වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මානය මගේ හිත වෙනස් කළා

 සරසවිය සම්මානය මගේ හිත වෙනස් කළා

සනෝජා බිබිලේ

සනෝජා බිබිලේ මෙරට සිනමාවේ කතාබහට ලක් වූ චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක්. සරසවිය සම්මාන උලෙළේ ඇය සුවිශේෂ වන්නේ තෙවතාවක්ම සම්මානයට පාත්‍රවීම සමඟින්. අවරගිර, සහරාවේ සිහිනය, කිණිහිරියා මල්, දෙමෝදර පාලම, අළුයට ගිනි, ඡායා මායා වැනි චිත්‍රපටවල ඇයගේ රංගනයන් කාගේත් අවධානයට ලක් වූ අතර ඇය සිය රංගන ජීවිතයේ ප්‍රථමවරට සරසවිය සම්මානයකින් පිදුම් ලැබූයේ (1988) එච්. ඩී ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ මංගල තෑග්ග චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

අනතුරුව 1990 වසරේ ජනප්‍රියම නැගී එන නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ ඇය 1998 වසරේදී සුදු අක්කා චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් කුලසතා සම්මානයකින් පිදුම් ලැබුවා. එදා මෙදා තුර තමා ලද වටිනා සම්පතක් මෙන් වූ සරසවිය සම්මාන ත්‍රිත්වය සමඟින් වූ සතුට ඔබත් සමඟින් බෙදා හදා ගන්න සනෝජා අධචඤ බධ ර්‍ථපඥඵබඪඨඥ වෙත පැමිණි වගයි.

* ප්‍රථමවරට සරසවිය සම්මාන උලෙළකට ආරාධනා ලැබුණාම මොන වගේ සතුටක්ද දැනුණේ?

සිනමා ක්ෂේත්‍රයට එන්නවත් හිතුවේ නැති ක්ෂේත්‍රය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙත් නැති කෙනෙක් විදියට සිනමාවට පිවිසිලා දේශීය සිනමාව අගයන්න තිබූ සරසවිය වැනි සම්මාන උලෙළකට ආරාධාන ලැබීම මට ලොකු දෙයක් වුණා. ඒ වෙනකොට මම දායක වුණු මංගල තෑග්ග චිත්‍රපටය තිරගත වෙලා තිබුණේ. ඒක මගේ සිනමා දිවියේ තෙවන චිත්‍රපටය වුණත් ප්‍රථමවරට තිරගත වූණේ එය යි.

‘සුදු අක්කා’ චිත්‍රපටයෙන්...

‘මංගල තෑග්ග’ චිත්‍රපටයෙන්...

* එදා වසරේ නැඟී එන නිළිය වුණෙත් ඔබ?

ක්ෂේත්‍රයට පැමිණි අලුතම සම්මානයක් ලැබෙනවා කියන්නේ නවකයෙකුට ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් දෙයක්. මට දැනුණේ මුළු ලෝකයම ජය ගත්තා වගේ හැඟීමක්. මගේ නම නිවේදනය කරන වෙලාවේ කකුල් පණ නැති වුණා වගේ දැනුණා.

මුල්වරට මා ලද සරසවිය සම්මානය ඇත්තටම මගේ ජීවිතයේ ලද පුදුමාකාර තෑග්ගක්. සම්මානය ලැබුණු වෙලාවේ මං කොහෙද ඉන්නේ මං මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්නවත් බැරි වුණා.

ක්ෂේත්‍රෙයේ හැමෝගෙන්ම සුබ පැතුම් ලැබුණා. යහළු හිතමිතුරන් හැමෝම මට සුබ පැතුවා. පත්තර හැම එකකින්ම වගේ මාව ඉන්ටවීව් කළා. මං ගැන පළ වුණු හැම ලිපියක්ම වගේ මං කපලා පොත්වල ඇලෙව්වා. අද නම් දකිනකොටත් හිනා යනවා. යාළුවන්ට කෝල් කලා ඉල්ලගෙන එකම ලිපිය කිහිප වතාවක්ම අලවපු අවස්ථාත් තියෙනවා.

