වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




නොකියාම ගියේ ඔබ නොගොස් බැරි නිසාමද?

නොකියාම ගියේ ඔබ නොගොස් බැරි නිසාමද?

විජයගේ දෙනෙතින් දෙදෙනකු අඳුරෙන් එළියට

බේරේ වැවේ ශාන්ත වැව්දිය කලඹමින් ඒ මත වසා සිටි කණකොක් රෑන ඉගිළ ගියහ. මධ්‍යාහ්නයේ දී එක්වර ම ‘සරසවිය’ දුරකථනය එක දිගට නාද වන්නට වූයේ වෙනදා නැති ස්වරයකින් යැයි මට සිතේ.

“විජය නන්දසිරි අයියා නැතිවෙලා.”

ප්‍රධාන කර්තෘ අරුණ අයියාට පැමිණි ඒ දුරකථන ඇමතුම පැවසුවේ අප සියල්ලන්ගේ ම හදවත කම්පාවට පත්කරමිනි. එසැණෙන් අප ඔහු සොයා ගියේ හදිසියේ ම ප්‍රවීණ නළු විජය නන්දසිරිට මේ වූයේ කුමක්දැයි දැන ගන්නා අටියෙනි. ඒ වනවිටත් කළුබෝවිල රෝහලේ පරිශ්‍රයේ එක්පසෙක වූයේ එක ම හිස්ගොඩකි. විජය අයියාට ආදරය කරන කලාකරුවන්, නෑදෑයන්, හිතවතුන් ඇතුළු බොහෝ දෙනාගෙන් ඒ භූමිය පිරී ඉතිර ගොස් තිබිණි. සියල්ලන්ගේ ම දුක්මුසු මුහුණු ඒ විප්පත්තියේ පෙර ලකුණු කියා පෑවේ ය. රෝහල් බිත්තිය අසල අසුනකට බරවුණු විජය අයියාගේ ආදරණීය බිරින්දෑ දේවිකා මිහිරාණිගේ නෙතඟ බොඳ කළේ කඳුළු කැට අහුරකි.

“හොඳට හිටිය විජේට මේ මොකද වුණේ නංගී?”

මඳ වෙලාවක් නිශ්ශබ්දව කඳුළු හෙළූ ඈ එක්වර ම කෑ ගසා හඬන්නේ සිය ආදරබර විජයගේ හදිසි ශෝකය දරාගත නුහුනු බැවිනි. අසලට පැමිණෙන හිතවතුන්ගේ සුරතේ එල්ලී ඈ තව තවත් හඬයි. තැනින් තැන සිය දුක කියමින් හඬන දේවිකාගේ නැඟණියෝ, සිය අයියණ්ඩියගේ වෙන්ව යෑම පිළිබඳ සිය සොහොයුරිය සමඟ දුක බෙදා ගත්හ. ඒ සියලු දෙනා අතරතුර මා සෙමෙන් ළං වූයේ ඈ අසලට ය.

‘දේවිකා මිහිරාණි’

වෙවුළන කටහඬෙන් ඈ පවසන්නේ සිය ජීවිතයට නොදෙවැනි ලෙස ආදරය කළ විජය සමුගන්නා මොහොත් ඈ මුහුණ පෑ හද සසල කළ මේ මොහොත පිළිබඳවයි.

“ජීවිතේ කියන්නේ පුදුම දෙයක්. නිතර ම අපි ආදරය කරන, අපට ආදරය කරන අයයි අප අතරෙන් ඉක්මනට සමුගන්නේ. විජය අයියා කියන්නේ මට රජෙක්. ඒ රජා තමයි අපට අහිමි වුණේ. රජෙක් වගේ ම ඔහු හිතුවක්කාරයෙක්. ඒ හිතුවක්කාරකම කොයිතරම් ද කිව්වොත් අපි කියන දෙයක් අහන්නේ නැතිතරම්.

