වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ලිමිට් එකට ඇඟ පේන්න අඳිනවා

මගේ ලිමිට් එකට ඇඟ පේන්න අඳිනවා

වෙබ් අඩවිවල පුවත් මවන පියුමි හංසමාලී

කලාවෙන් ලැබෙන මුදල් මට ගෑවෙන්නත් මදි
මගේ ළමයට මම කිස් දෙන්නේ නැතුව අල්ලපු ගෙදර ළමයට කිස් දෙන්නද?
පුතා නළුවෙක් වෙන්න හැදුවොත් ඒකට මම ඉඩ දෙන්නේ නැහැ

පියුමි හංසමාලි පුවත් මවන්නියකි. ඇය කුමන අන්දමේ සේයාරුවක් අන්තර්ජාලයට එක් කළ ද එයට ලැබෙන ප්‍රතිචාරයන් නිමක් නැත. ඇතැම් අයකුට පියුමි ගසකට නැංගත් ඒකත් ගොසිප් එකකි. ඒතරම්ම ඇය ෆේස්බුක් වැනි සමාජ ජාලාවන් තුළ ජනප්‍රිය චරිතයකි. අපි ඒ පියුමිට ප්‍රශ්න මාලාවක් මෙලෙස යොමු කළෙමු. ඇය ඒවාට මෙසේ පිළිතුරු දුන්නාය.

පළමුව කියන්න ඔබේ රඟපෑම් කටයුතු ගැන?

අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ මෝදර බඹරු කියලා ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒකෙ ෂූටිං ඉවරයි. ඊට අමතරව වෙන වැඩක් කළේ නැහැ.

මෝදර බඹරුහි ඔබේ චරිතය මොකක්ද?

රෝසි.

කවුද රෝසි කියන්නේ?

වෙස්ටන් තරුණියක්. ඒත් සරල කෙනෙක්.

හරියට ඔබ වගේ?

ඇත්තම කිව්වොත් රෝසි මගේම චරිතය වගේ. මං අමුතුවෙන් රඟපෑවේ නැහැ. මං මගේ චරිතෙ කරලා දීලා ආවා.

ඔබ ගැන ඇයි මෙතරම් ගොසිප් හැදෙන්නේ?

අනේ මන්දා. මට මගේ ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නත් බැහැ. ඒකත් ගොසිප් එකක්. මොන විදිහක ෆොටෝ එකක් ගත්තත් ඒවා ඉබේම ගොසිප් වෙනවා.

ඉතින් ඔබ පුවත් මැවෙන පරිද්දෙන් නොවේද ෆොටෝස් ගහන්නේ?

කොහෙත්ම නැහැ. මං ෆොටෝ ගන්නේ මටම අනන්‍ය වූ විදියට. මං ඒකේ වරදක් දකින්නේ නැහැ. නමුත් ඒක පිට ඉඳන් බලන අය එක එක කෝණවලින් බලනවා. මගේ ළමයට මං කිස් එකක් දීලා ෆොටෝස් දාන්නේ නැතුව අල්ලපු ගෙදර ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නයැ.

එම තත්ත්වය ඔබට කරදරයක් නොවෙයිද?

මං ඔය කිසි දෙයක් ඔළුවට අරන් කටයුතු කරන කෙනෙක් නෙවෙයි. ඒත් ඇතැම් අවස්ථාවලදී මට නිදහසේ ජූස් එකක්වත් බොන්න නැහැ. මිනිස්සු මාව වට කර ගන්නවා.

ඒ කියන්නේ වැඩිය නාට්‍යවල නොහිටියට පියුමි හරිම ජනප්‍රියයි?

ඔව්. එහෙම බලද්දී මං හරිම වාසනාවන්තයි. මං තවම ටෙලි නාට්‍යය දෙකක පමණයිි රඟපෑවේ. ඒත් අනෙක් මෙගා නාට්‍ය නිළියන්ට වඩා මා ජනප්‍රියයි.

ෆේස්බුක් වැනි සමාජ ජාල නැත්නම් ඔබ ජනප්‍රිය කෙනෙක් වෙන්නේ නැහැ කියලා කවුරුන් හෝ කිව්වොත්?

ඕකේ දෙපැත්තක් තියෙනවා. ඇතැම් විට මං ජනප්‍රිය නොවෙන්නත් තිබුණා. නමුත් ඉස්සර නිළියෝ ජනප්‍රිය වුණේ අන්තර් ජාලය නිසාම නෙවෙයිනේ. හැබැයි මට සමාජ ජාල නැතුව ඉන්න පුළුන්. මං ඒකටම ගැති වෙලා නැහැ.

