වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහයාට සමුගැනීමට අවසර නැත

සිංහයාට සමුගැනීමට අවසර නැත

මෙයට දශක හතරකට පමණ පෙරාතුව රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලකි. ප්‍රක්ෂේපණ අංශයේ සේවකයකු එහි නඩත්තු කටයුතු නිසි ලෙස නොකරන වගය. අධ්‍යක්ෂවරයා අදාළ පාර්ශවය කැඳවා පැමිණිල්ල විමසා බැලුවේය.

'ඒ වැඩේ කරන්න තනිව බෑ සර්. සර්ම දන්නවනේ ඒ ගැන. මට කවුරු හරි සපෝට් එකට දෙන්න. මම කරන්නම් සර්'

විත්තිකරු කියා සිටියේය.

'හරි තනියම කරන්න බෑනේ, හරියට පහට සපෝට් එකට කෙනෙක් එයි'. ඉන්න පුළුවන්ද?'

අධ්‍යක්ෂවරයාගේ යෝජනාව විත්තිකාර සේවකයා හිස සලා පිළිගත්තේය. පහේ කණිසම වැදිණි. කොට කලිසමක් ඇඳ ගෙන සහායට පැමිණි තැනැත්තා දුටු සේවකයාට ඉහ මොළ රත් විය.

'ඕක හරිගස්සන්න බලමු. ඔය කෑලි ටික ගලවමු'

යනුවෙන් පැවසූ සහායකයා ඉදිරියේ සේවකයා ඇඹරෙන්නට විය. හේතුව සහායට පැමිණ තිබුණේ අංශයේ අධ්‍යක්ෂවරයාය.

'නෑ සර් මට මේක පුළුවන්. ඉන්න මං කරන්නම්'

දවස් ගණනක් ඇදී ගිය වැඩක් පැය භාගයෙන් නිමා වූයේ දෙවැන්නකුගේ සහායක් නැතුවය. මේ අධ්‍යක්ෂවරයා ඩී. බී. නිහාල්සිංහයන්ය. මෙරට පුවත්පත් කලාවේ පතාක යෝධයකු වූ ඩී. (දියෝගු) බී. (බඩතුරගේ) ධනපාලයන්ට සහ විසල් ගණයේ කලා ශිල්පිනියක වූ රතී ධනපාල යුවළට දාව 1939 මැයි මස 27 වැනි දින උපත ලද ඩී. බී. නිහාල්සිංහයන් 2016 අප්‍රේ්ල් 21 වැනි දින එනම් පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන නිවසේදී පරලෝ සැපත් විය. ඒ දොස්තර කල්‍යාණිගේ දයාබර සැමියා හා මතීෂගේ පියාණන් හැටියටය. අනගි රතී නිසා ඔහු මුත්තනුවකුව ද සිටියේය. නිහාල්සිංහයන්ගේ බාල සොයුරිය සුමිතාය. සොහොයුරා ප්‍රවීණ කැමරා ශිල්පී අභාවප්‍රාප්ත ඩී. බී. සුරනිමලය. එමෙන්ම අංජලි නිහාල්සිංහයන්ගේ ලේලිය විය.

නිහාල්සිංහයන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පතාක යෝධයෙකි. ඒ උසට සරිලන මහතින් යුත් උත්තුංග දේහය නිසා පමණක් නොවේ. වැඩ කටයුතු ද සලකා බලමිනි.

සිනමා තාක්ෂණය නම් සිරුරෙහි වම් කනින් රිංගා සිරුර වටා හැම අස්සක් මුල්ලක් නෑර ගමන් කොට දකුණු කනින් එළියට එන්නට තරම් ඔහු සිනමා තාක්ෂණය ගැන දැන උන්නේය.

