වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මානසික සුවයටත් කලාව ලොකු උදව්වක්

මානසික සුවයටත් කලාව ලොකු උදව්වක්

සඳසීලි ප්‍රනාන්දු

2013 වසරේදී ඉරේෂ් ලොකු බණ්ඩාරගේ 'තඹ පාට හැන්දැව' ටෙලි නාට්‍යයෙහි වලව්වේ උඩරට කුමාරිහාමිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ජනාදරයට පත් සඳසිලි ප්‍රනාන්දු වෘත්තියෙන් රජයේ බැංකු ආයතනයක ලේකම්වරියක් ලෙස සේවය කර අද විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන බව අපට දැනගගන්නට ලැබුණා. සුන්දර සිනාවකින් මුව සරසාගත් ඈ ඇගේ කලා ජීවිතයේ අලුත්ම වගතුග සරසවිය සමඟ බෙදා හදා ගත්තේ මේ අයුරනි. ඒ සොඳුරු පිළිසඳරයි මේ.

කලා තොරතුරුවලින් කතාව ආරම්භ කරමු?

මම පාසල් මූලික අධ්‍යාපනය ලැබුවේ ගැටඹේ පුහුණුවීම් පාසලේදීය. තාත්තාගේ රැකියා ස්ථානය මාරුවීමත් සමඟ දෙහිවල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට ඇතුළු වුණා. පාසල් යන කාලේ මම ගොඩක් කලා කටයුතුලට දක්ෂයි. එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරියට මම රඟපෑවා. ඒ නිසා පාසල් වේදිකාව මට හුරුපුරුදුයි. උඩරට නර්තනය හැදෑරුවා. එවකට හිටපු අධ්‍යාපන උප අධ්‍යක්ෂවරයාගෙන් හොඳම නිළියට ත්‍යාග ලැබුණා. කලා අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. මට ලොකු අවස්ථාවක් තිබුණා කලා අංශයෙන් ඉදිරියට යන්න. ඒත් මට ඒකට අවස්ථාව ලැබුණේ නැහැ.

අවස්ථාව නොලැබුණේ ඔබේ අධ්‍යාපන කටයුතු නිසාද?

අපෝ නැහැ. අද කාලේ ඒ කලේ වගේ නෙවෙයිනේ. ඉස්සර ඉතින් අම්මලා, ආච්චි අම්මලා කැමති නැහැ ගැහැනු දරුවෝ නටනවට, සිංදු කියනවට. මටත් ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. මම රංගන ක්ෂේත්‍රයට එනවට මගේ ආච්චි අම්මා කැමැති වුණේ නැහැ. එයාට ඕනෑ වුණේ මාව ගුරුවරියක් කරන්න. ඒ හීනයට මට සමුදෙන්න සිදු වුණා. අන්තිමට ගෙදරින් මාව කාර්මික විද්‍යාලයට යොමු කළා. එහිදී මම වාණිජ පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ තමයි මම රජයේ බැංකු ආයතනයක ලේකම්වරියක් ලෙස කටයුතු කළේ.

අධ්‍යාපනයෙන් පසු රැකියාවට යොමුවීමෙන් මට කලා කටයුතුවලට සෘජුවම සම්බන්ධ වීමට නොහැකි වුණා. ඒත් රැකියා ස්ථානයේ සෑම කලා කටයුත්තකටම සහභාගි වීමට මට අවස්ථාව ලැබුණා. කොහොම වුණත් වෘත්තියෙන් සමුගෙන සිටින අතරතුර නැවතත් රංගන ක්ෂේත්‍රයට යොමු වීමට මට අවස්ථාව ලැබුණා.

ඔබ රංගන ශිල්පිනියක් වුණේ අහම්බෙන්?

ඔව්. මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් මට ඉරේෂ්ව හඳුනාගන්න ලැබුණා. මම ගැනත් ඔහු හොඳින් දැනගෙන හිටියා. ඔහු දෙවතාවක් හිතන්නේ නැතුව ඒ නාට්‍යයේ වලව්වේ හාමුගේ චරිතය මට දුන්නා. ඒක ප්‍රධාන චරිතයක්. ඒ වගේම සැර හාමු කෙනෙකුගේ චරිතයක්. මම ඉතින් ඒ නපුරුකම බලෙන්ම ආරූඪ කරගෙන රඟපෑවා. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබුණා. ඊට පසුව දයාරත්න රටගෙදරගේ 'සිත නිවන කතා' පෝය ඒකාංගික නාට්‍ය මාලවේ රඟපෑවා.

පසුගිය දවස්වල ජයලත් මනෝරත්න මහතාගේ 'සිත බිඳුණු තරම්' ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට දායක වුණා. ළමා නිවාස පාලිකාවකගේ චරිතයක් මට ලැබුණා. එහිදී ජයලත් මනෝරත්න වැනි ප්‍රවීණයන් සමඟ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. මේ ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. ඉදිරියේදී අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා.

ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්න ඔබ කැමතිද?

ඕනෑම චරිතයක් බාර ගන්නේ නැහැ. හරයක් ඇති ඕනෑම චරිතයක් රඟපානවා. කොමඩි චරිතවලට මම කොහෙත්ම කැමැතිම නැහැ.

කලාව ඔබට දැනෙන්නේ කොහොමද?

මම කලාවට ගොඩක් ආදරෙයි, කැමැතියි. මානසික සුවයටත් කලාව ලොකු උදව්වක්. එක පැත්තකින් භාවනාවක්. මම රංගනයට දායක වුණේ මුදල් උපයන්න නෙවෙයි. අද මට සරලව ලස්සනට ජීවත් වෙන්න කලාව පන්නරයක් වුණා. මානසික සුවයෙන් වගේම ශාරීරික සුවයෙන් බොහොම සතුටින් කාලය ගත කරනවා.