වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




විජය, දෙවියන් දුන් දායාදයකි

විජය, දෙවියන් දුන් දායාදයකි

බුද්ධදාස ගලප්පත්ති

අපගේ රඟ මඬලට දෙවියන් විසින් දෙනු ලැබූ දායාද සේ අපට දැනෙන, හැඟෙන, විශ්වාස කළ හැකි චරිත පිළිබඳ මතක ගබඩාවට අලුතින්ම එක් වූ චරිතය වන්නේ විජය නන්දසිරිය. වර්තමාන තරුණ පරම්පරාව විජය දැක ඇත්තේ රූපවාහිනියේ මෑතකාලීන වේදිකාවේ හෝ මෑතකාලීන සිනමාවේ හාස්‍ය රංගනයෙහි ප්‍රවීණතම හා දක්ෂතම චරිතයක් ලෙසය.

මෑත කාලයේ සිංහල වේදිකා නාට්‍ය කලාවට බෝවුණු බල්ලන්, පූසන්, මීයන් සතුන් සමඟ බෑ වර්ගයේ හා හොරු පිළිබඳ නාට්‍ය ධාරාවේ නිර්මාණ සඳහා නැතුවම බැරි නළුවා වූයේ විජය නන්දසිරි බවයි මා සතු තොරතුරු පවසන්නේ. එහෙත් විජය නන්දසිරි යනු රංගනයේ විවිධ පැතිකඩ තුළ තම කුසලතාව මනාව ප්‍රදර්ශනය කරන්නට සමත් වූ උපතින්ම ලද වාසනාව සතු වූ නළුවෙකු යයි මට සිතේ.

 විජය නන්දසිරිගේ රංගන භුමිකාව මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසය තුළ සටහන් වන්නේ ගැඹුරු චරිත නිරූපණයෙහි මෙන්ම සරල හාස්‍යෝත්තපාදක චරිත නිරුපණයෙහි ද එක ලෙස හපන්කම් පෑ, ප්‍රේක්ෂකයන් වසඟයට පත් කිරීමට සමත් වූ එකම නළුවා හෝ නළුවන් කිහිප දෙනාගෙන් එක් අයෙකු ලෙසයි.

සිනමාවෙහි අප දුටු ජෝ අබේවික්‍රමගේ රංගන වේදිකාවෙහි විජය නන්දසිරිගේ රංගන හා සමාන කොට සැලකිය හැකිය. අල්ලපු ගෙදර, කොළඹ සන්නිය වැනි චිත්‍රපටයක විකට චරිත රංගනයෙන් උපරිම රසයක් හාස්‍යයක් ප්‍රේ්ක්ෂකයන්ට ලබා දුන් ජෝ අබේවික්‍රම වැලිකතර, සිරිබෝ අයියා හෝ දෑස නිසා වැනි චිත්‍රපටයක ගැඹුරු චරිත නිරූපණයෙහිලා දැක් වූ දක්ෂතාවට නෙදෙවෙනි දක්ෂතාවක් වේදිකාවේ පළ කරන්නට විජය නන්දසිරි සමත් වී සිටියේය.

රන්කඳ හෝ සුබ සහ යස වැනි නාට්‍යයක සැහැල්ලු චරිත නිරූපණයක් මඟින් පේ‍්‍රක්ෂකයන් සිනහ ගැන් වූ විජය නන්දසිරි, මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ හෝ සිංහබාහු නාටකයේ මනමේ කුමරුගේ හෝ සිංහබාහු කුමරුගේ භූමිකාවට ප්‍රවිෂ්ට වී, ඒ චරිත සතු වූ සංකීර්ණ චරිත සොබා ත්‍රිත්ව අභිනයෙන් වේදිකාව මත ප්‍රතිනිර්මාණය කළ අන්දම විශිෂ්ටය. මහැදුරු සරච්චන්ද්‍රගේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකත්වය විජය නන්දසිරි සතු වන්නේ එතුමන් විසින් 1974 දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල හා ධම්ම ජාගොඩ නාට්‍යකරුවා සමඟ එක්ව මහාසාර නාටකයේ දෙවන නිෂ්පාදනය රංග ගත කිරිමත් සමඟය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුළු සේවකයන් සමඟ ප්‍රථම වරට වේදිකා ගත වූ මහාසාර නාටකය ප්‍රසිද්ධ වේදිකා නළු නිළියන්ගේ රංගන සහිතව දෙවන නිෂ්පාදනය ලෙස රංග ගත වූයේ විජය නන්දසිරි යසවඩ්ඩන සිටුවරයා ලෙස ද, නිශ්ශංක දිද්දෙණිය වැඳිරිය, අනුලා බුලත්සිංහල බිසව විජේරත්න වරකාගොඩ රජු හා සෙසු ප්‍රධාන චරිත ඉන්ද්‍රා රාමනායක, කරුණාරත්න හඟවත්ත, අනුර ෆොන්සේකා, ජය ශ්‍රී චන්ද්‍රජිත්, ලෙස්ලි රාමනායක, වික්ටර් වික්‍රමගේ, ජයතිලක දන්තුර බණ්ඩාර, ජයසේකර අපොන්සු, ග්‍රැන්විල් රොඩ්රිගෝ ආදී නළු නිළි කැල සමඟය.

