වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




උදයකාන්ත වර්ණසූරියගේ වස්සානයේ සඳ

උදයකාන්ත වර්ණසූරියගේ වස්සානයේ සඳ

කැන්ගරු දේශයේ රූ ගැන්වේ

රවී-සුවිනීතා-අනුලා-අනුජ් රණසිංහ රංගනයෙන්

මහේෂ් බණ්ඩාර - එච්. ඩී ප්‍රේමසිරි නිෂ්පාදනයෙන්

උදයකාන්ත වර්ණසූරියගේ 22 වැනි සිනමාපටයේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ විය. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ රූගත කෙරෙන මෙය 'වස්සානයේ සඳ' ලෙසට නම් කොට ඇත. රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක, ශ්‍රීනාත් මද්දුමගේ, අනුජ් රණසිංහ මෙන්ම සිනමාවට හඳුන්වාදෙන පියුමි හංසමාලි, ඇන්ජලෝ සන්ජීව් බාන්ස්, ඕෂධි හිමාෂා, ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරයා ය. ප්‍රවින් ජයරත්නගේ සංස්කරණයකි. රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්ද ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණයෙන්ද 'වස්සානයේ සඳ' වෙනුවෙන් දායක වෙති. ඉන්දික උදාර ලංකාගේ අංගරචනයකි. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරුය. ශාන්ති වර්ණසූරිය ඇඳුම් නිර්මාණය කරයි. මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් විමලවීර, කුලරත්න ආරියවංශ ගීත රචනය කර ඇත. සුනිල් එදිරිසිංහ, උරේෂා රවිහාරි, අමල් පෙරේරා, අභිෂේකා විමලවීර, දුමාල් වර්ණකුලසූරිය සහ දේශානි විතානගේ ගායනයෙන් එක් වෙති.ටෙලි නාට්‍ය නිෂ්පාදක අධ්‍යක්ෂ දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ආචාර්ය මහේෂ් බණ්ඩාර වස්සානයේ සඳ සමනිෂ්පාදනයෙන් එක් වෙති. එච්. ඩී ප්‍රේමසිරි සහ උදයකාන්ත වර්ණසූරිය චිත්‍රපටයේ සෙසු නිෂ්පාදකවරුන්ය.


‘විහාරා’ වැඩ ඇරඹෙයි

ජනප්‍රිය චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ පස්වැනි ටෙලි නාට්‍යය නිෂ්පාදනය ‘විහාරා’ ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව කෙරෙන මේ නිර්මාණ කටයුත්තේ දී රංගනයෙන් සහභාගි වන්නේ රොෂාන් පිලපිටිය, බුද්ධික ජයරත්න, තාරුකා වන්නිආරච්චි, ශ්‍රීමාල් වෙඩිසිංහ, රුවන්ති මංගලා, සම්පත් තෙන්නකෝන්, චන්දික නානායක්කාර, පියුමි බොතේජු, ඉෂාන් මෙන්ඩිස්, චින්තක කුලතුංග, ශිරෝමි ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසකි. මෙහි තිරරචනයෙන් බුද්ධිනී ජයවර්ධනත්, සංගීතයෙන් දර්ශන රුවන් දිසානායක් සහභාගි වෙති.

මේ අවස්ථාවට මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවාරච්චා, ඊඒපී සමූහ ආයතනයේ සභාපති මනෝ තිත්තවෙල, රක්න ආරක්ෂක සමාගමේ ලේකම් ජෙනරාල් එම්. ආර්. පී. රණතුංග විශේෂ ආරාධිත අමුත්තෝ ලෙස සහභාගි වූහ.

‘විහාරා’ ටෙලි නාට්‍යය දෙසැම්බර් මස සිට විකාශය වීමට නියමිත අතර මත්ද්‍රව්‍ය උවදුර ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ අරමුණෙන් මේ නිෂ්පාදනය කෙරේ.

‘සූරිය භානු’, ‘ඉඩදෙන්න’ ආදී ටෙලි නිර්මාණය කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මේ වනවිට චිත්‍රපට නවයක් හා වේදිකා නාට්‍ය දෙකක් ද නිෂ්පාදනය කර ඇත.


ඩොනල්ඩ් කලාසූරි, දේශමාමක, ලංකා පුත්‍ර වෙයි

චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස නමක් දිනාගත් ඩොනල්ඩ් ජයන්ත පසුගියදා කලාසූරි දේශමාමක ලංකා පුත්‍ර ජාතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. සමස්තලංකා සංස්කෘතික සහයෝගිතා පදනම මඟින් ඔහුට එම සම්මානය පිරිනමන ලදී. එම පදනමෙහි සභාපති අධ්‍යක්ෂ ජනරාල් දේශමාන්‍ය සුදර්ශන ගමගේ ගේ සුරතින් ඩොනල්ඩ් ගෞරව සම්මාන ලබාගත්තේය.


