වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මව් සෙනෙහස ගැන අපූරු කතාවක්

මව් සෙනෙහස ගැන අපූරු කතාවක් Mother's Day

'Mother's Day' හෙවත් 'මව්වරුන්ගේ දිනය' වර්තමානයේ ලෝකයේ සෑම රටක්ම ආදරයෙන් සහ ගෞරවයෙන් සමරන දිනයකි.

ලෝ වැසියන් මෙදින තම තමන්ගේ මවුවරුන් සේම මවු පදවිය, සහ මව් සෙනෙහස ගැනත් භක්ත්‍යාදරයෙන් සිහි කරති. මව්පදවිය ගැන පෙර-අපර දෙදිග බොහෝ චිත්‍රපට නිර්මාණය වී ඇත.

මව් පදවිය සහ මව්වරුන්ගේ දිනය ගැන සිනමාවට නැගුණු අලුත්ම චිත්‍රපටය වන්නේ ගෙරී මාෂල් විසින් නිර්මාණය කෙරුණු 'Mother's Day' චිත්‍රපටයයි.

හෙට (29 වැනිදා) සිට ලොව පුරා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය ටොම් හයින්ස්, ලිලී හොලන්ඩර් ඇතුළු සතර දෙනෙකුගේ තිර රචනයකි.

හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන මෙහි විශේෂත්වය වන්නේ චරිත කිහිපයක් වටා ගෙතී ඇති අතර එම චරිත නිරූපණය කරන්නේද හොලිවුඩයේ ජනප්‍රිය නළුනිළියන් වීමය.

ජෙනිෆර් ඇනිස්ටන්, කේට් හඩ්සන්, ජුලියා රොබට්ස් සහ ජේඩ්න් සුදෙයිකිස් ඇතුළු පිරිසක් 'Mother's Day' චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.

'Mother's Day' චිත්‍රපටය රූගත කිරීම ආරම්භ කළේ පසුගිය 2015 වසරේ අගෝස්තු මාසයේ ජෝර්ජියාහිදී ය. බ්‍රැන්ඩ් ඇන්ඩර්සන්, හොවර්ඩ් බර්ඩ්, ඩැනියෙල් ඩයමන්ඩ් ඇතුළු හය දෙනෙකු විසින් මෙහි නිෂ්පාදන දායකත්වය දරණු ලබයි. 'Mother's Day' මිනිත්තු 118ක ධාවන කාලයකින් යුතු වේ.

එකිනෙකාට සම්බන්ධයක් නොමැති කිහිප දෙනෙක් වටා 'Mother's Day' කතාව ගෙතී ඇත. සැන්ඩි දික්කසාද වූ පුතුන් දෙදෙනෙක් සිටින මවක්. ඇයගේ දික්කසාද සැමියා තවත් තරුණියක සමඟින් විවාහ වී සිටියි. සැන්ඩිගේ චරිතයට පණ පොවන්නේ ජෙනිෆර් ඇනිස්ටන් විසිනි.

ලේඛිකාවක වන මිරැන්ඩා තමන්ගේ දියණිය වෙනත් කෙනෙකුට හදාවඩා ගැනීමට දී ඇත. මිරෙන්ඩාගේ චරිතයට පණ පොවන්නේ ජුලියා රොබට්ස් විසිනි. මිරෙන්ඩාගේ දියණිය ක්‍රිස්ටීන්. ළඟඳීම විවාහ දිවියට ඇතුළත්වීමට සූදානම් වන ඇය තමා මෙලොවට බිහි කළ මව ළඟ නොමැතිවීම පිළිබඳ තැවෙන්නීය.

ක්‍රිස්ටීන්ගේ මිතුරිය ජෙසීගේ චරිතයට පණ පොවන්නේ කේට් හඩ්සන් ය. ජෙසී කිසි දිනෙක තම මව දැක නොමැත. නමුත්, එක් දිනෙක ඇය පුදුම වන දෙයක් සිදු වේ. මෙවැනි වූ සිදුවීම් රැසක් සමඟින් රිදී තිරයේ දිග හැරෙන 'Mother's Day' චිත්‍රපටය බෙදා හරින්නේ ඕපන් රෝඩ්ස් ෆිල්ම්ස් විසිනි. විචාරක අදහස නම්, මෙය ළයාන්විත හාස්‍යමය චිත්‍රපටයක් බවයි.