වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

57 වැනි උපන්දිනයට කේක් තුනක්

සන්ජේ දත් කාලයකට පස්සේ තමන්ගේ උපන්දිනය පවුලේ උදවිය සමඟින් සැමරුවා. දැන් ඔහුගේ වයස අවුරුදු පනස් හතක්. ඒ විතරක් නෙවෙයි මෙවර උපන්දිනය සන්ජේට විශේෂ වුණේ උපන්දින කේක් තුනක්ම කපන්නත් සිදු වීමත් සමඟින්.

උපන්දිනය උදාවූ මධ්‍යම රාත්‍රියේදී සිය බිරිය මන්යාතා සහ ඇයගේ සහෝදරියන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟින් උපන්දිනය සමරමින් සන්ජේ උපන්දින කේක් ගෙඩිය කැපුවා. නමුත් ඒ වනවිට සිය දියණිය ඉක්රා සහ පුතා ශාරාන් නින්දට ගොස් සිටි නිසා ඒ අවස්ථාව මඟ හැරුණා. ඒ නිසා උපන්දිනය දා උදෑසන යළිත් ඔවුන් සමඟින් තවත් කේක් එකක් කපා උපන්දිනය සමරන්න සන්ජේට සිදු වුණා. දියණිය සහ පුතා උපන්දින සුබපැතුම් පත් පිරිනැමු අතර මන්යාතාගේ උපන්දින ත්‍යාගය වුණේ අවුඩි Q7 වර්ගයේ මෝටර් රථයක්.

මාධ්‍ය සමඟිනුත් උපන්දිනය සමරන්න ඔහුට අවස්ථාව ලැබුණේ කාලයකට පසුවයි. එදින හවස ඒ වෙනුවෙන් තවත් උපන්දින කේක් එකක් කපන්න සන්ජේට සිදුවුණා. “කාලයක් මම සිර ගෙදරදී මගේ උපන්දිනය සැමරුවා. අද මට මගේ දරුවන් සමඟින් උපන්දිනය සමරන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන නම් හිතේ තියෙන්නේ ලොකු සතුටක් ” සන්ජේ එහිදි පැවසුවා. ලබන නොවැම්බර් මාසයේදී යළිත් සිය සිනමා ජීවිතය ආරම්භ කරන පණිඩුය දෙන්නත් සන්ජේ අමතක කළේ නැහැ.


නවුසුදීන් නටයි ද?

නවුසුදීන් සිද්දික් කිව්වම කාටත් මතක් වෙන්නේ ටිකක් දරුණු චරිත තමයි. හැබැයි බජිරන්ගී භයිජාන් චිත්‍රපටයේ බොහොම සංවේදී චරිතයකට ඔහු පණ දුන්නා මතක ඇති. හැබැයි නවුසුදීන් මේ දක්වා කිසිම බොලිවුඩ් චිත්‍රපටයක නටනවා නම් දැකලා නැතුව ඇති.

ඔන්න දැන් ඔයාලාට ඒ අවස්ථාවත් උදා වෙන්න නියමිතයි. ඒ Munna Michael චිත්‍රපටයෙන්.

Munna Michael චිත්‍රපටයේ නවුසුදීන් වගේම ටයිගර් ශ්රොෆ් රංගනයෙන් දායක වෙනවා. ඒක ප්‍රේමණීය කතාවක් ගෙන එන සංගීතමය චිත්‍රපටයක්. ඒ නිසා නවුසුදීන්ටත් නටන්නේ නැතුව ඉන්න බැරි වෙයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සබීර් ඛාන්.

“නවුසුදීන්ගේ නර්තනයක් කවුරුවත් දැකලා නැතුව ඇති. නවුසුදීන් කියන්නේ ඇත්තටම ආශ්චර්යමත් නළුවෙක්. ඒ නිසා මේ අභියෝගය ඔහුටයි. නුදුරෙදීම ඒ අවස්ථාව දැකගන්න ලැබේවි ” සබීර් පවසනවා. ඒ වගේම සාමාන්‍යෙයන් පණ දෙන දුෂ්ට චරිත වෙනුවට මෙහි ඔහුගේ චරිතයත් ටිකක් වෙනස් වේවි.


අපූරු මිතුරියන්

සාමාන්‍යයෙන් බොලිවුඩ් නිළියන් හොඳම මිතුරියන් වූ පුවත් අපට අහන්න නොලැබෙන තරම්. මිතුරුකමක් ගැන කියවුනත් ටික දවසකින් එකිනෙකාට දෝෂාරෝපණයනය කරන එක තමයි අහන්න ලැබෙන්නේ.

නව පරපුරේ බොලිවුඩ් නිළියන් දෙදෙනෙක් නම් බොහොම හොඳීන් තම මිතුරු සමාගම පවත්වාගෙන යන බව ආරංචියි.

බොහෝ දෙනාගේ අදහස නම්, දැඩි තරගකාරීත්වයක් පවතින ක්ෂේත්‍රයේ එකිනෙකා අබිබවා ගමනක් යන්න තැත්දරන නිසාම එවැනි මිතුරුකමක් පුදුමයක් බවයි. හැබැයි මේ යොවුන් නිළියන් දෙදෙනා නම් නම් බොහොම සුහදශීලිව තම මිතුරුදම පවත්වාගෙන යන බව පේනවා.

