් විවිධාකාරයි. ඒ වගේම කලාකරුවන් හැටියට බොහෝ විට අපි වැඩ කරන්නේ තනි තනියම. මේ වගේ තරඟාවලියකදී පමණයි කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ලැබෙන්නේ. එතකොට ඇතැම් අයට මේ අත්දැකීම ඉතාම නුහුරු වෙන්න පුළුවන්. ඒත් මං ඔය තත්ත්වය දැනගෙන ගානට කන්ට්‍රෝල් කළා. කවුරු මොන අදහස දැරුවත් කුමන සින්දු තෝර ගත්තත් අවසාන තිරණය ගන්නට කණ්ඩායමේ සාමාජිකයන් මට පැවරුවා. ඇතැම් අවස්ථාවන්වලදී මේ තරඟාවලිය ගැන බරපතල විදිහට නොසිතපු අය හිටියා. අපි මෙතන වේදිකාවේ මොනවා හරි දෙයක් කරලා බැහැලා ගියාට වැඩක් නැහැ. ප්‍රේක්ෂකයින්ට දැනෙන දෙයක් කරන්න ඕනෑ. ඒ ගැන මං වැඩි බරක් තියලා හිතුවා. සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව ක්‍රියා කළා. එහි අවසන් ප්‍රතිඵලය තමයි අපේ ජයග්‍රහණය.

* තරඟාවලියේ වැඩ කටයුතු කරගෙන යද්දී විශේෂයෙන් රිහසල්වලදී හොඳ හොඳ අත්දැකීම් විඳින්නට සිදුවෙන්නට ඇති නේද?

අපොයි ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මං අර කලින් කිව්ව නේද එක එක අය එක එක විධි කියලා. අපේ ඩිනක්ෂි ඉන්නවා නේද මෙයා පොඩ්ඩ බැරි වෙච්ච ගමන් අඬන්න පටන් ගන්නවා. හරිම සංවේදී කෙනෙක්. මොනවා කරන්නද, ඒ එයාගේ හැටිනෙ. වෙලාවකට අම්මා කෙනෙක් වගේ මං එයාව සැනසුවා. තව පාරක් අනූෂා දමයන්තිගේ අත උළුක් වුණා. නමුත් ඒ ගැන හඟවන්නේ නැතුව අපි ක්‍රියා කළා. සින්දු කියලා තීක්ෂණට අපි නටන්න පුරුදු කෙරුවා. ඔය වගේ දේවල් තමයි මට විඳින්නට සිදු වුණු සොඳුරු අත්දැකීම්.

* දුලීකා මාරපන කියන්නේ ටිකක් කට සැර කෙනෙක්. කණ්ඩායමේ අය එක්ක වලි දාගත්තු අවස්ථා එහෙම නැතිද?

තියෙනවා. ඒවා හැබැයි සොඳුුරු වලි. අනූෂා දේශීය නර්තනය ගැන වැඩිපුර හදාරලා තිබුණේ නැහැ. මට ඕනෑ වුණා අපේ ආරට අංග ටිකක් හදන්න. අන්න ඒ වෙලාවන්වලදී අනූෂා ටිකක් බය වුණා. ඒ කලාව හරි හැටි අල්ල ගන්න බැරි වේවි කියලා. අන්න එතකොට මං ටිකක් සැරට කිව්වා බය වෙන්න එපා කියලා.

* ස්්ටාර් සිටි අවසන් තරඟයට මුහුණදීමට ඔබ විසින් සකස් කළ සැලසුම් මොනවාද?

මට ගොඩක් වෙලාවට ඕනෑ වුණේ දේශීය සම්ප්‍රදාය වේදිකාවට ගේන්න. මොකද අපේකම අපේ අය විසින්ම නැති කරගෙන යමින් තියෙන්නේ. මං ඊයේ පෙරේදා දවසක කුරුණෑගල පැත්තට ගියා මගේ වේදිකා නාට්‍ය අරගෙන. එහිදී මට වැඩිහිටි නිවාසෙකට යන්න සිදු වුණා. දෙසීයකට අධික වයසක අම්මලා තාත්තලා හමුවෙලා කතා කළා. මට ඔවුන් ගැන හරියට දුක හිතුණා. එහිදී මට කල්පනා වුණා ස්ටාර් සිටි වේදිකාවෙත් මව්පියන් වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි කියලා. අවසන් තරඟාවලියේ අප ඉදිරිපත් කළේ ඒ අංගය.

* ඉහළම ප්‍රතිචාර ලැබුණෙත් මව්පියන් වෙනුවෙන් කළ ඒ ඉදිරිපත් කිරීමට?

ඔව්. ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාල රැසක් ඒ ගැන දැඩි කතිකාවතක යෙදිලා තිබුණා. වැඩි දෙනෙක් අපට ප්‍රශංසා කළා ඒ ගීත පෙළ මතක් කරලා. ඇත්තටම ඒක වෙනසක්නේ. ඒ ඉදිරිපත් කිරීම හරහා අප කණ්ඩායම මඟින් සමාජයට යම් පණිවුඩයකුත් දුන්නා. ඒකනේ විය යුත්තේ.

* සුපර් ගැන්ස්ටර්ස්ලාගේ ජයග්‍රහණය පිටුපස මෙතෙක් හෙළි නොකළ රහසක් තියෙනවාද?

තියෙනවා. ඒ සොබා ධර්මය. මං අපේ කණ්ඩායමේ අයට නිතරම කිව්වේ යහපත් චේතනාවෙන් යම් කිසි කාර්යයක් කරන්නේ ද එහි ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම යහපත්ම වෙනවා කියන දේ. ඒක එහෙම්මම වුණා. අපගේ එකම රහස එයයි.

* තරඟාවලියේ අනු සූරතාව දිනූ රොෂාන් රණවනගේ කණ්ඩායම ගැන මොකද කියන්න තියෙන්නේ?

එයාලා හොඳ තරඟයක් දුන්නා අපිට. ඔවුන්ගේ ගීත තෝරා ගැනීම ගැනවත් ඔවුනගේ වෙනත් ක්‍රියාකාරකම් ගැනවත් මං විවේචන කරන්නේ නැහැ. එයාලා එයාලගේ රුචි අරුචිකම් මතනේ වේදිකාවේ ඉදිරිපත් කිරීම් කළේ.

* ඇතැම් අය කියනවා මෙවන් වූ තරඟ හරහා කලාකරුවන් අතර ගැටුම් ඇති වෙනවා කියලා?

ඒක වැරැදි මතයක්. එහෙම වෙන්නේ නැහැ. අපි ජයග්‍රහණය කළත් අපේ කුසලානය ඔසවන්නට අප රොෂාන්ගේ කණ්ඩායමට කතා කළා. ඒක තමයි සහෝදරකම කියන්නේ.