* නැඟි එන නිළිය ලෙසින් ලද සරසවිය සම්මානය ඔබේ සිනමා ගමනට ආශිර්වාදයක් වෙන්න ඇති?

මං සිනමාවට එනවාට ගෙදර අයගෙන් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. අප්පච්චි සුමිත් බිබිලේ නළුවෙක් වුණත් මගේ සිනමා ගමන ගැන ලොකු පැහැදීමක් තිබුණේ නැහැ. මං සිනමාවට ආවේ මිස් ශ්‍රී ලංකා තරගයෙන් පසුවයි.

සිනමාවට එන්න ලැබුණේ අහම්බයකින්. ඒ නිසා සිනමාවේ ලොකු ගමනක් එන්න මං හිතුවේ නැහැ. මංගල තෑග්ග චිත්‍රපටයේ රංගන නිසා මා ලද අමිහිරි ප්‍රතිචාරත් සමඟ මේ ගමන මෙතැනින් නවතිනවා කියා තීරණයකටත් ඇවිත් හිටියේ.

ඇත්තටම මංගල තෑග්ග චිත්‍රපටය නිසා ලද ප්‍රතිචාර මට වදයක් වුණා. සරසවිය සම්මානය සම්මානය ලැබුණේ රංගනයට සමු දිය යුතුයි කියන හැඟීමෙන් සිටින විටදීයි. එදා මං සරසවිය සම්මානය ගන්න වෙලාවේ අම්මයි අප්පච්චියි ලංකාවේ හිටියේ නැහැ.

මගේ සිනමා ගමනට බරපතල විධියට විරෝධය පෑ අම්මත් එදා මම සම්මානනිය වුණු බව දැන ගත්තු බව දැන ගත් ගමන් ආශිර්වාද කළා. ඒ නිසා දැන් නම් ජීවිතේට මං සිනමාව අතහරින්නේ නැහැ කියලා හිතුවා. එදා සරසවිය සම්මානය මගේ හිත වෙනස් කළා.

* මංගල තෑග්ග චිත්‍රපටයේ රංගන අත්තැකීම් මොන වගේද?

මංගල තෑග්ග චිත්‍රපටය කියන්නේ මගේ ජීවිතය පෙරළියකට ලක් කළ චිත්‍රපටයක්. එහිදී මං පණ පෙව්වේ ගණිකාවකගේ චරිතයකට. නවකයෙක් විදියට මං ඒ චරිතය තුළින් මුලින්ම ක්ෂේත්‍රයට එනවිට ප්‍රතිචාර විදියට ලැබුණේ අවලාද චෝදනා විතරයි. බොහෝ දෙනා මං දිහා බැලුවේ බොහොම කැත විදියට. විවිධ නම් පටබැන්ඳා. ඒ නිසා මං ඇඬු වාර අනන්තයි.

සරසවිය සම්මානය ඒ හැම දුකක්ම යටපත් කළා. ඒත් මං මේ චිත්‍රපටය තුළ මගේ චරිතය හරියටම කරලා තියෙන බව තේරුම් ගන්න කාලයක් ගත වුණා.

මංගල තෑග්ග චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණේ දක්ෂ ප්‍රවීණ නළුවන් හතර දෙනෙක් එක්ක. රවීන්ද්‍ර රන්දෙණිය, ජයලත් මනෝරත්න, සනත් ගුණතිලක, ශ්‍රීයන්ත මෙන්ඩිස් අයියලාගෙන් ලද උපදෙස් අවවාද ගැනත් සිහිපත් කළ යුතුයි. අධ්‍යක්ෂ එච්. ඩී ප්‍රේමරත්ත මහත්මයා ගැන කිව්වොත් එතුමා අපේ රටේ සිටි අති දක්ෂ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්.

එතුමාගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. මට චිත්‍රපට ලෝකයට පා තබන්න ආසාව ඇති කළේ එතුමා. එතුමාගේ ඉගැන්වීම් යටතේ නළුවෙකුට නිළියකට රඟපාන්න ආසා හිතෙනවා. මංගල තෑග්ග චිත්‍රපටයට මං දායක වුණේ බොහොම සතුටෙන්.

