වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




හදේ කොතැනක හෝ හිඳී ඔබ

හදේ කොතැනක හෝ හිඳී ඔබ

ආර්.ආර් සමරකෝන් ගැන රම්‍යා වනිගසේකරගේ ආදරණීය මතකයෙන්...

ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් මියගොස් අගෝස්තු 01 වැනිදාට වසර සයක් සපිරෙයි. එමෙන්ම ඔහු උපත ලැබූවේ මේ මස 14 වැනිදායි. ජීවත්ව සිටි කාලයේ මෙන් ඔහු පිළිබඳ මතක අතර තවමත් සැරිසරන ආර්. ආර්. සමරකෝන්ගේ බිරිය රම්‍යා වනිගසේකර, සිය සැමියා පිළිබඳ මතකය දිග හැර පෑවේ මෙසේයි.

වස්සානයට පෑයූ නිකිණි සඳ ඇත අහසේ ඉඳ එබිකම් කරන්නේ හොරැහෙනි. තරුරෑන අහස්කුස ඒ මේ අත විසිරී තිබෙන්නේ සඳට තනි රකින්නා සේ ය. සිමෙන්ති බංකුව මත අසුන්ගෙන සිටි මම ඒ නිකිණි සඳ දෙස ම බලා උන්නෙමි. සඳ මත ඇඳුණේ ඔබගේ රුවයි.

“ බලන්න රම්‍යා අද අහසේ ලස්සන. හඳ මිදුලට ඇවිල්ලා නිසා තවත් ලස්සන වෙලා. ”

ජීවත් ව සිටින කාලයේ නිවෙසේ ඉදිරිපස තිබෙන මේ සිමෙන්ති බංකුවේ අසුන්ගෙන ඔබ පවසන්නේ නිසංසල රාත්‍රියේ වූ සුන්දරත්වයෙන් වශිකෘතව ය. ඒ සුන්දරත්වය එදා මෙන් අදත් ඒ අයුරෙන් ම අවට වෙළාගෙන හමාර ය. නමුදු එහි මොකක්දෝ අඩුවක් ඇතැයි මගේ සිතට හැඟේ. වරින්වර හමායන සිහිල් සුළං රැල්ල මගේ සවනතට ගීපද වැලක් කොඳුරයි. ඒ ඔබ නිසා ඇතිවුණු අඩුව අකාමකා දමන්නා සේ ය. එවිගසින් ම මා සවනත වැකෙන්නේ ගුවන්විදුලියේ ප්‍රචාරය වන අපූරු ගීතයකි.

“හදේ කොතැනක හෝ හිඳී ඔබ

නිදා නොනිදා මෙන්

බලා අවසර සොයාකල් දැන

වෙලා හසරැහැනින්

පෙළයි මා මුදා සුවදැහැනින් ”

ආර්.ආර්.සමරකෝන්, රම්‍යා, දියණිය බුද්ධිකා සමඟ

සුනිල් එදිරිසිංහගේ ඒ සොඳුරු ගී ස්වරය විඳීන මගේ හදවත ශෝකයෙන් බරවෙයි. එක්වරම මා දෙනෙතෙන් එක, දෙක ලෙස වැටෙන කඳුළු කැට, කඳුළු ගංගාවක් බවට පත්වන්නට වැඩි කාලයක් ගත නොවේ. එවිට ඔබ නොමැති සොවින් ගිලන් වූ හදවතට සැනසීමක් දැනෙනතුරු ම මම හඬමි. මගේ දෙපා ළඟ දැවටෙන්නේ එකල ඔබ බෙහෙවින් ආදරය කළ බැල්ල චාකෝ ය. ඒ ඔබ අහිමි වීමෙන් ඇති වූ ශෝකයට තවත් කොටස්කරුවකු සිටින වග මට දන්වන්නා සේ ය.

අද වනවිට ඔබ අපඅතැර ගොස් සය වසරකි. ඔබගේ උපන් දිනයට ඇත්තේ ද තව නොබෝ දිනයකි. සුපුරුදු ලෙස ඒ පිළිබඳ මතකය අප සිතට නැඟුණ ද ඔබ අප අසල නොමැති වග දැනෙන විට හදවතේ කොණක උපදින සිහින් රිදුම අවසන් වන්නේ හිස්මුදුනෙනි. එවේලෙහි මා ඒ රිදුම මඳක් හෝ තුනීකර ගන්නේ ඔබ පිළිබඳ මතකය එකික්එක ගෙනහැර පාමිනි.

