වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීත අධිරාජ්‍යයේ ඔටුනු පලන් කුමාරයා

සංගීත අධිරාජ්‍යයේ ඔටුනු පලන් කුමාරයා

PRINCE 1958-2016

1958 වර්ෂයේ ඇමෙරිකාවේ මිනිසෝටා ප්‍රාන්තයේ 'අප්‍රිකානු ඇමෙරිකානු' දෙමවුපියන්ට දාව උපත ලැබූ 'ප්‍රින්ස්' ගේ සම්පූර්ණ නම ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් ය. කුඩා කල සිටම සංගීතයට ලැදියාවක් දැක්වූ ඔහු, සිය ප්‍රථම ගීතය රචනා කර තිබුනේ හත් වැනි විය තරම් ළාබාල කාලයේදීයි. ප්‍රින්ස් ගේ ප්‍රථම ජනප්‍රිය ගීත එකතුව වූයේ ඔහු 1978 වසරේ එළිදැක්වූ 'ෆෝ යූ' (For You) ගීත එකතුවයි.

‘ෆන්ක්’, ‘රිදම් ඇන්ඩ් බ්ලූස්’, ‘රොක්’, ‘පොප්’ සහ ‘නිව් වේව්’ යන සංගීත ප්‍රභේද සියල්ලකම පුරෝගාමී මෙහෙවරක් කළ ප්‍රින්ස් ගායකයෙක්, ගීත රචකයෙක්, විවිධ සංගීත භාණ්ඩ වාදකයෙක්, සංගීත නිෂ්පාදකවරයෙක් පමණක් නොව රංගන ශිල්පියෙක්ද ලෙසද ජනප්‍රියත්වය උසුලන අතර, කලින් කලට 'ජේමී ස්ටාර්', ‘ඇලෙක්සැන්ඩර් නෙවර්මයින්ඩ්’, ‘ජෝයි කෝකෝ’ යන විවිධ නම් වලින් පෙනී සිටියා.

සංගීත ලොව නව නිර්මාණකරුවෙක් ලෙස හැඳීන්වෙන ප්‍රින්ස් සිය මුල් කාලයේදී ක්ෂේත්‍රයේ ඉහලටම පැමිණියේ 'වයි යූ වොන්න ට්‍රීට් මී සෝ බෑඩ්', 'අයි වොන්න බී යුවර් ලවර්', ඩර්ටි මයින්ඩ්', 'කන්ට්‍රොවර්සි', සහ '1999' යන ගීත එකතු සමඟින්.

'වෙන් ඩොව්ස් ක්‍රයි', 'කිස්', 'පර්පල් රේන්', 'ලේට්ස් ගෝ ක්‍රේසි', 'ලිටල් රෙඩ් කොවර්ට්' ආදී වශයෙන් ඇති ජනප්‍රිය ගීත බොහොමයක් ප්‍රින්ස් ගායනා කළ අතර ඉහත පළමු ගීත ත්‍රිත්වයේ පමණක් අලෙවි වුණු ඩිජිටල් පිටපත් ගණන පමණක් මිලියනය ඉක්මවා තිබෙනවා. ගීත ඇල්බම 30ක් එළි දක්වා ඇති ප්‍රින්ස් ගේ එදා මෙදා තුර අලෙවි වූ සංගීත තැටි, කැසට් සහ ඩිජිටල් පිටපත් සංඛ්‍යාව මිලියන සියය ඉක්මවා ඇති බවත් වාර්තා වෙනවා. මේ අතරින් 'පර්පල් රේන්', ඩයමන්ඩ්ස් ඇන්ඩ් පර්ල්ස්' ඉතාමත් ජනප්‍රිය ගීත එකතුවන්ය. 'පර්පල් රේන්' හි සංගීතය වෙනුවෙන් ඔහු 1985 වසරේ ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