 චිත්‍රපටය රූගත කරලා අවසන් වෙනවා මං දන්නෙත් නැහැ. එහි මගේ රඟපෑම මට දැනුණේ කියවන්න ආසා හිතෙන නවකතාවක් කියෙව්වා වගේ හැඟීමක්.

* එයින් පසුව ඔබට යළිත් සරසවිය සම්මාන උලෙළ වේදිකාව මතට පැමිණෙන්න අවස්ථාව ලැබුණා?

ඇත්තටම ඒක මගේ ජීවිතයේ සුන්දර අවස්ථාවන්. 1990 වසරේ නැඟි එන ජනප්‍රිය නිළිය සම්මනයෙන් පිදුම් ලබන්නත් වාසනාවන්ත වුණා.

ඒ වෙනකොට මට හිමි වෙලා තිබුණු ජනප්‍රියකම ගැන ලොකු සතුටක් හිතේ තිබුණා. මේ කාලය මට චිත්‍රපට වෙනුවෙන් ගොඩක් ආරාධනා ලැබෙමින් තිබුණු කාලයක් වුණා.

මම මිස් ටාජ් සමුද්‍ර වෙලා කිරුළ පැලඳීයේත් ඒ වසරේදීමයි. ඒ අතරේ සරසවිය නැඟි එන ජනප්‍රිය නිළිය සම්මානය මාව තව තවත් ජනප්‍රිය කළා. ඒ වෙලාවේ නම් මට මං ගැන පුංචි ආඩම්බරයක් දැනුණා. ඇත්තටම ඒක ලොකු ජයග්‍රහණයක්. මංගල තෑග්ග නිසා මට බැනපු බොහෝ දෙනා මට ආශිර්වාද කළා.

 දෙවැනි වතාවටත් සරසවිය සම්මානයක් අතට ගත් අවස්ථාවේදී සිනමාව මාව දිරිමත් කළා කියන හැඟීම දැනුණා. සිනමාව අත නොහරින්න වගේම කවදා හරි සිනමාව වෙනුවෙන් දෙයක් කරන්න එදා මං අධිෂ්ඨාන කර ගත්තා.

සුදු අක්කා චිත්‍රපටය නිසාත් මට සරසවිය කුසලතා සම්මානයකින් පිදුම් ලබන්න වාසනාවන්ත වුණා. සුදු අක්කා කියන්නේ ඇත්තටම මට සිහිනයක්. ඒ වෙනුවෙන් වූ කැපවීමට නම් මම සම්මානයක් බලාපොරොත්තු වුණා. අධ්‍යක්ෂ මිල්ටන් ජයවර්ධන අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. හඬකවද්දි මට ඒක කරන්න බැහැ කියලා ඇඬුවා.

බොහොමයක් අධ්‍යක්ෂවරු මාව තෝරා ගත්තේ බටහිර පන්නයේ චරිතවලට. එතැනදී සුදු අක්කා චිත්‍රපටයේ මගේ චරිතය වෙනුවෙන් මිල්ටන් අයියා ලොකු අභියෝගතයක් ගත්තා.

ඒ නිසා එදා ලද සරසවිය සම්මානය ගැනත් තියෙන්නේ ලොකු සතුටක්. මගේ ජීවිතයේ මා ලද සරසවිය සම්මානයන් තුන මගේ සිනමා ජීවිතයට විශාල වටිනාමක් එකතු කළා.

* සිනමාවේ පැමිණි ගමන මොකද හිතෙන්නේ?

අද මට නිළියක් ලෙසින් ශක්තිමත්ව ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මගේ සිනමා ජීවිතයේ මං හිතපු තරම් චිත්‍රපට ලැබුණේ නැහැ. රැකියා කටයුතු නිසා බොහොමයක් චිත්‍රපට ගිලිහී ගියා.මං ආසා කරන චරිත මට කරන්න ලැබුණේ නැහැ. අද වෙනකොට එදා වගේ චිත්‍රපට නැහැ. ඒ ගැන නම් තියෙන්නේ දුකක්.