වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




පිපි කුසුම්, මල් යහන් තුළට වී කොවුලනේ නාඬන්නේ...

පිපි කුසුම්, මල් යහන් තුළට වී කොවුලනේ නාඬන්නේ...

කොතනින් හෝ මේ ලිපිය ආරම්භ කළ යුතුය. එහෙත් එය කොතනින් පටන් ගත යුතුදැයි සිතා ගන්නට බැරි තරම් මසිත වික්ෂිප්තව ඇත.

වෙනදා නම් ඔහු පිළිබඳ සටහනක් තබන්නට මුල පුරද්දී ඕනෑ තරම් වදන් සිතට ගලා ආවේය. එහෙත් අද ඒ සොඳුරු වදන් ඔහුත් සමඟින් කොහේදෝ ඈතක සැඟව ගොස් ඇති සෙයකි.

සැබැවින්ම කෙසේ නම් අදහන්න ද ඔහු අප අතැර ගිය වග? සිතට දැනෙන්නට ජීවත් වෙමින්, හදවතට විඳින්නට බොහෝ දේ අපට ලබා දුන් ඒ ආදරණීය මිනිසා, ජනකාන්ත කලාකරුවා යළිත් මිහිපිට කිසි දිනෙක අප හමු නොවනු ඇත.

විජය කුමාරණතුංගයන්ගෙන් පසු විජය නමින් සිංහල සිනමාවේ ඉතිරිව සිටි එකම නළුවා ද දැන් අප අතැර ගොසිනි. ඔහු විජය නන්දසිරිය.

‘කලා ශිල්පියකු හෝ ශිල්පිනියකගේ පැවැත්ම තීරණය කරන ප්‍රබල සාධකයක් වන්නේ ජනප්‍රියත්වයයි. ඇතැමුන් එක් රැයකින් ජනප්‍රිය කිරුළට හිමිකම් කියූව ද තවත් අයකුට එය කල්පයකට සැබෑ නොවනා සිහිනයකි’

2007 අප්‍රේල් 26 වැනිදා ‘සරසවිය’ පුවත්පතට විජය නන්දසිරි පිළිබඳ ලියූ විශේෂාංග ලිපිය මා ආරම්භ කළේ එලෙසිනි. ඒ මොහොත වන විට ඔහු පුංචි තිරයේ ජනප්‍රියම නළුවාව සිටියේය. සැබැවින්ම මේ විජයලා දෙදෙනාම කලා ලොව දිග් විජය කළ ජනකාන්තයන් බවට පත් වූයේ ‘විජය’ යන නමෙහි තිබූ හාස්කමක් නිසාදැයි වරෙක සිතේ.

විජය කුමාරණතුංගයන් ‘ජනප්‍රිය තරුවක්’ව සිනමා අඹරේ බැබැළුණේය. මියුරු ගැයුමෙන් ගී ලොව විකසිත කළේය. එහෙත් විජය නන්දසිරි කිසිදා තරුවක් වූයේ නැත. විශිෂ්ට චරිතාංග නළුවකු වූයේ ද නැත. නමුදු මිය යන මොහොත වන විට ඔහු මෙරට වේදිකාවේ මෙන්ම සිනමාවේ ද අංක එකේ ජනප්‍රියම නළුවාව සිටියේය. ඒ රසිකයන් ඔහුට දැක් වූ ආදරයේ, ගෞරවයේ තරමය.

විජය නන්දසිරි උපන්නේ වේදිකාවෙනි. ඒ ඉතිහාසය දිගු එකකි. කටුක හා සුන්දර අත්දැකීම් අතර සැරිසරමින් ගෙවූ ඒ කාලය මහා පතරංග ජාතකය මෙනි. විජය ප්‍රසිද්ධ වේදිකාවට පා තැබුවේ අමරසේන ජයතුංග ගේ ‘වීදුරු දිව‘ වේදිකා නාට්‍යය ඔස්සේය. ඒ මීට පනස් වසකට පෙර 1966 වසෙර්ය. ‘වීදුරු දිව‘ ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යයකි. අනතුරුව ඔහු දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා, ජසයා හා ලෙන්චිනා, ආනන්ද ජවනිකා වැනි වේදිකා නාට්‍යවල රඟපාමින් තම කුසලතා ප්‍රකට කළේය.

