වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




විෂය නොදැන වේශ නිරූපණයට පිවිසෙන අය අද වැඩියි

විෂය නොදැන වේශ නිරූපණයට පිවිසෙන අය අද වැඩියි

සංජය නිපුණආරච්චි

මේ ගෙවී යන්නේ ඔහුගේ වෘත්තීය දිවියේ සුවිශේෂී කඩ ඉමකි. සම්මානනීය අංග රචනා ශිල්පියෙකු ලෙස දශක දෙකකට වැඩි කාලයක සිට ඔහු සුරතින් වෙස් ගැන්වුණු නළු - නිළියන් අපමණය. සංජය නිපුනආරච්චි ලෙසින් ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රචලිත මේ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියා සමඟ යෙදුණු කතාබහකි මේ.

විසි පස් අවුරුද්දක් පුරා කලා ලෝකේ නළු නිළියන් වෙස් ගන්වනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ අභියෝගය ජය ගන්න ඔබට හැකි වුණා?

ඔව්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම මොනවද කරන්නේ කියා හිත හිතා ඉන්න මොහොතක එවකට වේදිකා, සිනමා හා ටෙලි නාට්‍ය කළ අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි මහත්තයා මට මුණ ගැහෙනවා. ඔහු මගේ නිවෙසට යාබදව තමයි පදිංචි වී සිටියේ. පසුව ඔහු නිෂ්පාදනය කළ 'සීතාවෝ' ඇතුළු වේදිකා නාට්‍යවලට මට දායක වෙන්න හැකි වුණා. 1988 සිට අනුර ශ්‍රීනාත් සමඟ වැඩ කරද්දී කුෂාන් අර්ජුනව දැන හඳුනා ගන්නට මට හැකි වෙනවා. ඒ මඟින් මට ඔහුගේ වේදිකා නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබෙනවා. 1993 වසරේදී ප්‍රවීණ අංග රචනා ශිල්පී ඉමල් ශානකව මට හඳුනා ගන්න ලැබෙනවා. ඔහු මඟින් මට අංග රචනා කලාවේ 'අ' යනු 'ආ' යනු උගෙනුමට ලැබෙනවා.

ඒ කොහොමද?

මට ඉමල්ගේ ගුරුවරයා වූ ප්‍රවීණ අංග රචනා ශිල්පි රංජිත් මතඟවීර හඳුනාගන්න ලැබුණා. මට ඔහුගේ ප්‍රධාන සහාය ශිල්පියා විදිහට අවුරුදු ගණනාවක්ම ඔහු යටතේ වේදිකා, ටෙලි නාට්‍ය හා චිත්‍රපටල වැඩ කරන්න ලැබුණා. වසර ගණනාවක් එහෙම කටයුතු කරන කොට ප්‍රධාන අංග රචනා ශිල්පියා විදිහට කටයුතු කරන්න මට චිත්‍රපට හා ටෙලි නාට්‍ය කිහිපයක්ම හිමි වෙනවා.

පළමුවෙන්ම ඔබ ප්‍රධාන අංග රචනා ශිල්පියා ලෙස දායක වූ නිර්මාණය මතකද?

ඔව්. ඒ 2000 වසරේදී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ 'පෙම් කැකුළ' චිත්‍රපටය. මම ප්‍රධාන අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කළේ එහි. එතැන් පටන් අද දක්වාම මම චිත්‍රපට හා ටෙලි නාට්‍ය බොහෝ ගණනක ප්‍රධාන අංග රචනා ශිල්පියා.

ඔබ සම්මානයට පාත්‍ර වූ අංග රචනා ශිල්පියෙක්?

ඔව්. 2003 වසරේදී මට මගේ කලා ගමන තවත් වෙනස් කර ගැනුමට අවස්ථාව හිමි වෙනවා. ඒ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක සරත් ධර්මසිරි හමුවීමත් සමඟ. ඔහුගේ 'ගිණි කිරිල්ලී' සිනමා නිිර්මාණයේ සිට ඔහු අධ්‍යක්ෂණය කළ 'භේරුණ්ඩ පක්ෂියා', 'බණ්ඩාර දෙයියෝ' වැනි චිත්‍රපට හා ටෙලි නාට්‍ය බොහොමයක ප්‍රධාන අංග රචනා ශිල්පියා වුණේ මම. මේ නිසාම බොහොමයක් සම්මාන උලෙළවලදී මගේ නම හොඳම අංග රචනයට හිමි සම්මාන සඳහා නිර්දේශ වුණා වගේම 2006 දී 'භේරුණ්ඩ පක්ෂියා' චිත්‍රපටයේ අංග රචනය උදෙසා මට ජනාධිපති සම්මානය හිමි වුණා. 2014 දී 'බණ්ඩාර දෙයියෝ' ටෙලි නාට්‍යය සඳහා රයිගම් සම්මානය හිමි වුණා. මේ විදිහට ආ ගමන් මඟේ අදටත් මම වෘත්තීය අංග රචනා ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයේ කටයුතු කරනවා.

