වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




රිතික් ද අක්ෂේ ද මේ සතියේ බලමු?

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආසියාවේ ක්‍රි. පූ 3300 සිට ක්‍රි. පූ 1700 දක්වා පැවති දියුණු ශිෂ්ටාචාරයක් බව ලෝක ඉතිහාස පාඩම් අපට කියා දෙයි. මෙහි දියුණුම යුගය මොහෙන්ජෝ දාරෝ - හරප්පා ශිෂ්ටාචාර ලෙස හැඳීන්වෙන අතර එය ක්‍රි. පූ 600 සිට ක්‍රි.පූ 1900 දක්වා දිවගිය බවත් සඳහන්. මෙම ශිෂ්ටාචාරය ප්‍රධාන වශයෙන් දකුණු ආසියාවේ වයඹ පෙදෙසෙහි ඉන්දු ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත වූ බව ලෝක ඉතිහාසයේ සඳහන් වී ඇත.

බොලිවුඩ් සිනමාවේ තවත් සුවිශේෂි කතාපුවතක් එළි දැක්වෙන දිනයක් ලෙසින් අගෝස්තු 12 වැනිදා වෙන් වී තිබේ. ආශුතෝෂ් ගොවාරිකර්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සිද්ධාර්ත් රෝයි කපූර් සහ සුනීතා ගොවාරිකර්ගේ නිෂ්පාදනයෙන් යුතුව මොහෙන්ජෝ දාරෝ ශිෂ්ටාචාර යුගය වර්තමානයේ අපටද දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත. එනම් මෙම ශිෂ්ටාචාරයේ කාල වකවානුවක් අලළා නිර්මාණය කළ Mohenjo Daro චිත්‍රපටයෙනි. Mohenjo Daro මෙම ශිෂ්ටාචාරය ගැන කියවෙන පළමු සිනමා නිර්මාණය බව ද සඳහන්. ක්‍රි. ව 2016 වසරේ අගෝස්තු 12 වැනිදා සිට තිරගත කෙරෙන Mohenjo Daro කියන්නේ, ක්‍රි. පූ 2016 ආශ්‍රිත කතා පුවතකි.

සර්මන් යනු අම්රී සිං ප්‍රදේශයේ සිට සින්දු ගංගාවේ ඉහළට ගමන් ගන්නා ගොවියෙකි. ඔහු පැමිණෙන්නේ මොහෙන්ජෝදාරෝ වෙතය. එහිදී චානි නම් සුරූපි කාන්තාව බේරා ගැනීමට සර්මන්හට සිදු වේ. චානි යනු සින්දු ගංගාවට අරක්ගත් දේවතාවිය වෙනුවෙන් සේවයට තෝරා ගත් තැනැත්තිය යි. ඇය සින්දු මාතාවගේ ආශීර්වාදයේ සළකුණ ලෙසින්ද හැඳීන්වේ. මේ අතරතුරේ මහම් සහ ඔහුගේ පුතු මූන්ජා එක්වී දේශපාලන බලය තම අතට ගැනීමේ අරගලයක යෙදී සිටියි. චානි සහ මොහෙන්ජෝ දාරෝ නගරය බේරා ගැනීම සර්මන් හමුවේ ඇති වගකීම් බවට පත් වී ඇත.

Mohenjo Daro චිත්‍රපටය ඉන්දීය වීර, ත්‍රාසජනක ආදර කතාවක් ගෙන එන චිත්‍රපටයකි. ශිෂ්ටාචාරයේ නගරයක් බේරා ගැනීමට කළ සටනක් මේ ඔස්සේ විදහා දැක්වේ. මෙය ප්‍රබන්ධ කතාවක් ලෙසින් දැක්වුවද තිර රචනය සහ අධ්‍යක්ණය කළ ආශුතෝෂ් ගොවරිකර් වසර තුනක් පුරා පුරාවිද්‍යාඥයන් සමඟින් කටයුතු කරමින් මේ සම්බන්ධ අධ්‍යයනයෙහි නිරත වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ආශුතෝෂ් ගොවරිකර් ගැන සඳහන් කිරීමේදී ඔහු ඉන්දීය ඉතිහාස කතා නිර්මාණයේ විශේෂිත චරිතයකි. මෙවැනිම ඉන්දීය ඉතිහාස කතා ගෙන ආ Lagaan (2001),Jodhaa Akbar (2008) සිනමා නිර්මාණයන්ද ඔහුගේ ය. මෙහිදී සර්මන්ගේ චරිතයට පණ පොවන්නේ රිතික් රෝෂන් විසිනි. ආශුතෝෂ් Jodhaa Akbar චිත්‍රපටයට තෝරා ගත්තේද රිතික් රෝෂන් ය. පූජා හෙජ් සුරූපි චානිගේ චරිතයට පණ පොවන්නීය. Mohenjo Daro චිත්‍රපටයේ සංගීතය ඒ. ආර් රහ්මන්ගේය.

Mohenjo Daro චිත්‍රපටය ඔස්සේ එදා අතීතයේ මොහෙන්ජෝදාරෝහි ලක්ෂණ මතුකර ගැනීමට අධ්‍යක්ෂවරයා විශාල වෙහෙසක් ගෙන ඇති බව විචාරකයන්ගේ මතය යි. එකල ජනතාව ඇඳී කපු වලින් නිර්මාණ කළ ඇඳුම් මෙහිදි කැපී පෙනේ. මෙම චිත්‍රපටය තුළද කපුවලින් නිර්මාණය කර ඇති මූලික ඇඳුම් යොදා ගැනීම එයට උදාහරණ ලෙස දැක්වේ. එසේම ගොඩනැඟිලි, අවි ආයුධ පවා නිර්මාණයට විශාල කැප කිරීමක් ඉටුකර ඇති බව විචාරක අදහසයි.