“ ඔයා මේ ටිකේ දිගට ම මහන්සි වුණා. ඔය තරම් මහන්සි වෙන්න එපා විජේ. ”

මම එහෙම කිව්වත් විජේ ඒ හැමදෙයක් ම ඉවසුවේ සිනහවෙන්. පසුගිය දවස්වලත් විජේ දිගින් දිගට ම මහන්සි වුණා. නිකම් ඉඳලා පුරුද්දක් එයාට තිබුණේ නැහැ. දිගින් දිගට ම වේදිකාව උඩට වෙලා ප්‍රේක්ෂකයන් සතුටු කළා. ඒ විතරක් නොවෙයි ඒ සතුට විජේගෙත් සතුට කර ගත්තා. මේ සිදුවීම සිද්ධ වෙන්න ඉස්සෙල්ලා දවසේ උදෙත් එයා ආවේ පාන්දර. ඊළඟට යන්න තියෙන වැඩේට යන්න නින්ද යයි කියලා විජේ නිදා ගත්තේ පුටුවට ම වෙලා. දිගින් දිගට ම මහන්සි වුණු නිසාමයි මමයි, පුතයි එදා (7 වැනිදා) විජේව එක්කගෙන කුරුණෑගල නාට්‍ය දර්ශනයට යන්න තීරණය කළේ. කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැත්වුණේ අජිත් මෙන්ඩිස්ගේ ‘අලුත් හොරෙක් ඕනෑ’ වේදිකා නාට්‍යය. තුනෙත්, හතෙත් දර්ශන දෙක ට අවශ්‍ය කළමනා සම්පාදනය කර ගත්ත අපි කුරුණෑගල යන්න පිටත් වුණේ අපේ ම වාහනයෙන්. ඒ ගමනට එදා අපිත් එක්ක එකතු වුණේ ශාන්තිමාලා නංගී.

සැහැල්ලුවෙන් ජීවත් වෙන්න විජේගේ තිබුණේ පුදුම කැමැත්තක්. නිවෙසේ සිටියත්, වාහනයක ගියත් ඒ සැහැල්ලුව විජේ නිතර ම අගය කරන දෙයක්. ඒ ගමන යනඑන අතරතුරත් විජේ ශාන්තිමාලා නංගිවයි විහිළු කරන්න අල්ල ගත්තේ. ඒ නාට්‍යය කටයුතු අවසන් කරලා රාත්‍රියේ ආහාර ගන්න අවස්ථාවේ දී පුදුම දෙයකුයි සිද්ධ වුණේ.

“ අනේ දේවිකා අද ඔයාගේ අතින් ම තමයි මට කන්න ඕනෑ.”

මම විජේට ඉදිආප්පයි, අලයි අනලා කැව්වේ ඊට පස්සේ. වේදිකා නාට්‍යය දර්ශන දෙක ම අවසන් වෙලා එදා නිවෙසට එද්දි මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. ඊටත් පසුවදා විජේ අවදි වුණේ සුපුරුදු විදියට ම. කිසිම වෙනසක් මම එයාගේ දැක්කේ නැහැ. උදේ තේ පානය කරලා, දුවත් එක්ක වගේ ම මිනිබිරියත් එක්කත් ස්කයිප් එකෙන් කතා කළේ බොහොම සැහැල්ලුවෙන්.

“මේ බලන්න දේවිකා ‘දොයි දොයි දොයිය බබා’ කියන කොට සහන්‍යා දෝණි හිනාවෙන විදිය. ඔයත් දෝණිට ‘දොයි දොයි දොයිය බබා’ කියන්නකෝ.”

ඒ කිව්ව විදිය මම අද කොහොම නම් අමතක කරන්න ද?

ඒ අතරතුර දුරකථනය අතට ගත්ත විජේ නුවර කෙනෙකුට ඇමතුමක් ගත්තේ පුතාගේ මුහුණේ ගාන්නට වුවමනා මී පැණි ටිකක් ගෙන්න ගන්න හිතාගෙන. නාට්‍ය සංවිධායකවරයකුට, සැප්තැම්බර් මාසයේ විසි ගණන්වල ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට යන්න ගත්ත තීරණය දැනුම් දුන්නෙත් ඊටත් පස්සේ.

