වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




සංඝදාස සමඟ ගැලරියේ සිට චිත්‍රපට බලපු කාලේ

සංඝදාස සමඟ ගැලරියේ සිට චිත්‍රපට බලපු කාලේ

1977 මහ මැතිවරණ සමය මතක් වන හැම අවස්ථාවකම එදා මගේ අඹ යහළුවකුව සිටි ටී. ඇම්. සංඝදාසයන් මතකයට නැඟේ. දේශපාලනයට වඩා අපේ සබඳතාවය කුඩා කාලය තෙක්ම දිව යන්නේය. මා මෙන්ම ඔහු ද සිනමාව ගැන උමතුවෙන් සිටි සිනමා රසිකයෙකි. ඔහුට සිංහල සිනමා ඉතිහාසය මෙන්ම හින්දි සිනමාවේ ගායක ගායිකාවන් ගැන ද, හින්දි චිත්‍රපට ගැන ද හොඳ මතකයක් තිබුණේය. අපේ පැරණි නළු නිළියන් ගැන අප්‍රමාණ ආදරයක් භක්තියක් ඔහුට තිබුණි. ඔහුට හෝ මට අමතක වන ඇතැම් සිනමා ගීතයක් හෝ අපි දෙදෙනා කතා කොට සැක හැර ගන්නෙමු. දැන් පැරණි චිත්‍රපට ගීතයක් නම් මහාචාර්ය සුනිල් ආරියරත්න ලියු 'සිංහල චිත්‍රපට ගීතාවලිය' අපට පිහිට වෙයි.

ඇතැම් සඳ ඇති රාත්‍රීවල අපි ගඟක් හෝ නිසංසල තැනකට වී තලාද් මොහාමඩ්, මොහොමඩ් රාෆි, හේමන්ත් කුමාර්, මුකේෂ්ගේ ගීත වැරදි හින්දි වචන යොදා ගයන්නෙමු. අහල පහල අපේ මිත්‍ර හින්දි විශාරද සිරි කහවල නැති නිසා කිසිදු බියක් නොමැතිව හඬ නඟා ගයා අපිම සිනා සෙන්නෙමු. අද ඔහු අප අතර නැත. 2010 වසරේ සැප්තැම්බර් මාසේ ඔහු අපෙන් සමු ගත්තේය. ඔහු මිය ගිය පුවත ද මට දැන්වූයේ සිරි කහවලයන්මය. වසර 50 කට කිට්ටු ඇසුරක් තිබූ ඔහු ගැන පැරණි හින්දි චිත්‍රපට ගීත ඇසෙන විට මගේ මතකයට එයි.

මගේ සිත 1959 සැප්තැම්බර් මාසයට ඉබේ දිව යයි. සැප්තැම්බර් මාසය සරුංගල් මාසයයි. එවකට එකොළොස් හැවිරිදි වියේ පසු වූ මට ගුණරත්න මාමා අලුත් පන්නයේ සරුංගලයක් තනා දුන්නේය. චිත්‍ර ශිල්පියෙකු වූ මාමා රතු සහ කහ පැහැති තෙල් කඩදාසියේ සිංහ කොඩිය පසුබිමේ තිබෙන අයුරින් අපූරු සරුංගලයක් සැලසුම් කළ අතර තාත්තා විසින් සමබරව සැදූ සරුංගල් සැකිල්ලට එය අලවා දුන්නේය. අප උපන් ග්‍රෑන්ඩ්පාස් හී කොස්ගස් හන්දියේ තරගයට සරුංගල් යැව්වත් මගේ සරුංගලය අන් හැමට වඩා අපූරුවට දැකුම්කලුව අහසේ කැපී පෙනුණේය.

අපේ නිවස අයත්ව තිබුණේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ දකුණු ග්‍රෑන්ඩ්පාස් නාගරික කොට්ඨාසයටය. උතුරු ග්‍රෑන්ඩ්පාස් නාගරික කොට්ඨාසය තිබුණේ අපේ නිවසට දකුණු පසින් වූ ගෙවල්වල පිටුපසින් ඇති ග්‍රෑන්ඩ්පාස් පාෙර්ය.

උතුරු ග්‍රෑන්ඩ්පාස් හී ළමුන් කිහිප දෙනෙක් පැමිණ අහසේ සිංහයෙකු මැනවින් පෙනෙන සරුංගලය දිහා බලා සිට 'සරුංගල් මාට්ටු දාමු දැයි' මගෙන් ඇසීය. 'ඔට්ටුයි' මම කීවෙමි. සරුංගල් මට්ටු දැමීම සරුංගල් මාසේ සුලභ ලක්ෂණයකි. සරුංගලයට මාට්ටු දැමීම යනු තම සරුංගලය අනික් සරුංගලයේ පටළවා තමා සිටින පැත්තට ඇද ගැනීමෙන් සරුංගලය අයිතිකරුට ජය හිමි වීමය. නොඑසේ නම් ප්‍රතිවාදියා යවන සරුංගලයේ නූල කැඩී ගියහොත් අනිවාර්යයෙන්ම පරාජය හිමි වෙයි. මම අභියෝගය භාර ගතිමි. මගේ සහායට විමල් අයියා, රෆික් නානාත්, රසාක් නානාත්, බාබුත් වූහ.