එමෙන්ම අතිශය විශිෂ්ට පරිපාලකයෙකු ඔහු සතු විය. සිනමාකරුවකු ලෙස ඔහුගේ කාර්යභාරයට වඩා ලාංකික සිනමාව වෙනුවෙන් ඔහු කළ මෙහෙය ඉමහත්ය. ඔහු හැම විටම පුරෝගාමියකු විය. නිහාල්සිංහයන් සතු විශිෂ්ටත්වය එයම විය.

එය එක්තරා ආකාරයකට චමත්කාරජනකය. දෛවෝපගතය. කඩවුණු පොරොන්දුව තිරගත කළ දින මංගල දර්ශනය නරඹන්නට තරම් ඔහුට වාසනාවක් තිබිණි. එදා රුක්මණී දේවිය රඟන රංජනීගේ චරිතයේ අඬෝවැඩියාව ඉවසා ගත නොහැකිව ගෙදරට යන්නට ඔහු කෑ ගැසුවේ රුක්මණීට යාබද අසුනක ඉඳ ගෙනය. හිතවත් ඩී. බී. ධනපාලයන්ගේ මේ හඬන පුතු පසු කලෙක ඔහුගේ සිනමා කැමරා ඇසට තමා හසු කරගනු ඇතැයි රුක්මණී සිහිනෙන්වත් නොසිතන්නට ඇත. කොළඹ ආනන්දයේ සිසුවකුව සිටියදී ඔහුගේ ඉලක්කය වූයේ හමුදා නිලධාරියකු වීමය. විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම වෙනුවෙන් ඉලක්කයට වෙඩි තැබූ ඔහු පාසලට හර්මන් ලූස් කුසලානය ද දිනා දුන්නේය. වරක් ආනන්දයේ ශිෂ්‍ය නායකයා ද ඔහුය. පාසල් විදුහල්පති ශාලාවේ ඇති දීප්තිමත් ආදි සිසුන්ගේ නාම පුවරු අතර නිහාල්සිංහයන්ගේ නම ස්ථාන දෙකක සඳහන් වෙයි. එකක් ශිෂ්‍ය නායකයකු හැටියටය. අනෙක ශිෂ්‍ය භට නායකයා හැටියටය. මේ ශිෂ්‍ය භට නාමාවලියේ සෙසු සාමාජිකයන්ගෙන් බහුතරය පසු කලෙක ත්‍රිවිධ හමුදාවේ මහ පුටුවලට හිමිකම් කීහ. එහෙත් නිහාල්සිංහයන් විශ්ව විද්‍යාලයෙන් නික්ම ගිය පසු එම ඉලක්කයෙන් බැහැර වෙයි.

ඔහු කැමරාවට පෙම් බඳිනුයේ ළමා වියේය. ඔහු මුලින් චලන චිත්‍ර කැමරාවක පහස ලබනුයේ ද එම වියේදීය. සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් මහතා නිහාල්සිංහයන්ගේ සිනමා කැමරාවට ඇති උනන්දුව දැක ඔහුට චලන චිත්‍ර කැමරාවක් තිළිණ කළේය. එකී තෙවැනි ඇස ලාංකික සිනමා ව්‍යාපාරයේ අයෝමය හස්තය වනු ඇතැයි ගුණරත්නම් කිසි විටෙකත් සිතන්නට නැත. 14 වැනි වියේදී ඔහු සිය සිනමා කැමරාවෙන් ‘නැටුම් පටුන’ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඒ ශ්‍රී ජයනාගේ නර්තන පන්තියක් පාදක කරගෙනය. තරුණ විය ඔහුගේ දෙවැනි කෙටි චිත්‍රපටය විය.