එකල ඔබගේ දවස ආරම්භ වන්නේ අලුයම අවට පරිසරයෙන් ඇසෙන නාදවල මිහිරියාවෙනි. සියලු නාද පරයා ඈතෙන් ඇසෙන සැවුල් හඬ ඔබට මිහිරියාවකි. ඒ මිහිරියාව තව තවත් විඳීන්නට අවසරය ලැබෙන්නේ නිවෙසේ එක් කොණක ඔබ තැනූ කෑම ලෑල්ල නිසා ය. කෑම ලෑල්ල මතට පැමිණෙන මලිති, බටිති, ගිරාරෑන් දෙස ඔබ බලා සිටින්නේ මහත් සන්තෝෂයෙනි.

“රම්‍යා මට ගම මතක් වෙනවා.”

සිය කුඩාකල ජීවිතය ගෙවූ නාවලපිටිය දෙකිඳ ග්‍රාමය ඔබට අමතක නොවන දිනයක් වෙත්ද? ඒ තරමට ම බෙහෙවින් ඔබ ගම්පියසේ ගෙවූ ජීවිතයට ආදරය කළ බව මම දනිමි. අපේ විවාහයෙන් පසුව ගම්පියසට ගිය දිනෙක ඔබ හා මේ සිවුපාවුන් හා පක්ෂීන් අතර වූ සබැඳීයාව පිළිබඳ මා හා පවසන්නට අම්මා ද අමතක නොකළා ය. නිවිහැනහිල්ලේ ගෙවුණු ජීවිතයකට ඔබ කවදත් දැක්වූයේ දැඩි ඇල්මකි. සොයිසපුර කොන්ක්‍රීට් වනන්තරයෙන් මිදී වාද්දූව - තල්පිටියට පැමිණි ගමනට ඔබ යළි යළිත් ආශා කළේ ය. ඒ තල්පිටිය දකින කළ ඔබට, ඔබගේ ගම්පියස සිහියට නැඟෙන බැව් මම දත්තෙමි. ඒ නිසා පෙර දිනෙක මෙන් සොඳුරු ජීවිතයකට උරුමකම් කියන්නට ඔබට හැකි විය.

ඒ සොඳුරු දිවිය අර්ථවත් වූ තවත් ප්‍රබල හේතුවක් වූණේ අපගේ දියණිය බුද්ධිකායි. නිවෙසට පැමිණි විගස ඔබේ ලෝකය ගොඩනැඟුණේ දියණිය හා මා වටා ය. ඒ නිසා ඔබ හා නිවෙසේ ගත කරන කාලය බෙහෙවින් ම සුන්දර ම විය. නිවෙසේ දී සමහර විටෙක අප කතාබහ කළේ ද දෙබස්වලිනි. ඒ අයුරෙන් ගත කළ සොඳුරු එදවස යළි කිසිදිනෙක නොඑන බව සහතික ය. එනමුදු අපි දෙදෙනා ම ඒ අතීතයට අද ද බෙහෙවින් ආදරය කරමු. උයන්නට ගියවිටත්, කෑමට බත්පත අතට ගනිද්දීත් අපට සිහිපත් වන්නේ ඔබ ම ය.

මුළුතැන්ගෙයි මා උයන විටෙක ඒ අසල ගැවසෙමින් සිටි ඔබගේ සුවඳ මේ දැනුදු දැනෙන්නා සේ ය. උයන කටයුතු කෙරෙන අතරතුරු ඔබ උදෑසන ම කියැ වූ පුවත්පත්වල සිරස්තල රැගත් මුල්පිටුව මා අසන්නේ ඔබගේ ස්වරයෙනි.

“ අද මෙන්න මෙහෙමයි රම්‍ය මේ පත්තරේ තියෙන සිදුවීම්.”