වෙන වෙන දේවල්වලට ඔබට කමෙන්ට් ලැබෙන තරමට ඔබේ රංගන කටයුතු ගැන කමෙන්ට් ලැබෙන්නේ නැහැ නේද?

ඒකට ප්‍රධානම හේතුව මං නිළියක් කියලා වැඩි දෙනෙක් දන්නේ නැති කාරණය. අන්තර් ජාලයේ සැරිසරන බහුතරයක් ටී. වී බලන්නේ නැහැ. ඉතින් කොහොමද ඔවුන් මගේ රංගනය ගැන කමෙන්ට් දෙන්නේ.

ඔබගේ අඩ නිරුවත් ඡායාරූපයක් ඉතා සීග්‍රයෙන් හුවමාරු වුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

මං ඒකට නීතිමය පියවර අරගෙන තියෙන්නේ. ඒ හින්දා අපි ඒ ගැන කතා නොකර හිටියොත් හොඳයි.

ඔබ ඔය නොකියා කිව්වේ ඒ පින්තූරයේ ඉන්නේ ඔබ නෙවෙයි කියන කාරණයද?

ඔව්. ඒක හදපු පින්තූරයක්.

ඒ කියන්නේ ඔබගේ තරහකාරයෙක්ගේ වැඩක්?

ඇතැම් විට ඔය වගේ අනන්තවත් මගේ විකෘති කළ ඡායාරූප අන්තර් ජාලයේ තියෙනවා.

පියුමි සාමාන්‍යයෙන් ඇඟ පේන්න අඳින්න කැමැතියි නේද?

මගේ ලිමිට් එකට මං ඇඟ පේන්න අඳිනවා

මොකක්ද ඔබේ ලිමිට් එක?

ගේ ෆේස්බුක් එකට ගිහින් මගේ ෆොටෝස් බැලුවොත් මගේ ලිමිට් එක ගැන දැනගන්න පුළුවන් වේවි.

ඔබට අවුරුදු පහක පුතෙකු ඉන්නවා. කවදා හරි ඔහුව මේ ක්ෂේත්‍රයට එවන්න අදහසක් තියෙනවාද?

බුදු අම්මෝ නැහැ. මගේ එකම හීනය ඔහුව පයිලට් කෙනෙක් කරන එක. එයා කවදා හරි නළුවෙක් වෙන්න ඕනෑ කියලා කිව්වත් මම ඊට ඉඩ දෙන්නේ නැහැ.

ඔබගේ පුතා පාසල් ඇරලවන්නේ ඔබද?

නැහැ. මගේ අම්මා ඔහුව පාසල් ගෙනියනවා. මම කරන්නේ පුතාව ලෑස්ති කරලා දෙන එක විතරයි.

පුතා පාසලට ඔබගේ පුවත්පත් ලිපි ගෙනියනවා කියන්නේ ඇත්තද?

අනේ ඔව්. එයා හරි ආසයි මං ගැන පත්තරවල යනවට. ඒ ලිපි එකතු කරගෙන ළමයින්ට පෙන්නනවා. ඊළඟට එයාලා දෙන කමෙන්ට් මට කියනවා.

පියුමිට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට කතා කළොත් මොකක්ද දෙන උත්තරය?

කතා දෙකක් නැහැ මං ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. මට බැහැ එවන් වූ චිත්‍රපටයක රගපාන්න.

ඔබ දික්කසාද වුණා කියලා පසුගිය කාලේ තවත් කටකතාවත් පැතිරුණා?

මං මගේ පුද්ගලික ජීවිතය ගැන කතා නොකරන පැත්තක් තියෙනවා. ඔබ ඇහැව්වේ අන්න ඒ දේවල්වලට අදාළ කාරණයක්. මට කියන්න තියෙන්නේ මට එයට උත්තරයක් දෙන්න බැහැ කියන එක.

දිගින් දිගටම ඔබ මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නද කල්පනාව?

ලංකාවේ වියදම් සැරයි. කලාවෙන් ලැබෙන මුදල් මගේ වැඩ කටයුතුවලට ගෑවෙන්නත් මදි. ඉතින් මම හිතාගෙන ඉන්නවා තව ටික කලකින් මගේ පුතත් එක්ක විදෙස් ගත වෙන්න.