වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ආනන්ද දේශපාලනයට බයද? ගාමිණී ඇසුවා

ආනන්ද දේශපාලනයට බයද? ගාමිණී ඇසුවා

සාගරයක් මැද තනා සරසවිය සම්මාන දිනූ ආනන්ද අබේනායක

1982 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘සාගරයක් මැද’ චිත්‍රපටය යි. එහිදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහය නිළිය, හොඳම තිර රචනය, හොඳම සංස්කරණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම වේශ නිරූපණයට හිමි සම්මානයන් හිමි වූයේද ‘සාගරයක් මැද’ චිත්‍රපටයටයි. එපණක් නොව හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයද ‘සාගරයක් මැද’ චිත්‍රපටය වෙනුවෙන් වෙන් වූ අතර එය පිරිනැමුයේ ආනන්ද අබේනායක වෙතය.

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකුද වන ආනන්ද අබේනායක සිය කලා ජීවිතයේ ලද ප්‍රථම සම්මානය වන්නේ ද මෙම සරසවිය සම්මානය යි. ‘සාගරයක් මැද’ චිත්‍රපටය ඔහුගේ ප්‍රථම සිනමා නිෂ්පාදනය වීමද සුවිශේෂීය.

සරසවිය සම්මාන ලබා - වම්පස කෙළවරේ සිටින්නේ ආනන්ද අබේනායක

* කලා ජීවිතයේ ප්‍රථම සම්මානය ලෙසින් සරසවිය සම්මානය ලැබූ අවස්ථාව යළිත් සිහිපත් කරමු?

මම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න බොහොම කැමැත්තෙන් හිටියේ. ඒ අනුව ලද අවස්ථාවෙන් කළ ප්‍රථම නිර්මාණ කාර්යය සරසවිය වැනි සම්මාන උලෙළකින් ඇගයීම මගේ කලා ජීවිතයට සාර්ථක මඟක් පෙන්නුවා. ප්‍රථම නිෂ්පාදනය නිසා සම්මාන බලාපොරොත්තුවක් නම් හිනෙකවත් තිබුණේ නැහැ. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි එය පැවැත් වුණේ.

* ‘සාගරයක් මැද’ චිත්‍රපටය නිෂ්පාදනයට අවස්ථාව ලැබුණේ කොහොමද?

චිත්‍රපටයක් කරන්න තිබුණු ආසාව නිසාම දවසක් මම ගාමිණි ෆොන්සේකා හමු වෙන්න ගියා. ඒ වෙලාවේ ඔහු ඇහුවේ ආනන්ද දේශපාලනයට බයද කියලයි. මං මොකටද බය වෙන්නේ. මම කිසිම දේශපාලන පක්ෂයක ගැත්තෙක් නෙවෙයි. ඒ නිසා මං බය නැහැ කියලා කිව්වා. එහෙනම් දේශපාලනය තේමාකර ගත් චිත්‍රපටයක් කරමු කියලා ගාමිණි යෝජනා කළා. තිර පිටපත රචනා කළේ ධර්ම ශ්‍රී මුනසිංහ. ඒ අනුව ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘සාගරයක් මැද’ චිත්‍රපටය නිෂ්පාදනයට කරන්න මට අවස්ථාව ලැබුණා. සිංහල සිනමාවේ දේශපාලන කතාවක් පසුබිම්කර ගත් ප්‍රථම චිත්‍රපටය වුණෙත් ‘සාගරයක් මැද’ චිත්‍රපටය යි.

* සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සමඟින් එකට වැඩ කළ ඒ මතකය?

ගාමිණි එක්ක වැඩ කරන්න හරිම ලෙහෙසියි. ඒ වගේම වෙලාවට වැඩ කරන පුද්ගලයෙක්. ගාමිණීට හැමදේම පිළිවෙලට තියෙන්න ඕනි. මේ කාරණා සමඟින් ඉටු කෙරෙන කාර්යයක සාර්ථකත්වය අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. ඒ නිසා ඔහුත් සමඟ වැඩ කරන්න මට පහසුවක් වුණා.

සාගරයක් මැද චිත්‍රපටය

* ප්‍රථම නිෂ්පාදනය හොඳම නිෂ්පාදනයවීම ගැන මොකද හිතෙන්නේ?

ඒක මගේ කලා ජීවිතයේ ලද ප්‍රථම සම්මානයවීම ගොඩක් විශේෂයි වගේම එය මා ලද විශාල භාග්‍යයක්. සරසවිය සම්මාන උලෙළ කියන්නේ අපේ සිනමාවේ කලාකරුවන් අගයන්න තිබූ ඉහළම සම්මාන උලෙළක්. එතැනදී මගේ නිර්මාණ දායකත්වය ඇගයීම මගේ ඉදිරි කලා ජීවිතයට ලොකු ශක්තියක් ධෛර්යයක් වුණා. මම මගේ කාර්යය නිසි පරිදි ඉටු කළා. හරියට වැඩක් කළොත් කවදාවත් වරදින්න විදියක් නැහැ.