අංග රචනා ශිල්පියෙක් විදිහට ඔබ 'අංග රචනය' යන්න හඳුන්වන්නේ කොහොමද?

වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය කියන යම් කිසි කලා නිර්මාණයක යම් චරිතයක් නිරූපණය කිරීමට සූදානම් වන නළුවාට හෝ නිළියට යම් ආකාරයක ආහාර්ය අභිනයක් ලබාදීමට කටයුතු කිරීම තමයි අංග රචනයෙන් සිදු වන්නේ. අංග රචනා ශිල්පියා අතින් තමයි නළුවාගේ හෝ නිළියගේ චරිතය පණ පොවන්න ආහාර්ය අභිනය ලබා දෙන්නේ. එය ඔස්සේ රංග ශිල්පියාට චරිතය තුළට කාවැදී රඟ දැක්වීමට හැකියාව ලැබෙනවා.

ලංකාව වැනි රටක වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න ලැබීම ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාවේ මීට වසර ගණනාවකට පෙර තිබුණු අංග රචනා කලාව, එහි තත්ත්වය දැන් ගොඩක් දුරට වෙනස් වෙලා තිබෙන්නේ. එදා යුගයට සාපේක්ෂව අංග රචනයේ ශිල්පීය ක්‍රම, තාක්ෂණික භාවිතාව අද වෙනස් වෙලා තිබෙන්නේ. ඒ වගේම අද මේ ක්ෂේත්‍රයට එක්වෙන පිරිස වැඩි වෙලා තිබෙනවා.

ඒ තුළ ක්ෂේත්‍රයේ ගැටලු මතු වී නැද්ද?

බොහොමයක් ගැටලු නිර්මාණය වෙලා තිබෙනවා. ඉන් ප්‍රධානම දේ තමයි හුඟ දෙනෙක් මේ අංග රචනා කලාවට එන්නේ විෂය ගැන දැනීමක් නොමැතිව. අද විෂය දැනුම නැතිව අංග රචනය කරන්න සහාය දෙන අය වැඩි දවසක් යන්න කලින් කොස්මෙටික්ස් ටිකක් අරගෙන තව තව අවශ්‍ය දේවල් අරගෙන ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගන්නවා. මම දකිනවා ඒ තුළ ඇත්තටම මේ වෙනකොට ලංකාවේ අංග රචනා කලාව ගොඩක් දුරට පහළ මට්ටමකට වැටීගෙන යන ලකුණු ඇතිව තිබෙන බව. විෂය ඉගෙනීමකින් තොරව ක්ෂේත්‍රයට එන අය නිසා අපි ඇත්තටම හරිම අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. මුදල් පැත්තෙන් බැලුවත් අද වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර නොගෙන අඩු මුදලකට වැඩ කරන පිරිසක් ඇති වී තිබෙනවා. එය ක්ෂේත්‍රයේ ඉදිරියට ගිය අයට අසාධාරණයක් වෙනවා.

මෙගා නාට්‍යයක් අල්ල ගත්තොත් අද අංග රචනා ශිල්පියා ගොඩ නේද?

වර්තමානයේ ඇති වී තිබෙන මෙගා නාට්‍ය රැල්ලත් අංග රචනා කලාවේ පසුබෑමට වගකිව යුතුයි. විශේෂයෙන්ම මේ නාට්‍ය ඔස්සේ ඇති වි තිබෙන වේශ නිරූපණය ඕනෑම කෙනෙකුට කරගන්න පුළුවන් කියා මතයක් ඇති වී තිබෙනවා. එයත් ක්ෂේත්‍රයේ මේ විෂය දන්න ප්‍රවීණයන් අපහසුතාවයට පත් කරන කරුණක්. කොහොම වුණත් එක් පැත්තකින් මෙගා නාට්‍ය නිසා වේශ නිරූපණයට යම් රුකුලක් ලැබුණත් අනෙක් පැත්තෙන් වෘත්තීය අංග රචනා ශිල්පියෙක් විදිහටත් මේ ක්ෂේත්‍රයට ආදරෙන් වැඩ කරන කෙනෙක් විදිහටත් මට දැනෙන්නේ මෙගා නාට්‍යවල යම් අංග රචනා ශිල්පියෙක් එක දිගටම වැඩ කළොත් වෘත්තීය පැත්තෙන් වගේම නිර්මාණාත්මක පැත්තෙනුත් පහළට යනවා කියන දෙයයි.