ඡායාරූපය - ශි‍්‍රයන්ත වල්පොල

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නිහාල්සිංහයන් එහි චිත්‍රපට සංගමය ආරම්භ කරන්නේය. එහි මුල්ම ලේකම්වරයා ඔහුය. එදා මුල්ම සභාපතිවරයා ලෙස පත් වූ ආචාර්ය සරත් අමුණුගම (වත්මන් අමාත්‍ය) පසු කලෙක චිත්‍රපට සංස්ථාව ආරම්භයේදී මුල්ම සභාපතිවරයා විය. ආචාර්ය අමුණුගම විශ්ව විද්‍යාල චිත්‍රපට සංගමයේ ලේකම්වරයා චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා වනු ඇතැයි සිතන්නට ද නැත. නිහාල්සිංහයන් නියඳ රටා නම් වාර්තා චිත්‍රපටයේ කැමරාව හා සංස්කරණය මෙහෙය වන ලද්දේ ද එම විශ්ව විද්‍යාල සමයේය. කාඩිෆ් අන්තර් ජාතික සම්මාන උලෙළේදී හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනූ භක්ති නිර්මාණය වූයේ අනතුරුවය. භක්ති මුල් සංස්කරණය කෙරුණේ නිවසේ කාමරයක පැදුරක් මතය.

මේ අවදියේම ජාත්‍යන්තර පුවත් සේවා රාශියකට චිත්‍රපට මඟින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියැළෙන්නට නිහාල්සිංහයන්ට හැකි විය. එබැවින්ම වියට්නාම් යුද්ධ වාර්තාකරණයට පිවිසෙන්නට ද ඔහු වරම් ලද්දේය.

ශ්‍රී ලංකාවේ මුල්වරට පුළුල් තිර සිනමාකරණයේ යෙදුණේ ද, කැමරාව හස්තගත කොට මෙයෙ වන ලද්දේ ද නිහාල්සිංහයන් විසිනි. ලේසියෙන් ආම්බන් කළ නොහැකි සිනමා කැමරාව නිහාල්සිංහයන්ට සෙල්ලම් බඩුවක් වැනි විය. මේ හස්තගත කැමරාකරණය එකල ප්‍රවීණයන්ට වහකදුරු විය.

ඔහු මුලින්ම වෘත්තාන්ත සිනමා කැමරාකරණයට එක් වූයේ සමනලයෝ චිත්‍රපටයෙනි. එය එළි දුටුවේ නැත. සත් සමුදුරට එක් වූයේ ඉන් පසුවය. දහසක් සිතුවිලි, පාරාවළලු, බිනරමලී ඔහු දායක වූ සෙසු චිත්‍රපට විය. මේ බොහෝ චිත්‍රපට සඳහා කැමරාකරණය, සංස්කරණය ආදී සියල්ලටම නිහාල්සිංහයන් දායක වීම විශේෂත්වයකි.

රජයේ චිත්‍රපට අංශයට නිහාල්සිංහයන් දායක වන්නේ ඒ අතරවාරයේය. ඔහු එයට පෙර චිත්‍රපට අංශය වෙනුවෙන් නිම්නයක හදවත වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබිණ. ඒ ගල්ඔය මිටියාවත පිළිබඳවය. මේ වාර්තා චිත්‍රපටයේ පසුබිම් කථනය ගාමිණී ෆොන්සේකාගෙනි. ගාමිණී එලෙස පසුබිම් කථනය මෙහෙය වූ එකම වාර්තා චිත්‍රපටය එය විය.

ලාංකික සිනමාවේ බිහි වු විශිෂ්ටතම චිත්‍රපට දහයෙහිලා ගැනෙන වැලිකතර ඔහුගේ මුල්ම වෘතාන්ත අධ්‍යක්ෂණයයි. එය මුල්ම පුළුල් තිර වෘතාන්ත සිංහල චිත්‍රපටය ද වෙයි.