'කවුද එහා පැත්තේ සරුංගල් යවන්නේ' මම අහසේ පාවෙන සුදු පසු බිමක රතු පාට තරුවක් සහිත සරුංගලය බලමින් ඇසුවෙමි.

'සංඝදාස' පැමිණ සිටි වැඩිහිටි ළමයෙකු කියමින් මිටෙන් හළ කුරුල්්ලෙක් මෙන් දිව ගියේ පැමිණි සෙසු ළමුන් දෙදෙනා ද කැටුවය.

'සංගේ සරුංගල් මාට්ටුවට කප්පිත්තා' විමලේ අයියා කීවේය.

'බලමු. බලමු. එයා සරුංගල් යවන්නේ ක්‍රොර්ෂොට් නූල්වලින්. බය වෙන්න එපා මට තාත්තා ගෙනත් දීලා තියෙන්නේ පොත් මහන රට කිත්තම් නූලක්. ඒක අනිත් නූල් කැපෙනවා' මම උදම් ඇනුවෙමි.

කිත්තන් නූලට පින් සිද්ධ වෙන්න සංඝදාසගේ සරුංගලේ අපේ පැත්තට ඇදගෙන අපි හුරේ දැම්මෙමු. පරාජිත සරුංගල්කරුවා මොහාතකින් අප වෙත ආවේ අව්‍යාජ සිනාවක් පාමිනි. ඔහු එවකට දහ හත් වියේ පසු වූ තෙන්නකෝන් මුදියන්සේලාගේ සංඝදාසය. අහිංසක සිනාවකින් මට සංග්‍රහ කළ ඔහු එතැන් සිට මගේ මිතුරා විය. කොස්ගස් හන්දියේ සිදු වූ මේ සිද්ධිය මට වසරත්, මාසයත් සහිතව මතක ඇත්තේ මෙය සිදු වී දින කිහිපයකින් අගමැති බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කිරීම නිසාය.

අපි දේශපාලන පාට, පක්ෂ නොබලා කොස්ගස් හන්දිය සුදු කොඩි දමා සැරසුවෙමු. එහි මූලිකයා ද සංඝදාසයන්මය. මම ඔහුගේ සහායකයකු වීමි. සංඝදාස අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් හී ශාන්ත ජෝසෆ් කතෝලික පාසැලෙනි. ඔහු හැදුණේ වැඩුණේ ආච්චි සමඟ ග්‍රෑන්ඩ්පාස් හී බබාපුල්ලේ වත්තේය. එකල තිරගත වූ සිංහල හා හින්දි චිත්‍රපට නැරඹීමට ඔහු තොටළඟ මිනර්වා සිනමාහලට මා බයිසිකලයේ හිඳුවා ගෙන ගියේය. සන්දේශය, පිරිමියෙක් නිසා, වීර විජය, වැදිබිම චිත්‍රපට බැලුවේ එහි ගැලරි අසුනේ සිටය.

හැටේ දශකයේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් පාරේ ආරම්භ කළ අසෝක සිනමාහලේත්, ස්ටේස් පාරේ ආරම්භ කළ ජෙසීමා සිනමාහලේත් තිරගත වූ හින්දි චිත්‍රපට අපි ගැලරියේ සිට නැරඹුවෙමු. ආමර් වීදියේ කැපිටෝල් සිනමාහලේ සීරියල් චිත්‍රපට ද, කිංස්ලි සිනමාහගේ ද්‍රවිඩ චිත්‍රපට ද අපි නැරඹුවෙමු.

කිංස්ලි සිනමාහලේ දෙමළ චිත්‍රපටයක් බලන්න ගැලරියට ගිය එක් දිනක සංඝදාස නැගිට බැල්කනිය දිහා බලා මෙසේ කීය.

'රන්ජිත් මේක ඓතිහාසික පික්චර් හොල් එකක්. 'කඩවුණු පොරොන්දුව' 1947 ජනවාරි 21 වෙනිදා මේකේ පෙන්නන කොට රුක්මණීලා, එඩීලා, බී. ඒ. ඩබ්ලිව්ලා අර බැල්කනියේ ඉන්න ඇති. ආච්චිත් එක්ක කඩවුණු පොරොන්දුව බලන කොට මට වයස පහක් විතර ඇති. තාමත් පරණ කිංස්ලි හෝල් එකම විදිහයි. ජනෙල් දොරවල් ඒ විදිහමයි' සංඝදාස කීවේය.

