වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මම එංගලන්තයට ගියේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබුණු කාලයක

මම එංගලන්තයට ගියේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබුණු කාලයක

රේඛාව, පොඩිපුතා රඟපෑ ආනන්ද වීරකෝන් රසබර මතක සමඟ...

සිංහල සිනමාවේ සුවිශේෂි චිත්‍රපටයක් ලෙසින් නම් තැබූ ‘රේඛාව’ට දැන් වසර හැටක්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටයේ “ඕලු නෙළුම් නෙරිය රඟාලා” ගීතයේ දර්ශනයට පෙනී සිටි නළුවා මතකද? ඔහු අසෝකා, පොඩි පුතා, සුකොමලී, මා ආලය කළ තරුණිය, ජීවිත සටන, වනමල වැනි චිත්‍රපටවලටද රංගනයෙන් දායක වූ ආනන්ද වීරකෝන්. එංගලන්තයේ පදිංචියට යාම නිසා සිනමා නිර්මාණ කිහිපයකට පමණක් දායක වී මව් රටෙන් දුරස් වූ ඔහු මේ දිනවල යළිත් පැමිණ සිටින්නේය. එදා රංගන මතක සිහිපත් කරමින් ඔහුගේ තොරතුරු විමසන්න සරසවිය මේ පිටුව වෙන් කළා.

* නළුවෙක් වීම බොහොම ආසාවෙන් සිටි බලාපොරොත්තුවක් ඉෂ්ඨවීමක් නේද?

ඉස්කෝලේ යන කාලයේ පටන්ම මම නළුවෙක් වෙන්න බොහොම ලොකු ආසාවකින් හිටියේ. මට මතකයි ඒ කාලයේ මම යහළුවන් එක්ක චිත්‍රපට බලන්න ගියේ ගෙදරට හොරෙන්. වැඩියෙන්ම බැලුවේ හින්දි චිත්‍රපට. මගේ ප්‍රියතම නළුවා වුණේ දිලිප් කුමාර්. එක දවසක් මං හොරෙන් චිත්‍රපටයක් බලන්න ගිහින් අසු වුනාම අපේ අම්මා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගෙදරට වඩම්මවලා මට අවවාද දුන්නා.

මං චිත්‍රපට බලන්න යනවට අපේ පප්පත් ඒ තරම් කැමැති වුණේ නැහැ. හැබැයි ටික කාලයක් යනකොට පප්පාටත් චිත්‍රපට බලන්න ආසා හිතිලා තිබුණා. මට ඒක තේරුණේ ගෙදරට හොරෙන් මම චිත්‍රපට බලන්න යනකොට හෝල් එකේදි පප්පා මුණ ගැහුණාමයි.

* ප්‍රථම රංගන ආරාධනාව ගෙන ආ සතුට?

ආනන්ද විද්‍යාලයේ කානිවල් එකක් තිබුණා. එහිදී මම විජය කුමාරයාට තේරුණා. එදා ගත්තු මගේ ඡායාරූපයක් දැකලා තමයි මට ‘අසෝකා’ චිත්‍රපටයට ආරාධනාවක් ලැබුණේ. හා හා පුරා කියලා චිත්‍රපටයකට ආරාධනා කළාම මට දැනුණේ කියලා නිම කරන්න බැරි සතුටක්. සම්මුඛ පරීක්ෂණය තිබුණේ නවජීවන චිත්‍රාගාරයේ. ඒ වෙනකොටත් මගේ චරිතයට සේනාධීර කුරුප්පු තෝරා ගෙන තිබුණේ. සම්මුඛ පරීක්ෂණයේදී මට දෙබස් ටිකක් කියන්න දුන්නා. වීමලවීර මාස්ටර් මගේ ඉදිරිපත් කිරීමට සතුටු වෙලා මාව අසෝකා චිත්‍රපටයේ රංගනයට තෝරා ගත්තා. ඒ වගේම පළමු රංගනය කිසිම පැකිළීමක් නොමැතිව බොහොම සාර්ථකය ඉටු කරන්නත් මට හැකි වුණා. ඉන් පසුව සිරිසේන විමලවීරගේ ‘පොඩි පුතා’ චිත්‍රපටයේ පොඩි පුතා වුණේ මමයි. ඒ චරිතයෙන් මම ගොඩක් ප්‍රසිද්ධ වුණා.

* රේඛාව චිත්‍රපටයේ අත්දැකීම් සිහිපත් කළොත්?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනිත් අයට වඩා වෙනස් විදියට හිතන සිනමාකරුවෙක්. සාමාන්‍ය විදියට රංගනයේ නිදහස ලෙස්ටර් පීරිස් ලඟ තිබුණා. රේඛාවේ රංගනය විශේෂයෙන්ම දකුණු ඉන්දීය ආභාෂයෙන් තොරවීම ලොකු සහනයක් වුණා. මීට පෙර මම දායක වූ හැම චිත්‍රපටයකම දකුණු ඉන්දීය ආභාෂය වැඩියෙන් තිබුණා. ඒ චිත්‍රපටවල බොහොම ඉහළින් මේක්අප් කළා. මේක් අප් එක යවන්නම පැය ගාණක් ගත වෙනවා. නමුත් රේඛාවේ මේක් අප් භාවිතය රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට ඉතාම පහසුවක් වුණා.

රේඛාවේ මගේ සටන් ජවනිකාවකුත් තිබුණා. නමුත් සංස්කරණයේදී එය ඉවත්කර තිබුණා. ‘ඕලු නෙළුම් නෙරිය රඟාලා’ ගීතය රූගත කළේ අලව්ව ප්‍රදේශයේ. මට කොහොමත් හොඳට ඔරු පදින්නත් හැකියාව තිබුණා. ඒ වගේම මට හොඳට පිහිනන්නත් පුළුවන්. ඒ නිසා මම ඒ දර්ශනය කළේ හරිම සැහැල්ලුවෙන්.

* ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමු?

ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉහළයි. ඒ කාලයේ ප්‍රේක්ෂකයන් සිනමාවට බොහොම ලෙංගතුකමක් දැක්වූවා. මම එංගලන්තයට ගියෙත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබුණු කාලයේදීයි. ඒ වගේම ගෙදර ප්‍රතිචාරත් හොඳ වුණා. රූගත කිරීම් බලන්න නංගිලත් එක්ක අපේ පප්පා එනවා. හැබැයි අම්මා නම් හැමදාම කිව්වේ පුතා බයිස්කෝප්කාරයෙක් කියලා කියන්න කැමැති නැහැ කියලයි.

* ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් සිටිනදී සිනමාවෙන් දුරස්වීම හිතට දුකක් වුණේ නැතිද?

මම චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායක වුණේ නැහැ. ඒ අතරේ සුකොමලී චිත්‍රපටය කරන්න ඉන්දියාවේ ගිහින් අවුරුද්දක් විතර හිටියා. ඒ නිසා මට චිත්‍රපට හතරක් පහක් විතර අතහරින්නත් සිදු වුණා. ඒ කාලයේ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය නොවු නිසාත් වෘත්තියක් විදියට රංගනය ගෙන යාම අපහසු කටයුත්තක් වුණා.

අනිත් කාරණය තමයි මගේ ගෙදරිනුත් සිනමා රංගනයට තිබුණේ දැඩි විරුද්ධත්වයක්. ඉතිං එංගලන්තයට යන්න මට අවස්ථාවක් ලැබුණු නිසා මම එහේ පදිංචියට ගියා. එංගලන්තයට යන්න කලින් මම වනමල චිත්‍රපටයට දායක වුණා. නමුත් මට එහි මංගල දර්ශනයවත් බලන්න ලැබුණේ නැහැ. දැන් නම් ඒ ගැන තියෙන්නේ ලොකු දුකක්.

අදටත් මම නොවරදවාම ‘රිදි නිම්නය’ වැඩසටහන බලනවා. මම ඒක නරඹන්නේ හරිම ආසාවෙන්. එතකොට මම සිනමාවේ හිටියා නම් අද මොනවගේ තැනක ඉන්න පුළුවන්ද කියලත් හිතෙනවා. එදා අපේ සමකාලීනයන්ගෙන් අයිරාංගනී සේරසිංහ, සුමිත් බිබිලේ ඉන්නවා. කලින් කලට සිනමාවත් වෙනස් වෙන්න ඕනි. හැමදාම අපිම විතරක් ඉඳලා හරියන්නේ නැහැනේ.

* එංගලන්තයේදී රංගන කටයුතුවලට දායක වෙන්න හිතුණේ නැතිද?

මම එංගලන්තයට ගිය කාලයේදීම ලෙස්ටර් පීරිසුත් එහි පැමිණි අවස්ථාවේදී ඔහු මාව එහි චිත්‍රපට නියෝජිතයෙකුට හඳුන්වා දුන්වා දුන්නා.‘ද ෆ්‍රයිට්න්ඩ් සිටි’ චිත්‍රපටයේ සීන් එකකට හිටියා. මුල් කාලයේ ආසාවට ගියත් පසුව එය අතහැර දැමුවා.

* දැන් ඔබේ ස්ථිර පදිංචිය ලංකාවේද?

කාලයක් අපි එංගලන්තයේ ජීවත් වුණා. මගේ පුතාලා දෙන්නා පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ. දැන් මමයි බිරිය යි පදිංචිය මෙහේ. මාස කිහිපයකට වරක් එංගලන්තයට ගිහින් එනවා. එංගලන්තයේ ජීවත් වුණත් අපේ රට ගැන නිතරම හිතුවා. අපි දැන් මෙහෙ ව්‍යාපාරයක් කරනවා. කාන්තාවන්ට දිරිදීමක් වගේම දේශීය කර්මාන්ත අංශය වෙනුවෙන් පේෂකර්ම රෙදිපිළි ව්‍යාපාරයක් ආරම්භ කළා. දැන් ඒ වැඩ කටයුතු බලාගෙන අපි බොහොම නිස්කලංක ජීවිතයක් ගත කරනවා.

* ආයෙමත් සිනමාවට ආවොත් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

මීට පෙරත් මං ලංකාවට පැමිණි කිහිපවතාවකදීම ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත් මං ඒ ආරාධනා බොහොම සුහදව ප්‍රතික්ෂේප කළා.

* චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැතිද?

මට රහස් පරීක්ෂක ටෙලි නාට්‍ය මාලාවක් කරන්න අදහසක් තිබුණා. මම ඒ ගැන මුලින්ම කිව්වේ ආචාර්ය තිස්ස අබේසේකරට. ඔහුගේ මඟ පෙන්වීම අනුව තවත් ප්‍රවීණ නළුවෙකුට මම එහි තිර රචනය ලියන්න භාර දුන්නා. මම ඔහුට සල්ලිත් දුන්නා. එහි එක් චරිතයකට ඔහුත් කැමැති වුණා. නමුත් ඔහු පිටපත ලිව්වේ ඔහුට තියෙන චරිතය වැඩියෙන් පෙනන විදියට. මං ඒකට කැමැති වුණේ නැහැ. පසුව ඔහු එය වෙනත් නිෂ්පාදකයෙකු සමඟින් නිර්මාණය කළා. ඒ නිසා මට ලොකු කලකිරීමට ඇතිවුණා. මගේ නිෂ්පාදන කටයුත්ත එතැනින්ම නැවතුනා.