ඇත්තෙන්ම දයානන්ද ගුණවර්ධනයන් තමයි මගේ ගුරුතුමා. ඔහුගේ සෙවණේ හැදුනු වැඩුණු මම නාට්‍යය කලාව සහ රංගනය පිළිබඳ බොහෝ දේ දැන කියා ගත්තා. අද දක්වාම ඒ උගත් දේවල් මගේ ගමනට ප්‍රයෝජනවත් වෙනවා.

වරෙක විජය අයියා මා හා පැවසුවේ සිය ගුරුදේවයන් ලෙස හෙතෙම ඇදහූ දයානන්ද ගුණවර්ධනයන් බැතිබරව සිහිපත් කරමිනි. එහෙත් විජය වේදිකාවේ වඩාත් ප්‍රසිද්ධියට හා ජන ප්‍රසාදයට පත් වූයේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමරු ලෙසය. එකී ජනප්‍රසාදය කොතෙක් ද යත් 1973 සිට 2000 වසර දක්වා පුරා වසර විසි හතක් ඔහු වේදිකාවේ මනමේ කුමාරයා විය.

ප්‍රේමයෙන් මන රංජිත වේ - නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ - ලංකෘත වේ’

ප්‍රේක්ෂකාගාරයේ ඈත කෙළරේ සිටිනා නරඹන්නාට පවා පැහැදිලිව ශ්‍රවණය වන මියුරු ගැයුමෙන් වේදිකාව මත රඟ දෙන මනමේ කුමරාගේ විස්මිත රංග ලීලාව තවමත් මගේ මතකයෙන් බැහැරව ගොස් නැත. ඒ විජය අයියාගේ මා දුටු මුල්ම රංගනයයි. එවකට මගේ වයස අවුරුදු හත, අටකට වඩා වන්නට නැත.

‘මනමේ’ රංගනය පිළිබඳ විජය වරෙක මා හා මෙසේ පැවසීය.

ඇත්තෙන්ම වසර විසි හතක් අඛණ්ඩව මනමේ කුමාරයාගේ චරිතය රඟපාන්න ලැබීම මගේ භාග්‍යයක්. ඒ කාලය ඇතුළත මම නාට්‍යය වාර දෙදහසකට වැඩිය ‘මනමේ’ කුමාරයාගේ චරිතය රඟපෑවා. රංගනය වගේම නර්තනය සහ ගායනයත් මනමේ කුමාරයාගේ චරිතයට ඉතාම අවශ්‍ය අංග. ඔය අංශ තුනෙන්ම වඩාත් සාර්ථක වුණ මනමේ කුමාරයා මම කියලා බොහෝ දෙනා කියනවා.

නාඩගම්, ශෛලිගත හා තාත්වික යන සම්ප්‍රදායන් තුනෙහිම බුහුටිකම් පෑ වේදිකා නළුවන් විරලය. එහෙත් විජය ඒ කොයි සම්ප්‍රදායේත් සිය කුසලතා එකසේ ප්‍රකට කළ නළුවෙකි. සිංහබාහු, රත්නාවලී, රංකඳ, විශ්ව සුන්දරී, නරියා සහ කේජු, සුබ සහ යස, තාරාවෝ ඉඟිළෙති, වහලක් නැති ගෙයක්, ඒකා අධිපති, තහංචි, කුවේණි, හුණුවටයේ කතාව, කුස පබාවතී, වෘෂභරාජ වැනි නාට්‍යය හරහා ඔහු වේදිකාවේ පෑ පෙළහර විස්මයජකය. කුස පබාවතී, ශ්‍රී ගජබා හා වෘෂභ රාජ ඔහුගේ නාට්‍යය නිෂ්පාදනයන් විය. ඒ අතරින් ‘කුස පබාවතී’ දර්ශන වාර එක්දහස් පන්සීයකට වැඩි ප්‍රමාණයක් වේදිකා ගත වී තිබීම විශේෂත්වයකි.