එහෙත් අප දෙදෙනාගේ ප්‍රියතම සිනමාහල වූයේ 'අසෝකා' සිනමාහලය. එහි ඇති ලා තැඹිලි පාට ආසනවල නැවුම් සුවඳ තාමත් මගේ නාස් පුඬුවල රැඳී ඇත.

මුලදී කොමියුනිස්ට් (චීන පිලේ) ප්‍රබල සාමාජිකයකු වූ සංඝදාස පසුව කොමියුනිස්ට් පක්ෂයට බැඳී පීටර් කේනමන්ට වැඩ කළේය. පසුව පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ප්‍රේමසිරි පෙරේරා (ඔහු පියා ද උග්‍ර කොමියුනිස්ට්වාදියෙක්) මගේත් සංඝදාසගේත් හිතවතෙක් විය.

කෙසේ හෝ සංඝදාස 1975 වන විට ආර්. ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරී සහයකයකු විය.

1977 මැතිවරණය පවත්වන විට අපි දෙදෙනාම මැද කොළඹ එ. ජා. ප ක්‍රියාකාරීන් වුණෙමු. මගේ පියා එහි අනුශාසකවරයකු ලෙස කටයුතු කළේය. මැතිවරණයෙන් එ. ජා. ප අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අතර ඊළඟට කොළඹ නාගරික මැතිවරණය සූදානම් විය. එතෙක් දකුණු ග්‍රෑන්ඩ්පාස් නාගරික කොට්ඨාසය නියෝජනය කළ ඒ. එච්. එම්. ෆවුසි මහතා ශ්‍රී. ල. නි. පයට බැඳී සිටි අතර ඔහුගේ ප්‍රජා අයිතිය අහිමි වී තිබුණි.

දිනක් අප නිවසට පැමිණි අගමැති ප්‍රේමදාස මහතා හිටි හැටියේම තාත්තාට නොසිතූ යෝජනාවක් ගෙනාවේය.

'මේ දකුණු ග්‍රෑන්ඩ්පාස් ආසන සංවිධායක ලෙස රන්ජිත්ව ඉදිරිපත් කරන්න. මම ඉතුරු වැඩ සේරම බලාගන්නම්. මට හිතවත් අය නගර සභාවේ ඉන්න ඕනෑ'

තාත්තා ද ඒ යෝජනාවට පෝර දැම්මේය.

'සර් මම දේශපාලනයට කැමති නෑ. මම කැමති කලාවට. සරසවිය පත්තරේ මම ආසාවෙන් වැඩ කරනවා. සර් ඉදිරිපත් කරන ඕනෑම කෙනෙකුට මම බිම් මට්ටමට බැහැලා උදව් කරන්නම්.'

මගේ අකමැත්ත අගමැතිතුමාගේ කෝපයට හේතු වන්නට ඇති.

'අපි සංඝදාසව ඉදිරිපත් කරමු. රංජිත්ගේ යාළුවනේ. එයා බැහැලා උදව් කරාවි' තාත්තා කීවේය.

ඒ වන විට සංඝදාස මැද කොළඹ එ. ජ. ප සංවිධානයේ සම ලේකම්ය. කොළඹ නගර සභාවේ මුද්‍රණාලයේ සේවකයෙකි.

අගමැතිතුමා තම නිල රථයට යාමට පෙර මට මෙසේ කීවේය.

'තව ටිකක් හිතල බලන්න. මම ඔයාව ඉහළම තැනකට ගන්නම්'

කෙසේ හෝ සංඝදාසට මගේ අවස්ථාව ලැබිණ. ඔහු වෙනුවෙන් ප්‍රචාරක පත්‍රිකා, පෝස්ටර් සකස් කරදී කැන්වසින් ගිය මම ඔහුගේ දකුණු අත වීමි. සංඝදාස නාගරික මන්ත්‍රීවරයකු විය. එතැන් සිට අගමැතිතුමා මට හොඳ මුහුණ පෙන්නුවේම නැත. මා තට්ටු නිවාසයක් ඉල්ලා සිටිය ද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. එහෙත් සංඝදාස මට කළ ගුණ සැලකුවේය. කොළඹ නගරාධිපති සිරිසේන කුරේ මහතාට රහසේම කියා මට ඩැනිස්ටර් ද සිල්වා මහල් නිවාසයෙන් ගෙයක් ලබා දුන්නේය. ඒ බව අගමැතිතුමා දැනගන්නට ඇත්තේ කාලෙකට පසුවය.