විටෙක ඔබේ නෙත ගැටෙන්නේ එහි සිරස්තලයකි. නැතිනම් සුන්දර ලෙස ලියැවුණු ලිපියක ඡේදයකි. කියවන්නට මෙන්ම ලියන්නට ද දැඩි කැමැත්තක් දැක් වූ ඔබ නිරතුරුව ම රසවිඳී යමක් වෙතොත් මට පවසන්නට ද අමතක නොකරයි. එහෙත් ඒ ස්වරය අද නිහඬ ය. ඒ නිහඬ බව මා සිත පාරවයි.

ඔබ ලියන්නට කොතරම් ආශක්ත ව සිටියේ ද යන්නට අපූරු නිදසුනක් මගේ මතකයට පිවිසෙන්නේ ඉබේ ම ය. ඒ එක් වරෙක ඔබ ලියූ ‘ඩිංගිරි අම්මා’ වේදිකා නාට්‍යය පිටපතයි. සමාජ යථාර්ථය අලළා ලියැවුණු මේ පිටපත වේදිකා ගත කිරීමට අනුමැතිය සඳහා ඔබ ඉදිරිපත් කළේ දහසක් බලාපොරොත්තු සහිත බව මම දනිමි. එහෙත් සිදුවූයේ අනෙකකි. ඔවුන් ඒ පිටපතේ සියයට පණහකටත් වඩා කපා දමා තිබිණි.

“ මේකේ මට පෙන්වන්න දෙයක් නැහැ.”

පිටපත අතට ගත් විගස ඔබ පැවසුවේ සැබෑ ශෝකයෙනි. ඒ ශෝකය කාටවත් නොකියා ම වසන් කරන්නට ඔබට අවශ්‍ය වූයේ ය. එදින ඔබ නිවෙසට පැමිණ සිටියේ නිවෙසෙන් ගිය මිනිසා ලෙස නොවේ. මධුවිත ඒ වනවිටත් ඔබ හා හාද වී අවසන් ය. එපමණක් නොව එදින ඔබ පැමිණි රථයේ ‘ඩිංගිරි අම්මා’ පිටපත අමතකව ගොස් තිබිණි. නන්නාඳුනන ත්‍රී රෝද රථය ‘ඩිංගිරි අම්මා’ රැගෙන ගොස් හමාර ය. ඉන්පසු කිසි දිනෙක අපි ඈව නුදුටීමු. එමෙන්ම අන් පිටපතක් ද ඔබ සතුව නොතිබුණි.

ඔබ ලිව්වේ නිරුත්සාහයෙනි. බලපෑමක් මත හෝ බලකිරීමක් මත ලියන්නට ඔබට නොහැකි බව දන්නේ මා පමණි. ඒ නිසා නිර්මාණයක දී එවැනි බලකිරීමක් කිරීමට මම කිසි දිනෙක නොපෙලඹීමි. කෙසේ නමුදු ‘කකුල් හතරේ ඉලන්දාරියා’ වේදිකා පිටපත බිහිවන්නේ එවැනි පෙලඹවීමක් මත ය. ඒ නිසාමදෝ ඔබගේ අනෙක් නිර්මාණවල තිබුණු සාර්ථකත්වය මෙහි නොමැති වග මට හැඟෙයි. එහෙත් නිරුත්සාහයෙන් වස්තු බීජයක් ඔබ සිතට පිවිසි කල ඒ කුරුටු ගාන්නට සුදුසු කරදාසි සොයා දෙන්නට සිදු වන්නේ ද මට ම ය.

“රම්‍යා මට කොළ ටිකක් බැදලා දෙන්නකෝ.”

එලෙස පැවසූ සැණෙන් ඒ කටයුත්ත සිදුවිය යුතු ම ය. ලියන්නට අවශ්‍ය කළමනා වුවමනාවෙන් ම සකසා දුන් කලෙක ඔබගේ සිතේ වූයේ රටක් රාජ්ජයක් ලද කලෙක වූ හැඟීමකි. එවිට ඔබගේ මුවෙන් පිටවන වචනවල වන ආදරණීය බව සිහිපත් වනවිට ඒ හඬ මට මේ දැනුදු කොඳුරන්නා සේ ඇසේ. ඔබට තිබුණේ බොහොම සුළු දෙයකින් පවා සතුටු විය හැකි සිතකි. අද දක්වා යම් සතුටක් මා සිතේ ඉතිරිව ඇත්නම් ඒ තිබෙන්නේ, ඔබ අප අතැර යන්නට පෙර ම ඔබගේ සිත නිවැරැදි ව තේරුම් ගන්නට හැකි වූවා ය යන සිතුවිල්ලයි.