නිහාල්්සිංහ නැමැති විශිෂ්ටයා දැවැන්ත ප්‍රතිරූපය ගොඩනැගෙනුයේ හැත්තෑව දශකය ආරම්භයේය. ඒ වනතරු ඔහු හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ යන කියමන සනාථ කරන්නෙකි. සම්ප්‍රදායක ඇලීගැලී නොඉඳ නිර්මාණකරණයේ නව මං සොයා යන වගක් ඔහු පළ කරයි. එහි වැදගත් සංසිද්ධිය වැලිකතරයි. වැලිකතර අද පවා නරඹන්නෙකුට එය අලුත් චිත්‍රපටයකට වඩා නැවුම් බව මගේ හැඟීමයි. සිනමා තිරයේ ඇස මොහොතකට හෝ ඉවතට නොගන්නට ඉඩ නොදෙන වැලිකතර ශාලාවේ අසුනක කෙළවරට ඔබ ගෙන එන්නේ නොදැනුවත්වය. තෙරක් නොපෙනෙන සුළඟ හා කාන්තාරයේ සංත්‍රාසය සමඟ කුතුහලය ද මිනිස් ජීවිත විසින් සඟවා ගන්නා ලද එකිනෙකාගේ ආත්මයන්ගේ නිරාවරණය ද, පරිපූර්ණ තිර රචනය ද (තිස්ස අබේසේකර) අඛණ්ඩ ක්‍රියාදාම පෙළ ද වැලිකතර සිනමාවේ ඉහළ තලයේලා සලකන්නට හේතු වෙයි. ගාමිණී ෆොන්සේකා ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු ලෙස හුවා දක්වන්නට වැලිකතර වුව ප්‍රමාණවත්ය.

ඊළඟ වසර කිහිපය තුළ නිහාල්සිංහයන් මතු වනුයේ නිර්මාණකරුවකු ලෙස නොව ලාංකික සිනමාවේ අනාගතය ගොඩනඟන්නා ලෙසය. මේ ලිපිය ආරම්භයේ සඳහන් වන රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ ධූරය එහි මුල් අවස්ථාවයි. රජයේ චිත්‍රපට අංශය වඩාත්ම සැලසුම් සහගත පරිපාලන ව්‍යුහයක් හරහා නිර්මාණශිලී තෝතැන්නක් බවට පත් වූයේ නිහාල්සිංහයන් විසින් එහි මුල් පුටුව හෙබ වූ තෙවසර ඇතුළතය. 1970 දී එනම් 31 වසරක තරුණයෙකුව සිටියදී චිත්‍රපට අංශය මෙහෙය වන්නට ඔහු සූදානම් වෙද්දී එහි සිටි බහුතරය ඔහුට වඩා වැඩිමල්ය.

හැදෙන ගහ -නිහාල්සිංහ ළමාවිය

එහෙත් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වමින් නිහාල්සිංහයන් කටයුතු කළේය. 1971 දි පාප්තුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය අළලා පැය කිහිපයක් ඇතුළත වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම නිහාල්සිංහයන්ගේ සැලසුම් හා ක්‍රියාත්මක කිරීම් ඔහුගේ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මනාව ස්ඵුට කළ අවස්ථාවකි. කැමරා නවයක් මඟින් රූ ගන්වමින් හා එක් එක් දළ සේයා පට, සංස්කරණ මැදිරි හතරක එකවර සංස්කරණය කරමින් හා එක් එක් රීලය මුද්‍රණය වෙමින් හා එම රීලය බැගින් සිනමාහලට ගෙන ඒමෙන් නිහාල්සිංහ එම හපන්කම කළේය. එම කටයුත්තට ඔහු තම පිරිස මෙහෙය විය.

ඔහු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ධූරයට පත් වන්නේ 1972 වසෙර්ය. ඔහු එහි මුල්ම සාමාන්‍යාධිකාරීවරයා විය. වසර 44 ක සංස්ථා ඉතිහාසයේ ස්වර්ණමය යුගය නිහාල්සිංහ යුගය බැව් අවිවාදාත්මකය. ඔහු එම භාරධූර කාර්ය කරන අවධියේ සංස්ථා බලතල පැවරුණේ සාමාන්‍යාධිකාරිවරයාටය. (නිහාල්සිංහ යුගයෙන් පසු එහි බලතල සභාපතිට පැවරිණ) චිත්‍රපට සංස්ථාව පිහිටුවීමේ හා ගොඩ නැඟීමේදී ඔහුට හුදු පරිපාලන නිලධාරියකුට වඩා දැවැන්ත අරගලයක් කරන්නට සිදු විය. එවකට මෙරට වැජඹුණු සිනමා සමාගම් හිමියන් ඇතුළු බොහෝ දෙනා ඔහුගේ ළමා කාලයේ පෞද්ගලික හිතවතුන් විය. මේ හිතවත්කම් ඔහුගේ රජකාරියට බාධාවක් නොවීය.