“දේවිකා මට අද කිරිබත් කන්න ඕනෑ.”

තේ පානයෙන් පස්සේ විජේ කිව්වේ එයාගේ ආසම කෑම ගැන. කිරිබත් උයලා කට්ට සම්බෝල දෙවර්ගයක් මම හැදුවා. ඒ එයාගේ සම්බෝලය ටිකක් සැර අඩුවෙන්. ගැස්ට්‍රයිසිස් තිබෙන නිසා මම හැමදාමත් එයාට දෙන්න ඕන දේවල් ගැන හොඳ අවබෝධයෙනුයි සිටියේ. විජේ වෙනුවෙන්මයි මම කැපවුණේ. දෙවියනේ..... ඒත් එච්චර කැමැත්තෙන් ඉව්ව කිරිබත් ටික කන්න වාසනාවක් විජේට තිබුණේ නැහැ. ඒක විජේගේ අවාසනාවට වඩා අපේ අවාසනාව කියලයි මට නිතර ම සිතෙන්නේ.

මේ අතර පුතා රසාංජන වෙළෙඳ සැලකට දුරකථනයේ බිල ගෙවන්න ගියා. ඒ අතරතුර කිරිබත් කන්න ඉස්සෙල්ලා විජේ නානකාමරයට ගියේ අලුත් ඇඳුමක් දාගන්න හිතාගෙන. වැඩි වෙලාවක් ගියේ නැහැ.

“ පුතා..... පුතා......”

විජේගේ කෑගැහිල්ල මගේ ගමන ඉක්මන් කළා.

“ස්ප්‍රේ එක....”

ඉල්ලුව සැණෙන් ස්ප්‍රේඑක විජේගේ අතට දුන්න බව මට තවම මතකයි. එතැනම තිබුණු අසුනේ ඉඳ ගත්ත එයා ස්ප්‍රේඑකත් කටට අල්ල ගත්තා. මගේ ඇස්දෙක දිහා ම බලාගෙන හිටිය විජේගේ බෙල්ල එක පැත්තකට කඩාගෙන වැටුණේ එකපාරට ම. විජේව අල්ල ගත්ත මම ‘විජේ.... විජේ....’ කියලා කෑ ගැහුවා. එයාගේ ඇස්දෙක පියැවුණා. ඒ අතර ම මම විජේට කෘත්‍රිම ශ්වසනය දෙන්නත් අමතක කළේ නැහැ. මෙ හැමදෙයක් ම කරන ගමන් නංගිලාට දුරකථන ඇමතුම් දුන්නා. වැඩට හිටිය ළමයටත් නංගිලාට ඇමතුම් දෙන්න කිව්ව මම විජේව මගේ ඇඟට වාරුකර ගත්තා. නංගිලත් ඉක්මනට ඇවිත් එයාගේ පණ ගන්න මහන්සි ගත්තත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ. විජේ ඇහැක් ඇරලා බැලුවෙත් නැහැ. රෝගීන් ගෙනියන ආපදා රථය ආවේ විනාඩි විස්සකට පස්සේ. ඒ වෙනකොට පුතා ඇවිල්ලයි හිටියේ. තාත්තාව උස්ස ගත්ත පුතා පාරේ නවත්තලා තිබ්බ ගිලන් රථයට නැග්ගේ ඉක්මනට රෝහලට අරගෙන යන්න හිතාගෙන. ඒත් රෝහලට අරගෙන යද්දිත් පාරේ ඉඩ ගන්න තරගයක් කරන්න අපට සිද්ධ වුණා.

“කළුබෝවිල රෝහලට ගෙනෙද්දී විජේ අපව අත්හැරලා ගිහින්.” ”

යළිත් දේවිකාගේ දෙනෙතෙන් රූරා වැටෙන කඳුළු බිඳු අතරෙන් ඈ අමතන්නේ විජේට ය. අවසානයේ ඇගේ හඬ හීන්කෙඳීරියක් බවට පත්වන්නේ ඉබේට ම මෙනි.