ඇතැම් සංගීත විචාරකයින්ගේ අදහස නම්, ප්‍රින්ස් සංගීත ලොව තරුවක් පමණක්ම නොව ඔහු ස්වකීය අධිරාජ්‍යයක් ගොඩනඟා ගෙන ඇති බවයි. ඔහු වටා සිටින රසික පිරිස ඔහුට බලවත් ආකර්ෂණයක් දක්වන අතර, ඇති දක්ෂ සංගීතවේදියකු වීම, නව්‍ය සංගීත නිර්මාණ බිහිකිරීම, ඔහු සමඟින් සිටි කණ්ඩායම ආදිය හේතු වූ බවටත් විචාරක අදහස් දක්වනවා. සිය සංගීතය විශාල රසිකයින් පිරිසක් වෙත එකවර ගෙන යාමට චිත්‍රපට හොඳ ප්‍රවේශයක් බව ප්‍රින්ස් විශ්වාස කළ දෙයක්. එසේම සිය ගීත එකතුවන්හි රාගය සීමාවන් ඉක්මවා යොදාගත් බවටත් චෝදනාත් නැතුවාම නොවේ.

මයිකල් ජැක්සන්, මැඩෝනා වැන්නවුන් තරමටම බටහිර සංගීත ලෝකයේ ජනප්‍රියත්වයක් උසුලන ප්‍රින්ස් 2001 වසරේ සිට 'යෙහොවාගේ සාක්ෂිකරුවකු' වූවා. කෙසේ වෙතත් ප්‍රින්ස් ගේ පුද්ගලික ජීවිතය එතරම් සාර්ථක නොවන බවත් කිව යුතුයි. කිම් බසින්ගර්, මැඩෝනා, වනිටි, ශීලා ආදී බොහෝ සංගීතවේදිනියන් සමඟින් සම්බන්ධතා පැවැත්වූ ප්‍රින්ස්, 1996 වැලන්ටයින් දිනයේදී සිය සහාය ගායිකාවක් වූ මෙටි ගාසියා හා විවාහ වූවා. ඔවුන්ට පිරිමි දරුවෙක් ලැබුණු අතර ඔහු දුර්ලභ ජාන රෝගයකින් පීඩා විඳ දින හතක් වැනි කෙටි කලකින් මිය ගියා. 1999 දී ප්‍රින්ස් සිය බිරිය ගාසියාගෙන් දික්කසාද විය.

පසුගිය 7 වැනිදා සිය සංචාර දෙකක්ම කල් දැමූ ප්‍රින්ස්, 'ඉන්ෆ්ලුවන්සා' රෝගයෙන් පීඩා විඳීන බව දන්වා තිබූණි. අප්‍රේල් 14 වැනිදා කළ දැනුම් දීමකින් පසුව, ස්වකීය පුද්ගලික ජෙට් යානයෙන් සිය උපන් බිම වෙත යන ගමනේදී හදිසි ප්‍රතිකාරයක් සඳහා ඉලිනොයිස් හි නවතා තිබුණු අතර, අප්‍රේල් 21 වැනිදා ඔහුගේ නිවසින් පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුණේ ඔහු මියගිය බවයි. ලෝක ප්‍රකට මෙම ගායකයාගේ හදිසි වියෝව බොහෝ රසිකයින් මෙන්ම සංගීතවේදීන් කම්පනයට පත් කළා.

මිනසෝටාහි පෙස්ලි පාර්ක් මන්දිරයේදී අවසන් හුස්ම හෙළූ මෙම බටහිර ලොව පෙරළිකාර පොප් ගායකයාගේ අවසන් කටයුතු මිනේපොලිස් හිදී පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඔහු වේදනා නාශක පෙති පමණ ඉක්මවා ලබාගෙන ඇති බවටත් කටකතා පැතිරුණා. ඔහුගේ දේහය ආදාහනය කෙරුණු අතර මරණයට හේතුව තවමත් අනාවරණය වී නැත.