ප්‍රේමසිරි කේමදාසගේ අපූරු සංගීත නිර්මාණය සමඟ විජය නන්දසිරි නම් වූ නළුවාගේ රංගනය තුළ හාස්‍යය මතු කිරීමෙහිලා වූ සැඟවුණු ප්‍රතිභාව හාස්‍යය, උපහාසය ගැබ් වූ සැබෑ ප්‍රහසනයක් සේ අදත් සැලකිය හැකි මහාසාර නාටකයේ යසවඩ්ඩන සිටු චරිතය තුළින්ම විද්‍යමාන වූ බව පැවසිය හැකිය. ලූෂන් බුලත්සිංහලගේ තාරාවී ඉඟිලෙති හි විජේ හා තිස්ස යන නිවුන් සොයුරන් වූ නීල් අලස් සමඟ විජේගේ චරිතයෙහි රංගනය තුළින් ද විජය නන්දසිරිගේ සැහැල්ලු හාස්‍යය මතු කෙරෙන රඟපෑම් දක්නට ලැබිණ.

1971 දී චන්ද්‍රසේන දසනායකගේ රංකඳ නාට්‍යයේ විජය නන්දසිරිගේ බූමිකාව තුළ ද එහි ප්‍රධාන නිළිය වූ මර්සි එදිරිසිංහ නම් වූ ඈ සතු වූ ගැඹුරු චරිත මෙන්ම හාස්‍යොත්පාදක රංගනයෙහි ද හපන් මර්සි එදිරිසිංහ සමග පෑ රංගන ප්‍රතිභාව මෙරට ප්‍රේක්ෂකයන්ට අමතක කළ නොහේ. ප්‍රේම රංජිත් තිලකරත්න නාට්‍යකරුවාගේ වහලක් නැති ගෙයක්, කෝන්තරේ, සැරදේ සීතා වැනි ස්වභාවික ශෛලියේ නාට්‍ය තුළ අනුලා බුලත්සිංහලගේ ස්ත්‍රී භූමිකාව සමග විජය නන්දසිරි තම රංගන කුසලතා ඔප් නංවා ගන්නේ 1974 දී මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ නාටකයෙනි.

සිව් වන මනමේ කුමරු ලෙස (බෙන් සිරිමාන්න, හෙන්රි ජයසේන, උපාලි අත්තනායක) ලෙස අබිසෙස් ලබන්නට පෙරය. 1975 රාජ්‍ය නාට්‍ය උත්සවයේදී හේමසිරි ලියනගේ ගේ නරියා සහ කේජු නාට්‍යයේ රංගනය උදෙසා උසස් රඟපෑම සඳහා වන කුසලතා සහතික පත්‍රය විජය වේදිකාවේදී ලද එකම සම්මානයයි සිතමි. සිනමා රංගනය උදෙසා සිකුරු හතේ රංගනය උදෙසා ඔහු සම්මානයෙන් පුදනු ලැබූ බව දනිමි.

ඉහත නාට්‍ය රඟපෑම් හි අග්‍රඵලය විජය නන්දසිරි බුක්ති විඳින්නේ 1974 අග භාගයේදී මහාසාර රඟපෑම් දැකීමෙන් අනතුරුව මහැදුරු සරච්චන්ද්‍ර විසින් ඔහු මනමේ කුමාර භූමිකාව සඳහා තෝරා ගත් පසුවය. පළමු මනමේ කුමරු බෙන් සිරිමාන්න අභාවයෙන් පසු උපාලි අත්තනායක මනමේ කුමරු වූ මංගල රැඟුමේ රංග පත්‍රිකාවෙහි මියගිය මනමේ කුමරු පිළිබඳ මහාචාර්ය සරච්චන්ද්‍ර සටහන් කොට තිබුණේ මෙලෙසය. ‘මනමේ කුමාරයා මරුමුවට පත් වූ නමුත් ඔහු අමරණීයයි. අපේ දේශීය නාට්‍ය සම්ප්‍රදායේ නළු පරපුරක් ඔහු විසින් බිහි කරන ලදැයි කිව හැකිය.