වේදිකාවෙන් උපන් ඇතැමුන් අත්තනෝමතික ලෙස වේදිකාව හැර යද්දී විජය මියෙන තුරා වේදිකාවේ රැඳී සිට රසිකයන් පින වූයේය. දියවැඩියා රෝගය නිසා වම් පාදයේ පහළ කෙළවරේ කොටසක් කපා ඉවත් කර තිබුණ ද ඔහු කෘත්‍රිම පාදයක ආධාරයෙන් වේදිකාව මත ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටියේය. සියලු සුඛ විහරණයන්වලින් ආඪ්‍ය වූ දිවියක් ගත කළ හැකිව තිබුණ ද ඔහු ඈත ගම් දනව්වල, දිරාපත් වේදිකා මත සිය රසිකයන් වෙනුවෙන් නොසෑහෙන කට්ටක් කෑවේය. වේදිකාවට මෙන්ම රසික ජනතාවට විජයගේ හදවතේ තිබූ ආදරණීය ළෙන්ගතුකම එහෙමය.

මෑත කාලයේ බිහි වූ නව ප්‍රහසන නාට්‍යය සංස්කෘතියේ ජනප්‍රිය සාධකය වූයේ විජය නන්දසිරිය. සැබැවින්ම හිස්ව තිබූ ප්‍රේක්ෂකාගාර නැවත පුරවාලමින් ඒ තුළට සිනහව පොම්ප කරනු ලැබූයේ විජයගේ විසේකාර හාස්‍යෝත්පාදක රංගනය යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. එහෙත් ඔහු හාස්‍ය මවා පෑවේ කුණුහරුප හෝ දෙපැත්ත කැපෙන වචන දෙසා බෑමෙන් නොවනා වග ඔබත් දන්නා සත්‍යය මෙහිලා සඳහන් කරනුයේ ඔහුට ගෞරවයක් ලෙසිනි.

විජය මිය යන විට ප්‍රධාන භූමිකා රඟපෑ නාට්‍යය පහකි. මල්වඩම් අනවශ්‍යයි, රූකඩ රාජ්ජේ, බල්ලොත් එක්ක බෑ, දෙයියොත් දන්නේ නෑ, අලුත් හොරෙක් ඕනෑ ඒ වේදිකා නාට්‍ය නිර්මාණයන් වේ. ඊට අමතරව වෘෂභරාජ, සුබ හා යස, කුස පබාවතී ඇතුළු නාට්‍ය කිහිපයක ද ඔහු තම රංගනය යාවත්කාලීන කරමින් සිටියේය.

විජය සිය ජනප්‍රියත්වය හා හැකියාව ඉහළ මිලකට අලෙවි කළ කලාකරුවෙකි. මෙතරම් නිර්මාණ සංඛ්‍යාවකට ඔහු දායක වී සිටියේ මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන්ම යැයි යමෙකුට තර්ක කළ හැකිය. එහෙත් වියපත් කලාකරුවන් තඹේකට මායිම් නොකර, ‘වැඩ බැරි ටාසන්ලා’ සේ කුණු මුල්ලට දමන රටක විජය, කොන්ද කෙළින් තබාගෙන කිසිවකුට අත නොපා ජීවත් වීමට සිය හැකියාව අලෙවි කිරීම වරදකැයි කියා කියන්නට තරම් අප මුග්ධයන් විය යුතු නැත.

‘ජීවිතේ අමධාරා - උල්පතේ රස උතුරා
කෝ සුපෙම්, හස කැලුම්, රස හැඟුම්
මී විතේ රස උතුරා’

දෑස් අඳ තරුණයකු සර්පිනාව වාදනය කරමින් ගී ගියන ඒ රූප රාමුව මා දුටුවේ ‘නෑදෑයෝ’ චිත්‍රපටයෙනි. මා පුංචි කොලු ගැටයකුව සිටි අවධියේ ඒ සිනමාපටය මා නැරඹුවේ වේයන්ගොඩ ‘සීගිරි’ සිනමාහලේදීය. මගේ මව මා සමඟ අක්කාද එහි කැටුව ගියා මට මතකය.

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘නෑදෑයෝ’ එකල අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් විය. එහි මහින්ද නම් වූ අන්ධ තරුණයාගේ චරිතය රඟපෑවේ ඊට පෙර වේදිකාවේ මා දුටු මනමේ කුමරු බව මා දැන ගත්තේ බොහෝ කලකට පසුවය. උපාලි අත්තනායක, තිස්ස විජේසුරේන්ද්‍ර, අනුලා කරුණාතිලක, සෝනියා දිසා වැනි ජනප්‍රිය නළු, නිළියන් රඟපෑ ‘නෑදෑයෝ’ චිත්‍රපටයට ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුළත්ව තිබිණ. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට ටී. එම්. ජයරත්න ගැයූ ‘ජීවිතේ අමධාරා’, ‘සැනසුම් සුසුමන් පාවීලා’ ගීත දෙකේ හඬ මුසු වූයේ විජය රඟපෑ අන්ධ තරුණයාගේ රංගනය වෙනුවෙනි. අද ද ඒ ගී දෙක මට වචනයක් නෑර කට පාඩම්ය.

