වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




බය වෙච්ච තරම

බය වෙච්ච තරම

උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම සිනමා නිර්මාණය තමයි බන්ධනය. ඔහු ඒ සඳහා පාදක කොට ගත්තේ යාග හෝම, හදි හූනියම්, දිෂ්ඨි, පිල්ලි පිළිබඳ ලංකාවේ ජන සමාජයේ අප අසා ඇති භයංකාර සිද්ධි රැසක් ඇතුළත් කතා පුවතක්. මේ කියන්න හදන්නේ බන්ධනයෙහි සංගීතය යොදන්න ගිහින් වෙච්ච රසවත් සිදුවීමක් ගැන කතාවක්. මෙහි සංගීතය පටිගත කිරීම් තිබුණේ හෝමාගම පිහිටි හේමලාල් ගීතදේවගේ ශබ්දාගාරයේ.

එක්තරා දිනෙක පටිගත කිරීමක් සඳහා බටනළා වාද්‍ය ශිල්පියකු පැමිණ හිටියා. එයාගේ ගෙවල් තිබුණේ එතැන සිට කිලෝ මීටරයක් පමණ එහායින්. එදින ඔහුගේ වාද්‍ය කොටස ඉවර වෙද්දී රාත්‍රී එකට ආසන්නලු. වෙනදා වැඩ කොටස නිම කොට ඉක්මනින් ගෙදර දුවන කෙනා අද ගෙදර යන්න අදිමදි කරනවලු. හේමලාල් හිතලා තියෙන්නේ මෙයාට පවුලේ ප්‍රශ්නයක් ඇවිත් කියලා. නමුත් වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද, බන්ධනයෙහි දර්ශන කිහිපයක් දැකලා ඔහු හොඳටම බය වෙලා. ඒකයි මිනිහා ගෙදර යන්න බැහැ කියලා තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ හේමලාල් එදා මිනිහට නවාතැන් දුන්නලු.