අතීතයේ පටන් සිංහල නාට්‍ය සම්ප්‍රදායෙහි කුමාර භුමිකාව අති සම්භාවනීය භූමිකාව ලෙස ගැනුණි. ඒ භූමිකාව නවීන රංග භූමියට ගෙනැවිත් ඊට පුනර්ජීවනයක් දුන්නේ බෙන් සිරිමාන්නය.’ මහාචාර්ය සරච්චන්ද්‍රගේ ඉහත ප්‍රකාශය අදට ද වලංගුය. මියගිය බෙන් සිරිමාන්න නැවැත් වූ තැනින් කුමාර භූමිකාවට පුනර්ජීවනයක් දුන්නේ විජය නන්දසිරි යැයි මහාචාර්ය සරච්චන්ද්‍ර අද දවසේ ජීවතුන් අතර සිටියා නම් පවසනු නොඅනුමානය.

1974 සිට 1988 තරම් කාලයක් අඛණ්ඩව ද ඊට පසු නැවත 90 දශකයේද වරින්වර ද මනමේ කුමාර භුමිකාව බැබළුණේ විජය නන්දසිරි නම් වූ නළුවාගේ අපූර්ව රංගනයෙනි. ඔහු කුමාර භූමිකාවට භක්තිවන්ත විය.

නේපථ්‍යාගාරයේ වෙස් ගැන්වීම ඇරැඹෙන මොහොතේ සිට විජය තම චරිතයට පිවිසෙන බව මා මෙන්ම ඔහු වෙස් ගැන් වූ පද්මකුමාර එදිරවීර, විමලධර්ම දියසේන, කේ. එච්. ධර්මදාස හා වසන්ත විට්ටච්චි ආදීහු ද දනිති. මහැදුරු සරච්චන්ද්‍ර මෙන්ම ධම්ම ජාගොඩ ද විජයගේ රංගන පරාසය, ගායන නර්තන රංගන පිළිබඳ මැනවින් දැන සිටියහ. ඔහු නිසැක වශයෙන්ම ඉතා හොඳ කණ්ඩායම් සාමාජිකයකු වූ බව මම දනිමි.

විජය නන්දසිරි නම් වූ නළුවා ජීවත් වූයේ වේදිකාවෙහි පමණක් නොවේ. ඔහුගේ රූපවාහිනී හාස්‍යොත්පාදක නාට්‍ය රංගන මෙරට ප්‍රේක්ෂකයන්ට කිසි දින අමතක කළ හැකි රංගන නොවේ. මෝනාවරුනි මහත්වරුන් කඥඵ ඕධඵඵ, කඥඵ ර්චඤචථ, සුළඟ ජ්. ර් ආදී ප්‍රහසනාත්මක රූපවාහිනී රංගන අතික්‍රමණය කරමින් පුංචි පහේ මං වැනි වැඩ සටහනක් ඉදිරිපත් කරමින්, ඉදිරිපත් කිරීමේ කලාවෙහි ඔහු දැක් වූ විශිෂ්ට ප්‍රතිභාව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමෙහි අපූරු නව මානයක් සටහන් කළ අවස්ථාවක් සේ මම දකිමි.

සැහැල්ලු විකට චරිත රංගනයෙහි මෙන්ම ගැඹුරු චරිතාංග නිරූපණයෙහිද එක හා සමාන දස්කම් පාන නළු නිළියන් පිළිබඳ එතෙර වේදිකාවෙන් ද තොරතුරු සොයා ගත හැකිය. බිල් මරේ, ඇඩම් සැන්ඩ්ලර්, එමා තොම්ප්සන්, ජෙරි ලුවිස් ආදී නළු නිළියෝ ඒ අතර වෙති. අපගේ නළු පරපුර තුළ වේදිකාවෙහි මේ දස්කම පෑමට සමත් වූ නළුවෙකු වී නම් ඒ විජය නන්දසිරි පමණක්ම බවයි මගේ අදහස. නිළියක වී නම් ඈ මර්සි එදිරිසිංහ පමණක්මය.

විජය, අපගේ රඟමඬලට දෙවියන් විසින් දුන් දායාදයකැයි මා පවසන්නේ ඔහුගේ රංගනයෙහි වූ පුළුල් පරාසය ජය ගත්තෙකු ලෙස දැනෙන බැවිනි. එහෙත් දෙවියන් විසින් දුන් දායාදය දෙවියන් විසින්ම අකල්හි අපගෙන් උදුරා ගැනීම පිළිබඳ දෙවියන්ට එරෙහිව අපට කළ හැකි කිසිවක් නොවේ. දෙවියන් විසින් ඔහු වඩා යහපත් ලොවකට කැඳවා ගෙන ගොස් ඇතැයි හිත හදා ගන්නට අපි තීරණය කරමු.