බොහෝ මාධ්‍යවල විජය නන්දසිරි රඟපෑ ප්‍රථම චිත්‍රපටය ලෙස සඳහන්ව තිබුණේ ‘නෑදෑයෝ’ය. එහෙත් විජය මුලින්ම රඟපෑවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘මාතර ආච්චි’ චිත්‍රපටයේය. එය පොලිස් නිලධාරියකුගේ චරිතයකි. මා මිත්‍ර ආචාර්ය නුවන් නයනජිත් කුමාර ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ නමැති මාහැඟි ග්‍රන්ථයේද එය සනාථ කර තිබේ.

එහෙත් විජය සිනමාවේ තම ගුරු දේවයන් සේ සැලකුවේ කේ. ඒ. ඩබ්ලිව්ය. ඊට හේතුව ඔහුට සිනමා නළුවකු ලෙස දෙපයින් නැඟී සිටින්නට නියත විවරණ ලබා දුන්නේ කේ. ඒ. ඩබ්ලිව්. නිසාය. ‘නෑදෑයෝ’ චිත්‍රපටයෙන් සිනමා ලොවේ ජනප්‍රියත්වයටත්, ස්ථාවරයටත් පත් වූ විජය අනතුරුව කේ. ඒ. ඩබ්ලිව්. අධ්‍යක්ෂණය කළ හිඟන කොල්ලා, සසර, වතුර කරත්තය, බංගලි වළලු, වැනි චිත්‍රපටවල ද රඟපෑවේය. කේ. ඒ. ඩබ්ලිව්. පුංචි තිරයට දායාද කළ ‘ගමන ‘ ටෙලි නාට්‍යයේ ද විජය රඟපෑවේ කැපී පෙනෙන චරිතයකි.

වස්තුව, තිලක හා තිලකා, ටොම් පචයා, සිරි පතුල, සමන්මලී, සබීතා, යස ඉසුරු, සඳකඩ පහන, රන් මිණිමුතු ඇතුළු චිත්‍රපට පනහකට ආසන්න ප්‍රමාණයක විවිධ චරිත නිරූපණය කළ ද ඔහු තෘප්තියට පත් වන්නේ ඉන් කිහිපයක් පිළිබඳ පමණකි. එහෙත් මෑත කාලයේ ඔහු රඟපෑ මගෝඩි ගොඩයි, සර් ලාස්ට් චාන්ස්, කිං හන්තර් වැනි චිත්‍රපට හරහා ඔහු අති මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අත් කර ගත්තේය. විජය ඒවායෙහි රඟපෑවේ හාසයෝත්පාදක චරිතය. ඇතැමුන් ඔහු විකට නළුවකු ලෙස හඳුන්වන්නට පවා පෙලඹුණේ මේ අපූර්ව රංග විලාසය විජයගේ ‘අනන්‍යතාවය’ ඉතා ප්‍රබල ලෙස මතු කොට දැක් වූ හෙයිනි. ගිරිරාජ් කෞශල්‍යය අධ්‍යක්ෂණය කළ ‘සිකුරු හතේ’ මංගල ජය කපු මහත්තයාගේ චරිතය ඔහුගේ සිනමා රංගන දිවියේ හැරවුම් ලක්ෂයකැයි පැවසීම යුක්ති සහගත යැයි මම සිතමි.

‘හතර කෙන්දරේ පාළු වෙච්ච කෙනෙක් නෑ
සුබ නැකතක් මිසක් ලෝකෙ අසුබ නැකැත් නෑ’

‘මංගල ජය’ පදමට වෙරි වී පැදුරු සාජ්ජයක ගායනා කරන එම ගීතය විජය අයියා රඟ දැක් වූ අපූරුව මේ මොහොතේ මගේ මතකයට නැඟේ. එම පසුබිම් ගීතය විජය වෙනුවෙන් ගායනා කළේ ජිප්සීස් නායක සුනිල් පෙරේරාය. එකී රංගනය උදෙසා ඔහුට 2007 වසරේ ‘සරසවිය’ ‘ජනප්‍රියම නළුවා’ සම්මානය හිමි විය. ඒ සතුට, සොම්නස බෙදා හදා ගනිමින් විජය අයියා සමඟ සම්මුඛ සාකච්ඡාව කිරීමේ අවස්ථාව උදා වූයේ මටය.