කිසිම විටෙක නිර්මාණයකට කතා කළ කිසිවකුවත් හිස්අතින් ආපසු යැව්වේ විජේ අයියා නොවේ. ඒ සියල්ලන්ගේ ම කටයුතුවලට ඔහු මැදිහත් වූයේ අවංකව සෙනෙහෙ සිතෙනි. ඔහුගේ ඕස්ට්‍රේලියානු ගමන ද යෙදෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. කලෙක පටන් ආරාධනා කර තිබුණු ඒ ප්‍රසංගයේ ඔහුට පෙනී සිටීමට තිබුණේ ද විනාඩි දහයක් පමණි. එහෙත් බෑ කියන්නට බැරිකමට විජය නන්දසිරි නම් රංගධරයා ඒ ආරාධනය භාර ගත්තේ ඉදිරි නිර්මාණ කටයුතු ද පසෙකට දමමිනි. විජය අයියාගේ එක ම සත්මසැති මිනිපිරිය පසුගියදා පැමිණියේ ඔහුව බලන්නට ය. එවිට පවුලේ සියලු දෙනා ම එකමුතුවෙන් ඡායාරූපයක් ගන්නට ඔහුට තිබුණේ පුදුම ඕනෑකමකි.

එය ගත්තේ ඔහුගේ පවුලේ ඡායාරූප ශිල්පියා වූ උපුල් නිශාන්ත ය. මේ අතර මා හෙමිහිට ළං වූයේ දේවිකාගේ නැඟණියක වූ ෆොමී හෙවත් සකුරා කුමාරි අසලට ය.

“මගේ මස්සිනා වුණත් විජේ අයියා හරියට අපේ යහළුවකු වගේ. නිතර ම ඉන්නේ විහිළුවෙන්. එදා (08 වැනිදා)දේවිකා අක්කා කතා කළ ගමන් ම මම දුවගෙන ආවා. මට හිතා ගන්නත් බෑ. වෙනදා ෆොමී කියලා අමතමින් මට විහිළු කරන විජේ අයියගේ කතාව නැවතිලා. ඇස්දෙක පියවිලා. ඔහු නිතර ම අපේ පවුලේ හැමෝට ම හිතවත්. ගොඩක් වෙලාවට ඈත ප්‍රදේශවල පැවැත්වෙන වේදිකා නාට්‍යවලට විජේ අයියත් එක්ක අයියාගේ තනියට මමත් යනවා. ඒ ගිය ගමනක දි අපි ඉල්ලන ඕනෑ ම දෙයක් අරගෙන දෙන්න විජේ අයියා කවදාවත් අමතක කරන්නේ නැහැ.

එවැනි ගමනක් අවසානයේ නෝට්ටු කිහිපයක් නම් අපේ අතේ තියෙන එක අනිවාර්යයයි. ඒත් මොකක්දෝ අහේතුවකට වගේ මේ වේදිකා නාට්‍යයට යන්නට මට ලැබුණේ නැහැ.

මීට දවස් හතරකට ඉස්සෙල්ලා මම ඔහු ව හීනෙන් දැක්කා. ඒ වෙලාවේ ඔහු එකපාරට ළඟට ඇවිත් මගේ උරහිසට ඔළුව තියාගෙන හොඳට ම ඇඬුවා. ඒ ගැන කියන්න විජේ අයියාට මම කතා කළේ කුරුණෑගල යන දවසේ උදේ.

“අයියේ ඔයා හොඳීන් නේද?”

ඒ සිදුවීම ගැන අයියාට කියන්න බැරි නිසා ඔහුව හීනෙන් දැක්ක බව කීවා ම මට, ඔහු විහිළුවක් කරමින් සිනාසුණා.

“අනේ අයියා අපිව අතහැරලා යන බව කලින් කියන්න ද එදා මට හීනෙන් පෙනුණේ. ඒ වගක් දන්නවා නම් මම තවත් පරිස්සම් වෙන්න කියලා අයියාට කියනවා.” ”

ඇගේ හැඬුම් ස්වරය අපගේ සිත ද ශෝකයෙන් පුරවයි.