දේශීය චිත්‍රපටයක් පිළිබඳ අදහස පහළ වූ තැන සිට එය නිපදවා රටේ අස්සක් මුල්ලක් නෑර තිරගත කරවා ලබා ගත හැකි අන්තිම සතය ද උකහා ගත හැකි ක්‍රමවේදයක් එකල නිහාල්සිංහ ක්‍රමය යටතේ ක්‍රියාත්මක විණ. නිහාල්සිංහ යුගය පිළිබඳ විවේචන සමහරුනට නැතුවා නොවේ. චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිලා ‘බලපත්‍ර’ ලබා ගැනීම එබඳු එක් සිද්ධියකි. එහෙත් සමස්ත චිත්‍රපට කර්මාන්තය ගොඩ නැඟීම හා පවත්වා ගැනීම අරඹයා නිහාල්සිංහයන් විසින් ලබා දුන් අප්‍රමාණ ශක්තිය අද පවා මෙරට කර්මාන්තය ආරක්ෂා කර ගන්නා සුලු හෝ ක්‍රියාදාමයන්ට මහෝපකාරීව ඇත්තේය. හරි හෝ වැරැදි විය හැක. එහෙත් කොන්ද කෙළින් තබා තීන්දු ගත හැකි පරිපාලන නිලධාරියකු නිහාල්සිංහයන් සතු විය.

එමෙන්ම කලාකරුවකු ද ඔහු සතු විය. රාජ්‍ය හා පෞද්ගලික යුගය මැනවින් දෝලනය කරන්නට නිහාල්සිංහයන් සමත් විය. චිත්‍රපට සංස්ථාවේ ඔහුගේ කාර්ය විග්‍රහ කළ යුත්තේ එම යුගය ද පදනම් කරගෙනය. නිහාල්සිංහයන් සෙසු බලධාරීන් මෙන් තනතුරෙන් බැබලුණේ නැත. ඔහු තනතුර බැබල වූයේය. එතෙක් නිදල්ලේ සමාගම් අත වැජඹුණු කර්මාන්ත පාලනය රජයට පවරා ගත් සැණින් නැත්තටම නැති වී ගිය රටක සිනමා කර්මාන්තයට නව රටාවක් ලබාදීමට උත්සුක වීම පමණක් වුව ද ඔහු අගයන්නට සෑහේ. නිහාල්සිංහයන්ගේ මුළු ජීවිතයම සලකා බලද්දී එය සැලසුම් සහගතය. චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ධූරය භාර ගනුයේ රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ ධූරයේ සිට ද්විතික පදනම යටතේය. සංස්ථාව හැර පියා යන ඔහු යළි චිත්‍රපට අංශයට යන්නේ ද නැත. පාසලේදී ලබා ගත් හමුදා විනය ඔහු මුළු ජීවිත කාලය පුරාම රැක ගත්තේය.

