වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




bollywood

Bollywood

ආර්යන් සිනමාවට ෂාරුක් ගෙන් අගය කළ යුතු කතාවක්

දැන් මැදිවිය ගත කරන ජනප්‍රිය බොලිවුඩ් තරු කිහිප දෙනෙකුගේම දූ පුතුන් බොලිවුඩයට පැමිණි සිටිනවා. ඊළඟට ෂාරුක් ඛාන්ගේ පුතා ආර්යන් ඛාන් ළඟදීම සිනමාවට ගෙනෙන්නේ තමන් බව කරන් ජොහාර් පවසනවා.

ද්විතීය අධ්‍යාපනයෙන් පසුව ආර්යන් මේ දිනවල උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයක් සොයමිනුයි සිටින්නේ. ඒවගේම ඔහු බොලිවුඩය දෙසට හැරෙමින් සිටින බවත් ආරංචියි. එහෙම වුණත් බොලිවුඩයට එන්න පෙර දැනටමත් තමන්ගේ වැඩිමහල් පුතා ආර්යන්ටයි දියණිය සුහානාටයි ෂාරුක් ලොකු කොන්දේසියක් දාලා අවසන්.

අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරලා තමයි මේ දෙදෙනාටම සිනමාවට එන්න වෙන්නේ. මොකද තමන්ගේ දරුවන් උපාධිය ලබා ගැනීම ෂාරුක් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න දෙයක්. “මම නළුවෙක් වුණ නිසාවත් ෂාරුක් ඛාන් නිසාවත් මගේ දරුවන් සිනමාවට එන්න ඕනේ නැහැ. ඒක වැරදි අදහසක්. මම රඟපාන නිසා ඔවුන් රඟපාලා වැඩක් නැහැ. මුලින්ම ඔවුන් හොඳ අධ්‍යාපනයක් ලබාගන්න ඕනේ. ඔවුන් උත්සාහ කළ යුත්තේ, ඉන්දීය සිනමාව ඊළඟ තලයට ගෙන යන්නයි. මම ඔවුන්ට කියන්නේ ඉන්දීය සිනමාව ඔයාලගේ තාත්තා හොඳ තැනකට ගෙනාවා. ඒ නිසා දැන් ඉන්දීය සිනමාව ඉහළට ගෙන යාම අපේ පවුලේ වගකීමක් කියලයි” ෂාරුක් පවසනවා.

ආර්යන්ට වඩා සිනමාවට ගොඩක් කැමැති දියණිය සුහානා කියලත් ෂාරුක් පවසනවා. ඔවුන් රංගනයට කැමැති නම් මං සතුටුයි. ඔවුන් අකමැති නම් ඒත් මං සතුටුයි. ෂාරුක්ගේ අදහසයි.

අඳුර දුරලූයේ ඔබයි

හැංගි හැංගි වෙස් බැන්ද යුවළ බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් දැන් සමාජ වෙබ් අඩවිවල තමන්ගේ අලුත් ඡායාරූප ඇතුළත් කරන්නේ හරියට තරගයට වගෙයි. දැන් විවාහය අත ළඟ නිසා දෙන්නම ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නේ.

“මගේ ජීවිතයේ අඳුර දුරලූයේ ඔබයි
වේදනාව දුරලූයේ ද ඔබයි
මා කුණාටුවෙන් මුදවන්නේ ඔබයි
සූර්ය රශ්මිය, වර්ෂාව හරහා
ඔබ මා ගෙන යයි . . .
මට සාමය ළඟා කරන්නේ ඔබයි
මා ආදරයෙන් නහවන්නේ ඔබයි
මගේ දිවියේ හැම මොහොතකම
වාසනාව ගෙන එන්නේ ඔබයි
ජීවිතය කෙතරම් සුන්දර දැයි
පෙන්වන්නේද ඔබයි
ඇතැම් විට . . .
ගමන රළු වුණත්
දිගු වුණත්
ඔබ මගේ සහකාරිය යි
මගේ ආදරය යි
මගේ ආත්මීය බැඳීම යි
මගේ මිතුරිය යි
වචනයෙන් විස්තර කළ නොහැකි
පුද්ගලයා ඔබයි
පොරොන්දු වෙන්නම් . . .
ඔබ සමඟින් සිටින්නට
සදහටම සහ තවත් එක් දිනක්”
මේ අපූරු නිසඳැස කරන් රචනා කළේ බිපාෂා වෙනුවෙන්.

මාගේ ප්‍රණේ අයියා වේ මෙලොව සමානා මා දැන් බඳිනා නූලේ බලය නොකැඩේවා

හොර රහසේ කළ විවාහයෙන් පසු ප්‍රීති සින්ටා ගැන බොලිවුඩයේ වැඩි කතාබහක් ඇති වුණේ නැහැ. අමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරිකයෙකු වන ජීන් ගුඩ්ඉනෆ් සමඟින් විවාහ වූ ප්‍රීති වැඩි ප්‍රසිද්ධියක් නැතුවම මේ දිනවල ඉන්දියාවට පැමිණ සිටිනවා.