ඉන්දීය නාවික හමුදාවේ කොමදෝරු කවාස් මනෙක්ෂෝ නනවාති රාජකාරි කටයුත්තකට නිවෙසින් බැහැරව ගොස් සිට පැමිණි දිනයකි. තම ආදරණීය බිරිය, සිල්වියා නනවාතිගේ අනියම් පෙම් පුවතක තතු කවාස්හට දැන ගන්නට ලැබෙන්නේ එවිටය. බිරිය සමඟින් තහනම් ප්‍රේමයේ බැඳී සිටින ප්‍රේම් අහූජා කවාස්ගේ මිතුරෙකි. ප්‍රේම් සිල්වියාට විවාහ පොරොන්දු පවා දී ඇති බව දැන ගන්නේ ද සිල්වියා ගෙනි.

මේ අතර කවාස් පෙර දිනයක පොරොන්දුව සිටි සිනමා පටය නැරඹීම වෙනුවෙන් සිල්වියා සහ දරු තිදෙනා කැටුව යන්නේ ප්‍රසිද්ධ සිනමා ශාලාවක් වෙතය. පසුව කවාස් එයින් නික්මුනේ අත්‍යාවශ්‍ය රාජකාරි කටයුත්තක් ඇති බව හඟවමිනි. තම කාර්යාලය වෙත යන කවාස් එහි වූ රාජකාරි කටයුතු කිහිපයක් නිමවා උණ්ඩ පිරවූ තම පිස්තෝලය ද රැගෙන ගියේ ප්‍රේම් අහූජා හමුවීමටය. “මගේ බිරිය දරු තිදෙනා සමඟින් භාර ගන්න සූදානම් ද?” කවාස් තම මිතුරාගෙන් ඇසූයේ එකම පැනයකි. සියල්ල තීරණය කරන ලද්දේ එම ප්‍රශ්නය වෙනුවෙන් වූ පිළිතුරයි.

ඔහුගේ පිස්තෝලයෙන් නික්මුණේ උණ්ඩ තුනක් පමණි.

මෙම සිදුවීම සිදු වූයේ 1958 වසරේ අගභාගයේදීය. කවාස් මනෙක්ෂෝ නනවාති යනු ඉන්දිය නාවික හමුදා ඉතිහාසයේ ගෞරවාන්විත සේවයක් ඉටු කළ නිලධාරියෙකි. මේ කීර්තිමත් නාවික හමුදා නිලධාරියා ඉදිරියේ ඔහුට එල්ල වූ චෝදනා සහ එය හමුවේ නීතය සහ රජයේ ක්‍රියා පටිපාටිය තීරණාත්මක විය. මේ සිදුවීම සමඟින් ඔහුගේ ඉදිරි අනාගතය විසඳුනේ යම් සේද ඔහු සම්බන්ධයේ වූ නඩු විභාගයද ඉන්දීය අධිකරණ ක්ෂේත්‍රයේ ද සුවිශේෂී වෙනසක් සිදු කළ එකක් වූයේය.

1925 වසරේ උපත ලද කවාස් නනවාති 2003 වසරේ ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් වූ මෙම සත්‍ය සිදුවීම රිදි තිරයට පැමිණෙන්න සූදානම්ව ඇත. ඒ Rustom ලෙසිනි. Rustom කතාව සහ තිරරචනය කරන ලද්දේ විපුල් කේ රවාල් විසිනි. ඔහු ද නාවික හමුදාවේ සේවය කළ නිළධාරියෙකු වේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය තිනූ සුරේෂ් දේසායි ගේය. සංගීතය අන්කිත් තිවාරි, ජීත් ගන්ගුලි, රාගව් සචාර් සහ අකරෝ මුඛර්ජි විසින් නිර්මාණය කර ඇත. කවාස් නනවාතිගේ චරිතයට පණ දෙන්නේ නළු අක්ෂේ කුමාර්ය. සිල්වියා ලෙසින් රඟන්නේ ඉලේනා ඩි කෘස් ය. ඉන්දීය අධිකරණ ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කළ මෙම සත්‍ය පුවත රැගත් සිනමාපටය Rustom හෙට (අගෝස්තු 12) සිට ලොවපුරා තිරගත වීමට නියමිතය.

අනාදිමත් අතීතයක මතක සටහන් ගෙන එන Mohenjo Daro  සිනමාපටය ද? නොඑසේ නම් කීර්තිමත් නාවික හමුදා නිලධාරියෙකු ලද ආන්දෝලනාත්මක තීන්දුව ගෙන එන Rustom ද ? එළඹෙන සති අන්තය ලොවපුරා සිටින බොලිවුඩ් රසික රසිකාවන්ට ඉතාමක් කාර්යබහුල සති අන්තයක් වන බව නම් නොඅනුමානයි. එකිනෙකට වෙනස් තේමා දෙකක් ඔස්සේ දිග හැරෙන මෙම සිනමා නිර්මාණ ද්විත්වය ප්‍රේක්ෂකයන් කෙසේ වැලඳගනීවි දැයි ලොවම බලා සිටියි.