1978 දී රාජ්‍ය චිත්‍රපට සංස්ථාව, ජාතික චිත්‍රපට සංස්ථාව බවට පරිවර්තනය කරද්දී එහි සාමාන්‍යාධිකාරී බලතල සභාපති ධූරයට පැවරිණි. නිහාල්සිංහයන් බස් රියක නැග ගෙදර ගියේ අවංකව සිනමාවට සේවයක් කරමිනි. මේ නිහාල්සිංහ යුගය යැයි ඉතිහාසයක් සටහන් කරමිනි. ඔහුගේ දෙවැනි වෘත්තාන්තය රිදී නිම්නය එළි දකිනුයේ එයින් පසුවය. පළමුවරට ලාංකික සිනමාවට පුළුල් තිර සිනමාව හඳුන්වා දුන් නිහාල්සිංහ මුල්ම වර්ණ පුළුල් තිර චිත්‍රපටයේ ද කැමරාව මෙහෙය වීය. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න නිර්මාණය කරන ලද කැලෑ මල් චිත්‍රපටයයි. කැලෑ මල් සම නිෂ්පාදිකාව තම ඊළඟ නිර්මාණයේ ප්‍රධාන නිළිය හැටියට තෝරා ගැනිණි. ඇය එම තෝරා ගැනීම තුළින් ඉස්මතු කරන ලද්දේ පළමුවරට හොඳම නිළිය ලෙස අන්තර් ජාතික සම්මානයක් ලංකාවට දිනා දීමෙනි. ඒ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටය උදෙසා අනෝජා වීරසිංහ දිනාගත් රජත මයුර සම්මානයයි. කෙළිමඬල නිහාල්සිංහයන් අවසන් වරට නිර්මාණය කරන ලද චිත්‍රපටයයි. එය වැඩිම සරසවිය සම්මාන දිනාගත් චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේය. කෙසේ වෙතත් වැලිකතරෙන් පසු චිත්‍රපට සංස්ථාව බාර ගැනීමෙන් නිහාල්සිංහ නම් විචක්ෂණ පරිපාලන නිලධාරියා ඉස්මතු වීමෙන්දෝ ඔහුගේ නිර්මාණ කෞශල්‍ය පසුබා ගිය වගක් පෙනෙන්නේ යැයි පැවසීම වරදක් නොවේ. එය ඕනෑම නිර්මාණකරුවකු පරිපාලන නිලධාරියකු වූ පසු සිදුවන්නකි.

රිදී නිම්නය තිරගත වන විට මෙරට සිනමාව එතෙක් මුහුණ දුන් දැවැන්ත අභියෝගයට මුහුණ දෙමින් උන්නේය. ඒ ටෙලිවිෂනය මෙරටට එබිකම් කළ යුගයයි. පරිවර්තික මිනිසකු වන නිහාල්සිංහයන් එම නවයුගයට එක්වන ප්‍රථම සිනමාකරුවා බවට පත් වනුයේ මෙරට මුල්ම ටෙලි නිෂ්පාදන සමාගම සීමාසහිත ටෙලි සිනෙ පිහිටුවාලමිනි. එයට පෙර වකවානුවක සිය මුල්ම රැකියාව ලෙස ලීවර් සහෝදර සමාගමේ සේවය කරමින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා දැන්වීම් රාශියක් හෙතෙම චිත්‍රපට මඟින් නිර්මාණය කර තිබිණි. එපමණක් නොව මෙරට මුල්ම දීර්ඝ ටෙලි වෘත්තාන්තය දිමුතු මුතු නිර්මාණය කළේ ද ටෙලි සිනෙ මඟිනි. රේඛා, සුදු සහ කළු, නදී ගීතය, සුළඟ ඔහුගේ සෙසු ටෙලි වෘත්තාන්තයි. සුදු සහ කළු ගාමිණී ෆොන්සේකා රඟපෑ එකම ටෙලි වෘතාන්තයයි. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේදී නිහාල්සිංහ පුරෝගාමියෙකි. එහෙත් එමඟින් කලාත්මක නිර්මාණ බිහි කළ හැකි වෙතැයි ඔහු අදහස් කළේ නැත.