අංග රචනා ශිල්පීන් විදිහට ක්ෂේත්‍රයට එක්වන්නට සූදානම් වන තරුණ තරුණියන්ට කියන්නට දෙයක් ඔබ සතුව ඇති?

මම කියන්නේ අංග රචනා ශිල්පියෙක් විදිහට මේ ක්ෂේත්‍රයට එනවා නම් අංග රචනය හා රූපලාවණ්‍ය කියන දෙක අතර වෙනස වටහා ගන්න. එය එකක් නෙමේ දෙකක් කියා අවබෝධ කර ගන්න. අද ක්ෂේත්‍රයේ රූපලාවණ්‍ය ශිල්පීන් අංග රචනා ශිල්පීන් බවට පත් වෙලා තිබෙනවා. ලොකුම ව්‍යවසනය වෙලා තියෙන්නේ එයයි. මඟුල් ගෙදරකට යාම එකක්. ටෙලි නාට්‍යයක, චිත්‍රපටයක රඟපෑම තව එකක්. චරිතයක් කියන්නේ එක දෙයක් . මේ දේ නවකයන් අවබෝධ කර ගත යුතුයි. අනෙක මේ විෂය ගැන හදාරා දැනුම ලබා තිබීමත් ඉතාම අවශ්‍යයි. අපි මේ ක්ෂේත්‍රයට එන විට අපට ඉගෙන ගන්න උසස් තැන් තිබුණේ නැහැ. නමුත් අපි අදටත් මේ විෂය ගැන උනන්දුයි. විවිධ ක්‍රමවලින් සහ පොත්පත් ඇසුරින් වැඩිදුර හැදෑරීම් කරනවා. ඒ වගේම මේ විෂයට ආදරේ කළ යුතුයි. කැපවීම, උනන්දුව, ඉවසීම ඉතාම වැදගත්. මේ විෂයට ඒ වගේම මගේ විසිපස් අවුරුදු වෘත්තීය ජීවිතය තුළ මම කවදාවත් පරක්කු වෙලා මේකප් ටේබල් එකට ඇවිත් නැහැ. කවුරු පරක්කු වුණත් මම වෙලාවට වැඩ කළා.

අංග රචනා කරන්න ගිිහින් මුහුණ දීපු අමතක නොවන සිදුවීමුත් ඇති?

තුසිත ද සිල්වා අධ්‍යක්ෂණය කළ 'උත්තමාවී' ටෙලි නාට්‍යයේ ප්‍රධාන අංග රචනා ශිල්පියා වුණේ මම. මේ ටෙලි නාට්‍ය රූගත කළේ ගල්ගමුව ප්‍රදේශයේ. ඒ පළාත නිතර දෙවේලේ වල් අලි සැරිසරන ප්‍රදේශයක්. කොහොම හරි අපිට වේශ නිරූපණය කරන්න ලැබුණු ගෙදර ඉඳලා කිලෝ මීටර් 1/2 ක් විතර දුරකින් තමයි දර්ශන රූගත කරන තැන තිබුණේ. හේනක රාත්‍රී දර්ශනයක් තමයි රූගත කරන්න තිබුණේ. මම නළු නිළියන්ව මේකප් කරලා ඔවුන් ඔක්කොම රාත්‍රී 9.00 ට විතර දර්ශන තලය තිබූ තැනට ගියා. පස්සේ මමත් තනිවම කරුවලේ රාත්‍රී 10.00 ට විතර එතැනට අපි වේශ නිරූපණය කළ ගෙදර ඉඳන් යන්න පිටත් වුණා. නිවැසියන් මට කිව්වා පරිස්සමෙන් යන්න. අලි එන්න පුළුවන් කියලා. මගේ හිතෙත් තරමක බියක් තිබුණත් මම එය සඟවාගෙන ගියා. මඳක් දුර යද්දී මට ඇහෙනවා මනුස්සයෙක් කෑ ගහනවා 'තනිය එනවෝ' කියලා. මම ටිකක් නැවතිලා ඉඳලා ඇහුම්කන් දුන්නා. සද්දේ නැවතුණා. මම ආයෙත් සෙට් එකට යන්න පිටත් වුණා. මෙන්න ඒ පාර ළඟ ළඟ ඇහෙනවා 'තනිය එනවෝ! තනිය එනවෝ!! කියලා. මට දෙලෝ රත් වුණා. මම අනිත් පැත්ත හැරුණු හැටි මතක නැහැ. පණ එපා කියලා අපි වේශ නිරූපණය කරපු නිවෙසටම කෑගහගෙන පැනලා දිව්වා. බලන කොට මට ඇහිලා තියෙන්නේ දර්ශනය රූගත කරන හඬ. සුමින්ද සිරිසේන හේන රකින කොට අලිය එනව කියලා තමයි කෑගහලා තියෙන්නේ. පස්සේ මේ සිදුවීම හැමෝටම විනෝදයක් ගෙන දෙන සිදුවීමක් වුණා. ටී. වී. වැඩසටහන්වලදී පවා අදටත් සමහරු මේ ගැන කියමින් හිනා වෙනවා.