මේ අපූරු මිතුරියන් ලෙසින් නම් දරා සිටින්නේ අලියා භාත් සහ පරිනීති චොප්රා. එකිනෙකාගේ රංගනයන්, අගය කිරීම් වගේම දෙන්නාගෙන් කාගේ හෝ අඩුපාඩුවක් දැක්කොත් වහාම පෙන්වා දෙන්නත් කටයුතු කරනවා. එකිනෙකා ඒවා පිළිගන්නෙත් බොහොම නිහතමානි ලෙසින්. ඉතින් මේ දෙදෙනා දිහා බලන ඕනෑම කෙනෙක් කියන්නේ හරිම අපූරු මිතුරියන් දෙදෙනෙක් කියලයි.


බොලිවුඩයට පාකිස්තානයෙන් තවත් තරුවක්

 

Ae Dil Hai Mushkil කර්න් ජොහාර්ගේ අලුත්ම චිත්‍රපටය යි. ඒ වගේම අනුෂ්කා ෂර්මා කාලයක් බලාගෙන සිටි ඓශ්වර්යා රායි බච්චන් සමඟ රංගනයට අවස්ථාව උදා වෙන්නෙත් Ae Dil Hai Mushkil සමඟින්. රන්බීර් කපූර්ගේ දායකත්වයක් මේ චිත්‍රපටයට ලැබෙනවා.

Ae Dil Hai Mushkil කියන්නේ ප්‍රේමණීය කතාවක් ගෙන එන චිත්‍රපටයක්. එහි රන්බීර් සමඟින් වූ ඓශ්ගේ ප්‍රේමණීය දර්ශන ගැන නම් බච්චන් පවුල එතරම් මනාපයක් නොමැති බව ආරංචි වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයට පාකිස්තාන නළුවන් දෙදෙනෙක් දායක වීමත් විශේෂයි. බොලිවුඩයේ ජනප්‍රිය ෆාවද් ඛාන් සමඟින් ඉම්රාන් අබ්බාසුත් Ae Dil Hai Mushkil චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙනවා.

ඉම්රාන් බොලිවුඩයට පිවිසුනේ 2015 වසරේදී වික්‍රම් භාත්ගේ Creature 3D  චිත්‍රපටයෙන්. එහිදී ෆිල්ම් ෆෙයාර් නැගිඑන නළුවන් අතරට ඔහුගේ නමත් යෝජනා වුණා. Ae Dil Hai Mushkil චිත්‍රපටයේ අනුෂ්කා ෂර්මාගේ සහෝදරයාගේ චරිතයට පණ පොවන්නේ ඉම්රාන්. ෆාවද් ඛාන් මේ වනවිට බොලිවුඩයේ ඉතා ජනප්‍රිය චරිතයක්. අලුත්ම ආරංචි ගෙන එන්නේ, ඉම්රාන් ඔහු අබිබවා යනු ඇති බවයි.


බොලිවුඩයේ අහිංසකාවට දුෂ්ට චරිතයක්

ශ්‍රද්ධා කපූර් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත්තේ 2013 වසරේ තිරගත වූ Aashiqui 2 චිත්‍රපටය සමඟින්. ඒ නිසාම ඇය හැඳීන් වූයේ බොලිවුඩයේ අහිංසකාවිය ලෙසින්. පසුගිය වසර කිහිපය ඇතුළත ABCD 2, Baaghi වැනි චිත්‍රපට සමඟින් ඒ ජනප්‍රියත්වය තව තවත් වැඩි කරන්න ඇය සමත් වුණා.

රංගනය විතරක් නෙවෙයි ඇය දායක වූ ඇතැම් චිත්‍රපටවල ගීත ගායනයටත් ඇය දායක වුණා. මේ දක්වා බොලිවුඩයේ ඇයගේ රංගන දායකත්වය ගතහොත් බොහොම සංවේදි, අහිංක, දඟකාර චරිත නිරුපණයන් විශේෂයි. මේ අහිංකාවියට දැන් අලුත් අදහසක් පහළ වෙලා. ඇයට වෙනස් වෙන්න ආසාවක් ඇති වෙලා. ඇත්තටම නෙවෙයි චිත්‍රපටයකට. ක්‍රියාදාම චිත්‍රපටයක දුෂ්ට චරිතයකට පණ පොවන්න තමයි ශ්‍රද්ධාට ලොකු ආසාවක් ඇති වෙලා තියෙන්නේ. “රංගන ශිල්පිනියක් කියන්නේ ඕනෑම චරිතයක අභියෝගයක් භාර ගන්න පුළුවන් කෙනෙක්. සුන්දර පැත්ත වගේම අඳුරු පැත්තේ තියෙන චරිතයකට පණ පොවන්නත් මම හරි ආසයි. ක්‍රියාදාම චිත්‍රපටයක දුෂ්ට චරිතයකට පණ පොවන්න අවස්ථාව ලැබෙනකල් මම හරි ආසාවෙන් ඉන්නේ” ශ්‍රද්ධා පවසනවා.