වර්තමානයේ මෙරට ටෙලිවිෂන් කර්මාන්තයේ කවරකු ගැටුණ ද එයින් බහුතරය කොයියම්ම ආකාරයෙන් හෝ නිහාල්සිංහ සිසු පරපුරට අයත් වන්නේය. නැතහොත් ගෑවෙන්නේය. ඒ අද මෙරට විසිර සිටින ටෙලිවිෂන පරපුරේ බහුතරය ටෙලි සිනේ හරහා අත්පත් තැබුවන් වීමය. අද එහි නියැළෙන බොහෝ දෙනා නිහාල්සිංහයන් හැදූ පරම්පරාවෙන් පසු හැදුණු පරම්පරාවය.

දහසක් සිතුවිලි - හස්තගත කැමරාව

දේශීය සිනමාවේද, ටෙලිවිෂනයේද ඔහු වනස්පතියක් වැන්න. එය නිර්මාණකරණය අබිබවා ගිය එකකි. මෙරට පමණක් නොව මලයාසියාවේ ටෙලිවිෂන කර්මාන්තය සඳහා ද ඔහු ලබා දුන් දායකත්වය විශාල එකකි. අමෙරිකානු චලන චිත්‍ර ඉංජිනේරු ඇකඩමියේ සාමාජිකත්වය දැරූ එකම ලාංකිකයා ද නිහාල්සිංහයන්ය. ඔහුගේ පශ්චාත් උපාධි නිබන්ධනය රාජ්‍ය ව්‍යවසාය පිළිබඳවය. ආචාර්ය උපාධිය ලැබුව ද මේ නිබන්ධය කල එළි දුටුවේ නැත. සිනමා කර්මාන්තය පිළිබඳ ඔහු ලියූ ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගය බිඳ වැටීම අපේ කර්මාන්ත ඉතිහාසය පිළිබඳ නැවත නැවත සිහිපත් කළ යුතු පොතකි.

ආචාර්ය නිහාල්සිංහයන් ඇතුළු ගුරු මුෂ්ටි නොතියා ශිල්ප ලබා දුන් පරම්පරාව අනු ක්‍රමයෙන් සමු ගනිමින් සිටිති. නිහාල්සිංහයන්ගේ දැනුම නූතන ඩිජිටල් සිනමාව හා බැඳී තිබිණි. වසර තිහකට පමණ එපිට ශ්‍රී ලංකාව වැනි රටක සිනමාව සඳහා නෙගටිව් පටය වෙනුවට එකල ටෙලි නාට්‍ය සඳහා භාවිත කළ මැග්නට් පටය යොදා ගැන්මේ වැදගත්කම ඔහු විසින් සරසවිය පුවත්පත මඟින් හෙළිදරව් කරන ලදී. සම්ප්‍රදායික ‘නෙගටිව්පටය’ට හුරුව සිටි සිනමා කර්මාන්තයම නිහාල්සිංහයන්ගේ මතය අවඥාවෙන් හා තර්ජනයෙන් බැහැර කරන ලදී. ඒ වන විට නෙගටිව් පටයෙන් බැහැර චිත්‍රපටකරණයක් පිළිබඳ ලෝකය සිතා සිටියේ නැත. නිහාල්සිංහයන්ගේ මතවාදයට විරුද්ධව අවි ගත්තන්ට එසේ ඉන්නට ඉඩ හැර ඔහු නිහඬ විය. කලකට පසු සමස්ත ලෝකය ඩිජිටල් තාක්ෂණය වැලඳ ගන්නට සැරසුණාහ. අලුත් පරම්පරාවේ බොහෝ සිනමාකරුවන් නිහාල්සිංහයන් මුල් කොට එයට සැරසුණහ. මේ රටට වඩාත්ම යෝග්‍ය ක්‍රමවේදය නිහාල්සිංහයන් පෙන්වා දුන්හ. එහෙත් සුපුරුදු කඹ ඇදිලි ක්‍රමවේදය මත තවම එතැනය.