අංග රචනා ශිල්පීන් විදිහට ඔබ මුහුණපාන වාත්තීමය ගැටලු මොනවාද?

ලංකාවට සාපේක්ෂව විශේෂයෙන් විදෙස් සිනමාව ගත්තම ඒවාගේ අංග රචනය ඉතාම දියුණු තලයක තිබෙනවා. අපට ඒ තත්ත්වය ළඟා කර ගැනීමට තිබෙන ප්‍රධානම ගැටලුව තමයි මුදල්මය ප්‍රශ්නය. අද වන විට බද්ධ වේෂ නිරූපණ කලාව කලාවේ බොහෝ තැන්වලට ඇවිත් තිබෙනවා. ලංකාවෙත් ඒක කරන අය ඉන්නවා. අපටත් ඉදිරියට එන පිරිසටත් ඒ දැනුම අවශ්‍යයි. මේවා ළඟා කරගන්න ඉගෙන ගන්න තැන් අප රටට අවශ්‍ය බව මගේ හැඟීමයි.

ක්ෂේත්‍රයේ කටයුතු කරද්දී ඔබ හැඩගන්වන නළු නිළියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මම මේ ක්ෂේත්‍රයට පය තබන්නේ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීරයන් ළඟ වැඩ කරමින්. ඒ කාලයේ සිට තනිවම වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කරන්න ගත් විටදී පවා මට ක්ෂේත්‍රයේ නළු නිළියන්ගෙන් කිසිම ගැටලුවක් මේ දක්වා මතු වෙලා නැහැ. අද රූගත කිරීම් සඳහා භාවිතා කරන කැමරා දියුණුයි. ඒ කැමරාවලට උචිත විදිහට අපි අංග රචනය කළ යුතුයි. අනෙක් තාක්ෂණික ශිල්ප ක්‍රම දියුණු වෙනවා සමානව අපේ හැකියාවත් අපි දියුණු කර ගත යුතුයි. මම මුලින්ම වැඩ කළේ දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක වැනි ප්‍රවිණයන් සමඟ. අද නව පරපුර සමඟත් මම ඉතා සුහදව වැඩ කරනවා. අනිවාර්යෙන්ම මේ මොහොතේ ජැක්සන් ඇන්තනී කලාකරුවාව මතක් කළ යුතුයි. 'බණ්ඩාර දෙයියෝ' ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරද්දී මට ඔහු වෙස් ගන්වන්න සිදු වුණා. ඔහු මගේ විෂයට පුදුමාකාර දැනුමක් සහයෝගයක් මට ලබා දුන්නා. මේ වගේ අය නිසා අපිට අපේ විෂය ගැන හැමදාමත් හදාරන්න ආසාව, උනන්දුව ඇති වෙනවා.

ඔබේ පෞද්ගලික තොරතුරුත් දැනගන්න කැමැතියි?

මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. තවම ඒ අය පාසල් යන්නේ නැහැ. ඉතාම සතුටින් හොඳ පවුල් ජීවිතයක් මම ගත කරනවා. පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය අගය කරනවා.