මා රඟපෑ චිත්‍රපට අතරෙන් 2007 වසරේ ප්‍රදර්ශනය වුණේ ‘සිකුරු හතේ’ චිත්‍රපටය විතරයි. මෙවැනි චරිතයක් රඟපාන්න ලැබීමත් ඊට සම්මාන හිමිවීමත් මගේ රංගන ජීවිතයේ විශාල පෙරළියක් ඇති කළ සිදුවීමක්. ඇත්තටම මංගල ජය කියන්නේ ‘නව නළු රස’ ඉතිරෙන චරිතයක්.

විජය අයියා එසේ පවසද්දී මම මෙසේ ඇසුවෙමි.

සාමාන්‍යයෙන් ජනප්‍රිය නළුවා සම්මානය හිමි වන්නේ ‘සිහින කුමරා’ට. නමුත් ඔබ ‘සිකුරු හතේ’ චිත්‍රපටයේ රඟපෑවේ හාස්‍යයට බර චරිතයක්. මෙවැනි චරිතයකින් ජනප්‍රියම නළුවා වීම ගැන මොකද හිතෙන්නේ?

මංගලජය හාස්‍යජනක චරිතයක්ම නෙවේ. අනෙක ඒ චරිතය තුළ මම බලෙන් හාස්‍යය මතු කරන්න උත්සාහ කළේත් නැහැ. ඇතැම් වෙලාවකට හාස්‍ය කැටි වී තිබුණත් මේ චරිතයෙන් දාරක ස්නේහය, අහිංසකකම, සටකපටකම් වගේ දේවලුත් ඉස්මතු වුණා. මංගලජය ගේ ප්‍රධාන ඉලක්කය වූණේ දරු පවුල ආරක්ෂා කිරිම. දෑවැදි ප්‍රශ්න නිසා තමන්ගේ දුව දීග දෙන්න බැරිව ලතවෙන තාත්තා කෙනෙක් එයා. ඒ වගේ තාත්තලා මේ සමාජයේ කොයි තරම් ඉන්නවාද? මේක තිත්ත බේතකට සීනි ටිකක් දැම්මා වගේ චරිතයක්.

‘මංගලජය’ ඔස්සේ විජය ඉදිරිපත් කළ අපූර්ව රංගනයට කොක් හඬලා සිනාසුණු කිසිවකු විජය එකී චරිතය තුළට කාවැද්දූ ඒ මානුෂික මුහුණුවර වටහා ගත්තාදැයි මම නොදනිමි. බොහෝ විකට නළුවන් සැබෑ ජීවිතයේ ‘කවටයන්’ වෙද්දී විජය ගොං පාට්වලින් තොර, සැහැල්ලු, අරුත්බර දිවියක් ගත කළේ එවන් වූ ජීවන දෘෂ්ටියක් ඔහුට තිබූ බැවිනි.

මෑතකදී ඕර්‍ණඔ ර්‍ණජ්ජ්ධ්ඛ්ඡ් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වූ ගිරිරාජ්ගේම ‘සුහද කොකා’ චිත්‍රපටයේ විජය රඟපෑවේ ‘රාජමන්ත්‍රී’ අමාත්‍යවරයාගේ චරිතයයි. මැති ඇමැතිවරුන්ගේ චරිත කොතෙක් රඟපෑවද විජය අයියා සිය පෞද්ගලික ජීවිතයේදී දේශපාලනය කරපින්නා ගත්තේ නැත. එයින් අදහස් වන්නේ ඔහුට දේශපාලන පක්ෂයක්, දර්ශනයක් නොතිබූ බව නොව ඇතැම් කලාකරුවන් මෙන් ඔහු දේශපාලනය කරන්නට ගොස් ‘පීචං’ නොවූ බවය.

‘සුහද කොකා’ විශේෂිත දර්ශනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ‘තරංගනී’ සිනමාහලේදී පැවැත්විය. එදින සියල්ලෝම සිනහ පිරි මුවින් එය නැරඹූ අයුරු මට සිහිපත් වේ. ‘රජ වාසල කවටයකු’ නොවී රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට රට හදන තැන ඇත්තන් සිනාගස්සන්ට විජය අයියාට හැකි වීම සෙසු කලාකරුවන්ට පවා කෙතරම් අභිමානයක්ද?