වැලිකතර - ගාමිණී, සුවිනීතා

නිහාල්සිංහයන් සතු සුවිසල් දැනුම ලබා ගන්නට බොහෝ දෙනා පොරකෑහ. අවසානයේ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැට්රික් රත්නායකගේ මෙහෙයවීමෙන් නිහාල්සිංහයන්ට ආරාධනා කොට එමඟින් මහාචාර්ය පදවියක් ද පිරිනැමිණ. එක්තරා දේශපාලන ශිෂ්‍ය ව්‍යාපාරයක් ඒ පිළිබඳ කඩාකප්පල් ක්‍රියාවලියක නිරත වන්නේ යැයි නිහාල්සිංහයන් වරෙක මා සමඟ කියා සිටියේය.

ඔහුගේ වැලිකතර නුතන ඩිජිටල් තාක්ෂණය අනුව යළි පණ ගැන්විණ. චිත්‍රපටය අංග සම්පූර්ණයෙන්ම සැකසිණ. දෙවසරක් මුළුල්ලේ වැලිකතර ඩිජිටල් ශබ්ද තාක්ෂණයෙන් ද හැඩ වී තිර ගත කරවීමට අවස්ථාව එන තෙක් බලා සිටියේය. සිනමා ශාලා ඩිජිටල් වූයේ නැත. වැලිකතර එය උදාවන තුරු සිටියේය. නිහාල්සිංහයන්ගේ නාමයෙන් වැලිකතර යළි එළිදැක්වීම ජාතික වගකීමක් යැයි අපි සිතමු.

පසුගිය වකවානුවේ ඔහු වරින් වර විදෙස් ගත වූයේ තම ප්‍රාණ සමාන මිනිබිරිය දකින්නටය. ඈ තම මවගේම පුනරාගමනය ලෙස සැලකූ ඔහු ඇයට නම තැබුවේ මවගේ නාමයයි (රතී).

නිහාල්සිංහයන් පසුගිය බ්‍රහස්පතින්දා අප අතහැර ගියේ හදිසියේමය. ඒ නිවසේදීමය. පෝය දිනය වූ එදින එතුමන්ගේ ආදරණීය භාර්යාව සිල් සමාදන්වීමට ගොස් සිටියාය. පාතරාසය ගෙන නිහාල්සිංහයන් එයින් මොහොතකට පසු කාටත් නොකියාම ගෙදරදීම යන්නට ගොස් තිබිණි.

සිංහයා සමුගත්තේ එහෙමය.

රජ දැක්මට සමු ගැනීමට අවසරයි කියන්නට නොහැක. ගිහින් එන්න.

රිදී නිම්නය - සනත්, නීල්

කෙළිමඩල - එච්.ඒ, අනෝජා

මල්දෙනියේ සිමියොන් - අනෝජා, ස්වර්ණා, ජෝ

සිංහයාගේ මිනිබිරිය

 

කෙටි කතාව - ශ්‍රීයාණි, වික්‍රම බෝගොඩ

 

 

ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ වෘත්තාන්ත චිත්‍රපට -

1. වැලිකතර - 1971

2. රිදී නිම්නය - 1982

3. මල්දෙනියේ සිමියොන් - 1986

4. කෙළිමඬල - 1991

ප්‍රධාන විත්ති කථා චිත්‍රපට

නැටුම් පටුන - 1953,

තරුණ විය - 1957, නියඳ රටා - 1962, (කැමරාකරණය පමණි), භක්ති - 1965, කෙටි කතාව - 1967, නිම්නයක හදවත - 1968

කැමරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට

1. සත් සමුදුර - 1967

2. දහසක් සිතුවිලි - 1968

3. බිනරමලී - 1969

4. පාරාවළලු - 1969

5. කැලෑ මල් - 1982

6. මුහුදු ලිහිණි - 1983

සංස්කරණය කළ චිත්‍රපට

1. සත් සමුදුර - 1967

2. සාගරයක් මැද - 1981

3. කොටි වලිගය - 1986

4. නොමියෙන මිනිසුන් - 1994

අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය

1. දිමුතු මුතු - 1983

2. රේඛා - 1984

3. නදී ගීතය - 1985

4. සුදු සහ කළු - 1986

5. සුළඟ - 1987