වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

හැබැයි නළුවෙක් වෙන්නයි බැරි

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

'මැඩම් මම මේක ලොකුවට හිතාගෙන ආපු ගමනක් නෙවේ. ඒ උනාට අන්තිමට ඒක ඒ විදියට සිද්ධ වුණා'

චමිල පැවසුවේ රථයේ වංගුවක් ගනිද්දීය. අලුත සකස් කෙරුණ පාර පුළුල්ය. දෙපැත්තටම වාහන ගමන් කරන්නේ හරි හදිස්සියක් ඇතුවය. නයෙකු සේ ඇදෙන පාර දිගේ චමිල රථය පැදවූයේ ඉදිරිය බලාගෙනය.

'මට මොකද ළමයෝ මැඩම් කියන්නේ?'

මානවී ඇසුවේ සිනාසෙමිනි.

'මගේ නම මානවී. කවුරුත් දන්නවනේ'

චමිල ඒ බසට නිහඬව සිනාසුණේය.

'ඒක පුරුද්දට ගිහිින්'

'රෙස්ටොරන්ට් එකේදි වෙන්න ඕනෑ'

ඔහු කිසිත් නොකියා යළිත් අහිංසක සිනාවක් පෑවේය. චමිල දර්ශන තලයට පැමිණියේ මාධව වෙනුවටය. සමහර මිනිසුන්ගේ දෛවය ලියැවෙන්නේ අහම්බයක් හැටියටය. චමිලගේ කතාව ද එහෙමය. ඔහු ගමේ සිට කොළඹ පැමිණ මුලින්ම නතර වූයේ ඥාතියකුගේ කඩයකය. උදේ සිට රෑ වනතුරු වැඩ කළත් එහි කෙළවරක් නැතිය. ඒ මදිවට පොඩ්ඩ එහා මෙහා වන විට අම්මා සිහිපත් කරවන බැණුම්ය. ටික දවසකින් ඔහුට රස්සාව එපා විය. ගමේ යන්නට ද නොහැකිය. අවන්හල් රස්සාව සොයා දුන්නේ කොළඹ දී යහළු වුණු එකෙකි. එහි කටයුතු ඇරැඹෙන්නේ දහයට පමණය. මධ්‍යම රැය වෙද්දී කටයුතු අවසන්ය. නැවතුණේ එහිය. අත මිට සරුවෙන්නේ ඉඳහිට එයට ගොඩ විදින ලෝස් නැති ගනුදෙනුකරුවන්ගෙනි. සමහරුන්ට ලෝස් නැති වන්නේ සිහිය විකල් වූ පසුවය. ගනුදෙනුකරුවෝ මේ ඉලන්දාරියාට බොහෝ පොරොන්දු දුන්හ. ඒ සියල්ල පසුදා වන විට අමතකය. මුල් දවස්වල එබඳු පොරොන්දුවලට රැවටී බලාපොරොත්තු රැසක් තබා ගත් චමිල පසුව ඒ සියල්ල වෙරි මත සමඟ මැකී යන වග වටහා ගත්තේය. සුජිත් හා චාමර දුන්නේ ද එබඳුම පොරොන්දුවක් ලෙස ඔහු සිතා ගත්තේය. එහෙත් රස්සාව එපා වන්නට හේතු රාශියක් තබිණ. සමහරු හිටි ගමන් අමනුස්සයෝ වෙති. ගමේ සිට කොළඹ ආ එබඳු තැනක පාච්චල් නොවී සිටීමට ඔහු වග බලා ගත්තේය. එක් දිනක් රාත්‍රියේ එහි කෙළවරක් විය. පැමිණ සිටි ගනුදෙනුකරු රත්නේගේ හිතවතෙකි. රත්නේ අවන්හල් හිමිකරුය. වචනයක් එහා මෙහා ගියේය. අවන්හල වැසුණු පසු රත්නේ චමිල කැඳවීය.

'උඹව තව දවසක්වත් මට තියාගන්න බෑ. දැන් උඹ යන්ඩ ඕනෑ.'