“පසුගිය දවසක අයියාත්, මමත් කලාව, ඇතුළු විවිධ දේවල් ගැන කතා කරමිනුයි සිටියේ. ‘අපි හැමෝම මැරෙනවා නේ බං. ඒ නිසා මේ කිසිම දෙයක් බදාගෙන ඉන්න මං කැමැති නැහැ.’ හදිසියේ ම වගේ ඔහු කිව්වේ කතාවට කිසිම දෙයකින් අදාළ නැති දෙයක්. මට පුදුමත් සිතුණා.

“ ඔව්, විජේ අයියා අපි කවුරුත් මැරෙනවා නේ. මේ කිසිම දෙයක් අපි අරගෙන යන්නේ නැහැ”

ඒ වෙලාවේ මම පැවසුවේ ඒ කිව්ව දේ ගණනකට නොගත්ත විදියට. ඒ දවස් කිහිපයකට කලින් එයා අපට ඉඟි කළේ මේ ගමන ගැනයි අද මට හිතෙන්නේ. ඒ ගැන කියලා සති තුනක් යන්නත් මත්තෙන් විජේ අයියා අපි හැමෝම දාලා ගියා.

ඒත් ඔහුගේ තිබුණේ බොහොම අහිංසක බලාපොරොත්තු රැසක්. ලබන අවුරුද්දේ මැයි මාසයේ අයියාගේ උපන් දිනය ජයට සමරන්න අවශ්‍ය සියලු ම දේ සූදානම් කරලයි විජේ අයියා මේ වනවිටත් තිබෙන්නේ. ඒ සඳහා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයට ඔහු මුදලුත් බැන්ඳා. දිනත් වෙන්කළා.

“ෆොමී මේ උපන්දිනේ අපේ කලාකරුවන්ටයි, නෑදෑයන්ටයි, හිතවතුන්ටයි කියලා හොඳ ට සමරමු.”

විජේ අයියා කිව්වේ ඉහවහා ගිය සතුටෙන්.

ඒ වගේ ම අයියාට යෙදිලා තිබුණේ ඒරාෂ්ටක අපලයක්. ඒ නිසා හෙට(09 වැනිදා) අලුයම දෙක හමාරට කැලණි පන්සල් ගිහින් බෝධි පූජාවක් කරන්න සියල්ල සූදානම් කරලයි තිබුණේ. දේවිකා අක්කා ඒ ගැන කිව්වට පස්සේ විජේ අයියා විහිළුවක් කළේ අක්කාව පෙන්වමින්.

“ඕන නැති කතා කියන්න එපා විජේ. ඔයාට තියෙන්නේ එන්න විතරයි. මේ වෙනකොටත් අපි ඔක්කොම සූදානම් කරලයි තිබෙන්නේ.”

අක්කා කිව්වේ නෝක්කාඩුවක ස්වරයකින්.

“හරි ..... හරි... අපි යමු. මම සූදානම්.”

විජේ අයියා හිනාවෙවී කිව්වා.

ෆොමී පවසන්නේ දැඩි ශෝකය පෙරදැරිව ය.

එලෙස කැලණි පන්සලට ගොස් ආශිර්වාද ලබන්නට සිටි විජේ අයියා ඊට පෙර දින ම සඳහට ම ඔහුගේ ප්‍රිය බිරින්දෑ හැර ගියේ ය. දියණිය හා පුතු ද හැර ගියේ ය. ඔහුට ආදරය කළ පවුලේ සියල්ලන් ම හැර ගියේ ය. එසේම ආදරණීය විජේ අයියාට පණ සේ ආදරය කළ ප්‍රේක්ෂකයන්ව ද හැර ගියේ ය. ඒ නොසිතූ මොහොතක ය. කලක් ප්‍රේක්ෂකයන්ගේ හදවත ඇතුළේ ජීවමාන වූ මනමේ කුමාරයාගේ මේ සමුගැන්ම අපගේ හදවතට දනවන්නේ දැඩි සංවේගයකි.

දයාබර විජේ අයියේ, ඔබට නිවන් සුව!
‘සරසවිය’ අපේ පැතුමයි.