සරල සැහැල්ලු මිනිසකු වූ ඔබ අනෙක් මිනිසුන් පිළිබඳ ද සිතුවේ සරලව ය. ඒ නිසා ඔබ යටි උගුල් අදින්නකුගේ සිතත්, රැවටිලිකරුවකුගේ සිතත්, ඔබට සෑබෑ ලෙස ම ආදරය කළ හිතවතකුගේ සිතත් දුටුවේ එක ම අයුරෙනි. ඔබ අවට සිටින්නේ මේ මේ අය යැයි අප පැවසුව ද ඒ කාරණය ගණනකට නොගන්නට ඔබ ප්‍රවේසම් වෙයි. ඔබට තිබුණේ එපමණට ම සොඳුරු සිතකි.

‘කැලණි පාලම’

ඔබගේත්, මගේත් ජීවිතයේ එක් සංදිස්ථානයකි. අප පළමුවර හමු වන්නේ එහිදී ය. ඈත හද්දා පිටිසර ගමක ඉඳගෙන ගිනි ගහන කොන්ක්‍රීට් පුරවරයට පය තිබ්බ පුංචි කෙල්ලක වූ මට, ජීවිතය යනු මේ යැයි කියා දුන්නේ ඔබ ය. ජීවිතයේ ගැඹුර මා දුටුවේ, මට දැඩි සේ ආදරය කළ ඔබගේ දෙනෙත් පත්ලෙනි. ඔබ ඇසුරේ වින්ද ඒ ජීවිතයේ ගැඹුර මේ තරම් ඉක්මනින් අවසන් කරන්නට සිදුවේ යැයි මම කිසි දිනෙක නොසිතුවෙමි. එහෙත් එය එසේ ම සිදුවිය. ඔබ, මාවත්, දුවත් හැරදා යන්නට ම ගියේ ය.

පසුගියදා දියණිය බුද්ධිකා ද කුල ගෙයට පිය නැඟූ බව මා ඔබට පවසන්නේ අපමණ සතුටෙනි. ඔබ නොමැති වුවද ඒ කටයුතු නිසිලෙස කරන්නට මට ශක්තිය ලැබිණි. ඒ ශක්තිය දුන්නේ අන් කවුරුත් නොව ඔබ බව මම දනිමි. ඔබ අප අතැර ගිය පසුව මට දැනුණු පාළුව, තනිකම මා මකා ගත්තේ දියණිය ඇසුරේ ය. එනමුදු අද වනවිට ඈ ද මේ විසල් නිවෙස අතැර ගොසිනි. එහෙත් ඇය නිතර නිතර පැමිණ, මගේ සුවදුක් සොයමින්, මට තනි රකින්නට අමතක නොකරයි. නමුදු එක්තරා පාළුවකින් හා කාංසියකින් මගේ සිත ඉතිර යන්නේ ඉබේට ම මෙනි. එවිට මම ඔබගේ මතක අතර තනි වී ඔබ සොයා එමි.

මේ මතක අතර කිසිදු දිනෙක අමතක නොවන මතකයකි. ඒ ඔබ මිය යන්නට පෙර මා අත තැබූ පද පෙළයි.

“මම එක් කලෙක ජීවිතය වීසිකොට

බෝතලය වැලඳ ගෙන සිටියෙමි.

දැන් මම

බෝතලය වීසිකොට

ජීවිතය වැලඳ ගෙන සිටිමි.”

ජීවිතය වැලඳ ගන්නට බලාපොරොත්තුව සිටි ඒ ඔබගේ මුහුණ මට මේ දැනුදු මැවි මැවී පෙනෙන්නා සේ ය. අහස්කුස බබළන සඳේ සැඟ ව ඇත්තේ ද ඔබගේ ඒ මුහුණ ම ය. මම සොඳුරු හසරුල්ලක් උවනට නඟා ගන්නෙමි.

“දැන් යන්න වෙලාව හරි.”

සඳ දෙස බලා සිටින මගේ සවනතට සුළං රැල්ලක් පැමිණ කොඳුරනු ඇසේ. සබඳ, මම ඔබට අදට සමුදෙමි.