මහ රාත්‍රියේ චමිල එළියට බැස්සේය. හිත හොඳකමට රත්නේ මාසයක වැටුප දුන්නේය. චමිල නතර වූයේ පිටකොටුවේය. සන්තකයට තිබූ ඇඳුම් මල්ල උරහිසලා ගත් ඔහු පිටකොටුවේ බස්නැවතුම්පළේ අසුනකට බර දුන්නේය. ඒ මොහොතේ ඔහුගේ ජංගම දුරකතනය නාද විය.

'චමිල මල්ලී කොහෙද ඉන්නේ'

ඔහු මුලින් විපරම් කළේ කවුදැයි සොයන්නටය. ඒ චාමරය.

'උඹ එදා ඇට් කරන්න ඇහුවා නේද?'

'ඔව්'

'උඹ දැන් කොහේද ඉන්නේ?'

'සර් දැන් මං බාර් එකේ නෑ'

ඔහු පැවසුවේ මැදියම රැයේ අඩුපාඩුවට අවන්හලේ දොර ඇරගන්නට සොයන ගනුදෙනුකරුවකු යැයි සිතාය.

'එහෙනං හොඳයි. උඹ ඇට් කරන්න ඕනෑ කිව්වා නේද?'

'ඔව්'

'එහෙනං ඉක්මනින් පිටකොටුවට ඇවිත් තලවකැලේ බස් එකකට නැගපං. ඇවිත් කෝල් එකක් දීයං'

තමාව ඇන්දවීමට කිසිවකු දෙන ලණුවකැයි මුලින් කල්පනා කළ ද කරවටක් ගිළුණු ඔහුට පිදුරු ගසත් වාරුවක් සේ පෙනුණේය. හිස ඔසවා බලන කළ තලවකැලේ බස් රියක් පෝළිමට එනු පෙනිණි.

එයට පෙර මාධවගේ චුරු චුරුව එන්න එන්නම වැඩි වී දර්ශන තලයට වාතයක් වෙමින් තිබිණ. අතින් වියදම් කරගෙන හෝ උඹේ ප්‍රඩක්ෂන් එකට සෙට් වෙනවා යැයි පැවසූ මාධව දවසක් දෙකක් යන විටම ලෙඩ ඇද ගැනීම ගැන ගැටළුවක් නොවීය.

මාධව දර්ශන තලයකදී ලෙඩ ඇද ගත් පළමු අවස්ථාව එය නොවීය. එබැවින් සමහර විට ඔය ඔහුගේ අවසන් රංගනය විය හැකිය. කිිසිවකු හෝ මාධවට දර්ශන තලයේදී අනුග්‍රාහයක් දැක් වූයේ නැත. දර්ශන තලයෙන් බැහැරව අවට බලමින් සිටි මානවී හමුවට පැමිණි මාධව ඇගෙන් කොළඹ යන්නට යළිත් වරක් වාහනයක් ඉල්ලුවේය.

'තිස්සගෙන් ඉල්ලන්න'

ඈ එවරද පැවසුවාය. තිස්ස මේ ටික දිනට ඇයට දුර නෑයෙක් ගාණය. දිගු කලක් සිනමාවට දායකව සිටි තිස්ස අන්තිමට ඒ සියල්ල ගසා දමා රට අතහැර ගියේය. එක දිගට චිත්‍රපට හැදෙන සමයක එයට දායක වී චිත්‍රපටයක නිෂ්පාදන කළමනාකරු ලෙස රැකියාව සොයා ගත් තිස්ස නිෂ්පාදකවරුන්ට අල්ලලා ගිය එකකු විය. බොහෝ නිෂ්පාදකවරුන්ට ඕනෑ අඩු මුදලට ජාම බේර ගන්නටය. කණ්ඩායම නිවසට වඩා සැප පහසුවක් චිත්‍රපටයේදී පතති. දෙපිරිසට මැදිවන්නේ කළමනාකරුය. කණ්ඩායමට හොඳ කළමනාකරු නිෂ්පාදකට හොරෙක් සේ පෙනෙයි. නිෂ්පාදකට හොඳ කළමනාකරු කණ්ඩායමට කුණෙක් සේ පෙනෙයි. චිත්‍රපට හැදීම අඩු වද්දී නිෂ්පාදකවරු අහක බැලුහ. ඊළඟට නිෂ්පාදන කළමනාකාරවරු නිෂ්පාදකගේ ගෙදර විශ්වාසවන්ත නෑයෙකු විය. අඟ හිඟකම් වැඩි වද්දී තිස්ස ඉතාලියට ගියේය. එහි අවුරුදු ගණනක් ගත කළ ඔහු යළි මව්බිමට පැමිණියේය. මානවීගේ නිෂ්පාදනයට ඔහු එක් කරන ලද්දේ මිතුරකු විසිනි. මානවී සමඟ කටයුතු කරන්නට භාර වූයේ වෙනත් අයකුටය. ඔහු දායක වූ චිත්‍රපටයක් කැනඩාවේ පෙන්වන්නට සැරසිණ. එයට සහභාගි වී එන්නම් යැයි පැවසූ ඔහු අන්තිමට එහිම ගල් වූයේය. තිස්ස සොයා ගැනුණේ ඒ අඩුපාඩුවටය.