කැස්බෑවේ කලාකරුවෝ සම්මාන ලබති

බස්නාහිර පළාත් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ගාමිණි තිලකසිරිගේ අනුග්‍රහයෙන් සහ කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කොට්ඨාසය තුළ පදිංචි කලාකරුවන් අට දෙනෙකු අගයමින් ඔවුන්වෙත උපහාර සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය 28 වැනිදා කැස්බෑව නගරසභා ශාලාවේදි පැවැත්විණි.

එහිදි උපහාර සම්මාන ලැබු රංගන ශිල්පි ජී. ආර් පෙරේරා, තිස්ස විජේසුරේන්ද්‍ර, අජිත් ලොකුගේ, ගායන ශිල්පිනි රූපා ඉන්දුමතී, ගුවන්විදුලි ශිල්පි ලැම්බට් පෙම්මාවඩු, නර්තන ශිල්පි අමරසිරි කුරේ, ලේඛක සනත් පියසේන සහ හේමසිරි බෙනරගම යන කලාකරුවන් අමාත්‍ය ගාමිණි තිලකසිරි, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. කලුකපුආරච්චි යන මහත්වරුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව මෙහි දැක්වෙයි.


පත්තිනි පිම්මෙන් සියය පනී

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ පත්තිනි සිනමාපටය තිරගතවීම ආරම්භකොට දින සියය සපිරිණි. ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලාවන් රැසක තිරගතවන පත්තිනි සුමති චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය මිලිනා සුමතිපාලගේ නිෂ්පාදනයකි. උද්දික ප්‍රේමරත්න, පූජා උමාශංකර්, අරුණි රාජපක්ෂ පත්තිනි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති.


රූපවාහිනි හා නව මාධ්‍ය පිළිබඳ ග්‍රන්ථ දොරට වැඩුම අද

චාලිකා සසිකානි ත්‍යාගරාජා විසින් රචිත 'රූපවාහිනි වාර්තාකරණය' සහ හසිතා දිල්රුක්ෂි විසින් රචිත නව මාධ්‍ය සහ මහජන සම්බන්ධතා න්‍යාය සහ භාවිතය' යන සන්නිවේදන ශාස්ත්‍ර විෂයික ග්‍රන්ථ ද්විත්වය ‍අද (11 වැනිදා) සවස ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩී.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මෙහි මුලසුන හොබවන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක සහ ශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්ය අතුල රණසිංහ ප්‍රධාන ආරාධිතයන් ලෙසින් සහභාගි වේ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මෙදින දෙසුම් පවත්වති. මෙම ග්‍රන්ථ රචිකාවන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජනමාධ්‍ය අංශයේ සහකාර කථිකාචාර්යවරියන් වශයෙන් සේවය කරති.


ශ්‍රී ට 16යි

අද (11) දින ශ්‍රී ගුවන්විදුලි‍ය සිය දහසය වැනි උපන්දිනය සමරනු ලබයි. ඒ වෙනුවෙන් විශේෂ සජිව ප්‍රසංගයක් උදෑසන 10 සිට සවස 5 දක්වා ශ්‍රී නාලිකාව ඔස්සේ ප්‍රචාරය වේ. හෙට (12 වැනිදා) සිට ශ්‍රී නාලිකාවේ වැඩසටහන් කිහිපයක් වෙනස්වීමට නියමිතය.

ශ්‍රී එෆ්. එම් උපන්දිනයට සරසවිය සුබ පැතුම්.


අලුත් අධ්‍යක්ෂවරයෙකු දොරට වඩිමින් උලත් එකයි පිලත් එකයි මේ මස අගට

දිනිත් චමින්ද රණසිංහ සහ කේ. ජේ. ඒ නිශාන්ත නිෂ්පාදනය කළ උලත් එකයි පිලත් එකයි සිනමාපටය ළඟදීම එම්.පී.අයි මණ්ඩලයේ තිරගත වීමට නියමිතය. හර්ෂ උඩකන්ද ඒ සමඟ අධ්‍යක්ෂවරයෙකු ලෙස දොරට වඩියි. දර්ශන් ධර්මරාජ්, රොෂාන් රණවන, රජිත හිරාන් චාමිකර (පිංපොං), දමිතා අබේරත්න, කමල් දේශප්‍රිය, රමණි සිරිවර්ධන, මිහිර සිරිතිලක, රුක්ෂාණා දිසානායක, බියංකා ෆොන්සේකා, ඩිල්ශානි පෙරේරා, අනිල් ජයසිංහ, ජයතිස්ස අතුලසිරි, නෙතලි නානායක්කාර, සැනට් දික්කුඹුර, ලලිත් කල්දේරා, කුමාර වඳුරැස්ස, බුද්ධික රණතුංග, කුමාර රණපුර, සුදත් විජේසේකර, මංජුල සේනානායක ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.