විජය නන්දසිරි, රංගන දිවියේ දෙවන භාගය පිරික්සා බැලීමේදී අපට හමුවන රංගවේදියා හරි අපූරුය. මහ පාරේ දුටුවත්, හදිසියේ බේත් ටිකක් ගන්නට රෝහලට ගියත්, මළ ගෙදරක හමු වුවත් දුටුවන් මුවට සිනහවක් කැන්දන මේ ‘අරුම පුදුම’ මිනිසා බිහි වන්නේ ඒ දෙවැනි භාගයේදීය. පැණි හැලියට ඇඹලයන් සේ ප්‍රේක්ෂකයන් රූපවාහිනිය වටා ඇද්ද වූ ‘නෝනාවරුනි, මහත්වරුනි’ ටෙලි නාට්‍යයේ ‘ප්‍රේමචන්ද්‍ර’ සැබැවින්ම විජයගේ රංගන දිවිය උඩු යටිකුරු කළ චරිතය බව ඔහු පවා පිළිගන්නා සත්‍යයයි.

ජයප්‍රකාශ් සිවගුරුනාදන් සිරස නාළිකාව හරහා එදා සිදු කළ ඒ විප්ලවීය වෙනසට විජය සමඟ සනෝජා බිබිලේ, ග්‍රැන්විල් රොඩ්‍රිගෝ, ජයසේකර අපොන්සු, රොඩ්නි වර්ණකුල, කුසුම් රේණු, විල්සන් ගුණරත්න වැනි නළු නිළියන් සහෝදරාත්මකව අත්වැල් බැඳ ගත්තේ අපූර්ව ටෙලි නාට්‍ය ප්‍රහසන කලාවක් මෙරට ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙමිනි. එදවස ඇතැමුන් විජය නන්දසිරි ඇමතූයේ ‘ප්‍රේමචන්ද්‍ර’ නමින්ය. සමෝජා ‘මාලි නන්දනී’ විය. රූපවාහිනිය ඔස්සේ මේ හරහා අලුත් තරු සංකල්පයක් ද බිහි වූ බව නොරහසකි. ඉන්පසු එතුමා, මෙතුමා, මැති නැතිදා, සල්ලං සෙල්ලං වැනි ‘සිවා’ හැදූ ටෙලි නාට්‍යද කිං හන්තර්, කෝමා(ර්)ක් මෝමා(ර්)ක් වැනි චිත්‍රපටවල ද විජය තම අලුත් ප්‍රතිරූපය වඩාත් ඔප් නංවා ගත්තේය. මේ අලුත් නළුවා තැනීමේ ගෞරවයෙන් අඩක් ‘ගිරා’ ටද ඉතිරි අඩ ‘සිවා’ටද පුද කිරීම අපේ යුතුකමකි.

විජය නන්දසිරි මිය යන විට වයස අවුරුදු හැට නවයකි. ලබන වසරේ සිය හැත්තෑ වැනි උපන් දිනය මහත් ඉහළින් සමරන්නට ඔහුත්, දේවිකාත් සැලසුම් කරමින් සිටි පුවත දැන් අත්තටු ලැබ වේගයෙන් පියාසරයි. එහෙත් අකාරුණික දෛවය හරියටම වයස අවුරුදු හැට නවයේදී මේ විසල් නුග රුක උදුරා බිම හෙළුයේ සිත් පිත් නැති පරිද්දෙනි. ඒ හැට නවයේ තරුණයා වේදිකාවෙන්, පුංචි තිරයෙන්, සිනමාවෙන් බිමට බැස මේ වන විට දිවි රඟ මඬලින් සමුගෙන අවසානය. එහෙත් එය රෑ දුටු සිහිනයක් බඳු යැයි අපට සිතෙන්නේ ආදරණීය විජය නන්දසිරි සදා කල්හිම ජන හදවත්වල ලැගුම් ගෙන ඇති බැවිනි.

‘ආදරේ මල් උයනේ - නෑ කොහෝ හඬ ඇසුණේ
පිපි කුසම් මල් යහන් තුළට වී
කොවුලනේ නාඬන්නේ...’