'එක එකා පාට් දාන වෙලාවට දෙන්න මගේ ගාව වාහන නෑ. ඉන්න පුළුවන් නම් ඉන්න. නැත්නම් බස් ස්ටෑන්ඩ් එකට ගිහින් දාන්නං'

තිස්ස සිය තට්ට හිස අතගාමින් පැවසුවේය. චාමර වෙස් ගැන්වීම් ශිල්පියා ළඟ තිබූ ක්‍රීම් තලියක් කොණ්ඩේ අතුල්ලාගෙන පිරා ගත්තේ ඒ අතරවාරයේය. තිස්ස චාමරට කෑගෑවේය.

'ඒයි මල්ලී මගේ මේ තට්ටේ ආවේ ආරෙට, වයසට නෙවී. ඔය වගේ ප්‍රඩක්ෂන්වලදී හෙයා ක්‍රීම් ගාලා'

චාමර හිනා වී එතැනින් ගියේ මාධව සමඟ කතාබහ ඇතිවීම වලක්වන්නටය.

'ඔව් බං මුන් ඔහේ අලව ගන්නවා, හතලිහ පනිනකොට තට්ටේ'

තිස්ස ඊළඟට පැවසුවේ මාධවටය. ඒ ස්වරය වෙනස් කරමිනි.

'ඒක ඇත්ත තිස්ස අයියා'

තිස්ස හීන්සීරුවේ නැඟිට යන්නට සැරසිණ.

'මගෙ විහිකල් එක'

'හදිස්සි නම් බස් ස්ටෑන්ඩ් එකට දාන්නං. නැත්නම් දැන්ම කියහං තව පැයකින් උඩරට මැණිකේ එනවා'

තිස්ස ප්‍රශ්නය විසඳන අයුරු මානවී තනිවම විඳ ගත්තාය.

චමිල දර්ශන තලයට ආවේ මාධව නික්ම ගොස් පැය දෙකකට පසුවය.

'ඌයි මාධවයි දෙන්නගේ ෆේස් කට් එක වගේ'

සුජිත් පැවසුවේය. චාමර මඳක් කල්පනා කළේය. සුජිත්ගේ තේරීම හරියට හරිය.

'හැබැයි ඌට ඇට් කරන්න පුළුවන් ද දන්නේ නෑ'

චාමර එයට විමතිය පළ කළේය.

'ඕන ගොනෙකුට ඇට් කරන්න පුළුවන් බං. හැබැයි නළුවෙක් වෙන්නයි බැරි'

චාමරගේ පිටට තට්ටු කරමින් පැවසූ සුජිත් දර්ශනයක් සඳහා සැරසිණ. චමිල දර්ශන තලයට කැඳවූයේ එහෙයිනි. රෑ නිදි වැරීමෙන් ඔහු වෙහෙසට පත්ව තිබිණ. කාලය යනු මුදල්ය. නාස්ති කරන්නට නොහැක. චමිලගේ පෙර පුහුණුව සඳහා චාමර සූදානම් විය.

මානවීට ඔහු හඳුන්වා දුන්නේ චාමරය. මානවී දැකිමත් සමඟ චමිලගේ මුහුණේ නැඟුණේ සතුට ඉහ වහා ගිය සිනහවකි.

'මැඩම්ගේ ටෙලි ඩ්‍රාමාවලට මම හරි ආසයි. 'රතු වත්ත' ටෙලි එක බැලුවෙම මැඩම් හින්දා'

චමිල එක දිගට කියාගෙන ගියේය.