“මම පෞද්ගලිකත්වය ඉහළින්ම අගය කරන කෙනෙක්. මාධ්‍ය පසුගිය කාලයේ මං ගැන ගොඩක් දේ ලියලා තිබුණා. ඒත් ඒ හැමදේම ඇත්ත නොවෙයි. නමුත් ඒ කිසි දෙයක් මට බාධාවක් නෙවෙයි. ඇතැම් අය බ්‍රෙට් ලී සහ යුවරාජ් සිංට මාගේ නම සම්බන්ධ කරලා පුවත් මැව්වා. ඒක නම් මට රිදුනා. ඔවුන් මට සහෝදරයන් වගේ. යුවරාජ් වගේම ලීට මම රාඛි සහ රක්ෂා බන්දන් කරනවා. දැන් මම ඇවිත් ඉන්නේ ඒ වෙනුවෙන්” ප්‍රීති පවසනවා.

යුවරාජ්ගේ විවාහයත් ළඟදීම පවත්වන්න සූදානම්ලු. ඒ වෙනුවෙන් ප්‍රීති යුවරාජ්ට දෙන්නේ රාඛි පිරවූ පෙට්ටියක්ලු. යුවරාජ් සහ ප්‍රීති සම්බන්ධ කරමින් පුවත් මැවූ අයට ඇය කියන්නේ “අපි අතර ලොකු බැඳීමක් තියෙනවා.

යුවරාජ් කියන්නේ අපේ කණ්ඩායමේ කොටසක්” කියලයි. අපට නම් මේ කතාව ඇහුවාම සිහි වුණේ සිංහලෙන් දෙබස් කවා තිරගත කළ ‘චෝටි බෙහෙන්’ චිත්‍රපටය ආරම්භයේ ගැයෙන “මාගේ ප්‍රණේ අයියා වේ මෙලොව සමානා - මා දැන් බඳිනා නූලේ බලය නොකැඩේවා” ගීතය යි.

ලකුණු ගත්ත කටකතා

චිත්‍රපට අධ්‍යක්ෂ කබීර් ඛාන් චිත්‍රපටයකට කත්‍රිනා කයිෆ් වෙනුවට වෙන කෙනෙක් යෝජනා කිරීම නිසා රණ්ඩුවක් ඇති කරගත් බවට මේ දිනවල කටකතා පැතිරෙනවා.

මේ කටකතාව වෙනුවෙන් උත්තර බැන්දේ කබීර්වත් කත්‍රිනාවත් නෙවෙයි, කබීර්ගේ බිරිය මිනි මථුරා. “ඒ කතාව ඇත්ත නොවෙයි. මේ කටකතාව නිර්මාණය කළ අයට හොඳට ලකුණු දා ගන්න පුළුවන්” මථුරා පවසනවා.

කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ ‘ෆැන්ටම්’ චිත්‍රපටයේ කත්‍රිනා රංගනයෙන් දායක වුණා. ලෙබනනයේ බිරූට් හි රූගත කිරීම් කරන විටදී කත්‍රිනාට දැඩි රස්නට දරාගන්න නොහැකි වුනත් චිත්‍රපට කණ්ඩායමට දීපවාලි උත්සවයට ඉන්දියාවට ඒම වෙනුවෙන් කැප වෙමින් රංගනයේ නිරත වූ බව පැවසුණා. “මේ කතාව බොරු කතාවක්” කබීර් පවසනවා.

මමී අලුත් වෙලා තවත් බොලිවුඩ් තරුවක්

දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රාගෙන් පසුව හොලිවුඩ් යන තවත් බොලිවුඩ් නිළියක් ගැන ආරංචි වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි හුමා කුරේෂි. ඇය ‘බද්ලාපූර්’, ‘දේද් ඉෂ්කියා’, ‘ගැංග් ඔෆ් වසිපූර්’, ‘ඩී-ඩේ’ වැනි චිත්‍රපටවලට දායක වුණා.

සුපසිද්ධ චිත්‍රපට ත්‍රිත්වයක් වූ The Mummy ප්‍රතිනිර්මාණය වෙනුවෙන් තිර පරීක්ෂණයට හුමා සහභාගි වෙලා. මේ නිසා බොලිවුඩෙන් හොලිවුඩයට යන අලුත්ම තරුව වෙන්නේ හුමා කියලයි කියවෙන්නේ.

The Mummy නව චිත්‍රපට මාලාවට පැරණි නළු නිළියන්ගේ දායකත්වය නොලැබෙන බවත් සඳහන්. ටොම් කෲස් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි දුෂ්ට චරිතයට පණ පොවන්නේ සොෆියා බුටෙලා. හුමාට ලැබෙන්න නියමිතව තියෙන්නේ ටොම් කෲස්ගේ පෙම්වතියගේ චරිතය යි.

මේ අවස්ථාව හරි ගියොත් ඇයටත් හොලිවුඩයේ හොඳ ආරම්භයක් තියේවි.