ඒ වගේම ‘සාගරයක් මැද’ චිත්‍රපටය වෙනුවෙන් දායක නළු නිළි කැළත් මට විශේෂයි. එහිදී මට පරම්පරා දෙකක් සමඟින් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ගාමිණි වගේම ටෝනි රණසිංහ, අයිරාංගනී සේරසිංහ, වීණා ජයකොඩි වැනි ප්‍රවීණයන් වගේම එදා සිනමාවට නවකයන් වූ ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි ‘සාගරයක් මැද’ චිත්‍රපටයට රංගන දායකත්වය දුන්නා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිත් එදා ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ නවක නළු පරපුර නියෝජනය කළා.

* එදා චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවිට තිබුණු අභියෝග මොනවාද?

අද වගේ නෙවෙයි ඒ කාලයේ තිබුණු ලොකුම අභියෝගය වුණේ දළ සේයාපට තමයි. අද නම් එහෙම නැහැ චිත්‍රපටයත් හදන්න ඕනෑ තරම් දියුණු නවීන තාක්ෂණය තියෙනවා. එදා එහෙම නැතුවත් චිත්‍රපටයක් නිෂ්පාදනය ඒ තරම් අපහසු කටයුත්තක් වුණේ නැහැ. දැන් වගේ ප්‍රදර්ශන පෝළිම් එදා තිබුණේ නැහැ. දළ සේයාපට ගැටළුව නිසා අපට ‘සාගරයක් මැද’ චිත්‍රපටය වර්ණ චිත්‍රපටයක් ලෙසින් කරන්න සිදු වුණා. අපේ රටේ නිෂ්පාදනය කළ සිව්වැනි වර්ණ චිත්‍රපටය වුණෙත් ‘සාගරයක් මැද’. ඒ වෙනකොට රූපවාහිනියේ බලපෑමක් නැති නිසා හෝල්වලට ඇවිත් චිත්‍රපට නරඹන්න පේ‍්‍රක්ෂකයන් තුළ ලොකු උනන්දුවක් තිබුණා.

* සම්මානීය වුණත් ඔබ සිනමාවෙන් දුරස් වුණේ රූපවාහිනිය නිසා ද ?

සාගරයක් මැද චිත්‍රපටයට පසුව මම ‘මාරුතය’ චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඉන් පසුව මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ. මම සිනමාවෙන් දුරස් වෙන්න රූපවාහිනියත් බලපෑම් කරන්න ඇති. මොකද අපේ රටට රූපවාහිනිය පැමිණීමත් සමඟ මම ඒ සමඟින් සම්බන්ධ වුණා. ඒ වගේම රූපවාහිනිය ප්‍රබල මාධ්‍යයක් විදියට ජනතාවට බද්ධ වුණා. නමුත් සිනමාවෙන් දුරස් වෙන්න වැඩි බලපෑමක් කළේ මම අධ්‍යක්ෂවරයෙක් වීමයි. ඉන් පසුව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක් ලෙසත් කටයුතු කිරීම මා සිනමාවෙන් දුරස් කළා.

* දැන් යළිත් සිනමා නිර්මාණයක් කරන්න හොඳ වෙලාව කියලා හිතෙන්නේ නැතිද?

මොකද නැත්තේ. ඇත්තටම එහෙම හිතෙනවා. රූපවාහිනියට විතරක් නෙවෙයි, සිනමාවට වගේම මම වේදිකාවටත් ගොඩක් ළෙංගතුයි. මම මුලින්ම වේදිකාවට පැමිණියේ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ඒකාධිපති’ වේදිකා නාට්‍යයෙන්. අනතුරුව ‘සාගරයක් මැද’ චිත්‍රපටය සමඟින් සිනමාවට සම්බන්ධ වුණා. මේ සෑම අවස්ථාවක්ම මගේ ජීවිතයේ ඉතාම සුවිශේෂ අවස්ථා. වැඩි කාලයක් රූපවාහිනිය සමඟ සම්බන්ධ වුණත් සිනමාව වගේම වේදිකාවත් මගෙන් දුරස් වුණේ නැහැ. නැවතත් සිනමා නිර්මාණයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. පසුගිය අවුරුද්දේ ඒ බලාපොරොත්තුව ඉෂ්ටකර ගන්න උත්සහ කළත් එය මඟ හැරී ගියා. මේ අවුරුද්ද ඇතුළතදීවත් කොහොම හරි ඒ සිනමා බලාපොරොත්තුව ඉටු කරන්න මම උත්සාහ කරනවා.