'උඹ කොහොමද එහෙම බැලුවේ වැඩ අස්සේ'

චාමර ඇසුවේ චමිල අපහසුතාවයකට පත් කරන්නටය.

'ඇයි සර් යූ ටියුබ් එකේ'

ඔහු තම දුරකතනය ගෙනහැර පෑවේය. චමිලගේ මුල්ම රූ ගැන්වීම අසාර්ථක විය. දෙවන වර ද අසාර්ථක විය. තෝරා ගැනීමේ වරදක් ලෙසින් හැඟවෙන අන්දමේ බැල්මක් චාමර සුජිත් වෙත හෙලුවේය.

'මේ යකාට ඩයලොග් ඩිලිවරි කරන්න බෑනේ'

චාමර පැවසුවේ තරමක කෝපයෙනි.

'ඩිලිවරි බැරි නම් ට්‍රාන්ස්පෝට් කරමු'

රත්නපාල සියල්ල යළි සිනහ ගැන්වීය. චමිලගේ පැහැපත් මුහුණ පුරා බියපත් වගක් පළ විය. ජීවිතය අවාසනාවට කැරකෙන හැටිය. මානවී ඔහු ළඟට පැමිණ අතින් අල්ලා ගත්තාය. ඇයගේ වැඩ පිළිවෙළ සුජිත්ගේ ඇස් මානයේය.

'බයවෙන්න එපා. සේරම හරි යයි. දැන් ඔයා ඉස්සෙල්ලා හිත සැහැල්ලු කර ගන්න. අපිත් පටන් ගත්තේ එහෙම තමා'

ඈ දැල් වී ඇති විදුලි පහන නිවා දමන්නට අණ කළාය.

'මේ ඉන්නේ ඔයාගේ අම්මා. වෙන දේවල් හිතන්න එපා. මේ කතන්දරේ ඉන්නේ ඔයා'

ඈ මුමුණමින් පවසන දේ අන් අයට වැටහුණේ නැත. ඇය සුරත ඔහු ගෙල වටලාගෙන නැඹුරු කර ගත්තාය. තරුණයාගේ දෑසෙන් ආත්ම විශ්වාසය ගොඩ නැඟෙන අයුරු මානවීට වැටහිණ. ඈ යළි විදුලි පහන දල්වන්න අණ කළාය.

රූ ගැන්වීම ඇරඹිණ. චාමරගේ මුහුණේ ඇඳෙමින් තිබූ සිනහව විශ්මයකට පත් විය. ඔහු සිය මාපැටඟිල්ල ඔසවා මානවීට පෙන් වූයේය.

ඉතා ඉක්මනින් සබකෝලයෙන් මිදී සියල්ලන් සමඟ මුසුවන්නට චමිලට හැකියාවක් තිබිණ. ඔහු මානවීට බෙහෙවින් ප්‍රිය කළාය.

'අරූ ආපු ගමන් අරකිව දාගත්තා වගේ'

රත්නපාල සුජිත්ට පැවසුවේ ඔලොක්කුවටය.

'උඹේ වැඩක් බලාන හිටහං'

සුජිත් ගොරවන්නට පටන් ගත්තේය.

'මෙන්න යකෝ වැඩක්, උඹට මොකද වුණේ.

රත්නපාල එතැනින් නික්ම ගියේ මහ හඬින් සිනාසෙමිණි.

'චමිලට ඩ්‍රයිවින් කරන්න පුළුවන්ද?'

මානවී ඇසුවාය.

දුම්රිය ස්ථානයක රූ ගැන්වීමක් අවශ්‍යය. එයට ලොකු මුදලක් ගෙවිය යුතුය. ගැහැනුකම වටිනා ආභරණයක් වන්නේ එහෙම තැන්වලය. එබැවින් ඇයම දුම්රියපළට යා යුතු විය.

'එන්ඩ යන්ඩ මාත් එක්ක'

මානවී රථයේ යතුර චමිලගේ අතට දැම්මාය. ඔහු වහා එය අල්ලාගෙන රථයට ගොදුරු විය. ඊළඟ මොහොතේ වත්තේ තේ පඳුරු අතරින් රිංගා රථය ඉදිරියට ඇදෙනු දුටු සුජිත් අහක බලා ගත්තේය.